යහපාලන හබල්-බබල්

86364ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු මේ වන විට පස් මසක් ගතව අවසානය.නව දැක්මක් ඇතිව ඉදිරියට යන බව පවසමින් බලයට පත්වූවත් දැන් ජනපතිවරයා හා රජය යමින් සිටින්නේ කොයිබදටදැයි දන්නා කිසිවෙක් නැත. 19 සම්මත කරගැනීමෙන් පසු ජනපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ මැතිවරණ සංශෝධනයන් රැුගත් 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමටය.නමුත් එය ඉක්මනින් සිදුකරගැනීමට හැකි අයුරක් පෙනෙන්නට නැත.ජනපතිවරයා මැතිවරණ ක‍්‍රමයට සිදුකළ යුතුවෙනස්කම් පිළිඹද වහාම සොයාබලන්නැයි අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇතත් එයිනුදු ප‍්‍රගතියක් අත්ව නොමැති අයුරක් පෙනෙන්නට තිබේ.මේ නිසා ජනපතිවරයා හා රජය ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඇතුලූ විපක්ෂයේ අප‍්‍රසාදයට ක‍්‍රමයෙන් ලක්වෙමින් සිටී.නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීමට ජනපති සිරිසේනට තවත් කල් අවැසිය.නමුත් එසේ කාලය ලබාගැනීම දින සියයයෙන් දුන් පොරොන්දු වලට අනුව ගැටලූවකි.මේ හමුවේ ඔදවැඞී සිටින්නේ ඉක්මන් මැතිවරණයක් පැවැත්වුවහොත් ස්ථීරවශයෙන්ම ජයග‍්‍රහණය කරනු ඇතැයි සිතා සිටින එක්සත් ජාතික පක්ෂයයි.මැතිවරණ ක‍්‍රමය සංශෝධනයකින් තොරව  පාර්ලිමෙන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවීමට ජනපතිවරයා කටයුතු කළහොත්  දැන් පවත්නා තත්ත්වය හමුවේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඔහුව ද්‍රෝහියෙකු ලෙස හදුන්වනු ඇත.මේ බැව් ජනපතිවරයා නොදන්නවා නොවේ.නමුත් උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ඔහු සිටින්නේ කළයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවය.

නව මැතිවරණ ක‍්‍රමය පිළිඹදව එකගතාවයකට එළැඹිීමට දේශපාලන පක්ෂ අපොහොසත්  වන්නේ නම් වහාම පාර්ලිමෙන්තුව විසිරුවා හැර මැතිවරණයක් කැදවීමට ජනපතිවරයා තීරණය කර තිබෙන බව පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් මුල් පිටුවේම සදහන්ව තිබුණි.ජනපතිවරයාටද අවැසි මේ ගැටලූව ඉක්මනින් විසදා ගැනීමටය.දින සියයකින් පසු  පාර්ලිමෙන්තුව විසිරුවන බව එදා ජනපතිවරණයේදී ඔහුට සහය දුන් දේශපාලන පක්ෂ වලට ඔහු දුන් පොරොන්දුවකි.ගතවූ මාස කිහිපයේ දින සියය ගෙවී අවසානවූ පසු  පාර්ලිමෙන්තුව විසිරුවන බව එක්සත් ජාතික පක්ෂය නැවත නැවතත් පවසා සිටියේ මේ  නිසාය.නමුත් එවැන්නක් සිදුනොවුනි.’අපි හුස්ම ගන්නේ අමාරුවෙන්.කවුරුහරි ඉක්මනටම ඔක්සිජන් බටේ උඩ කකුල තියයි වගෙ’්.පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී අගමැති වික‍්‍රමසිංහ මහතා සිනාමුුසුව පැවසුවේය.පාර්ලිමෙන්තුව විසිරුවීම කල්ගතවීම ඔහුට හා ඔහුගේ පක්ෂයට යහපත් නොවන බව ඔහු දනී.ඒ නිසා ඉක්මන් මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂය සිටින්නේ නොතිත් වුවමනාවකිනි.’අප ජනතාවට මුහුණ  දෙන්න බයනැහැ’.ඔහු එම මාධ්‍ය සාකච්ඡුාවේදී වැඩිදුරටත් පැවසීය.

 

86185

 

 

 

දේශපාලන පක්ෂ නායකයින් හමුවීම

මිීට සතියකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා එම පක්ෂයේ දූත පිරිසක් ජනපතිවරයා හමුවිය.පසුදිනයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවූ දිසානායක එහිදී පවසා සිටියේ එළැඹෙන මැතිවරණය පැවැත්වෙන්නේ පැරණි සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ බව ජනපතිවරයා තම කණ්ඩායම ඉදිරියේ සහතික කළ  බවය.මැතිවරණය තවත් ප‍්‍රමාද කිරීම කළනොහැකි බවත් මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයන් සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණීමට දේශපාලන පක්ෂ අපොහොසත් වන්නේ නම් වහාම පාර්ලිමෙන්තු විසිදුරුවා හරින බවත් ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටි බව ඔහු පැවසීය.නමුත් රජයේ නිල මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පැරණි සමානුපාතික ක‍්‍රමය යටතේ පාර්ලිමෙන්තු මැතිවරණය පවත්වනවාද නැත්ද යන්න ගැන තවමත් අවසාන තීරණයක් ගෙන නොමැති බව පැවසීය.20 ඒ සම්මත කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව කියා සිටි ඔහු ඊට අමතරව තොරතුරු දැනගැනීමේ  අයිතිය හා ජාතික විගනන කොමිසම පිළිඹද කෙටුම්පත්ද ඉදිරි පාර්ලිමෙන්තු හමුවකදී සම්මත කරගැනීමට සැළසුම් කර තිබෙන බවද කීය.ඔහුගේ මේ ප‍්‍රකාශය පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම අතළග බැවින් නැවත පාර්ලිමෙන්තු සභාවාරයක් නොපැවැත්වෙන බව කියා සිටි අගමැති වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශය හා සැළකීමේදී පරස්පර විරෝධීය.මේ හමුවේ නැවත වතාවක් මාධ්‍ය හමුවක් කැදවූ අගමැතිවරයා තොරතුරු දැනගැනීමේ පනත  සම්මත කරගැනීමක් සිදුනොවන බව සහතික කළේය.

ගෙවුනු දින කිහිපයේදී ජනපතිවරයා වැදගත් හමුවන් දෙකකට සහභාගීවිය.එයින් එකක් පැවැත්වුනේ විජේරාම මාවතේ ඔහුගේ නිවසේදීය.එම හමුවට රටේ ප‍්‍රධාන පක්ෂ දෙක හැර අනෙක් පක්ෂවල නියෝජිතයෝ සහභාගීව සිටියහ.ජනපතිවරයා ඔවුන් හමුවේ  පවසා සිටියේ ඉදිරි මැතිවරණය පැවැත්වෙන්නේ පැරණි ක‍්‍රමය යටතේ බවය.සදුදා දිනයේ දෙවැනි හමුව පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.එයට සියලූ දේශපාලන පක්ෂ නායකයින් සහභාගීව සිටි අතර මැතිවරණයක් ගැන කිසිදු සදහනක් සිදුනොකළ ජනාධිපතිවරයා මැතිවරණ ක‍්‍රමයට සිදුකළ යුතු වෙනස්කම් පිළිඹදව  සාකච්ඡුා කළේය.සිදුකළ යුතු වෙනස්කම් පිළිඹද නව අදහස් තිබෙන්නේනම් ඒවා බදාදා මධ්‍යහ්නට පෙර තමන්ට දැනුම්දෙන ලෙස ඔහු උපදෙස් දුන්නේය.එසේ ලැබුණු අදහස් අධ්‍යනය කිරීමෙන් පසු ජනපතිවරයා ඇමති මණ්ඩලය හමුවට පැවැත්වූයේ බදාදා සවස් යාමයේදීය.දීර්ඝ සාකච්ඡුාවකින් පසු මැතිවරණ ක‍්‍රමයට සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කිරීමට සාමාජිකයින් 9 කින් යුතු කමිටුවක් පත්කිරීමට තීරණය වුනි.සරත්  අමුණුගම,ලක්ෂ්මන් කිරිඇල්ල,කබීර් හෂීම්,පාඨලී චම්පික රණවක,රවුෆ් හකීම්,පලනි දිගම්බරම්,ගයන්ත කරුණාතිලක,එස්.බී දිසානායක හා රිෂාද් බධුර්දීන් එහි සාමාජිකයෝය.

 

 

86098

 

 

ඇමති මණ්ඩල හමුවේදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගලසමරවීර පාර්ලිමෙන්තු මැතිවරණය ජූලි මාසය වන විටදීවත් පැවැත්විය යුතුව තිබෙන බව කීය.එක්සත් ජාතීන් ශී‍්‍රලංකාවේ සිදුව තිබෙන බව පැවසුනු යුධ අපරාධ සම්බන්ධයෙන් සිදුකළ අන්තර්ජාතික පරීක්ෂණයේ වාර්තාව එළැඹෙන සැප්තැම්බර් මාසයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ශී‍්‍රලංකාව ඊට පිළිතුරු බැදීමට සකස් කරන බවට පොරොන්දුවූ දේශීය විමර්ෂණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට පත්වන නව රජයකට කල් අවැසි බව ඔහු පෙන්වා දුන්නේය.මාර්තු මාසයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ මෙම වාර්තාව නව රජයේ ඉල්ලීම මත කල්දැමුණු බව සිහිකැදවූ ඔහු එදා දුන් පොරොන්දුව අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.නමුත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊට විරෝධය දක්වමින් අපට එයාලාගේ පදයට නටන්න බැහැ යැයි කීය.ඇමරිකාවේ වුවමනාවට පාර්ලිමෙන්තු මැතිවරණයක් පැවැත්විය යුතු නැතැයි ඔහුගේ අදහස විය.

ගෙවුනු සතියේ කොළඹ විදේශ තානාපතිවරුන් හමුවූ මංගල සමරවීර යුධ අපරාධ පිළිඹද  ගැටලූවේදී ශී‍්‍රලංකාව හා අත්වැල් බැදගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පුද කළේය.පොරොන්දුවූ ලෙසටම නැගී ඇති චෝදනා විමර්ෂණය කිරීමට ස්වාධීන,වගකිීම් සහගත,දේශීය යාන්ත‍්‍රණයක් සකස් කිරීමට කාලය ලබාදීම සම්බන්ධයෙන් ශී‍්‍රලංකාව  අන්තර්ජාතික ප‍්‍රජාවට කෘතඥ වන බවද ඔහු කීය.

සේනාරත්න පවසන දෙයට ජනපතිවරයා සවන්දෙන බව රහසක් නොවේ.ඇමරිකාවේ පදයට නටන්න බැහැ යැයි ඔහු කළ ප‍්‍රකාශය සැළකීමේදී පැහැදිලි වන්නේ පාර්ලිමෙන්තු විසිරුවා හැරීමට ජනපතිවරයාට ඉක්මනක් නොමැති බවය.පසුගියදා පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල හමුවේදීද මේ බව හොදින් පෙනුනි.මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් සාකච්ඡුා කිරීමට ප‍්‍රථමයෙන්ම ජනපතිවරයා අමාත්‍ය මණ්ඩලය අමතමින් කියා සිටියේ මැතිවරණ සංශෝධන රැුගත් 20 ඒ සංශෝධනය හදිසි පණතක් ලෙස නොව සාමාන්‍ය පණතක් ලෙසම පාර්ලිමෙන්තුවේ සම්මත කර ගැනෙනු ඇති බවයි.ඔහුගේ මේ ප‍්‍රකාශය හමුවේ 20 ඒ ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් රාශියක් ගොනුවනු ඇතැයි පුරෝකථනයක් සිදුකළ හැකිය.දැනට ඉදිරිපත්ව තිබෙන ඇතැම් වෙනස්කම් වලට කුඩා පක්ෂ වල මනාපයක් නොමැති අතර 20 ඒ හදිසි පණතක් ලෙස සම්මත කරගතහොත් ජනමතයක් විමසෙන්නේ නැති නිසා එම වෙනස්කම් සම්බන්ධයෙන් තමන්ගේ අදහස්

ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබෙන බව එම පක්ෂ වල චෝදනාව විය.නමුත් දැන් අවැසි පරිදි වෙනස්කම් සිදුකරගැනීමට එම පක්ෂ වලටද අවස්ථාව සැළසෙනු ඇතැයි සිතිය හැකිය.

මෙවන් එක් අවස්ථාවක් ගෙවුනු බදාදා දිනයේදී පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල උප කමිටු හමුවේදීද දැකගත හැකිවිය.දැනට ඉදිරිපත්ව සිටින මැතිවරණ යෝජනාවක් වන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 196 දෙනෙක් දිස්ති‍්‍රක්කය පදනම් කරගත් සමානුපාතික ක‍්‍රමයකිනුත් අනෙක් 59 දෙනා මුලූ දිවයිනම පදනම් කරගත් සමානුපාතික ක‍්‍රමයකිනුත් පත්කර ගැනීමේ යෝජනාවට ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් විරෝධය දැක්වීය.මෙම යෝජනාව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හා ජාතික හෙළ උරුමය එක්ව ඉදිරිපත් කර ඇතැයි ඔහු චෝදනා කළේය.ජාතික හෙළ උරුමය නියෝජනය කරමින්  හමුවට සහභාගීව සිටි එම පක්ෂයේ මහලේකම් පාඨලී චම්පික රණවක හා අතුරලියේ රතන හිමි එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළහ.ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ යෝජනාව  වන්නේ ඉදිරිපත් කර ඇති තෝරාගැනීමේ පද්දතීන් දෙනෙක් සම සමව එනම් නියෝජිතයින් 125 බැගින් තෝරාගත යුතුය යන්නයි.එක්සත් ජාතික පක්ෂය ඉදිිපත් කර තිබූ යෝජනාවේ සදහන් වූයේ නියෝජිතයින් 125 දෙනෙකු කේවල ක‍්‍රමය යටතේත්  අනෙක් 100 දෙනා සමානුපාතික ක‍්‍රමයේ යටතේත් තෝරාගත යුතු බවය.එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් හා එක්ව ජාතික හෙළ උරුමය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට දොස් පැවරූ රවුෆ් හකීම් මෙයාලට වුවමනා වෙලා තියෙන්නේ මෙයාලගේ කට්ටිය ලේසියෙන් පත්කර ගන්න පුලූවන් ක‍්‍රමයක් හදාගන්න යැයි කීය.මෙවැනි ක‍්‍රමයක් ස්ථාපිත කළහොත් ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමෙන්තුවේ කිසිදු නියෝජනයකට ඉඩනොලැබීමේ  ඉඩක් තිබීමේ අවදානමක් තිබීමද මෙහිදී සාකච්ඡුාවට බදුන් විය.අතීතයේදී අරගල දෙකකටම නායකත්වය දී තිබෙන ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් එවැනි ඉරණමකට තල්ලූ කිරීම කිසිසේත් සුදුසුනොවන බව සියලූදෙනාගේ අදහස විය.

 

 

 

suwaris11

 

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලූව

මැතිවරණ ක‍්‍රමයට අන්තර්ගතවිය යුතුයැයි ඉදිරිපත්ව ඇති ඇතැම් යෝජනා මුල් කරගෙන උප කමිටුවේ සාමාජිකයිනුත් සිටිනුයේ ගැටලූකාරී තත්ත්වයකට මැදිවය.එනිසා එම යෝජනා පදනම් කරගෙන දළ කෙටුම්පතක් පවා සකස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මේ වන විට සියලූ පාර්ශවයෝ තේරුම් ගෙන සිටිති.උප කමිටු සාමාජිකයෝ මේ පිළිඹද සාකච්ඡුා කිරීමට අද දින සවස් යාමයේ ජනපතිවරයා හා

අගමැතිවරයා හමුවීමට නියමිතය.ජනපතිවරයාගේ නියමයෙන් විශේෂ නියෝජිතයෙකු ලෙස සෞදි අරාබිය බලා යන රවුෆ් හකීමේ මේ හමුවට සහභාගී නොවනු ඇත.

මැතිවරණ ක‍්‍රමයට සියලූ දේශපාලන පක්ෂ වල එකගතාවය පළවීමටත්,එම යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසීමටත් කාලය අවැසිය.ජනපති සිරිසේනට අවශ්‍ය වන්නේද එයයි.කාලය ඔහුට කරුණු දෙකක් නිසා වැදගත්ය.ඉන් පළමුවැන්න ඔහුගේ ප‍්‍රතිවාදියා  බවට පත්වීමට මානබලමින් සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දුර්වල කිරීමට ඔහුට මේ කාලයේ කටයුතු කළ හැකිවීමයි.දෙදෙන අතර පසුගිය සතියේ පැවැත්වුනු හමුවේදී තමන් පක්ෂයේ අගමැති අපේක්ෂකයා කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති සිරිසේනගෙන් ඉල්ලා සිටද ඇත.දෙවැන්න මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ  සාමාජිකයින් සිදුකර ඇතැයි නැගෙන මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් වඩා විධිමත්ව පරීක්ෂණ කටයුතු දියත් කරවීමට ඔහුට අවස්ථාව ලැබීමයි.මෙය ජනපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන වෙනුවෙන් ඡුන්දය භාවිතා කළ බහුතරයකගේ වුවමනාවද වේ.මෙමගින් වියැකී යමින් පවතින කීර්තිය ගොඩනගා ගැනීමටත්,දෙපිළ බෙදී පවතින ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක්සත් කර ගැනීමටත් ජනපතිවරයාට අවස්ථාව ඇත.

නමුත් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ දුන් තීන්දුවක් ජනපතිවරයාගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ හිතසුව පිණිස නොවුනි.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් තමන් අත්අඩංගුවට ගැනීම තමාගේ මූලික  අයිතිවාසිකම් කඩවන්නක්යැයි පවසමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව එම පෙත්සම විභාග කරනතෙක් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින්නැයි නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ ඊවා වනසුන්දර හා සරත් ද ආබෲ නිකුත් කළේය.ඔවුන් නඩුව නැවත කැදවීමට නියෝග කළේ මාස 5 කට පමණ පසු ඔක්තෝබර් 6  වැනිදාය.

 

 

cc15

 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

තීන්දුව හමුවේ ජනපතිවරයා හා රජය කලබලයට පත්විය.සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ අගමැතිවරයා තම නීතිඥයින් තමාට දැනුම්දුන් පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිවැරදි නොවන බව කීවේය.

ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරුන් දෙදෙනෙකුට එවැනි නියෝගයක් ලබාදීමේ හැකියාවක් නැහැ.ඔවුන්ට පුලූවන් දැනුම්දීමක් කරන්න පමණයි.මේ අවස්ථාවේදී අනෙක් පාර්ශවයේ කරුණු විමසීමක් පවා සිදුනොකර තමයි තීන්දුව දී තිබෙන්නේ.මේ ගැන නීතිපතිවරයාට පැමිණිලි කරන ලෙස මා මගේ නීතිඥයින්ට උපදෙස් දුන්නා.අපි ඒ විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් දෙන්නවත්,බලපෑම් කරන්නවත් යන්නේ නැහැ.ගැටලූවක් තිබෙනවනම් අපි ඒක විසදගන්නේ හරියට.මා දන්නා හැටියට පොලිසියත් මේ ගැන නීතිපති ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. යැයි ඔහු වැඩිදුරටත් කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් අගමැතිවරයා හා අමාත්‍යවරුන් නියෝජනය කරන නීතිඥවරුන් නීතිපතිවරයා ඉදිරියට යෑමට නියමිත බව සදහන්ය.පොලිසියද මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරියේ චෝදනා ගොනු කිරීමට  නියමිත බව පැවසේ.

රජයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුව තිබියදී ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍යහමුවන් පවත්වමින් නැවත නැවතත් කීවේ පාර්ලිමෙන්තුව ඉක්මනින්නම විසිරුවාහැරිය යුතුව තිබෙන බවය.

ඉදිරිපත්වෙලා තියෙන මැතිවරණ යෝජනා වලට දේශපාලන පක්ෂ ටික එකගකරවාගන්න තවමත් ජනාධිපතිවරයාට හැකිවෙලා නැහැ.ජාතික විධායක කවුන්සිලයේ ආයු කාලයත් දැන් ඉවරයි.කවුරුවත් දන්නේ නැහැ පාර්ලිමෙන්තුවේ  විපක්ෂ නායකයා කවුද කියලා.මේ ගැන අපි නොයෙක් අවස්ථා වල පෙන්වාදුන්නත් කථානායක තවමත් විපක්ෂ නායකයා හදුන්වලා දීලා නැහැ.අගමැතිවරයා හැටියට ඉන්න  රනිල් වික‍්‍රමසිංහට තවදුරටත් අයිතියක් නැහැ.අලූත් පාර්ලිමෙන්තුවක් පත්වීම අවශ්‍යයි.

සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ පක්ෂ නායක අනුර කුමාර දිසානායක කීවේ එළෙසය.

ගෙවුනු සතියේ ජනතාව ඇසුවේ දුටුවේ රජයේ එක් නියෝජිතයෙකු කුමන හෝ ප‍්‍රකාශයක් කළ විට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් රජයේම තවත් නියෝජිතයෙකු පවසා සිටින ආකාරයයි.අන්දමන්දව සිටින ජනතාවටද,වරදකරුවන්ට දඩුවම් දෙනවා යැයි පවසමින් රජය විරුද්ධ අදහස් දරන්නවුන්ව දඩයම් කරමින් සිටිනවායැයි චෝදනා කරමින සිටින විපක්ෂයටද මැදිව රජය කොහේයමින් සිටිනවාදැයි දන්නා කෙනෙක් නැත.නැගෙන චෝදනා වලට පිළිතුරු දීමට හෝ රජයේම ඇතැම් පුද්ගලයින්ගේ ප‍්‍රකාශයන් නිසා ජනතාව අතර ඇතිව තිබෙන ව්‍යාකූල ස්වභාවය සමනය කිරීම හෝ රජය නිසි කි‍්‍රයාමාර්ගයක් ගෙන ඇති බවක්ද පෙනෙන්නට නැත.යහපාලනය මේ යමින් සිටින්නේ කොයිබටද? සියලූ දෙනා දැන් නගමින් සිටින්නේ මේ පැනයයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.