යහ පාලනයට විහිළු කරන එක ටිකකට නවතමු-සිළුමිණ

 

 

 

 

m3

 

එදා-මෙදා?

රාජ්‍ය මධ්‍යයේ මුලික වගකීම කඩේ යාමයි.නිකම්ම කඩේ ගියාට හරි යන්නේ නැත. රජයේ පැවැත්ම තහවුරු කරන මතවාද නිෂ්පාදනය කල යුතුය.

සිළුමිණ තමන්ට සදා පුරුදු පිළිවෙතේ නව ගමනක් ආරම්භ කොට ඇත.ඒ අනුව යහ පාලනය හෑල්ලුවට ලක් කිරීම නතර කළ යුතුය. මන්දයත් ජාතිවාදය පතුරුවාලීම තරම් යහපාලනය ප්‍රචලිත කිරීම පහසු නොවේ. එහෙත් ජනතාව යහ පාලනය  හෑල්ලුවට ලක් කරන්නේ යහපාලනය කියමින් අවපාලනය කරන අවස්ථාවලදී බව සිළුමිණට නොපෙනී

යන්නේ ඊට තාමත් කඩේ යෑමේ පුරුද්දෙන් මිදෙන්නට බැරි හෙයිනි.

කියවන්න ලිපිය 10931354_10567509676757vvvvv

 

වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව පෙනෙන්නේ ආණ්ඩුව පදනම් වූ මතවාදය තුළ තමන්ට අනුමැතිය දුන් ජනයා තවදුරටත් රඳවා තබා ගැනීමය. රාජපක්ෂ ආණ්ඩුව මේ කාරණයේදී තම ජනයා රඳවා තබා ගැනීමේ මතවාදය ලෙස ජාතිවාදය පාවිච්චි කළේය.

ජාතිවාදය සන්නිවේදනය කිරීම අන් සියල්ලටම වඩා පහසුය. අනෙක් අතට ජනතාව ජාතිවාදය ස්වභාවයෙන්ම පාහේ වැලඳ ගත්තකි. එපමණක් නොව ජාතිවාදය ජනසමාජය තුළ දිදුලන අදහසක් බවට ද පත්ව තිබෙන්නේය. ඒ අරභයා ප්‍රබල ප්‍රකාශකයින් බිහිවන්නේය. හිටපු ජනාධිපතිවරයාට ඕනෑම තරාතිරමක අයට ජාතිවාදය පහසුවෙන් ප්‍රධානය කරන්නට හැකිවූ බව නොරහසකි. මන්ද කිසිවක්ම නොකර ගුහාගතව හිඳ දවස ගෙවන්නකුට වුව ජාතිය හා ජන්මය ගැන කතා කළ හැකිය. එහෙත් වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය බවට පත්වූයේ යහපාලනයයි. යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ සුන්දරම පර්යාය අදහස හා තත්ත්වය විය හැකිය.

එහෙත් ජනතාව අතර දිදුලන අදහසක් බවට පත්වෙන්නට යහපාලනයට නොහැකිය. මේ තත්ත්වය එක් අතකින් ඛේදවාචකයකි. මිනිස් ඝාතන, කොල්ලකාරී ආර්ථික ක්‍රමයක්, අතුරුදන් කිරීම්, බලහත්කාරය යෙදවීම ආදි සියල්ල ජාතිවාදය තුළ ගැබ් වෙද්දී සහ ඉන් සමස්ත සමාජයම හානියට ලක්වෙද්දී ජනතාව අතර දිදුලන අදහස බවටත් ජාතිවාදය පත්ව තිබේ. එයින් සමාජය මුදා ගන්නේ කෙසේ ද යන්න යහපාලනය පිළිබඳ අදහස පෙරමුණට ගත් වත්මන් ආණ්ඩුවට ඇති අභියෝගය වෙයි.

අප වත්මන් රජය තුළ දකින එක් විශේෂ ලක්ෂණයක් නම් ජනාධිපතිවරයා විධායක බලතල භාවිත නොකිරීමය. ඊට විකල්පයක් ලෙස අගමැතිවරයාට සාමාන්‍ය පරිදි පාලන කටයුතු කරගෙන යන්නට බලය පවරා තිබේ. කිසියම් වරදක් සිදුවෙමින් පවතින අවස්ථාවක් ඇත්නම් ජනපතිවරයා එය නිවැරැදි කළ අවස්ථා ද තිබේ. නව මැතිවරණ ක්‍රමයකට යාම ඉන් එකකි. ආණ්ඩුවේ අති බහුතරයක් කල්පනා කළේ ඉදිරි මහ මැතිවරණයත් සමානුපාතික ක්‍රමයට පැවැත්වීමය.

විශේෂයෙන්ම සුළු පක්ෂ මැතිවරණ ක්‍රමයට විරුද්ධ වූයේ තම පාර්ලිමේන්තු කෝටාව අහිමි වීමේ අවදානමක් ඇති නිසාය. ප්‍රධාන පක්ෂ ඉන් ලුහුටමින් සිටියේ සීමා නිර්ණයන් කිරීම අපහසු බව කියමිනි. එහෙත් ලංකාවේ අපි දකින සත්‍යය නම් සෑම පක්ෂයක්ම මජර දේශපාලන ක්‍රමයකට අනුගතව සිටීමය. සමානුපාතික ක්‍රමය නම්වූ මජර තරගකාරී ක්‍රමය තුළ ඇතැම් විටෙක මහජන නියෝජිතත්වය විෂයෙහි වගකිව යුත්තකු සොයාගත නොහැකිය. සමහර ආසනවලට මන්ත්‍රීවරු දෙදෙනෙක් ලැබෙන විට සමහර ඒවාට එක් අයකුවත් නැත.

ඒ ඇති නැති දෙකෙහිම වගකීම පැහැර හැරිය හැකිය. එහෙත් ජනාධිපතිවරයා මේ වගකීම් විරහිත පසුබිම ගැන වහා තේරුම් ගෙන ස්ථිර ප්‍රකාශයක් කළේය. එය නම් නව මැතිවරණ ක්‍රමයක් යටතේ ඡන්දයකට යන බව කීමය. එවිට ඡන්දය පවත්වන දිනය මාසයක් දෙකක් පසුපසට තල්ලුකොට හෝ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම නම් පොරොන්දුව ඉෂ්ට කළ හැකිය. මේ යහපාලනයේ ලක්ෂණයයි. ජාතිවාදයට නැති යහපාලනයට පමණක් තිබිය හැකි ගුණයයි. අන්තවාදී දෘෂ්ටිවාදයක් කරා සමාජය නොකැඳවීමේ ගුණෝපේත ලක්ෂණයයි.

ඊළඟට වංචා දූෂණ විමර්ශනය ගනිමු. වෙලේ සුදාගෙන් ලංකාවේ සිදුවූ මහා පරිමාණ හෙරොයින් ජාවාරම ගැන බොහෝ තොරතුරු හෙළිදරව් වී ඇතැයි සිතිය හැකිය. එහෙත් වගකිවයුතු කිසිවකුත් අත්අඩංගුවට ගන්නා තත්ත්වයක් එක්විටම දිස්වන්නේ නැත. මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා ද කිසියම් විචිකිච්චාවකට පත්විය. ඔහු කීවේ තමන්ටත් ඒ ගැන ප්‍රශ්නයක් තිබෙන බවය. එසේ කීමෙන් නොනැවතී හෙතෙම දූෂණ විමර්ශනයට විශේෂ ජනාධිපති කමිටුවක් ද දැම්මේය.

එවැනි කමිටුවකට නිකම් සිටිය නොහැකිය. ප්‍රධාන මට්ටමේ වංචා සහගත ක්‍රියාවන් දෙක තුනක්වත් හෙළිදරව් කරගත යුතුය. මේ කටයුත්ත ගැනත් මහජන බලාපොරොත්තු දැල්වූයේ ජනාධිපතිවරයාය. මේවා රාජපක්ෂගේ දිදුලන ජාතිවාදය නොකළ දේවල්ය. එපමණක් නොවේ යහපාලනය විසින් විමර්ශනය කළ යුතුව තිබෙන්නේ දිදුලන ජාතිවාදය විසින් කළ හොර මැරකම්ය. වංචා දූෂණය, අතුරුදන් කිරීම්ය, මානව හිමිකම් උල්ලංඝනයන්ය.

 

 

 

 

 

 

එපමණක් නොවේ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයට ගොස් ඍජුවම කීවේ ලංකාවේ යුදමය අවදිය ගැන අන්තර්ජාතික පරීක්ෂණ අවශ්‍ය නැති බවත් මසක් ඇතුළත අභ්‍යන්තර පරීක්ෂණයකට කටයුතු සලස්වන බවත්ය. අන්තර්ජාතික පරීක්ෂණ තත්ත්වය උත්සන්න කර දෙවරක්ම ජිනීවා යෝජනාවලින් ශ්‍රී ලංකාව පරාජයට පත්කරවන අපකීර්තිමත් තත්ත්වයට රට ගෙනාවේ රාජපක්ෂගේ දිදුලන ජාතිවාදය විසිනි. රාජපක්ෂ මහතාත් ස්වාධීන පරීක්ෂණයක් ‍රට තුළ කරන බව කීවේය. එහෙත් එය ලෝකයේ ලොකුම මෝඩයාවත් විශ්වාස කළේ නැත.

මන්ද ඒ සා ලෝකයම අන්දන්නට මාන බැලු නායකයකු ලෙස හිටපු ජනපතිවරයා තුන් ලෝකයේම ප්‍රකටය. මානව හිමිකම් උල්ලංඝනය කළේ ඔහුගේ දිදුලන ජාතිවාදයයි. දර්ගා නගරයේ සැනසුම් ජීවිතය මුස්ලිමුන්ට අහිමි කළේ රාජපක්ෂගේ ගෝඨාභයගේ හා ඥානසාර හිමිගේ ඒකාබද්ධ ජාතිවාදයයි. ඉන්ධන මිල ඉහළ ගිය විට උද්ඝෝෂණය කළ ධීවරයින්ට වෙඩි තැබුවේත් වෙළෙඳ කලාපයේ රොෂේන්ලාට වෙඩි තැබුවේත් රාජපක්ෂගේ බලහත්කාරී පාලනයයි. දිදුලන ජාතිවාදයෙන් අයිසිං කළ රාජපක්ෂ පාලනයයි. එබඳු පාලනයකට යළි හිස ඔසවන්නට ඔබ ඉඩ දෙනවා ද? නැතහොත් නොදිදුලන එහෙත් සාමාන්‍ය ජනජීවිතයට හිතකර, සැනසුම් සහගත යහපාලනය වැලඳ ගන්නවා ද?

යහපාලනය සිතු පැතු සම්පත් දෙන වරයක් නොවේ. එහෙත් ජීවන සිද්ධාන්තයක් ලෙස එය අපට ස්පර්ශ කර බැලිය හැකිය. එහි බලහත්කාරය නැත. විධායකය තිබුණත් මහජන හිතසුව පිණිස මිස අන් කිසිවකට ඒ බලය පාවිච්චි කෙරෙන්නේ ද නැත. රාජපක්ෂ කරණය වූ සමාජයක වරයක් පරිදි පරිහරණය කළ විධායකය හා සසඳා බලන කල යහපාලනය තුළ විධායකය ඇත්තටම සොඳුරු ආඥාදායකත්වයක් බව කියන්නට සිදුවේ. එහෙත් මෛත්‍රීපාල සිරිසේන නම්වූ ඒ පොදුජන හිතවතාගේ අදහස වන්නේ කෙතරම් සොඳුරු වුවත් ආඥාදායකත්වයක් නම් අනවශ්‍ය යන්නය. අපි ඒ අදහසට ගරු කරමු.

වීරනාථ

පසුවදන

ජාතිවාදය යළිත් ආකර්ශනීය මායමක් වී ඇත්තේ රනිල්-මෛත්‍රී ඩබල යහපාලනයේ නාමයෙන් හොරු රකින බැවිනි.මේ හොරුන් බලගතු මේ ඩබලම දනිති.එහෙයින් යමක් කරන බව පෙන්වමින් හැකි තරම් නිහඬව සිටීමට උත්සහ කරති. මේ බව මේ දෙපළට කියා දීමට රජතුමන් නිරුවත්ව පෙරහැරේ ගැන කරමින් සිටින බව ඔවුන්ට කියා දීමට සමත් රාජ්‍ය මාධ්‍යයක් අවශ්‍යය  වී තිබේ.එහෙත් අදහස් මාරුවක් නැතිව පුටු මාරු කල පමණිනින් එවන් මාධ්‍යයක් බිහි නොවන බවට ඉහත ලිපිය නිදසුනකි.

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.