යහ පාලනය තේරුමක් තියෙන වචනයක්ද?- ගාමිණී වියන්ගොඩ

cc22යහපාලන ආණ්ඩුවේ දැන් වයස මාස 4 කි. පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මීට මාසයකට පෙර එම ආණ්ඩුව අවසානයකට පත්විය යුතුව තිබුණි. එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවුණි. එම දින 100 තුළ ‘යහපාලනය‘ සඳහා අවශ්‍ය කරන පියවර ගැනුණේ, මොන තරම් බාධක මධ්‍යයේද යන්න, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට දැඟලු ආකාරයෙන් විශද වුණි. 19 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණේ, ‘යහපාලනයේ‘ මුල්ගල් තැබීමටයි. එහෙත් ඒ මුල්ගල් හැකි තාක් පරල කිරීමට සහ පරණ පවුරු රැක ගැනීමට වර්තමාන විපක්ෂය ගත් උත්සාහය එදා කැපී පෙනුණි.

ඇත්ත වශයෙන්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ පොරොන්දු අනුව, එම දින 100 ඉකුත් වු දා සිට, පවතින ආණ්ඩුවේ සුජාත භාවය අහෝසි වන්නේය. ඒ, හේතු දෙකක් නිසාවෙනි. පවතින පාර්ලිමේන්තුව අවසන් වීමට තව අවුරුද්දක් ඇති බවටත්, ඊට කලින් එය විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර-විරෝධී බවටත් ඇතැමුන් තර්ක කරනු අපට පෙනේ. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු, ප්‍රකාශිත ජනතා කැමැත්ත නම්, පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ තැබු මූලික පොරොන්දුව සහ ඒ පොරොන්දුව ප්‍රකාරව එම මැතිවරණයෙදී ජනතාව ඡන්දය පාවිච්චි කළ ආකාරය සැළකිල්ලට ගත යුතුව තිබේ. එහිදී ජනතාව කීවේ, පවතින පාර්ලිමේන්තුව දින 100 ඉකුත් වීමෙන් පසු විසුරුවා හැරීමට තමන් එකඟ වන බවයි. ඒ බව මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන්ව තිබුණි. ඒ නිසා, දින 100 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා අළුත් පාර්ලිමේන්තුවක් සඳහා ජනමතය විමසීම ප්‍රජාතන්ත්‍ර-විරෝධී නැත.

දෙවැනුව, මෙකී දින 100 තුළ කිරීමට පොරොන්දු වූ වැඩ කොටසක්ද තිබුණි. ඒවා සම්පූර්ණ කොට නැති තත්වය තුළ, හුදෙක් දින 100 කැලැන්ඩරයක එල්ලීම සදාචාරමය නොවන බව, අප ද පෙන්වා දී ඇත. එහෙත් ඒ එක කොන්දේසියකට යටත්වයි. ‘යහපාලන‘ පරමාදර්ශය යටතේ පසුගිය ජනාධිපතිවරණයේදී දෙන ලද පොරොන්දු අවසන් කර ගැනීමට නොහැකි විණැ යි යන අවසරය යටතේ, දින 100 ත් ඉක්මවමින් ඉදිරියට යා යුතු බවට යම් ආකාරයක හෝ සදාචාරමය බැඳීමක් පාලකයන් වෙත පැවරිය හැකි වන්නේ, එසේ වැඩියෙන් ගන්නා කාලය තුළ අර කී ‘යහපාලනයේ‘ ඉතිරි කොටස් සාර්ථක කර ගැනීමක් ගැන විශ්වාසය තැබිය හැකි නම් පමණි. එහෙත් 19 වැනි සංශෝධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව දැඟලු ආකාරය අනුව නිසැකවම කෙනෙකුට පෙනී ගියේ, ‘යහපාලනයේ‘ අභිමතාර්ථ සාධනය සඳහා, පවතින විපක්ෂය සමග තව එක අඟලක්වත් ඉදිරියට යාමට හැකියාවක් නැති බවයි. මේ නිසා, පාර්ලිමේන්තුව අද විසිරුවා හැරීම, ජනාධිපතිවරණයේදී රට ඉදිරියේ තැබූ  ‘යහපාලන‘ පරමාදර්ශයට පිටුපෑමක් වන්නේ නැත.

 

front-car

‘යහපාලනය‘ යනු, දින 100 ක ප්‍රාරම්භක වැඩ පිළිවෙලකට අමතරව, දීර්ඝ සමාජ ශෝධන ක්‍රියාවලියකි. හෙවත් සමාජය සුද්ද කිරීමකි. මේ සුද්ද කිරීමට සමස්ත සමාජය ඉලක්ක විය යුතු වෙතත්, කාර්යාල කාර්ය සහායකයා කඩදාසියක් හෝ පෑනක් හොරෙන් ගෙදර ගෙන යාම හෝ නගර සභා සුළු සේවකයා වැඩට නොපැමිණ මාසයේ පඩි ගැනීම වැනි අක්‍රමිකතා නතර කිරීමෙන් නොව, පටන් ගත යුත්තේ, මිග් යානා ගැනීමට ඩොලර් මිලියන ගණනින් යටිමඩි ගැසූ, තවත් ඩොලර් මිලියන ගණනින් වන රහස් විදේශ බැංකු ගිණුම් පවත්වාගෙන ගිය, දේශපාලක සොර දෙටුවන්ගේ මහා සම්ප්‍රදායට තිතක් තැබීමේ ආරම්භක පියවරෙනි. ජනවාරි 8 වැනි දා ජනතා කැමැත්ත ප්‍රකාශ වුණේ, ඒ විප්ලවීය ව්‍යාපෘතිය සඳහා ය.

එහෙත් ඒ ව්‍යාපෘතිය දියත් කිරීමට සිදුවී තිඛෙන්නේ, පාලකයාගේ ඉහත කී මහා සම්ප්‍රදායට රැකවරණය සැළසීම සඳහාම පත්කර ගත් පරණ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් පරණ ආයතනික මර්මස්ථාන හරහා ය. මේ නිසා, ‘යහපාලනයක‘ සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම්, ආයතනික පද්ධතියේ මූලික ආකෘතීන් වෙනස් කර ගැනීම සේම, ආරම්භයක් වශයෙන්, එම ආයතනවල අසුන් ගෙන සිටින මිනිසුන් වෙනස් කර ගැනීමත්, අඩුවැඩි වශයෙන්, එක විට අවශ්‍ය කරන්නේය. උදාහරණයක් වශයෙන්, අල්ලස් හෝ දූෂණ කොමිසම සැළකිල්ලට ගන්න. මේ කොමිසම විසින් පසුගිය අවුරුදු 10 ක කාලය තුළ විභාගයට ගෙන ඇති මහපරිමාණ දූෂණ කිසිවක් ගැන ඔබ අසා තිබේද? එදා එම ආයතනය ක්‍රියාත්මක වුණේ, දූෂණ චෝදනා පිළිබඳ ලිපිගොනු පවත්වා ගැනෙන කාර්යාලයක් වශයෙන් විනා, ඒ ලිපිගොනු මත පරීක්ෂණ පැවැත්වෙන ජවසම්පන්න ආයතනයක් වශයෙන් නොවේ. ඒ අනුව, එම කොමිසම සතුව පැවති යම් ලිපිගොනුවක් පෙන්වා, හිටපු ජනාධිපතිවරයා එදා විපක්ෂයේ බලපුලූවන්කාරයන්ව ආණ්ඩුවට ගත් සැටි කුප්‍රකටයි. දැන් මේ කොමිසම තමන් සතු ලිපිගොනු හරහා ඉදිරියට ගොස්, පරීක්ෂණ සඳහාද වගඋත්තරකරුවන්ව ඒ ඉදිරියට කැඳවයි. එසේ වුණේ, එක පැත්තකින් ආයතනයක් වශයෙන් ඊට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය කරන නිදහස ඇති කර දීමත්, අනිත් පැත්තෙන්, එම පරිසරය ප්‍රයෝජනයට ගැනීමට කොන්දක් ඇති අධ්‍යක්ෂවරියක් එහි මුල් පුටුවට පත්කිරීමත් නිසා ය.

කාර්යාල කාර්ය සහායකයා කරන සොරකම අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුම් අවශ්‍ය නොවේ. එහෙත්, සූක්ෂම අන්දමින් සහ මහ පරිමාණයෙන් ජාතික සම්පත් කොල්ලකෑ දේශපාලනික පංතියක් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා විශේෂ මෙහෙයුම් අවශ්‍ය කෙරේ. ඒ අනුව, නීත්‍යානුකුල අන්දමින්, නීත්‍යානුකූල ආයතනික පරිපාටියක් හරහා, පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, ‘මූල්‍ය අපරාධ පොලිස් විමර්ශන ඒකකයක්‘ පිහිටුවන ලදි. මේ ඒකකය මගින්, ප්‍රශ්න කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂව කැඳෙව්වේය. ඒ ප්‍රශ්න කිරීමට මුහුණදෙනු වෙනුවට ඔහු, තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ නියෝගයක් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය.

 

suwaris18

මේ ‘මූල්‍ය අපරාධ පොලිස් විමර්ශන ඒකකය‘ මගින් ගෝඨාභය රාජපක්ෂව ප්‍රශ්න කිරීම සඳහා කැඳෙව්වේ මන්ද යන ප්‍රශ්නය දැන් පැනනගී. ඔහුගෙන් පළිගැනීම හෝ ඔහුව දඩයම් කිරීම සඳහාද? සමහරු එසේ කියති. අපි එය සොයා බලමු.

2006 දෙසැම්බර් 3 වැනි දා ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පතේ ඉක්බාල් අත්තාස්, අපේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මිග් යානා 4 ක් මිළදී ගැනීම පිළිබඳ හෙළිදරව්වක් කෙළේය. ඊට සතියකට හෝ දෙකකට පසු, ‘සන්ඩේ ලීඩර්‘ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගත්, මේ කාරණය ගැනම ලීවේය. මේ හෙළිදරව්වට අනුව, අවුරුදු 11 කට අධික කාලයක් තිස්සේ පාවිච්චියට නොගෙන තිබූ, මිග් 27 වර්ගයේ යානා 4 ක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් මිළදී ගෙන තිබුණි. අළුත්වැඩියාවකින් තොරව පාවිච්චියට ගත නොහැකි මට්ටමේ තිබූ ඒ එක යානයක් සඳහා ලංකා ආණ්ඩුව ගෙවා තිබූ මිළ ඩොලර් මිලියන 2.46 කි. මේ යානා මිළදී ගෙන තිබුණේ යුක්රේනයෙනි. එහෙත් ඒ සඳහා ගෙවීම් කර තිබුණේ, ලන්ඩනයේ පිහිටි ‘බෙල්ලිමිස්ස හෝල්ඩින්‘ නැමැති සමාගමකටයි. මේ ගනුදෙනුව තුළ දූෂිත ස්වභාවයක් පෙනෙන්ට ඇතැයි ඉහත කී මාධ්‍යවේදියෝ එදා පෙන්වා දුන්හ. ඒ හෙළිදරව්වෙන් පසු, මරණ තර්ජන ඉදිරියේ ඉක්බාල් අත්තාස්ට රටින් පැන යන්ට සිදුවුණි. ඒ වාසනාව නොලත් ලසන්ත වික්‍රමතුංගව, මහ දවල්, කොළඹ අධි-ආරක්ෂිත කලාපයට අයත් මහ පාරකදී ඝාතනය කෙරුණි.

දැන් වර්තමානයට එන්න. 2006 දී එකී මිග් යානා 4 වෙනුවෙන් ඩොලර් මිලියන 10 කට ආසන්න එකී ගෙවීම කෙළේ යැයි එදා කී ‘බෙල්ලමිස්ස හෝල්ඩින්‘ නමින් වන සමාගමක් ලන්ඩන් නුවර කිසි දවසක තිබී නැති බව, මීට සති දෙකකට පෙර, ජාත්‍යන්තර පොලීසිය ලංකා ආණ්ඩුවට දැනුම් දුනි. හිටපු ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂව, ‘මූල්‍ය අපරාධ පොලිස් විමර්ශන ඒකකය‘ ඉදිරියට කැඳවා තිබුණේ ඒ ගැන ප්‍රශ්න කිරීමටයි. ජාත්‍යන්තර පොලීසිය දන්වා සිටින පරිදි එවැනි සමාගමක් කවදාවත් තිබී නැතිනම්, එහෙත් ලංකාවේ ජනතා මුදලින් ඩොලර් මිලියන 10 කට ආසන්න මුදලක් එවැනි හොර සමාගම් නාමයකට ගෙවා ඇත්නම්, ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නොනැවතී, හිරේ දැමීම සඳහාද පියවර ගත යුතුව තිබේ.

 

cc15

 

 

 

 

එහෙත් දැන් අපට ඇත්තේ ‘යහපාලනයේ‘ අධිකරණයකි. අද බලයේ සිටින නායකයා හෝ ආණ්ඩුව ඉස්සර සිටි නායකයා හෝ ආණ්ඩුව මෙන් තමන්ට අවශ්‍ය ‘තීන්දුව‘ කල්තියා අධිකරණයට දැනුම් දෙන්නේ නැත. අළුත් ‘යහපාලනය‘ යටතේ, විනිසුරුන් දැන් ‘නිදහස්‘ ය. පැය 24 ක් ඇතුළත පාර්ලිමේන්තුවේදී නඩු අසා, අගවිනිසුරුවරියන් ගෙදර යවන දෝෂාභියෝග බියෙන් ඔවුහූ දැන් අත්මිදී සිටිති. ඉතිං, තමන් ඉදිරියට පැමිණි ගෝඨාභය රාජපක්ෂව ලබන ඔක්තෝබර් 5 වැනි දා දක්වා අත්අඩංගුවට ගැනීම එම අධිකරණය මගින් තහනම් කෙළේය. එනම්, මාස 5 ක් වැනි දීර්ඝ කාලයක් යන තෙක්, ‘මූල්‍ය අපරාධ පොලිස් විමර්ශන ඒකකය‘ මගින් පමණක් නොව, වෙනත් කිසි ආයතනයක් මගින්වත් ඔහුව අත්අඩංගුවට ගැනීම සපුරා තහනම් ය. ඒ කුමක් සඳහා ද? ඔහුගේ ‘මානව හිමිකමක්‘ රැක දීම සඳහා ය. මානව හිමිකම් යනු, ‘බටහිර අධිරාජ්‍යවාදී සංකල්පයක්‘ බව, මීට මාස හතරකට කලින් මේ ගෝඨාභය රාජපක්ෂම අපට කියා දී තිබුණි.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂගේ ‘අයිතියට‘ අප විරුද්ධ නැත. එහෙත් එය ‘මානව හිමිකමකැ‘ යි අර්ථ ගන්වන්නේ නම්, අපට කිරීමට එක යෝජනාවක් තිබේ. විවිධ වැරදි යටතේ දවසකට ලංකාවේ අත්අඩංගුවට ගැනෙන පුරවැසියන් සංඛ්‍යාව කොපමණදැ යි අපි නොදනිමු. අඩු වශයෙන්, සිය ගණනක්වත් විය යුතු යැයි සිතමු. ඒ සියල්ලන්, ඉහත කී අධිකරණය ඉදිරියට ගොස්, තමන්ව අත්අඩංගුවට ගැනීම වාරණය කර දෙන ලෙස වහා ඉල්ලා සිටිය යුතුව තිබේ. මන්ද යත්, ගෝඨාභය රාජපක්ෂට ඇති ‘මානව අයිතිය‘ මේ රටේ වෙනත් ඕනෑම පුරවැසිකුටද තිබිය යුතු බැවිනි.

-ගාමිණී වියන්ගොඩ විසිනි-

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.