යාපනයේ සිංහල මහා විද්‍යාල ආරම්භ කිරීමේ සුදානමක්

වාර්ගික අර්බුදය හේතුවෙන් බිඳ වැටී ඇති උතුරු පළාතේ අධ්‍යාපන තත්ත්වය නගාසිටුවීමට හා වසා දමා ඇති යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ස්ථාපනය කිරීම සඳහා ගත හැකි පියවර සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ රාධ ක‍්‍රිෂ්ණන් මහතාට උපදෙස් ලබාදී තිබේ.

අග‍්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පසුගියදා උතුරු පළාතේ කළ සංචාරයකින් අනතුරුව උතුරේ අධ්‍යාපන තත්ත්වය බිඳ වැටී ඇති ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

මේ පිළිබඳ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ රාධ ක‍්‍රිෂ්ණන් මහතාගෙන් කළ විමසීමකදී ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව උතුරු පළාතේ බිඳ වැටී ඇති අධ්‍යාපන තත්ත්වය ගොඩනැගුම සඳහා සකස් කරනු ලබන වාර්තාවට උ7df65cdd7a0b1ffe9c0b0ea60ab6fdbc_L පූර්ණකාලීන අධ්‍යාපනයේ නිරත වීම සඳහා වැඩපිළිවෙළක් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඊට අමතරව උතුරු පළාත් අධ්‍යාපන පද්ධතියේ භෞතික පහසුකම් සංවර්ධනය කිරීම සහ ගුරුවරුන්ගේ ප‍්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව වර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බවද ප‍්‍රකාශ කළ රාධ ක‍්‍රිෂ්ණන් මහතා, මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ හා මධ්‍යම රජයේ සහය ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් ප‍්‍රකාශ කළේය.

 

 

 

 

 

ජාතික සමඟියේ කෙම් බිමක් වූ
යාපනය සිංහල මහා විද්‍යාලය

ඒ 1969 වසරේ මැදභාගයයි. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි මගේ සැමියාට යාපනය පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවක් ලැබී තිබිණි. නුහුරු නුපුරුදු දුර බැහැරක නිසා මා සිත සසල වුවද ඔහු එහි යෑමට තීරණය කළේය. යාපනය ප්‍රදේශයේ තොරතුරු සොයා බලා අප එහි රැගෙන යෑමට පසුව එන බව පැවැසූ ඔහු යාපනය බලා පිටත් විය.

අවිස්සාවේල්ල සාන්ත මරියා විදුහලෙහි සේවය කරමින් සිටි මම යාපනය සිංහල මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ඉල්ලා සිටියෙමි. මා පුදුමයට පත් කරමින් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ඊළඟ මාසයේ 1 වැනි දින සිට එම විද්‍යාලයට මාරුව ලබා ගතිමි.

අප වෙනුවෙන් නිවාසයක් ද ලබාගෙන සතියක් නිවාඩු දමා අප එහි රැගෙන යන්නට මගේ සැමියා පැමිණියේය. දුර බැහැර නිසාත් අප දරුවන් කුඩා නිසාත් එහි පදිංචියට යෑම ගැන අප වැඩිහිටියෝ එතරම් සතුටක් නොදැක් වූහ.

නියමිත දිනයේ අප මවුපිය වැඩිහිටියන් ගෙන් සමුගෙන දරුවන් සමඟ ගමන් ඇරැඹූයේ දෙනෙත් තෙත් කළ කඳුළෙන් යුතුවයි. ඔවුන් ගේ ආශිර්වාද හා සුබපැතුම් මැද රට හැර යන පිරිසක් ලෙස පිටත් වූයේ ද සියුම් හද රිදීමකින් යුතුවය.

 

 

 

උදේ 6ට පෙර කොටුව දුම්රිය පොළට ගිය අප රැගෙන යන්නට යාල්දේවිය පැමිණ සිටියාය. සෙනඟ තදබදය අතරින් දරුවන් සුරක්ෂිත කර ගනිමින් අපි එයට ගොඩවීමු. දෙවැනි පෙළ දුම්රිය මැදිරි තුළ එතරම් තදබදයක් නොවූයෙන් අපි සුව පහසුව අසුන් ගතිමු.

අපේ දඟකාර පුතුගේ දහසක් පැනයන්ට පිළිතුරු දෙමින් සිටියදී යාල් දේවිය සුපුරුදු ගමන් ඇරැඹුවාය. දුම්රියේ දී අප දරුවෝ කාර්ය බහුල වූහ. දුම්රිය ස්ථාන නම් කිරීමට හා ගණන් කිරීමට අපි යෝජනා කළෙමු. කඩල, රටකජු කමින් ගමන් කළ අප දරුවෝ පුදුම සතුටක් ලැබූහ.

ගුරු මණ්ඩලය

ගම් නියම්ගම් පසු කරමින් පෙරවරු 10 වන විට අපි අනුරාධපුරයට ළඟා වීමු. දුරට පෙනුණු විහාර දාගැබ් වැව් පොකුණු ගැන ඔවුන් දැනුම්වත් කරමින් සිටියදී යාල් දේවිය සුපුරුදු ගීයෙන් ගමන් ඇරැඹුවාය. අලි, කොටි, වලසුන් ගැන කතාකරමින් වන අඩවි පසු කළෙමු.

එදා ජන ජීවිතයට වැවයි දාගැබයි කොතරම් බලපා ඇත්දැයි අපට සිතිණ. කෙමෙන් කෙමෙන් පරිසරය වෙනස් වෙමින් මිටි පඳුරු වලිතලා කලපු දර්ශනය වන්නට විය.

එදා එතරම් ජනගහනයක් නොමැති වූ පරන්තන්, අලිමංකඩ, පලෙයි, කොඩිගාමම්, චාවකච්චේරි පසු කරමින් යාල්දේවිය අප රැගෙන ගියේ යාපනය දුම්රිය ස්ථානයටයි. ඇගේ සුපුරුදු ගීතය නවත්වා යාපනය පොළවේ පය ගසන්නට අවසර දුන්නාය.

”අපි දැන් යාපනේ කියමින් සිනාසෙමින් මගේ සැමියා මාත් අප හා පැමිණි සොයුරු සොයුරියන් ද සමඟ කුලී රියකට ගොඩ වැදී පොලිස් නිවාස වෙත ළඟා වීමු. ඔර්ලෝසු කණුව පසුකර යද්දී යාපනය පුස්තකාලය, රීගල් සිනමාහල, මහ තැපැල්හල, ඉදිරියෙන් වූ යාපනය ලන්දේසි කොටුව, යාපනය ක්‍රීඩාංගණය පසු කරමින් ‘පන්නෙ’පොලිස් නිවාස වෙත ළඟාවීමු.

පසුදා උදෑසන සේවයට වාර්තා කිරීම සඳහා මම සිංහල මහා විද්‍යාලයට ගියෙමි. ගුරු නිවාසයෙහි සිටි විදුහල්පති අම්පිටිය මහතා එම විදුහලේ ම උපගුරුවරියක ව සිටි බිරියට මා හඳුන්වා දුන්නේය.

ඉතා සුහද කතාබහෙන් ළෙන්ගතු වූ මා තේ කෝප්පයකින් ද සංග්‍රහ විඳ නිවසට ගියේ ඉතා සතුටිනි. පසුදින උදෑසන මගේ වැඩිමහල් දියණියත් සමඟ පාසල වෙත ගියේ ඉමහත් සතුටිනි.

මඟ දිගට අපට මුණගැසුණේ සිනාපිරි මුවින් යුතුව පාපැදිවල නැඟී පාසල් යන දරු දැරියන්ය. පාපැදිය සැමගේ ජනප්‍රිය වාහනයක් විය. යාපනය දෙමළ මධ්‍ය මහා විද්‍යාලය හා වම්බඩි බාලිකා විද්‍යාලය අසලින් ගමන් කර (O.L.R.) කතෝලික දෙව්මැදුර අසල පිහිටි සිංහල මහා විද්‍යාලයට පිවිසියෙමු. දරුවන් රැගෙන ආ මවුපියෝ විශාල පිරිසක් විදුහල් බිමෙහි වූහ.

 

 

 

විදුහල්පති කාර්යාලයට ගොස් සේවයට වාර්තා කළ මා විදුහල්පති අම්පිටිය මහතා විසින් ගුරු මණ්ඩලයට හඳුන්වා දුන්නේය. එය ඉතා සුහද හමුවක් විය. මා සිටින්නේ යාපනයේ කියා කිසිසේත් නොදැනිණි. තිස් පහක් හතළිහත් අතර වූ ගුරු මණ්ඩලයක් එහි වූහ. ස්වාමීන්වහන්සේ තෙනමක් ද ඒ අතර වූහ. උන්වහන්සේ සේවයට වැඩියේ යාපනය නාග විහාරයේ සිටය.

ගුරු මණ්ඩලය සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ජාතීන්ගෙන් සමන්විත විය. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගම්වලට අයත් අය වූහ. උපාධි, පුහුණු ගුරු ඉංග්‍රීසි, ගණිත, විද්‍යා විශේෂ පුහුණු, චිත්‍ර, නැටුම්, සංගීත යනුවෙන් කුසලතා පිරී ගුරු මණ්ඩලයකි. පොලිසියේ බන්ධනාගාරයේ උසස් නිලධාරීන්ගේ ද රජයේ උසස් නිලධාරීන්ගේ ද භාර්යාවෝ ගුරු මණ්ඩලයේ වූහ.

එහෙත් ඉතා නිහතමානී ව සුහද බවෙන් යුතුව සේවයෙහි යෙදුණාහ. එදා සිංහල මහා විද්‍යාලය ජාතික සමඟියේ කෙම්බිමක් විය. එකල පොලිසියේ සිටි උසස් නිලධාරීහු උගත්, බුද්ධිමත් පිරිසක් වූහ. කිසිදිනක තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා විනය පිළිබඳ අනිසි බලපෑම් නොකළහ. තම දරුවා හොඳින් ඉගෙන නොගන්නේ නම් කරදරකාරී ලෙස හැසිරෙන්නේ නම් දඬුවම් කරන්නැයි කීමට තරම් නිහතමානී වූහ.

පාසල් සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් යාපනයේ පදිංචි දෙමළ පවුල්වල අය වූහ. සමහරු දෙමළ – සිංහල, සිංහල – මුස්ලිම් වැනි මිශ්‍ර පවුල් වල දරුවෝ වූහ. 1 වැනි ශ්‍රේණිය මගේ පන්තිය විය. තිහක්, තිස්පහක් පමණ වූ දරු පිරිසක් එහි වූහ. වැඩි දෙනෙක් උසස් පොලිස් නිලධාරීන්ගේ දරුවෝ වූහ. දහසක් ප්‍රශ්න අසමින් ඇඟේ දැවටෙමින් දඟ කළ අයුරු මා සිත්ගති. පළමු දින ඔවුන් හඳුනා ගනිමින් සුහද කතා බහෙහි යෙදුණෙමි.

සමහරු කඩදාසි කුරුල්ලන් යැවූහ. සමහරු චිත්‍ර ඇන්දේය. සමහරු දඟ කළහ. ටික වේලාවකින් ඉතා සුහද වූ දරුවෝ නියමිත තැන්වල අසුන්ගෙන චිත්‍ර ඇඳීම හා පාට කිරීමෙහි යෙදුණා. පන්තියේ වැඩිදෙනෙක් දක්ෂයෝ වූහ.

අද ඒ දඟ පැටව් උසස් තැන්වල වැජඹෙමින් රට දැයට සේවයක් කරනු ඇත යනු මගේ විශ්වාසයයි. එ.ජා.ප. රජය පැවති කාලයේ කන්කසන්තුරයේ වරායකට මුල්ගල තබන්නට ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා හා චෙල්වනායගම් මහතා පැමිණි බැව් මතකය. සිංහල මහා විද්‍යාල සිසුවෝ පිළිගැනීමේ ගීය ගැයූහ.

ඉන්පසු බලයට පත් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ නව විදුහල්පතිවරයකු සිංහල මහා විද්‍යාලයට ලැබිණි. උද්යෝගයෙන් හා ක්‍රියාශීලීභාවයෙන් යුතු එදිරිවීර මහතා ඒ විදුහල්පතිවරයා විය. තරුණ වියෙහි සිටි එතුමා ගුරු මණ්ඩලය හා සහයෝගයෙන් පාසලේ දියුණුව සඳහා ක්‍රියාශීලී විය.

මා එහි යනවිට පන්ති කාමර 10කින් පමණ යුතු වූ දෙමහල් ගොඩනැඟිල්ලක් ද බාලාංශ සඳහා ගොඩනැඟිලි 2ක් ද ප්‍රාථමික පන්ති ගොඩනැඟිල්ලක් ද විය. එදිරිවීර මහතා ද නව ගොඩනැඟිල්ලක් අරැඹූ බව මතකය. 1 වැනි ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 2 බැගින් විය.

1970 දී සමස්ත ලංකා මලල ක්‍රීඩා උත්සවය පැවැතියේ ද යාපනය ක්‍රීඩාංගණයේ දී ය. විවිධ ප්‍රදේශවලින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් එයට සහභාගී වූහ. එහි ජාතික ගීය ගැයුවේද සිංහල මහා විද්‍යාලයීය දූ පුතුන්ය.

නාග විහාරය ද යාපනයට පැමිණෙන ජනතාවට සුව පහසු නවාතැන්පොළක් විය. වාර්ගික, ආගමික හෝ කවරාකාර භේදයකින් තොරව උන්වහන්සේ කළ සේවය අමිල ය. මාතර ප්‍රදේශයෙන් පැමිණි මහතෙක් එහි ව්‍යාපාරික ස්ථානයක් ද පවත්වාගෙන ගියේය. ඒ මහතා ගේ බිරිය ඉතා ප්‍රසන්න කාන්තාවක වූ අතර සිංහල මහා විද්‍යාලයේ ගුරුවරියක් ද වූවාය. සිංහල මහා විද්‍යාලීය ගුරු මණ්ඩලය ද විවිධ අංශයන් තුළින් සිසුනට දක්ෂතාව ලබාදීමට වෙහෙසුණහ. භාෂා තරගවලදී දෙමළ සිසුවෝ ද දක්ෂතා දැක්වූහ. සිංහල පවුල්වල දරුවෝ ද පරිසරය හා ගැටෙමින් දක්ෂ ලෙස දෙමළ කථා කළහ. කොතරම් සුන්දරද? ඒ කාලය.

පොලිසිය මුල් වී සිංහල සංස්කෘතික පෙරහරක් ද පැවැත්වූ ආකාරය ද සිහියට නැඟේ. පොලිස් ස්ථානයේ සිට නාග විහාරය දක්වා විවිධ හෙළ නැටුම් සහිත ව පැවැත්වූ ඒ පෙරහරට පොලිස් පවුල්වල සැම දෙනාත්, දෙමළ පවුල්වල අයත් සහභාගිවූහ.

එකල යාපනයට පැමිණෙන රජයේ උසස් නිලධාරීන් හා ආගමික නායකයෝ ද සිංහල මහා විද්‍යාලයට ගොඩ වැදී යෑමට අමතක නොකළහ.

අපි එහි සිටියදී නාගදීපය, කීරමලේ, කන්කසන්තුරේ වැනි ප්‍රදේශවලට ගියෙමු. අලිමංකඩ විශාලතම ලුණුලේවා හා රසායනික මධ්‍යස්ථානය නැරැඹීමට සිසුන් හා ගියෙමු. සතුටින් සැනසිල්ලේ දිවි ගෙවූ අප මුහුණ දුන් එකම භීෂණය වූයේ 1971 රජයට එරෙහිව ජේ.වී.පී. කැරලිකරුවන් දියත් කළ අසාර්ථක කැරැල්ලයි.

අප්‍රියෙල් 5 වැනි දින යාපනය ක්‍රීඩාංගණයේ පැවැති පාස්තු සංදර්ශනයක් නැරැඹීමට යෑමට අප සූදානම් වෙද්දී වැල්ලවාය පොලිසියට ජේ.වී.පී. ප්‍රහාරයක් එල්ල වූ බව ගුවන් විදුලියෙන් කියැවිණි. අප යාපනය ක්‍රීඩාංගණය වෙත යන අතර කොටු බැම්මේ මහජනතාවට නැරැඹීමට අවසර ඇති කොටසේ පාසල් සිසුන් යැයි සිතිය හැකි සුදුවතින් සැරසුණු තරුණ පිරිසක් ගී ගයමින් සිටියහ.

කොළඹ උසස් විදුහලක සිසුන් යයි පවසා සිංහල මහා විද්‍යාලයේ නැවතී සිට පොලිසියට පහර දුන්නේ ඒ පිරිසය. සංදර්ශනය අවසන් වීමටත් පෙර මගේ සැමියා දරුවන් හා මාද සමඟ ගෙදරට ගොස් කෑම කා නිදාගන්නැයි කියා ආපසු පොලිසියට ගියේය.

අප එන විට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ගිනි අවි ඇතිව හා නැතිව පොලිසිය හා ක්‍රීඩාංගණය අසල සැරිසරනු දක්නට ලැබිණ.

නිවසට පැමිණ දරුවන්ට කෑම කවා නිදන්නට සූදානම් වෙද්දී මීටර් 200ක් පමණ දුරින් පිහිටි කොටුව හා පොලිසිය දෙසින් වෙඩි හඬ ඇසිණි. කාන්තාවන් හා දරුවන් හැරුණ විට වැඩිහිටි පිරිමි කිසිවෙක් නිවෙස්වල නොවූහ.

තරුණ පිරිමි දරුවෝ නිවාස වෙත යමින් ‘විදුලිය නිවා දමා බිම නිදාගන්නැයි’ කියමින් අප දැනුම්වත් කළහ. සිදුවී ඇති දෙය අපට පැහැදිලි විය. අපි තම සැමියන් රැක දෙන ලෙස දෙවියන් යදිමින් කාලය ගතකළෙමු. දෙපැයකින් පමණ පොලිස් නිල රථයක් නිවාස වෙතට ළඟා විය.

 

හැමන්හිල්

 

යාපනය බන්ධනාගාරයේ සිටි කැරැලි නායක රෝහණ විජේවීර ගෙනයන්නට පැමිණි පිරිස පොලිසිය හා ගැටුණුු බව කියැවිණි. ආරක්ෂක නිලධාරීන් ගේ දක්ෂතාවය නිසා රෝහණ විජේවීර ගෙනයන්නට නොහැකි විය. සටනේ දී ගැටුණු හතර පස්දෙනෙක් මියගොස් සියයකට ආසන්න ඉතිරි සියල්ලන්ම අත්අඩංගුවට ගැනිණ. පසුව යාපනය අසල මුහුදේ පිහිටි ‘හැමන්හිල්’ නමැති සිරමැදිරියේ රඳවා පුනරුත්ථාපනය සඳහා යොමු කළ බැව් කියැවිණි.

එම සිද්ධියෙන් පසු දෙමළ ජනතාව පොලිසිය හා වඩා සුහද බවක් දැක්වූහ. එවකට යාපනය නගරාධිපතිව සිටි දොරෙඅප්පා මහතා ඝාතනය කිරීමේ ව්‍යර්ථවූ උත්සාහයක් ද අසන්නට ලැබිණි.

1972 වසරේ මැයි 22 වැනිදා ලංකාව ජනරජයක් විය. එදින රටපුරා උත්සව සංවිධානය කෙරිණ. යාපනය කච්චේරි භූමිභාගයේ රජයේ උත්සවය සංවිධානය කර තිබිණි. යාපනය වම්බඩි විද්‍යාල බාලිකාවන් හා සිංහල මහා විද්‍යාල බාලිකාවන්ට ජාතික ගීය සිංහලෙන් දෙමළෙන් එකවර ගැයීමට පුහුණු කරන ලද්දේ එවක සංගීත අධ්‍යක්ෂකව සිටි මකුලොලුව මහතා විසිනි.

උත්සවයට පෙරදින එය වර්ජනය නොකළොත් බෝම්බ ගසන බව දන්වන දැන්වීම් තාප්පවල තිබිණි. එහෙත් පසු දින උදෑසන පොලිස් ආරක්ෂාව මැද දරුවෝ හා ගුරුවරු එම ස්ථානයට ගියහ. කිසිදු බාධාවකින් තොරව උත්සවය නිමා විය. සිංහල – දෙමළ ප්‍රභූහු ද එයට සහභභාගි වූහ.

1972 අවසානයේ සිංහල මහා විද්‍යාලයේ ගුරුවරුන් කීපදෙනකු ස්ථාන මාරු ලබා තිබුණි. මම ද ඒ අතර වීමි. සිව් වසරක් සොයුරු පෙමින් දුක සැප බෙදා ගනිමින් ගතකළ සුහද සුන්දර යුගය සිහිපත් කරමින් ඉතා සංවේදී වීමු.

සිව්වසක් ඥාතීන් මෙන් දුකසැප බෙදා ගත් පොලිස් නිවාසීය සොයුරු සොයුරියන් ගෙන්ද සමුගනිමින්, යාපනය නිජ බිම කොට ජනිත වූ සම්පතක් වන පුංචි පුතු පැටියා ද සමඟින්, දරුවන් හා අප දෙදෙනා ඇසුරු කළ සැමට හා සෙවන දුන් තල් ගස් හා කොහොඹ ගස්වලට ආයුබෝවන් කියමින් යාපනය දුම්රිය පොළෙන් යාල් දේවියට තුරුලු වූයෙමු.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.