යුද්ධය නිමා වී වසර 09 කට පසු… : තල් වැට නිසා ගෙදර තිබුණු තැන සොයා ගත්තා

vavuniyaයුද්දෙ නිසා අපට 1990 දි පැන යන්න වුනා. ගිනිච්චෙ ඇදි වත විතරයි. අවුරුදු 10 කට පස්සෙ අපි එනකොට අපේ ඉඩම කියල අඳුරගන්න පුළුවන් වුනේ තැනින් තැන මායිමේ තිබුනෙ තල් වැට විතරයි.

යුද්ධයේ දීමිය ගිය වුන් සිහිකරනු ලැබූ පසුගිය සතිය ගෙවීයාමත් සමග යුද්ධයෙන් අනූනවයෙන් දිවි බේරාගත්, වව්නියාව පෙරියකුලම් පදිංචි වයස අවුරුදු 50ක් පමණ වූ නඩරාසා මහතා තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කලේ ඒ ආකාරයෙනි.

අපි ගේ තිබුනෙ යුද්දෙ අතරමැදි කළාපයක. අපි හිටියෙ යුද්දෙට මැදි වෙලා. එහා පැත්තෙ හමුදා කඳවුරු. අනිත් පැත්තෙ එල්ටීටීඊ කඳවුරු. ජීවිතය බේරා ගන්න අපි මුල්ලෙවයික්කාල් වලට පැන ගියා.

වව්නියාව දුම්රිය ස්ථානයෙන් බැස කිලෝමීටර් 6-7 ක් ගම තුලට ඇවිද ගොස් ඊච්චම්කුලම් පසුකරන විට හමුවන්නේ පෙරියකුලම් ගම්මානයයි. තවමත් වගා නොකෙරුණු ඉඩම්, තැනින් තැන බාගෙට ඉදිවන නිවාස, කිසිම මිනිස් වාසයක් නැතිව අතහැර ගිය කැලෑ පෙදෙස් පෙන්නුම් කරන්නේ මෙම ගම්මානය තවමත් දියුණු වෙන්නට වෙර දරණ බවකි.

යුද්ධය නිමා වී වසර 10 ක් ගතවී ඇත. මෙම ගම්මානවලින් පැන ගොස් දිවි ගලවා ගත් පිරිස් නැවත තම මුල් ඉඩම් කරා පැමිණ තිබේ. නමුත් තම පවුල්වල සිටි එක්කෙනෙකු හෝ දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු යුද්ධයෙන් මිය ගොස් ඇත. තවත් බොහෝ නිවෙස්වල දෙමාපියන් සිටින්නේ තනිවමය. දරුවන් විදේශ රටවල පදිංචි වී සිටී.

‘අපි අපේ දරුවන්ගේ පණ බේරන්න ඕන නිසා කොහොම හරි පිටරට යැව්වා. අපේ දරුවො තුන්දෙනා ඉන්නෙ කැනඩාවෙ, ප්‍රංශෙ සහ එංගලන්තෙ. ඒ අයට අපට එන්න කියනව. ඒ වුනාට අපි යන්නෙ කොහොමද අපි හිටිය තැන් අමතක කරලා. දැන් අපි දෙන්නා සතුටින් මෙහේ ඉන්නවා

අපි එනකොට මෙහේ මොකුත් ඉතුරුවෙලා තිබුනෙ නැහැ. තනිකරම කැලේ. අවුරුද්දක් ආණ්ඩුව අපට කන්න දුන්නා. ඒ අතර අපි වවන්න ගත්තා. මේ ගෙදර ඉන්දියානු රජයේ ආධාර වලින් තමයි හැදුවෙ.

අපට නම් දරුවෝ සල්ලි ටිකක් එව්වා. ඒවායින් ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම හදා ගත්තා. තවත් සමහරුන්ට USAID වලින් හරක් දුන්නා. තවත් සමහරුන්ට රාජ්‍ය නොවන සංවිධාන උදව් කළා.

මෙම ගමෙහි පවුල් 500 ක් පමණ ජීවත් වෙයි. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. වී, පළතුරු, සහ කුකුළන්, එළුවන් සහ හරකුන් ඇති කිරීම මගින් මෙම ජනතාව මුදල් උපයා ගනිති. එහෙත් තවමත් නිසි ආහාර වේලක් සඳහා දවස පුරා සටන් කරන බොහෝ පිරිසක් ගම තුළ ඇත.

පිරිසිදු ජලය ලබා ගැනීම, මාර්ග පිළිසකර කිරීම මෙන්ම දරුවන්ගේ පාසැල් සඳහා ගුරුවරුන් සහ අනිකුත් අවශ්‍ය යටිතල පහසුකම් ලබා ගැනීම මෙම ගමෙහි ජීවත්වන ජනතාවගේ අපේක්ෂාවයි.

කෙසේ වෙතත් වත්මන් තත්වය පිළිබඳව ඔවුන්ගේ අදහස ඉතා පැහැදිලිය.

‘දැන් අපි නිදහසේ ඉන්නවා. අපේ වැඩක් කරගෙන. කවුරුවත් ඇවිත් කරදර කරන්නෙ නෑනෙ’

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.