රගර් ක්‍රීඩකයාගේ මරණය ගැන විමර්ශන කඩිනම් වේ

රගර් ක්‍රීඩක ‘තජූඩීන්’ ඝාතනයේ ඡායාරූප රහස් පොලිසියට

 

 

 

තම මෝටර් රථය තුළ පිළිස්සී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩක මොහොමඩ් රෆීක් තජුඩීන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව හා ඊට අදාළ ඡායාරූප රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන ස්ථානාධිපතිවරයාට හා අධිකරණයට භාරදෙන ලෙස ඊයේ (13) අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව් දෙනෙකුට නියෝග කර තිබේ.

2012 වසරේ මැයි මස 17 වැනි දින රාත්‍රී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල තාප්පයක ගැටීමෙන් පිළිස්සී ඔහු සිය කාරය තුළ ජීවිතක්ෂයට පත්ව තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතු වී තිබෙන අතර එය ඝාතනයක් බවට සැක කෙරෙමින් තිබේ.

පැවැති රාජපක්ෂ පාලන සමයේ මෙම ඝාතනය සිදු කර එය හදිසි අනතුරකින් සිදු වූවක් බවට ප්‍රචාරය කර ඇති බවට අනාවරණය වන ආකරයේ තත්ත්වයක් ඇති කළ බවටද චෝදනා එල්ල වේ. මෙයට අමතරව තවත් වාර්තාවල පළවූයේ මෙම රග්බි ක්‍රීඩකයාගේ පෙම්වතිය රාජපක්ෂ ප්‍රබලයකු සතු කර ගැනීමට උත්සාහයක්ද තිබූ බවය.

28 හැවිරිදි මොහොමඩ් වසීම් තජුඩීන් පදිංචිව සිටියේ වැල්ලවත්තේය. ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තජුඩීන් පසු කලෙක ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ ජනප්‍රියතම ක්‍රීඩකයකු විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍ය මගින් විවිධ වාර්තා පළ කර තිබූ අතර ඉන් ඇතැම් ඒවාවලින් කියැවුණේ මෝටර් රථය තාප්පයේ ගැටී එය එකවරම ගිනිගෙන එහි සිටි තජුඩීන් මියගිය බව පොලිසිය කියා සිටි බවත්ය.

එතැනින් එහාට පොලිසිය මේ ගැන විමර්ශනයක්‌ කිරීමට උත්සාහ කළේ නොමැති බවද පැවසුනි. එහෙත් තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ඉතාම වැදගත් තොරතුරු රාශියක්‌ ලබා දුන් බවත් හිටපු මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්‍ෂ, තජුඩීන්ගේ සමීපතම මිතුරකු වූ බවත් වාර්තා කර තිබුණි. යෝෂිතගේ එවකට පෙම්වතිය වූ යසාරා අබේනායක ද තජුඩීන්ගේ හිතවතියක බව නොරහසක් බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකාගේ මිණිබිරිය වූ යසාරා එවකට රැකියාව කළේ යෝෂිත රාජපක්‍ෂට අයත් සී.එස්‌.එන්. රූපවාහිනී නාලිකවේ බවත්. ඇය එහි ඉහළ නිලයක්‌ දැරූ බවත් එකී වාර්තාවල පළ විය.

සිදු වූ අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ තජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි තම මිතුරකුගේ නිවසේ පැවැති පුංචි සාදයකට සහභාගි වූ බවත් 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා එම සාදය මධ්‍යම රාත්‍රිය පසුවන තුරුත් පැවතුණු බවත්ය.

සාදය අවසානයේ තජුඩීන් සිය නිවස බලා යන්නට පිටත් වී ඇති අතර පසුව තජුඩීන් ගේ පිළිස්‌සී ගිය සිරුර නාරාහේන්පිට මාර්ගයක්‌ අසල මෝටර් රථය තුළ තිබී හමු වී ඇත.

මෝටර් රථය තුළ පිළිස්‌සී අඟුරුවී ගිය තජුඩීන්ගේ සිරුර පොලිසිය සොයා ගත්තේ මැයි 17 වැනිදා අලුයම් කාලයේදී බවත් සඳහන්.

මේ අතර කිරුළපන පොලිසිය වෙත පැමිණි මගියෙකු මුදල් පසුම්බියක්‌ පොලිසිය වෙත භාර දී තිබූ බවද පැවසේ. ඒ පසුම්බිය තමන් අහුලා ගත්තේ කිරුළපන ප්‍රදේශයේ මාර්ගයක්‌ අසල වැටී තිබී බව මේ පුද්ගලයා පොලිසියට පවසා ඇති බවත් සඳහන්.

මේ මුදල් පසුම්බිය නාරාහේන්පිට දී පිළිස්‌සී මිය ගිය වසීම් තජුඩීන්ගේ බව හඳුනා ගත්තේ එහි තිබූ හැඳුනුම්පත සහ රියෑදුරු බලපත්‍රයෙන් බවත් එවකට වාර්තා විය.

තජුඩීන් රගර් ක්‍රීඩාවේ නිරතව සිටියදී දකුණු පාදයේ සිදුවූ බිඳීමක්‌ නිසා ඊට යකඩ තහඩුවක්‌ යොදා තිබුණි. මරණ පරීක්‍ෂණයේදී තජුඩීන්ගේ සිරුර හඳුනා ගැනෙන්නේ දකුණු පාදයේ තිබූ යකඩ තහඩුවෙන් බවත් වාර්තා විය.

තජුඩීන්ගේ සිරුර පිළිස්‌සී යැමට පෙර ඔහුට මාරාන්තික පහරදීම් සිදුකර තිබූ බව මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වී ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්විය.

වාහනය ගිනි ගන්නා අවස්‌ථාව වනවිට තජුඩීන් ආශ්වාස ප්‍රශ්වාස කරමින් සිටියේ නම් ඔහුගේ ශ්වසන පද්ධතිය තුළ කාබන් මොනොක්‌සයිඩ් වායුව තිබිය යුතු බවද එකී ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.