රණවිරු විජයග්‍රහණය හෑල්ලුවට

මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සමරමින් අද උතුරේ පහන් දැල්වෙන්නේ එල්ටීටීඊ ය වත්මන් රජයට කිසිදු බියක්‌ හා සැලකිල්ලක්‌ නොදැක්‌වීම නිසා බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

රට තුළ ක්‍රියාත්මක එල්ටීටීඊයේ කොටස්‌කරුවන් අද වත්මන් යහපාලනය ගණනකට නොගන්නා අතර සියලු දේ තුළින් පෙනෙන්නට තිබෙන්නේ යහපාලනයේ නොහැකියාව බවද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ (18 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

රටට නිදහස දිනා දුන් විජයග්‍රහණය සැමරීම වෙනුවට අද ආණ්‌ඩුව බෙදුම්වාදය නිමා කිරීම සමරන්නේ යෑයි සඳහන් කරමින් රණවිරු විජයග්‍රහණය හෑල්ලුවට ලක්‌කර තිබෙන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

 

උතුරේ එසේ මියගිය ත්‍රස්‌තයන්ට පහන් දැල්වෙද්දී මූල්‍ය අපරාධ කොට්‌ඨාසය නමැති දේශපාලන පොලිස්‌ ඒකකයේ පිහිටුවා ඇති ආණ්‌ඩුව විරුද්ධ දේශපාලන මතවාදීන් අත්අඩංගුවට ගනිමින් පළිගැනීම් කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

මේ දේශපාලන පළිගැනීම්වලට සම්බන්ධ සියලු දෙනාට අනාගතයේදී අනිවාර්යයෙන්ම වන්දි ගෙවීමට සිදුවන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

 

කොටි සමරුම තහනම් කරමින් මුලතිව් මහෙස්‌ත්‍රාත්වරයා දුන් නියෝගය කඩ කරමින් උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ඊයේ (18 දා) මුල්ලිවයික්‌කාල්හිදී කොටි සමරුවක්‌ පවත්වා ඇත.

මුල්ලිවයික්‌කාල්හිදී විග්නේශ්වරන් ඇතුළු පිරිස පහන් දල්වා තිබේ.

මෙම සැමරුමට පැමිණෙන ලෙස මහ ඇමැතිවරයා විසින් උතුරේ සියලු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කර තිබිණි.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශාලාවට රැස්‌වූ සිසුන් හා ගුරුවරුන් පහන් දල්වා කොටි සමරා ඇත.

යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි පරමේශ්වරන් කෝවිලේ ද කොටි සැමරීමේ පූජාවක්‌ පවත්වා තිබේ.

මෙම විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල භූමියේ කළු කොඩි ඔසවා තිබූ බව ආරක්‍ෂක අංශ දක්‌වයි.

මේ සම්බන්ධයෙන් දෙමල ජනතාව කියා සිටින්නේ තමන්ට මියගිය නෑසියන් ගේ මරණ සිහිපත් කිරීමට සාධාරණ අයිතියක් තිබෙන බවයි.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.