රනිල්ට දැක්මක් තිබේද?

රනිල් වික්‍රමසිංහ දැඩි මාධ්‍ය ප්‍රේමියෙක් නොවෙයි එහෙත් ඔහු සැහෙන තරම් වේලාවක් හිරු රූපවාහිනිය සමග ගත කළේය.

රට පෙරට ගෙනයාමට අගමැතිවරයාට ඇති වැඩපිළිවෙල කුමක්දැයි දැන ගැනීමට දැන් අපට අවස්ථාවක් ලැබී තිබේ.

 

 

 

 

 

image009

 

පළමු කොටස

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු සහභාගී වූ පළමුවැනි රූපවාහිනී සාකච්ඡාව හිරු ටීවී ‘රට සහ හෙට‘ වැඩසටහන අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. එම සම්මුඛ සාකච්ඡාව සුදේව හෙට්ටිආරච්චි මහතා ‍මෙහෙයවීය.

ප්‍ර.

අග්‍රාමාත්‍යතුමනි, ආයුබෝවන්!

පි.

ආයුබෝවන්! ජනාධිපතිවරණයෙන් පස්සේ මේක තමයි මම සහභාගීවන පළමුවැනි මාධ්‍ය සාකච්ඡාව.

ප්‍ර.

සැබැවින්ම, ජනාධිපතිවරණයෙන් පසුව ගරු අග්‍රමාත්‍යතුමන් පළමුවරට රූප මාධ්‍යයක් ඔස්සේ ඔබ මුණ ගැසෙන්නේ හිරු ඔස්සේ. ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමන් අග්‍රමාත්‍ය පදවියට පත්වන්නේ තුන්වැනි වතාවට මෙවර. අග්‍රාමාත්‍ය පදවිය ඔබට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. මේ පදවිය පිළිබඳව මොකද හිතෙන්නේ?

පි.

පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ අගමැතිට. එතුමගේ පක්ෂයට බහුතරය තියෙනවා නැත්නම් බහුතරය පාලනය කරන්න පුළුවන්. ඒ බහුතරය ලබාගෙන විධායකය යොමු කරන්න තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය හරි අගමැතිතුමාට තමයි විශේෂ කාර්යයක් තියෙන්නේ ප්‍රංශ ක්‍රමයේ පාර්ලිමේන්තුවෙන් ඒ පාලනය ගෙනියන්න. කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පාර්ලිමේන්තුවට වගකියන්න. ඉතින් එහෙම පසුබිමක තමයි ක්‍රියාකරල මගෙ පළපුරුද්ද තියෙන්නේ. පළමුවැනි සැරේ මම මෙතෙන්ට ආවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ ඝාතනයෙන් ඇතිවුණු අලුත්ම තත්ත්වෙන්. දෙවනුව මම මෙතැනට ආවේ ආර්ථිකය කඩා වැටීම නිසා ඒ වගේම යුද්දෙන් අපි පසුබැහැලා තිබුණා. ඒ තත්ත්වයෙන් බේරා ගන්න. මේ සැරේ මම ඇවිල්ලා තියෙන්නේ මේ රටේ ජනතාවට සහනය දීලා යහ පාලනයක් ඇති කරලා පවුල් පාලනය නැති කරලා එක එක ජන කොටස් ආගම් හා ජාතීන් එකතු කරගන්න. ඒ වැඩකටයුත්තට තමයි ජනාධිපතුමත්, මමත් මේ ඇමැති මණ්ඩලයත් කැප වෙලා ඉන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලා සමහර පක්ෂ අපට සහයෝගය දුන්නා. දැන් අනික් පක්ෂත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් සහයෝගය දෙනවා කියලා ඒක අයවැයේදී පෙන්නුවා. ඉතින් අපිට මේ සැරේ අලුත් ක්‍රමයක් ආරම්භ කරන්නත් ඒ වගේම අලුත් අභියෝගවලට මුහුණ දෙන්නත් තිබෙන අවස්ථාව. එහෙම අවස්ථාවකදී ඒ අභියෝග බාර ගන්න මමත් ඒ කැබිනට් මණ්ඩලයත් ලෑස්තියි. ඒ වගේම මේ අලුත් දේශපාලන සංකල්පයේ ක්‍රියාකරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ජනාධිපතිතුමත්, අපි සියලු දෙනාමත් කැපවෙලා සිටිනවා.

 

[vsw id=”/VYp5nTvImco?list=PLiOvpj8s6yfDBebhHBAdQ52AkiuEedeDj” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

ප්‍ර.

දැන් ජනාධිපතිතුමන් මේ තනතුරට පත් කරන්නට මේ පදවියට පත් කරන්නට ප්‍රධාන වෙච්චි පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයත් සමග තව පක්ෂ කිහිපයක් ඒ වගේම සිවිල් සංවිධාන කිහිපයක් එකතුවුණා මේ ජනාධිපති පදවිය අලුතින් ඇති කරන්න මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිධූරයට පත් කරන්න. දැන් බැලූ බැල්මට මේ තුළ පෙනුනේ රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීම සඳහා තමයි මේ පිරිස එකතුවුණේ කියන එක. එය පමණක්මද මූලික අරමුණ වුණේ එය පමණක්මද?

පි.

අපේ මූලික වැඩසටහන හැටියට අපි ඉලක්ක කරගත්තේ රාජපක්ෂ රෙජිමය නැතිකරන්න. ඒක ඇත්ත වශයෙන්ම මේ රටේ ඒකාධිපතිවාදයත්, පවුල්වාදයත්, දූෂණයත් නැති කරන්න. එතැන ඉඳන් මේ රටේ ජනතාවට දවස් 100 ක වැඩසටහනක් ක්‍රියාත්මක කරල සහන ලබල දෙන්න. ඒ සහන ලබල දුන්නයින් පස්සේ අපි ඡන්දෙකට යන්න. ව්‍යවස්ථා සංශෝධනය කරල ඒ ඡන්දෙට ගියාම ජනතාවට අවස්ථාව දෙන්න තමන් කැමති පක්ෂ වලට ඡන්දෙ දෙන්න තමන් කැමති අපේක්ෂකයන්ට මනාප දෙන්න. එහෙම සැදුම්ලත් පාර්ලිමේන්තුවකින් ජාතික ආණ්ඩුවක් ඇති කරන්නයි අපි දැනට ඉලක්ක කරගෙන තියෙන්නේ.

ප්‍ර.

එතකොට දැන් මේ ඉලක්කය මත පටන් ගත්ත මේ ආණ්ඩුව පිළිබඳව වර්තමානය වනවිට ඔබතුමා තෘප්තිමත්ද?

පි.

ඔව්. දැන් අපි පටන්ගෙන තියෙනවා අපේ දවස් 100 වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඇත්ත වශයෙන්ම අපි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ ජනවාරි 15 අපි දිවුරුම් දුන්නයින් පස්සේ ශුද්ධවූ පාප්තුමාගෙ ගමන තිබුණා. ඒක අවසන් වුණේ ජනවාරි 15. දැන් මාසයයි. ඇත්ත වශයෙන්ම බැලුවාම මේ කාලය තුළදී එකක් මේ රටේ ජනතාවට අද නිදහසේ ජීවත්වෙන්න පුළුවන්. ඕනම කරුණක් ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. සති දෙකක් යන්න කලින් අපිට පුළුවන් වුණා ජනතාවට සහන ලබාදෙන්න. අලුත් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරල අනික් පක්ෂ එක්ක දැන් සාකච්ඡා ආරම්භ කරල තියෙනවා. මේ රටට තිබුණ තව විශාල ප්‍රශ්නයක් තමයි යුරෝපීය සංගමයෙන් ධීවර නිෂ්පාදන ගැනීම තහනම් කරල තිබුණා.  අපි දැනට සාකච්ඡා කරගෙන යනවා. ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කළාම අන්න ඒ තහනමත් අපිට ඉවත් කරගන්න පුළුවන් වෙනවා ඊළඟ මාස කිහිපය තුළදී. ඒ වගේම මේ රටේ දූෂණය ගැන සොයා බලන්න වෙනම යාන්ත්‍රණයක් අපි ආරම්භ කරල තියෙනවා. මේ රට අනික් රටවල් එක්ක තියෙන මිත්‍ර සම්බන්ධතාවය යළිත් ඇති කරගෙන යනවා. ඇමෙරිකාව එක්ක, යුරෝපය එක්ක, ඉන්දියාව එක්ක ඒ එක්කම චීනය වගේ රටවල් එක්කත් අපේ සම්බන්ධතාවය ආරක්ෂා කරල ඒ සියල්ලම ඉදිරියට ගෙනයනවා. මේ සියල්ලම සති 4 කින් අපි කරල තියෙනවා. මං හිතන්නෙ ඒක සෑහිමකට පත්වෙන්න පුළුවන්. දැන් නිදාගන්න වෙලාව දිහා බැලුවම සමහරවිට මං හිතන්නේ අපිට පැය 4ක් 5කට වඩා නිදාගන්න බැරිවුණා පළවැනි සති දෙකේදි.

ප්‍ර.

ඒ කියන්නේ ඔබතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අතිශයින්ම කාර්යබහුල වෙලා කියන කාරණයද කියන්නේ?

පි.

දැන් ටිකක් ඒවත් අඩුවෙලා තියෙනවා. පෙබරවාරි මාසේ අන්තිම වෙනකොට මේ සියල්ලම ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඊට පස්සෙ කොහොමත් මං හිතන්නේ මාර්තු වෙනකොට හැම එක්කෙනාම ඡන්දවලට ලෑස්තිවෙයි. මැයි අන්තිමේ නැත්නම් ජූනි මාසෙ ඒ ඡන්දෙ තියයි.

ප්‍ර.

අපි ඡන්ද ගැන පසුවට කථාකරමු. ඒ පිළිබඳව බොහො දෑ කථා කරන්න තියෙනවා. නමුත් දැන් මේ ආණ්ඩුව පිළිබඳව ජනතාවට එතරම් අත්දැකීමක් නැහැ. අපි එවැනි වචනයක් පාවිච්චි කරමු. අත්දැකීමක් නැහැ. ජනාධිපතිතුමා එක පැත්තක. ඒ වගේම අගමැතිතුමා තව පැත්තක. ඒ වගේම මේ සියල්ලක් එකතු වෙලා යන්නෙ. පක්ෂ ගණනාවක් එකතුවෙවී යන්නෙ. දැන් බොහෝ විට ඔබතුමා සහ ඒ වගේම ජනාධිපතිතුමත් කියල තිබුණ මේ අලුත් තත්ත්වය පිළිබඳව නමුත් මේ දේශපාලන ක්‍රමවේදය තවම තියෙන්නෙ බොහොම ළදරු අවධියක. මෙය පරිණත භාවයට පත් කරගන්න හැකිවේවිද මේ කාලය තුළ?

පි.

දවස් 100න් දවස් 30 ක් විතර පහුවුණානම් ළදරු කාලෙ ඉවරයි. මේක අලුත් ක්‍රමයක් අපිත් බලන්නේ කොහොමද මේක සාර්ථක කරන්නෙ කියල. දැනට අපිට මේ වැඩකටයුත්ත කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. හැම එක්කෙනාම එකතු කරගෙන සාකච්ඡා කරගෙන යන්නෙ. මං උත්සාහ දරන්නේ පළවැනි දවස් 100 ඒ වගේම ක්‍රියාත්මක කරන්න. අපේ ව්‍යවස්ථා සංශෝධන ඒ වගේම සම්මත කරගන්න. දූෂණය ගැන සොයා බැලීමේ යන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි කරුණු 100 ක් එක්ක. මේක අපි ඔක්කොම එකට එකතුවෙලා වැඩකරන්නේ. එකට එකතුවෙලා සාකච්ඡා කරන්නෙ. ඒකෙ දැනට තියෙනවා හොඳ ප්‍රවණතාවයක්. ඒත් ඒ වගේම හුඟක් අයට මේකට හුරු වෙන්න තියෙනවා. අපේ පැත්තෙනුත් අනික් පක්ෂ‍ වලිනුත්. ඉතින් මේක මට පේන හැටියට මූලික අත්හදා බැලීමේ අවස්ථාව. අපි හැම එක්කෙනාම කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ.

ප්‍ර.

මම මේ කාරණය මතුකළොත්. දැන් ළදරු අවධියේ තියෙන කාලය පසුකළා කියන කාරණය ඔබතුමා සඳහන් කළා. නමුත් දැන් පරිණත වෙන්න වෙන්න මේ තුළ ප්‍රශ්නාර්ථයන් මතුවීමේ ඉඩක් නැද්ද අගමැතිතුමනි?

පි.

ප්‍රශ්න තියෙයි එන්න. මොකක්ද අපි කරන්නේ? අපි බලන්නේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ ඉඳන් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු ක්‍රමයට යන්න. ඇමැතිවරු 27 ක් ඉන්නවා ඒ ගොල්ලෝ නියෝජනය කරන්නේ රටවල් 27ක්. ඒ රාජ්‍ය නායකයින් ආණ්ඩුවේ නායකයින් 27 දෙනා එකතුවෙලා එක්කෙනෙක්ව අගමැති කරනවා. යුරෝපීය පාර්ලිමේන්තුවට සම්පූර්ණ කණ්ඩායම එයා ඇමැතිකම් දුන්නයින් පස්සේ අනුමත කරන්න පුළුවන්. නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. හැම එක්කෙනාම එක පක්ෂෙකට අයිති නැහැ. යුරෝපීය පාර්ලිමේන්තුව රටවල් හැටියටත් ප්‍රධානයි. පක්ෂ හැටියට. පීපල්ස් පාර්ටි. ඒ කියන්නේ එක කණ්ඩායමක්. දක්ෂිණාංශික, මධ්‍යම කණ්ඩායමක්. ෂෝෂල් ඩිමොක්‍රසි කියල කණ්ඩායම් වලට බෙදිල තියෙනවා. එකඟතාවයන් අරගන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු කොමිටි තුළින්. එක එක විෂයන් ආවම ඒ ඒ කණ්ඩායම්වලට අයිති අය එතැනට රැස්වෙලා සභාපති ඇමැති නෙමෙයි වෙන එක්කෙනෙක් මේ යෝජනා ගැන සාකච්ඡා කරනවා. පනත් ගැන සාකච්ඡා කරලා ඒ ගොල්ලන්ගේ අදහස් දෙනවා. ඒ අනුව තමයි ඇමැති මණ්ඩලය තමන්ගේ අදහස් සංශෝධනය කරන්නේ. අපිත් බලන්නේ ශක්තිමත් කමිටු ක්‍රමයක් ඇති කරන්න. ඊළඟ පාර්ලිමේන්තුවේදි. ඒ කමිටු වලින් පුළුවන් මේ එකඟතාවය අරගන්න.

ප්‍ර.

මේ කාරණා ශාක්ෂාත් කරගැනීමට යාමේදී අභියෝගයක් හැටියට ඔබතුමා දකින්නේ මොකක්ද ප්‍රධාන වශයෙන්?

පි.

නැහැ ලොකුම අභියෝගය වන්නේ අපි කොහොමද ඉස්සෙල්ලා මුණ ගැහෙන්නේ කියලා. මං හිතන්නේ දැනට ඒ වැඩකටයුත්ත වෙලා තියෙනවා. ඉවසීමයි පළපුරුද්දයි තමයි තියෙන අභියෝග දෙක මට පේන හැටියට. අලුත් එකක් අපි ක්‍රියාත්මක කරන්න ඕන. විධායක ජනාධිපතිකම ගෙනාවමත් අපි සමහරවිට බැලුවා මොකක්ද මේ අලුත් ක්‍රමය කියලා. 1947 අගමැති ක්‍රමය, කැබිනට් ක්‍රමය ගෙනාවම ඩොනමෝර් ක්‍රමයෙන් ඈත් වුණාම ඉතින් ලංකාව ආපහු අලුත් ක්‍රමයක් බලන්න ඉන්නේ. ක්‍රියාත්මක කරන්න ඊළඟට. ඒක ව්‍යවස්ථාවකින් හදන්න බැහැ. අපේ ලොකුම අභියෝගය එහෙමනම් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට කැපවීම. ඒක වෙනස් කිරීම.

ප්‍ර.

ඒ සංස්කෘතිය මේ වනවිට වෙනස්වෙලා තිබෙන්නේ?

පි.

තව වෙනස් කරගන්න තියෙනවා. මේ ආරම්භය විතරයි. එක අතකින් මේක අලුත්. යුරෝපීය පාර්ලිමේන්තුවේ කොහොමද ක්‍රියාත්මක කළේ කියලා ජනතාව අහයි. මොකක්ද මේ කරන්නේ? අනික් අතට බැලුවොත් හුඟක් පැරණියි. අපි මේක පදනම් කරගෙන තියෙන්නේ බුදුරජාණන්වහන්සේ ලිච්ඡවී රාජ්‍යයන්ට දුන්නු උපදේශ. සාමයෙන් රැස්වෙන්න, සාමයෙන් සාකච්ඡා කරන්න, සාමයෙන් විසුරුවා හරින්න. එහෙම කළොත් වැඩකටයුතු කරගන්න පුළුවන් කියලා. බුදුරජාණන්වහන්සේ කියනවා ඔක්කොම එක මතයේ ඉන්න කියලා. එක විදියට ඡන්දෙ දෙන්න කියලා. සාමයෙන් මිත්‍රත්වයෙන් වැඩකටයුතු කරන්න කියලා. එතකොට අනික් අයගේ අදහස්වලට ගරු කරන්න පුළුවන්. අපිට තේරෙනවා ඇයි ඒ අය මීට වඩා විරුද්ධ ස්ථාවරයක් ගන්නේ හැබැයි බලනවා කොහොමද අපි ඔක්කොම මැදට එන්නේ. මං හිතන්නේ හුඟක් දුරට මේ ක්‍රමය සාර්ථක කරන්න නම් එදා ලිච්ඡවි රජ දරුවන්ට දුන්නු උපදෙස අපි පිළිපැදල කොහොමද අද ඒක ක්‍රියාත්මක කරන්නේ කියල බලන්න ඕන. මොකද මේ රට දියුණු වෙනවා නම් අපි ඔක්කොම එකතුවෙලා අඩුගානේ අවුරුදු 5 ක් හරි දෙන්න ඕන මේ රට නැගල එන්න. ඊට පස්සේ පුළුවන් දේශපාලනයට යන්න. කොයි දේශපාලනයද? ලංකාවෙ වාගේ අන්තයකට ගිය පක්ෂ දේශපාලනයද, නැත්නම් එංගලන්තේ ජපානේ ඔය රටවල්වල තියෙනවා වාගෙ ඡන්දෙට එනවා විවිධ මත අරගෙන ඊට පස්සේ යම්කිසි රාමුවක් තුළ තමයි ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒ ප්‍රශ්නවලට රට මුහුණ දෙන්න ඕන. ඒකයි අපි මේක ඉදිරියට ගෙනත් තියෙන්නේ. ඔබ තීරණය කරන්න මේ ක්‍රමය ඕනද නැද්ද? අපි ඔක්කොම එකතුවෙලා රට හදනන්න ඕනද? අවුරුදු 5 ක් බලනවාද? එතකොට අපිට පුළුවන් නැතිවුණ ඒ කාලය හදාගන්න. නැතිනම් තාම අපි ගහගන්න යනවාද? ඒ තීරණය ජනතාව ඡන්ද පොළේදි අරගෙන ඒ අනුව ඒ වරම දෙන්න.

ප්‍ර.

ගරු අග්‍රාමාත්‍යතුමනි අප මැතිවරණ කාලයට පොඩ්ඩක් යමු. මැතිවරණ කාලයේදී විපක්ෂ වේදිකාවේ ඔබතුමන්ලා ප්‍රමුඛ කණ්ඩායමේ වේදිකාවේ බොහෝ විට සඳහන් වුණේ මේ පසුගිය ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව විසින් වේදිකාවේ කියැවුණේ රාජපක්ෂ රෙජීමය කියලා. රාජපක්ෂ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වුණැයි කියන වංචා සහ දූෂණ පිළිබඳව. ඒ වගේම ජනතාවට යම් මතයකුත් ඇති කළා මේ පිළිබඳව වහා ක්‍රියාත්මක වෙනවා දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලා. නමුත් ජනතාවට දැන් යම් ප්‍රශ්නාර්ථයක් මතුවෙලා තියෙනවා ඒ කියපු දේවල් සිද්ධවෙනවද නැද්ද කියන කාරණය ?

පි.

සිද්ධ වෙනවා. එකක් කියන්න ඕන. අපි ඉස්සෙල්ලම අපේ අවධානයට යොමු කළේ පළවැනි සති දෙකේදී ජනතාවට සහන ලබල දෙන්න. දැන් අපි යන්ත්‍රණයක් ඇති කරල තියෙනවා. ඒ යන්ත්‍රණය තමයි ප්‍රධාන වංචා, මූල්‍ය අපරාධ හා දූෂණය පිළිබඳ ලේකම් කාර්යාලය. මේ කරුණු ඔක්කොම අරගෙන ඒ ගැන විභාග කරල සමහර ඒවා අල්ලස් හා දූෂණ කොමිසමට බාර දෙනවා ඒවා විභාග කරන්න සමහර ඒවා පොලිසියට දෙනවා. ඒ අනික් ප්‍රධාන ඒවා මේ ලේකම් කාර්යාලයෙන් විශේෂයෙන්ම විභාග කරන්න යනවා. ඒක ඇති කරන්නත් අපිට දවස් 10 ක් විතර ගියා. නීතිපති දෙපාර්තමේන්තුවෙනුත් පොලිසියෙනුත් ඉන්නවා. මීට අමතරව මූල්‍ය කටයුතු ගැන පසුබිමක් තියෙන ගණකාධිකාරිවරුන් හා අනික් අයත් මේකට උවමනායි. දැන් ඒක ඇතිකරගෙන යන ගමන් මංගල සමරවීර ඇමැතිතුමා ඇමෙරිකාවට ගිහින් ඇමෙරිකන් ආණ්ඩුව මුණ ගැහිලා ඇමරිකන් ආණ්ඩුවේ අධිකරණ දෙපාර්තමේන්තුවේ ආධාර ඉල්ලුව මේ ගැන හොයන්න. මොකද විශේෂයෙන්ම ලෝකේ ඩොලර් නෝට්ටුවල ගනුදෙනු සියල්ලම නිව්යෝර්ක්වල එතැන සඳහන් වෙනවා. තවත් කරුණු ගණනාවක් එහෙ තියෙනවා. ඒ වගේම ලෝක බැංකුවෙ දූෂණ අංශයත් මුණ ගැහිලා ඒකෙත් ආධාර ලබාගෙන තියෙනවා. එන සතියේ විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා එංගලන්තයට ගියාම විශේෂයෙන්ම ප්‍රධාන වංචා කාර්යාලයෙත් සහයෝගය ඉල්ලා ගන්නවා. අපේ මහ බැංකුවේ අධිපතිතුමා ඉන්දියාවෙ මහ බැංකුවට ලියනවා ඒ අයටත් අදාළ තොරතුරු හොයලා දෙන්න කියලා. ඉතින් මං හිතන්නේ අලුත් යන්ත්‍රණයක් ඇතිකරගෙන එන්නේ. දැනටමත් කරුණු 5 ක් 6 ක් ගැන සාක්කි ලැබිල තියෙනවා. ඉතින් මේ විභාගය පටන් ගෙන අපි එකක් කිව්වා නීතිය අනුව මේක විභාග කරන්න. නිකන් කඩාගෙන ගිහින් මිනිස්සු අල්ලගන්න යන්න එපා. මාධ්‍යයට පේන්නන්න අල්ල ගන්න යන්න එපා. ඒත් අපි දන්නවා මේවා වෙලා තියෙනවා මෙතන සාක්කි තියෙනවා. සාක්කි තියෙන තැන නීතියට අනුව වැඩ කරන්න ඒකෙන් පැනල වැඩකටයුතු කරන්න එපා කියලා.

ප්‍ර.

අගමැතිතුමා කිව්වා මාධ්‍යයට පේන්නට මේවා කරන්න එපා කියලා. නමුත් පසුගිය කාලෙ මතයක් ආවා මාධ්‍ය සංදර්ශන පමණක්මද කියලා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඉදිරිපිට හැමදාම පිරිස් එනවා. නිරන්තරයෙන් යනවා. මේක මාධ්‍ය සංදර්ශනයක් පමණක්මද කියන ප්‍රශ්නාර්ථයක් ජනතාවට ආවා?

පි.

ඉතින් දැන් මේ ලේකම් කාර්යාලය ආරම්භ කරල තියෙන්නේ සංදර්ශනයක් නොවෙන්න. එක එක අය කථා කරන්න පුළුවන් මෙතන දූෂණය තියෙනවා අතන දූෂණය තියෙනවා කියලා. හරි ඒවා අපි පිළිගන්නවා. හොයල බලල මේ ගැන ඉදිරියට යනවා කියලා අපිට කියන්න පුළුවන් මේ ලේකම් කාර්යාලයෙන් කීවාම. දූෂණ තියෙනවා ගණනාවක් මට පෙනෙන හැටියට. අඩු ගණනේ 150-200 ක් වත් මේ කාර්යාලයේ වැඩකටයුතු කරන්න සිදු වෙනවා හරියට මේවා විභාග කරන්න.

ප්‍ර.

මේ ආණ්ඩුව පත්වෙලා දවස් කිහිපයයි. මාසෙකුත් දවස් කිහිපයක් ගතවෙලා තියෙන්නේ. නමුත් ඔය කියන ආකාරයට ගරු අගමැතිතුමනි ඇතැම් රාජ්‍ය ආයතනවල මේ වෙනකොට නිලධාරීන් පත් කරල නැහැ. ප්‍රධානීන් පත් කරල නැහැ. යම් යම් තැන් අකර්මන්‍යයයි. එතකොට පරස්පරයක් මතුවෙනවා නේද මේ කියන කාරණා දවස් 100 තුළ කරගන්න පුළුවන්වෙයිද කියලා?

පි.

ඒ දවස් 100 ට උවමනා ආයතන ක්‍රියාත්මක කරගෙන යනවා. සමහර ආයතනවලට කවුද සුදුසු කියල අපි තාම සෝදිසි කරනවා. මොකද මේක පළමුවෙන්ම අපි භාරකාර ආණ්ඩුවක් හැටියට ඒ භාරගත්ත දවස් 100 වැඩසටහනට තමයි යොමු කරල තියෙන්නේ. අනික් ආණ්ඩුවල පළවැනි මාසෙදි ඔක්කොම පත් කළා. වැඩකටයුතු පටන් ගත්තේ ඊට පස්සේ. අපි අනික් පැත්තට. අපි වැඩකටයුතු ආරම්භ කරල තමයි ඊළඟට මේ කාරණාවලට බැහැල තියෙන්නේ. මම හිටියේ 77 ආණ්ඩුවේ. මම දන්නවා ඒක අපිට ක්‍රියාත්මක කරන්න මාසයකට වඩා ගියා. රොනී ද මැල් ඇමැතිතුමා අයවැයක් ගෙනාවම තමයි අපේ පළවැනි පියවර හැටියට පෙනුනේ. ඊළඟ මාස දෙක තුනේදී අපි පියවර ගණනාවක් අපේ නීති ගණනාවක් සම්මත කර ගත්තා. අද අපි 15 වැනිදා ආරම්භ කරලා මාසෙ අවසන් වෙන්න ඉස්සරලා පොරොන්දුවුණු පරිදි අය වැය ගෙනැල්ලා ඒ සහන ලබලා දුන්නා. දැන් අපට තියෙනවා මේ සහන ජනතාවට යනවද කියල බලන්න. ඒ සඳහා වෙනම ජීවන වියදම පිළිබඳ කොමිටියක් තියෙනවා.

ප්‍ර.

සමාවෙන්න, මම ප්‍රශ්නයක් මතුකරන්න හිතුවා අගමැතිතුමනි, දැන් ජනතාව පැත්තෙන් චෝදනාවක් නැගෙනවා ඒ කියපු සහන අපේ අතට ඇවිල්ලා නැහැ කියන කාරණය?

පි.

සමහර ඒවා ඇවිල්ලා තියෙනවා. සමහර ඒවා නැහැ කියල කියනවා. බලන්න ඕන. ඒකයි කැබිනට් කොමිටියක් තියාගෙන ඉන්නේ මේවා ක්‍රියාත්මක කරන්න. අනික් අතට අපෙන් පරිප්පු ගැන ඇහුවා. ඇත්ත වශයෙන්ම පරිප්පුවල අඩුකරන්න තව දෙයක් තිබුණේ නැහැ. අපි මේ සඳහා භාණ්ඩ 10 ක් වුණාට ඊට වඩා වැඩියෙන් ඇතුළු කරලා දුන්නා.  තෙල් මිල අඩු කරන එකෙන් තමයි විශාලම වාසිය හම්බුණේ. සමහරු හාල් මිල ගැන අහනවා. ඒත් අපි හාල් මිල අඩු කළොත් ඒක ගොවියාට වැදෙනවා. ගොවියගෙ ආදායමත් වැඩිවෙන්න ඕන ග්‍රාමීය ආර්ථිකය නගින්න. උඩරට බලනවා නම් අල ගොවීන් ඒ වගේම කිරි ගොවීන්ට රුපියල් 10 ක් වැඩිපුර දීල තියෙනවා. ඒත් මතක තියාගන්න අනික් හැම එකේම අපි බඩු මිල අඩුකරල තියෙන්නේ. මේ ග්‍රාමීය ආර්ථිකය වැඩි වුණාම ග්‍රාමීය ආර්ථිකයේ වෙළඳාම වැඩිවුණාම ඒකේ වාසියත් එන්නේ නගරබද ආර්ථිකයට. ඉතින් මේ දෙකම එකතුකරගෙන අපි යන්න ඉන්නේ. සිංහල අවුරුදු එනකොට ඒක විශේෂයෙන්ම පෙනෙයි. අපි රජයේ අංශයේ දීමනා දීල තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, ඉල්ලලා තියෙනවා පුද්ගලික අංශයටත් එහෙම කරන්න කියලා අපේ අධිකරණ හා කම්කරු ඇමැතිතුමා දැන් වැටුප් පාලක සභා සියල්ලම කැඳවලා තියෙනවා ඒ අයගෙන් ඒ වාර්තා ලබාගන්න.

ප්‍ර.

අපි 2001 ට යමු. ඔබ දෙවැනි වරට අග්‍රාමාත්‍ය පදවියට පත්වන්නේ 2001 වසරේදී. සඳහන් වුණේ භාර ගත්තේ ඍණ ආර්ථිකයක් සහිත රටක් කියන කාරණය. නමුත් 2004 දි නැවත ආණ්ඩුව බාරදෙන කොට ධන ආර්ථිකයක් බවට පත් කරලා ඔබ බාරදෙන්නේ. මෙවර ඔබ බාරගත්තේ මොන වගේ ආර්ථිකයක් තියෙන රටක්ද?

පි.

මේ සැරේ බාරගත්තේ උගස් කරල තිබුණ ආර්ථිකයක්. මම හිතන්නේ පිටරටවලට විශේෂයෙන්ම, විදේශ ආයෝජකයින්ට, වෙනත් රටවල්වලට, වෙනත් බැංකුවලට. සාමාන්‍යයෙන් බැලුවොත් පරම්පරා තුනක් විතර ඕන මේක ගෙවන්න. අපිට ග්‍රීසියක් වෙන්නත් බැහැ. ඒත් මේ රට සංවර්ධන කළොත් ඊළඟ දශකයට ඉස්සෙල්ලා අපිට මේ ණය ගෙවල ඉදිරියට යන්න පුළුවන්. එක අතකින් පටි තද කරගන්නේ නැතිව කොහොමද ණය ගෙවන්නේ කියල බලන්න පුළුවන්. ඒකයි අපි ආරම්භ කරල තියෙන්නේ. එහෙනම් මේ සැරේ ගත්ත අභියෝගය එක පැත්තකින් සම්පූර්ණයෙන්ම ණය වුණු ආර්ථිකයක්. අනික් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටුණු දේශපාලන ක්‍රමයක්. ඒ වගේම දූෂණය රජ කරපු සමාජ ක්‍රමයක්. දැන් ඒ අභියෝග තුන තමයි මේ සැරේ මුහුණ දෙන්න තියෙන්නේ. අපි ඔක්කොම අලුත් ලංකාවක් හදන්න කැපවෙලා ඉන්නේ. ඒකයි මේ සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඒ වගේම සන්ධානයෙත් අපි සහයෝගය ඉල්ලුවේ. විශේෂයෙන්ම මේ වැඩකටයුත්ත ගෙනියන්න. අතීතය ගැන අපිට වාද කරන්න පුළුවන්. ඕනනම් අපි පාර්ලිමේන්තුවේ වාද කරමු. ඒත් එතැනට සීමා නොකර අපි වර්තමානය අනාගතය ගැන හිතල මේ රට හදමු කියලා. අන්න ඒ අවස්ථාව ගැන තමයි මම විශේෂයෙන්ම කථා කළේ.

ප්‍ර.

ඔබේ ආණ්ඩුවේ අනාගත ආර්ථික ඉලක්කය කුමක්ද?

පි.

අපේ අනාගත ආර්ථිකයේ ඉලක්කය තමයි මේ ඡන්දෙන් පස්සේ ප්‍රධාන වශයෙන් රැකියා ලක්ෂ 10 ක් බිහි කරන්නත් ජනතාවගේ ආදායම දෙගුණයක් කරන්නත් මේ ණය බර අඩුකරන්නත්. ඒක කරන්න අපි ඔක්කොම සංවර්ධන මාවතක යන්න ඕන. කොහොමද අපේ කර්මාන්ත දියුණු කරන්නේ? කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ? අනික් සේවා අංශ දියුණු කරන්නේ? මීට වඩා අපි කොහොමද තරඟකාරී වෙන්නේ? ඒ වැඩකටයුත්ත කරන්නේ ස්වල්ප දෙනෙක්ට පොහොසත් වෙන්න නෙමෙයි. ඒකෙ භුක්තිය හැම එක්කෙනාම විඳින්න ඕන. ඒ භුක්තිය විඳලා තමයි අපි ඉදිරියට යන්න පුළුවන්. අපිට මේ රටට ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරන්න ඕන. මොකක්ද ජනතාවට උවමනාව. හොඳින් ජීවත්වෙන්න, හොඳ ජීවිතයක් ගෙනියන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබල දෙන්න. රැකියාවක් ලබල දෙන්න. හොඳට විශ්‍රාම ගන්න. නීතිය සාමය තියෙන ඒවා අපි හදන්න ඕන. මේ රටේ තිබුණ එක කාලයක්. ඒක නැති වුණා. දැන් අපි ඒවා ඇතිකරන්න ආපහු ක්‍රියාත්මක වෙනවා.

ප්‍ර.

අගමැතිතුමනි දැන් ඕනම ආණ්ඩුවක් බලයට පත්වෙච්චි විගස කියන බොහොම පැහැදිලි කාරණයක් තමයි ඔය කාරණය. ජනතාවගේ අතට මුදල් එන ආර්ථිකයක් හදන්න ඕන. ජනතාවට නිදහසේ ජීවත්වෙන වටපිටාවක් හදන්න ඕන. නමුත් ඔහොම කියල ටික දවසක් යනකොට ඔය කාරණා වෙනස් වෙනවා. මේ ආණ්ඩුවත් එහෙම වෙයිද?

පි.

මම දෙපාරක් අගමැති වුණා. ඒවා වෙනස් වුණේ නැහැ. නිදහස තිබුණා. ආර්ථිකය දියුණු වුණා. අධ්‍යාපනය දියුණු වුණා. මේ සැරෙත් ඒක කරන්න ඉන්නේ.

 

Prime minister ranil wickramsinha spells out future plan for sri lanka

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.