“රෑ අහස” ප්‍රසාංගික සන්ධ්‍යාව මාර්තු මස 26

downloadravisss

සම්මානනීය තුරුණු ගේය පද රචක රවී සිරිවර්ධනගේ තුන්වන සංයුක්ත තැටිය “රෑ අහස” ජනගත කිරීමේ ප්‍රසාංගික සන්ධ්‍යාව මාර්තු මස 26 වන දා සවස 3.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ. 2009 වසරේ දී ඔහු විසින් එළි දක්වන ලද “වසත් කාලය මනරම්” හා “මිලේනියම් පෙම්වතුන්” යන සංයුක්ත තැටි යුගලයෙන් පසු ගෙවුණු නිහඬතාවය බිඳ යළි ඔහු සහෘද රසිකයන් හමුවට පැමිණෙයි.

ඒකට හේතුව තමයි අපේ රටෙන් සංස්කෘතික ජිවිතය දුරස් කර තිබීම. ඒ වෙනුවට මේ රටේ ක්‍රියාත්මක වුණේ සම්පූර්ණයෙන්ම මිලදී ගන්න සංස්කෘතියක්. විකුණන්න පුළුවන් නම් එය තමයි උත්කර්ෂයට නැඟුණේ. එතැන වෙන්නේ ගනුදෙනුවක්. ගනුදෙනුව ඇතු‍ළේ වුණත් ශිෂ්ට සම්පන්න මිනිස්සු හැදෙන්නෙ නෑ වටිනාකම්වලින් පිරිපුන් වුණු මිනිස්සු නැත්නම්.

“පසුගිය කාලේ මේ සමාජයේ මාධ්‍ය අත්පත් කරගෙන හිටියේ කලාකාරයෝ කියා ගත්ත ව්‍යාපාරිකයෝ ටික දෙනෙක්. ඒ අයට මේ සමාජය සම්බන්ධ වගකීමක් තිබුණේ නෑ. ඒ අයගෙ එකම අරමුණ වුණේ තමන්ගෙ වාණිජ අරමුණු විතරයි. එම නිසා මේ සමාජයේ හුස්ම ගන්න හඬ මේ අයට ඇහුණෙ නෑ. මේ සමාජයේ හදවතේ සැබෑ ස්පන්දනය ඒ අයට ඇහුණෙ නෑ. ඒ නිසා අපට දැන් අවශ්‍ය වෙනවා මේ කලා සංස්කෘතික ව්‍යාපාරය ඇතුළේ නව යුගයක් හදන්න. එය යහපාලනයේ කොටසක්. වෙන් කළ නොහැකි අංගයක්.”

• මෙහිදී ප්‍රධාන වෙන්නේ අපට අහිමි වූ සංස්කෘතික ජීවිතය යළි ලබා ගැනීම නොවේ ද…?

“ඔව්, එනිසා නව රජයෙන් අපි ඉල්ලා සිටින ප්‍රධාන දේ තමයි අපිට අහිමි කරන ලද සංස්කෘතික ජීවිතය යළි ලබා දෙන්න කියන දේ. ඒ සඳහා එක් උදාහරණයක් සඳහන් කරන්නම්. අපි දැක්කා පසුගිය කාලේ සමහර ගායකයො අපේ මිනිස්සුන්ට කරපු අතවර, බස් එකක යන්න බෑ. ගෙදර රූපවාහිනි ආලින්දයට එන්න බෑ. පාරක තොටක යන්න බෑ. මෙරට රස වින්දනය බරපතළ ලෙස අතවරයට ලක් කරපු ගායන සංස්කෘතියක් සහ ගායකයො පිරිසක් හැදුණා මේ අය බස් රියේ හිරවෙලා තදවෙලා යන මිනිස්සු ඒ අපහසුතාවට අමතරව සංගීතය නිසා වෙනම අතවරයකට ලක්වුණා. වෙනම හිංසාවට ලක්වුණා. පොදු ප්‍රවාහන මගී බස්රථවල සම්පූර්ණයෙන්ම වාදනය වන්නේ අතිශයින්ම කර්ණ කඨෝර සංගීතයක්. මේ අතවරය නොවිඳි කිසිවකු හෝ අප රටේ සිටිය නොහැකියි. මෙවැනි අතවරයන් ගෙන් අපව ගලවාගන්න නම් අපට අහිමි කළ සංස්කෘතික ජීවිතය නැවත තැබිය යුතුයි.”

• ඔබ පවසන්නේ සංස්කෘතික ජීවිතය උදෙසා සුභාවිත සංගීතයට වැඩි තැනක් ලබා දිය යුතු බැව් ද…?

“එහෙම තමයි. සුභාවිත සංගීතය කුඩා කල හොඳින් අත්වින්ද පරම්පරාව තමයි අපි. අපි දණගෑවේ උදේ පාන්දර මධුර දේශභිමානී ගී ඇහුණු යුගයක. දවල් වෙනකොට දවසේ කාල පරාසය අනුව මනෝ විද්‍යාත්මක පදනමකින් ගී අහපු යුගයක් පහුකරගෙනයි අපි ආවේ. එහෙම ආපු අපිට උදේ පාන්දර ලේ කෝප වෙන ගීත තමයි දැන් ඇහෙන්නෙ. මේ රටේ දරුවො එහි නිවට ගොදුරක්. අද දක්ෂ තරුණ ගායකයෙකුට මේ රටේ ප්‍රධාන විද්‍යුත් නාළිකාවකින් ගීතයක් ප්‍රචාරය කරගන්න බෑ. පැකේජ් එකට යන්න ඕන. ඒකට මිලක් ගෙවන්න ඕන. මිලක් ගෙවන්න පුළුවන්නම් ඕනම ශ්‍රැති භංග ගායකයෙකුට මේ රටේ ඕන කුණුහරුපයක් ගුවන් විදුලි තරංග අතරට යවන්න පුළුවන්. එහෙම ගායකයො තමයි පසුගිය කාලෙ ඇවිත් කිව්වේ රට හදන්න එන්න කියල. එනිසා අපි පැහැදිලිවම කියනවා රටේ ආදරණීය මිනිස්සු, සාමූහිකව හිතන මිනිස්සු නිර්මාණය කරන්න නම් සුභාවිත කලාව වහාම සුරක්ෂිත කළ යුතුයි. එවන් කලාවකට පමණයි සමාජය කෙරෙහි ආදරයෙන් බලන මිනිසුන් නිර්මාණය කළ හැක්කේ. ඒ සඳහා සංස්කෘතික අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුයි. පාලක පක්ෂයට ඡන්දෙදි උදව් කරාම ඒ වෙනුවෙන් ලැබුණු තෑග්ග තමයි මාධ්‍ය ආයතනයක් ආරම්භ කරන්න ලයිසන් එකක් දෙන එක. මේ වගේ හේතු පදනම් කරගෙන මාධ්‍ය ආයතනයක් පටන් ගන්න ලයිසන් ලැබෙන තත්ත්වයක් නම් තිබෙන්නෙ එය මහා අභාග්‍යසම්පන්න තත්ත්වයක්. මාධ්‍ය ආයතනයක් කියන්නේ රටක මර්මස්ථානයක්. මිනිස්සුන්ගෙ සංස්කෘතියක ජීවිතය ආරක්ෂා කිරීමේ කාර්යභාරයේ ප්‍රධානම තැනක් තමයි මාධ්‍ය ආයතනයක් කියලා කියන්නේ. රටක මාධ්‍ය ආයතනයක් හැම වෙලාවෙම ජනතාවට වඩා ඉදිරියෙන් සිටිමින් ජනතාවට පෙර මඟ එළිය සැපයිය යුතු තැනක්.”

[vsw id=”/J0LYinAUIrg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

• අප රටේ මාධ්‍ය ආයතන බොහෝ දුරට මේ වන විට එම වගකීම ඉටු කරනවා නේද…?

“ඒ අපි පහුගිය කාලෙ දැක්කෙ ව්‍යාපාරිකයො හිතුමතේ මාධ්‍යාතන ආරම්භ කරලා තමන්ගේ වූ පෞද්ගලික න්‍යාය පත්‍ර ඇතුළේ මේ රටේ සංස්කෘතික ජිවිතය බරපතළ අනතුරකට ඇදලා දානවා. රාජ්‍ය මාධ්‍ය හිටියෙත් ඒ ගොහොරු මඩේ ම තමයි. එමඟින් තරුණ පරම්පරාවේ දක්ෂ ගායකයෝ, ගීත රචකයෝ, සංගීතයේ බරපතළ විදියට අතවරයට ලක් වුණා. කොන් වීමකට ලක්වුණා. මෙරට සුභාවිත කලාවට මරණ වරෙන්තු ලැබෙන තත්ත්වයකට පත් වුණා. එනිසා පහුගිය යුගයේ අපේ රටේ ඉතාම මධුර කටහඩවල් තිබුණු ගායකයන්ට ගෙවල්වලට වෙලා ඉන්න සිද්ධ වුණා. අද වෙනකොට කැසට් නිෂ්පාදන ආයතන සම්පූර්ණයෙන්ම වහල තියෙන්නෙ. අද තමන්ගෙ අතින් වියදම් කරන් සංයුක්ත තැටියක් කරනවා ඇරෙන්න කිසිම ගායකයෙකුට අනුග්‍රහය ගන්න ආයතනයක් නෑ. එය බරපතළ ඛේදවාචකයක්. නිෂ්පාදන ආයතන තියෙනවා, ඒ තියෙන්නෙ සුභාවිත සංගීතය විකෘති කරපු බලවේගවලට පමණයි. ඔවුන්ට විතරයි වෙළෙඳපොළක් තියෙන්නෙත්. මාධ්‍ය අයිති කරගෙන ඉන්නෙත් එම පිරිස.”

• සංගීත ක්ෂේත්‍රයෙන් බැහැරව සැලකුවොත් තත්ත්වය කෙබඳු ද…?

“මේ රටේ කුමන ක්ෂේත්‍රය ගැන සලකා බැලුවත් තත්ත්වය බරපතළ ඛේදවාචකයක්ම තමයි. ටෙලි නාට්‍ය සංස්කෘතිය ගත්තොත් අද ආලින්දයට එන ටෙලි නාට්‍ය සම්පූර්ණයෙන්ම ලොකේෂන් එකේ (රූගත කෙරෙන ස්ථානයේ) ඉඳගෙනයි පිටපත ලියන්නෙ. එලෙස පිටපත් ලියන අය හැදුණා. ‘දඬුබස්නාමානය’ – ‘දියකැට පහණ’ – ‘කඩුල්ල’ – ‘කඩවර’ වැනි නාට්‍ය බලපු අපට අද බලන්න වෙලා තියෙන්නෙ ලොකේෂන් එකේ ඉඳලා කුරුටු ගාන පිටපත් රචකයන්ගේ ටෙලි නාට්‍ය. ලංකාවේ ටෙලි නාට්‍ය ආලින්දය මුළුමනින්ම මේ වනකොට විනාශ කරලා තියෙන්නෙ. එමෙන්ම ලංකාවේ ගුවන් විදුලි තරංගත් මුළුමනින්ම දූෂණය කරලයි තියෙන්නෙ. ප්‍රතිභාපූර්ණ නව පරපුර සම්පූර්ණයෙන්ම නොසලකා කටයුතු කළ මාධ්‍ය සුභාවිත කලාවට වින කටින පිරිසක් තමයි ඇති දැඩි කළේ. එනිසා දැන් යහපාලනය නම් රජයේ තේමාවට අනුව ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. එයට හේතුව තමයි සංස්කෘතික මිනිසා නිර්මාණය නොකර ගොඩනැගිය හැකි සංහිදියාවක් නෑ. මෙහි ජීවත් විය යුත්තේ එකිනෙකාට ගරු කරන වින්දනයක් සහිත මිනිස්සු.”

• සංස්කෘතික මිනිසා නිර්මාණය කිරිමට නම් සියලු කලා ක්ෂේත්‍රයන්ට “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්” අවශ්‍ය වෙයි.

“ඇත්ත. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් වහාම මේ රටට අවශ්‍යයි. අපි දැක්කා 70 දශකයේ ගුවන් විදුලි ගීතයක් රසිකයාට යන්න කලින් ඒ ගිතයේ පද රචනාව ගැන අධීක්ෂණයක් තිබුණා. සංගීත නිර්මාණය ශ්‍රැතියට අනුව ගායනා කරනවා ද යන්න අධීක්ෂණය වුණා. ශ්‍රාවකයාට යා යුත්තේ ශ්‍රාවකයාගේ රසවින්දනය ඔසවා තබන නිර්මාණයක් මිස ශ්‍රාවකයා පහත හෙළන නිර්මාණයක් නෙවෙයි. එබඳු වගකිව යුතු පරම්පරාවක් අපිට හිටියා. එදා රූපවාහිනිය ඉස්සරහට ආවේ ප්‍රේමකීර්ති ද අල්විස් වගේ මිනිස්සු. එච්. එම්. ගුණසේකර, පාලිත පෙරේරා, සමන් අතාවුදහෙට්ටි, බුද්ධදාස විතානච්චි වගේ අය. ඔවුන් මාධ්‍ය සම්බන්ධයෙන් ඇසූ පිරූ තැන් ඇති අය. නිර්මාණ සම්බන්ධයෙන් රස වින්දනයක් තිබුණු අය. මේ ලිබරල් මාධ්‍ය හරහා අද එන්නේ කිසිඳු පරිචයක් නැති කියවීමක් නැති ළාමක මිනිස්සු. මේ අයට පුළුවන් ද රටක සංස්කෘතික ජීවිතය පෝෂණය කරන්න. එනිසා අපි ඉන්නෙ ලොකු අර්බුදයක. අපි දැක්කා කලාකාරයො සෑහෙන්න හිටපු ආණ්ඩුවක් තමයි පහුගිය ආණ්ඩුව. ඒ ආණ්ඩුවෙන් සුභාවිත කලාවට උන්හිටි තැන් නැති වුණා. අපි මේ රටේ සංස්කෘතික ඇමැතිවරයාගෙන් සහ ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් වගකීමෙන් යුතුව මෙසේ ඉල්ලා සිටිනවා. මේ රටේ ප්‍රධාන තේමාව ‘යහපාලනය’ නම් එහි අනුල්ලංඝනීය අංගයක් තමයි සංස්කෘතික ජිවිතය ආරක්ෂා කිරීම. එම නිසා අප්‍රමාදව අපට අපේ සංස්කෘතිය ජිවිතය ආරක්ෂා කර දෙන්න.”රසදුන

 

Ravi siriwardhana’s night sky March 26th.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.