රුසියානු හැකරුවා රටින් පැන්නේ කොහොමද?

bank-hackerමේ වසරේ මුල් භාගයේදී වැලිගම පොලිසිය විසින් රුසියානු ජාතික කළු සල්ලි ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගත් විට තානාපති කාර්යාල බෙහෙවින් කලබල විය . ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා පෙනී සිටි අතර සැකකරුට ඇප ලැබුනි .

මහාධිකරණයේදී ඇප ලබා ගැනීමෙන් පසු මෙරට පෞද්ගලික රෝහලක සහ එතරම් පිරිසක් නොගැවසෙන හෝටලයක නවාතැන් ගෙන රටින් පැන ගත්තේය .

මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු දැනගත් මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට භාරදෙන මෙන් ඉල්ලා තිබේ. ඒ දෙරට අතර අත්සන් තබා ඇති උදර්පණ පනතේ කරුණු ප්‍රකාරවය. විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, ඇමෙරිකානු තානාපති කාර්යාලය අවස්ථා ගණනාවකදී අදාළ රුසියානු ජාතිකයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ, ඔහු ඇමෙරිකානු භූමියේදී අපරාධ රාශියකට සම්බන්ධ වී ඇතිබව සඳහන් කරමිනි.

රුසියානු ඔත්තු සේවය වන GRU හී ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගොර් කොරෝබෝව්, රුසියානු සයිබර් අපරාධකරුවන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව පැවසේ. අදාළ අපරාධකරු ෆෙඩරල් පර්යේෂණ කාර්යාංශයේ ( එෆ්.බී.අයි.) අවශ්‍යතා ලැයිස්තුවේ ( මොස්ට් වොන්ටඩ් ලිස්ට්) සිටින ප්‍රධාන පුද්ගලයෙකු බව, ඇමෙරිකානු තානාපති කාර්යලය මෙරට ඇතැම් බලධාරීන්ට දැනුම් දී ඇතිබව සඳහන් වේ. නමුත්, පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ මූලාශ්‍ර සඳහන් කරන පරිදි එවැනි කාරණයක් ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට ආරක්ෂක බලධාරීන්ට ඉදිරිපත් කොට නැති නමුත්, ඔහු එරට සිදු වූ මිනී මැරීම් කිහිපයකට සම්බන්ධ බව පමණක් සඳහන් කොට ඇත.

මෙම පුද්ගලයා 2016 නොවැම්බර් මාසයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කළ ප්‍රධාන පුද්ගලයින්ගෙන් අයෙකු බව ඇමරිකානු තානාපති කාර්යාලයේ බලධාරීන් පවසා ඇත . ඔහුගේ ගමන් බලපත්‍රයේ ඇති නාමය වන ෆරින් මනොකින් ගැන තොරතුරු විමසීමේදී අන්තර්ජාල පිටු අතර මතු වන්නේ, ඔහු ලංකාවේදී අත්අඩංගුවට පත් වූ බව සහ ඔහුගේ පැනයෑම පමණි. ඇමෙරිකානු තානාපති කාර්යාලය, නැතහොත් එෆ්.බී.අයි. සංවිධානය මෙම පුද්ගලයාට සම්බන්ධ තොරතුරු වසන් කළා විය හැක .

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කරනු ලැබූ රුසියානු ජාතික පරිඝණක විශේෂඥයින් අතර ප්‍රධානියෙකු වන්නේ නම් ඔහු එසේ මෙසේ පුද්ගලයෙකු විය නොහැකිය යන්න සාමන්‍යය දැනුම පිළිබඳ කාරණයකි. එසේම, ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට භාරදෙන ලෙස කළ ඉල්ලීමෙන් පෙනී යන්නේ හෙතම සාමන්‍යය පුද්ගලයෙකු නොවන බවයි. එපමණක් නොව, රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් අදාල පුද්ගලයා බේරා ගැනීම වෙනුවෙන් ඍජුව පෙනී සිටීම සහ ඔහුට ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කිරීමෙන් පෙනී යන්නේද, අදාළ පුද්ගලයා ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යය පුද්ගලයෙකු බවයි. දැන් ගැටළුව වන්නේ මේ තරම් අත්‍යවශ්‍යය පුද්ගලයෙකු රටින් පැනගියේ කෙසේද යන්නයි .

රුසියාවට පැනයාමට ඉඩදීමට හවුල් වුවන් කවුද යන ප්‍රශ්නය මතුවේ . එක් පාර්ශවයකට අනුව, අදාළ අපරාධකරුවා බෝට්ටුවකින් පලා යන්නේ මෙම මාසයේ පළමු සතියේදීය. අනෙක් පාර්ශවයට අනුව, ඔහු මෙරට ගුවන්තොටුපලෙන් පැනයන්නේ රාජ්‍යය ආරක්ෂාව යටතේය. කවර ආකරයකට පැන ගියත් ඇමරිකාව නිසොල්මන්ව .සිටිනු නොමැත .

මෙම පුද්ගලයා එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්ගේ නම්, පොලීසිය ය අල්ලාගෙන ඇත්තේ ලෝකයටම අවශ්‍යය වී සිටින පුද්ගලයෙකි. ඔහු ගැන තොරතුරු ලබා දෙන්නෙකුට ලබා දීමට නියමිත ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන තුනකි. තිස්හතර වියැති එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු රුසියානු ආණ්ඩුව සමඟ නොනිලව කටයුතු කරන පරිඝණක හැකරුවෙකි .

2011 දී එෆ්.බී.අයි. සංවිධානය පරීක්‍ෂණ ආරම්භ කළ එක් ප්‍රධාන කාරණයක් වූයේ සීයුස් ට්‍රෝජන් හෙවත් ගේම් ඕවර් සේයුස් නමැති වෛරසය විසින් කරනු ලැබූ බලපෑමයි. එය මිලියනකට වඩා වැඩි පරිඝණක සංඛ්‍යාවකට බලපෑම් එල්ල විය. අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරනු ලබන කිසිම සේයාරුවක් මෙරට නොමැති අතර ඔහු සම්බන්ධව පැවති සේයාරූ කුමන හෝ හේතුවක් නිසා අතුරුදන් වී ඇතිබව නොනිල ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

මෙවැනි තත්වයක් යටතේ, ඇමෙරිකානු බලධාරීන් තමන්ට භාරදෙන ලෙස ඉල්ලා සිටි මෙරටදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයා කෙසේ හෝ තම රටට රැගෙන යෑමට කටයුතු කිරීම සඳහා ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් සිදුවූ බව ප්‍රතික්ෂේප කළ හැකිද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.