රුසියාවේදී ජීවිතය අතහැරුන මිහිර

 

උස්‌ මහත්වූ කළුතර පළාතොට පිහිටි නිවසෙහි වූ මිහිරියාව හොරු රැගෙන ගියා සේය. මිහිරගේ මව වන දීපිකා අමරතුංගගේ දැසෙහි උනන අනන්ත කඳුළු ඉකිබිඳිමින් පහළට ගලන්නේ තමන් වෙත තම නිවස වෙත ‘මිහිර’ කැන්දූ මිහිර අහිමිව ගිය සොව දරාගත නොහැකි බැවින් විය යුතුය. මිහිරගේ පියා වන එච්. ඡේ. විඡේරාමගේ හදෙහි බරැති සුසුමන් ඉපදුණේද මිහිර අහිමිව ගිය දුකටය. මිහිර උවිඳු විඡේරාම වෛද්‍ය ශිෂ්‍යයකු වන අතර ඔහු අධ්‍යාපනය ලබමින් සිට ඇත්තේ රුසියාවේ මොස්‌කව් නුවර පිහිටි ජාතික වෛද්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසර ශිෂ්‍යයකු ලෙසය. ලොව මිහිරිතම සෙනෙහස වන දරු සෙනෙහසක “මිහිර” විඡේරාම යුවළ අතැර යන්නේද ඔවුන්ගේ ඇස්‌ මානයේදී නොව දුර ඈත පිහිටි රුසියානු දේශයේදීය.

ගින්නකට හසුව මියගිය මිහිර උවිඳු විඡේරාමගේ (අවු. 22) නිසල දෙන රැගත් ගුවන් යානය දිගු ගුවන් ගමනකින් අනතුරුව කටුනායකට සැපත් වන්නේ ඉකුත් 03 වැනිදාය. එතැන් සිට මිහිරගේ නිසල දෙන නෑ සිය හිතමිතුරු සෝසුම් මැද කළුතර පළාතොට පිහිටි නිවසට

රැගෙන එන ලද අතර තෙමඟුල සමරන වෙසක්‌ පුන් පෝය දිනය යෙදී තිබුණේද එදිනටය. එබැවින් මිහිරගේ මවුපිය, සහෝදර, හිතමිතුරන්ට පමණක්‌ නොව කළුතර පළාතොට අවට ප්‍රදේශවාසීන්ට පවා එදින “වෙසක්‌ සඳෙහි මිහිර” අමතකව ගිය රැයක්‌ විය. සඳ කළුවලා අතර සැඟව ගොස්‌ ඇති අතර මිහිරගේ නිවස පිහිටි පළාතොට පසුකර ගලන කළු ගඟෙහි සඳ සෙවණැලිද නොවූයේ වේලාසනම ජීවිතය අතැර ගිය මිහිරගේ අකල් නික්‌මන නිසා විය යුතුය.

විඡේරාම යුවළට දරුවන් තිදෙනෙකු වන අතර මෙයින් වසර 22 කට පෙර මිහිර උවිදුඳුවිඡේරාම උපදින්නේ පවුලේ දෙවැනි දරුවා ලෙසය. යහපත් පවුල් පරිසරයක්‌ තුළ දැහැමි ජීවිත ගත කරන මවුපියන්ගේ අවවාද උපදෙස්‌ තම ආත්මය කරගත් මිහිර තැන්පත් ළමා වියක හිමිකරුවෙක්‌ විය. සම වයසේ මිතුරන් අතර යහපත් මිතුරෙක්‌ විය. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්‌වා පානදුර ශ්‍රී සුමංගල විදුහල ද එහිදී අත්කරගත් විශිෂ්ට ප්‍රතිඵල හේතුවෙන් කොළඹ ආනන්ද විදුහලද මිහිරගේ පියසටහන් රැඳුණු පින්සාර විදු බිම් විය.

කොළඹ ආනන්ද විදුහලින් උසස්‌ පෙළ සමත් මිහිරගේ ඉරණම් ගමන තීරණය වන්නේ ඉන් අනතුරුවය. උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිරිනමන ශිෂ්‍යත්වයක හිමිකරුවකු වන මිහිර 2012 වසරේදී රුසියාවේ මොස්‌කව් නුවර බලා පිටත්ව ගොස්‌ ඇත්තේ මොස්‌කව් නුවර පිහිටි ජාතික වෛද්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදැරීම පිණිසය.

මිහිරට සැබෑ කරගත යුතු සිහින බොහොමයක්‌ තිබී ඇති අතර ඉන් ප්‍රධාන තැනක්‌ ගෙන ඇත්තේ අධ්‍යාපනය විසින්ය. ඔහුගේ ප්‍රධානම අරමුණව තිබී ඇත්තේ වෛද්‍ය උපාධිය සමත්ව වෛද්‍යවරයකු ලෙස යළිත් මවුබිම වෙත පැමිණීමය. මිහිර රුසියාව බලා පිටත්ව යැමෙන් අනතුරුව දෙවරක්‌ ලංකාවට පැමිණ ඇති අතර මෙවර ඔහු නිවාඩුවක්‌ පිණිස නැවත ලංකාවට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ ලබන ජුනි මස 26 වැනිදාටය. ඊට පෙර තුන්වැනි වසර ශිෂ්‍යයකු ලෙස මොස්‌කව් විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබී ඇති විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මිහිර මාස කීපයක සිට ඒ සඳහා උනන්දු වී ඇත්තේ ඒ තුළින් විශිෂ්ට ප්‍රතිඵලයක්‌ ලබාගැනීමේ අරමුණෙන්ය.

එහෙත් ඒ සියලු දෙය අකල් ගින්නක්‌ විසින් දවා හළු කොට දැමීමට ගතව ඇත්තේ එක්‌ නිමේෂයක්‌ පමණය.

4696-fire-death1850251216

 

 

එවැනි රැයක්‌ උදාවෙතැයි මිහිර ඇතුළු කිසිවකු විසින් නොසිතන්නට ඇත. සිහිනයෙන්වත් නොසිතන්නට ද ඇත. ඉරණමට දේශ දේශාන්තර සීමා මායිම් නැත. මරණය පැමිණි කල්හි නික්‌මයා යුතුය. රිදුම් උපදින්නේ යහපත් මිනිසුන් වේලාසනම මරණය වෙත යන කල්හිය. මිහිරගේ ජීවිතය වෙත මරණය එබිකම් කර ඇත්තේ අකල් ගින්දරක වේශයක්‌ ගනිමින්ය. දිනය අප්‍රේaල් මස 23 වැනිදාය. මිහිර ඇතුළු තවත් විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසකගේ නවාතැන වන මොස්‌කව්වල පිහිටි නේවාසිකාගාරය වෙත එදිනද රැය පැමිණ ඇත්තේ වෙනදා පරිදිමය. මහල් 16 කින් යුත් නේවාසිකාගාරයේ 12 වැනි මහල මිහිරගේ නවාතැන වී ඇත. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ගින්න හටගෙන ඇත්තේ ඊටත් මහල් 5 කින් පහළ පිහිටි 7 වැනි මහල තුළය. ගින්න හටගෙන ඇත්තේ විදුලි උදුනක්‌ පුපුරා යැමේ හේතුවෙන්ය. නේවාසිකාගාරයේ හටගත් ගින්නත් සමග බොහෝ දෙනෙක්‌ නේවාසිකාගාරයෙන් ඉවතට පැන ජීවිත බේරාගෙන ඇති අතර මිහිර ඇතුළු තවත් හතළිස්‌ දෙනකු පමණ ගින්නෙන් බේරීම පිණිස ඉවතට පැමිණීමේදී ගින්නට හසුව පිළිස්‌සුම් තුවාල ලබා ඇත. සිද්ධියෙන් අනතුරුව තුවාල ලැබූවන් රෝහල් කරා රැගෙන ගොස්‌ ඇත. එම පිරිස අතර බරපතළ පිළිස්‌සුම් තුවාල සහිත නවදෙනකු සිට ඇති අතර මිහිර ඉන් එක්‌ අයෙක්‌ විය. ඔවුන්ව රෝහලේ පිහිටි දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කොට කඩිනම් ප්‍රතිකාර ලබාදී ඇතත් ඒ වන විටත් මිහිරගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ අවදානමක තිබී ඇත. තානාපති ආරංචි මාර්ගවලින් කියවී ඇත්තේ මිහිර දින පහක්‌ පුරා ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිට ඉකුත් 28 වැනි දින රුසියාවේ රෝහලක්‌ තුළ මරණයට පත්ව ඇති බවය. මිහිර ඇතුළු තවත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පස්‌දෙනෙක්‌ ඒ වන විට මොස්‌කව් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇති අතර නේවාසිකාගාරයේ හටගත් ගින්න හේතුවෙන් ඔවුන් කිසිවකුටත් අනතුරක්‌ සිදුවී නැත.

තානාපති කාර්යාල නිලධාරීන් විසින් වෛද්‍ය ශිෂ්‍ය මිහිරගේ දෙමාපියන් වෙත දන්වා ඇත්තේ මිහිරගේ මරණය සිදුවීමට මූලික හේතුව අධික පිළිස්‌සුම් සහ කාබන් මොනොක්‌සයිඩ් වායුව ආඝ්‍රාණය වීම බවය. මිහිරට සිදුවූ අනතුරත් සමග ඔහු බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරතව ඇති වෛද්‍යවරුන් රෝහල් කාර්ය මණ්‌ඩලය හා එක්‌ව එරට පිහිටි රුසියානු තානාපති කාර්යය මණ්‌ඩල නිලධාරීන් මිහිර බේරා ගැනීමේ කාර්ය සඳහා දැඩි උත්සාහයක නිරතව ඇත. එහෙත් මරණය පැමිණි කල්හි යා යුතු බව සනාථ කරමින් වෛද්‍ය ශිෂ්‍ය මිහිර මරණයේ දිගු නිහැඬියාවට පත්ව ඇත්තේ එරට විසූ විදේශීය සරසවි සිසු සිසුවියන්ගේ හදවත් පවා ශෝකයෙන් පුරවාලමින්ය.

සිසුන් විශාල පිරිසකට පිළිස්‌සුම් තුවාල ඇති කරවමින් නිවී ගිය රුසියාවේ මොස්‌කව් නුවර පිහිටි ජාතික වෛද්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගින්න විසින් ඉකුත් 28 දා වන විට මිහිරගේ ජීවිතය පමණක්‌ උදුරාගෙන තිබුණ ද අනෙක්‌ පිරිසගේ ඉරණම තීරණය වී ඇත්තේ කොයි ආකාරයෙන් දැයි නොදනිමි. ප්‍රාර්ථනා කළ හැක්‌කේ මිහිරට අත්වූ ඉරණම ඔවුන් කිසිවකුටත් අත් නොවේවා යන්න පමණි.

රුසියාවේදී අකල් මරණයකට ගොදුරු නොවුණා නම් මිහිර උවිඳු විඡේරාම යනු නුදුරු දිනක වෛද්‍ය උපාධිය සමත්ව යළි මවුබිමට පැමිණීමට නියමිතව සිටි තරුණ මානව සම්පතකි. රෝගීන් දස දහස්‌ ගණනක්‌ සුවපත් කිරීමට සිටි වෛද්‍ය වෘත්තිකයෙකි. මිහිරගේ පවුලේ උදවියට පමණක්‌ නොව රටට සම්පතක්‌ වීමට සිටි මිනිසෙකි. එහෙත් ඒ සියලු දෙය දැවී පිළිස්‌සී යැම අප්‍රේල් 23 වැනිදා ආරම්භ වන අතර මිහිරගේ මරණයත් සමගින් එය කෙළවර වී යන්නේ ඉන් දින පහක්‌ ගත වී යැමෙනි.

ඉකුත් 6 වැනි බදාදා පළාතොට හිමිදිරියාව සුසාන භූමියේ අලුත කපන ලද වළක්‌ යට මිහිදන්ව ගිය මිහිර මරණයට පත් කළ මොස්‌කව් ගින්න නොනිමි ගින්නක්‌ව මිහිරගේ මවුපියන් සහෝදරයා සහ සහෝදරිය රිදවමින්, දවමින් සදාකල් ඔවුන්ගේ හදවත් රිදවනු ඇත. පුතු සෙනේ පිළිබඳ සහෝදර උණුසුම පිළිබඳ මතකයන් විසින් ඔවුන්ව රිදවනු ඇත. මින් මතු උදාවෙන හැම වෙසක්‌ සඳකම මිහිරගේ “මතකවත” සිත්තමක්‌ සේ දිලෙනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.