“ලංකා අධිකරණයේ ගරුත්වය රැකීම අගමැතිගේ වගකීමය්” හෙළ උරුමයෙන් රනිල්ට මතක් කිරීමක්.

nishantha sri warnasinha

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ දී ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස තහනම් නියෝගයක් අධිකරණයට ලබාදී ඇති බවත් මේ සම්බන්ධව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කර ඇති ප‍්‍රකාශය මගින් ලංකාවේ අධිකරණ පද්ධතිය හෑල්ලූවට ලක්කර ඇති බවත් ජාතික හෙළ උරුමය පවසයි.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය මේ බව සඳහන් කර ඇත.

අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ තමාට හෝ කැබිනට් මණ්ඩලයට කරුණු කීමට අවස්ථාවන් නොදී මෙම නියෝගය ලබා ගෙන ඇති බවත් ඊට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලයේ අධිකරණ කටයුතු අංශයෙන් උපදෙස් ලබාගන්නා බවත්ය.

“මෙය ලංකාවේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය අභියෝගයට ලක්කිරීමකි. එමෙන්ම නීතියේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමකි. මෙම නඩුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී අගමැතිතුමා ඇතුලු වගඋත්තරකරුවන්ට පෙනී සිටීම සඳහා නිසියාකාරව සිතාසි නොලැබීම නිසා අධිකරණයට කරුණු කීමට අවස්ථාවක් නොලැබුණු බව ප‍්‍රකාශ කර සිටී. අධිකරණයෙන් නිසියාකාරව සිතාසි නොලැබුණේනම් නැවත මෝසමක් මගින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු තහවුරු කර ඉහත කී නියෝගය අවලංගු කර නැවත විභාගයකට යොමු කිරීමට අවස්ථාවක් තිබූ ද එය නොසළකා අගමැතිතුමා මෙම ප‍්‍රකාශය කර ඇත.

මූලික අයිතිවාසිකම් නඩුවක් විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් විසඳිය යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබුණත් එදින විනිසුරුවන් දෙදෙනෙක් පමණක් සිටීම නීතියට පටහැනි බවට කරන තර්කය අධිකරණය තුලම විසඳාගත හැකි ප‍්‍රශ්නයකි. එය ජාත්‍යන්තරය දක්වා ගෙන යාම රටේ නීතිය හෑල්ලූ කිරීමකි. අධිකරණයේ ස්වෛරීභාවයට හානියකි. මෙම නඩුවේ දී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ නීතිඥයා පවසා ඇත්තේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවත් මිග්යානා සහ ඇවන්ගාඩ් වැනි සිද්ධීන් ගැන ප‍්‍රකාශයක් සටහන්කර ගැනීමට පමණක් අවශ්‍ය බවයි. ඒ අනුව රජයේ පාර්ශවයෙන් දැඩි විරෝධයක් පෙත්සමට එල්ලකර නොමැත.

හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ පෙත්සම පිළිබඳව ජාතික මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණේ 2015-05-13 වන දින මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට ගන්නා බවය. එදින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීසිට තමන්ට සිතාසි නොලැබුණු බැවින් විමසීම සඳහා දිනයක් ලබාගැනීමට අගමැතිවරයාට අවස්ථාව තිබුණත් අගමැතිවරයා එය නොසළකා හැර ඇත. එය අගමැතිවරයාගේ නොසැළකිලිමත්භාවය ප‍්‍රකට කරන්නක් බව අවධාරණය කළ යුතුය.“ යැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.