ලලිත් – අනුෂ ගැන මහින්දට දුකයි

Mahinda Rajapakshaහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් ඊයේ (11) වැලිකඩ බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර රෝහලේ සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුවදුක් විමසූහ. ඔවුන් ඉන් අනතුරුව කී දේ අපුරුය. ලලිත් හ අනුෂ බෝ පැල දෙකක් සේ හුවා දැක්වීමට හිටපු ජනාධිපතවරයා උත්සාහ ගත්තේය.

හිටපු ජනපතිවරයා කියා සිටියේ තමන්ගේ නියෝගයක් අනුව කළ දෙයකට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනා නිකරුණේ දඬුවම් විඳින බවත් සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් එය මැතිවරණ සමයේ බෙදාදීම නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත් ය. බෝ පැල දෙක තමන් කරන දේ වැරදි බව හොඳාකාරව දැන සිටියහ.

ජනාධිපතිවරණයට පෙර දී 2014 සැප්තැම්බර් මාසයේ පැවැති ඌව පළාත් සභා මැතිවරණයේ දී පවා මැතිවරණ කොමසාරිස් වරයා විසින් මෙම සිල් රෙදි බෙදීම ගැන අනතුරු අඟවා ඇත. එය ලලිත් වීරතුංග විසින් පිළිපැද නොමැත.

ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය පරිපාලන සේවයේ ප්‍රධානියා වුවද ඔහු මැතිවරණයක දී මැතිවරණ කොමසාරිස් වරයාගේ නියෝග පිළිපැදිය යුතුය. මැතිවරණ කොමසාරිස් වරයා කිසිදු විටෙක ජනාධිපති ලේකම්ට වග නොකියන්නේය. ඒ තත්ත්වය යටතේ 2014 සැප්තැම්බර් ඌව පළාත් සභා මැතිවරණයේ දී ද ප්‍රචාරක වාසි තකා මොවුන් විසින් සිල් රෙදි බෙදද්දී මැතිවරණ කොමසාරිස් වරයා ලිඛිතව එය වැරදි බව දන්වා ඇත. 2014 සැප් 08 වෙනි බිනර පසලොස්වක දා පළාතේ පන්සල්වලදී මෙම බෙදා දීම සිදුකර ඇත. ඒ ගැන සන්ධාන ලේකම් වූ සුසිල් ප්‍රේමජයන්තට, ඩලස් අලහප්පෙරුමට සහ එවක ශ්‍රීලනිප ලේකම් වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අනතුරු අඟවමින් නිකුත් කර ඇති ලිපියේ මෙසේ දැක්වේ. මෙය මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ කෙරිණ.

“නියං ආධාර ලෙස වියළි ආහාර බෙදා දීම හා මූල්‍ය ආධාරත් ආහාර ද්‍රව්‍ය මලුත් බෙදා දීම ඉඳුරාම රාජ්‍ය සම්පත් අයථා ලෙස පරිහරණය කිරීමක් වන අතර සිල් රෙදි රජයේ මුදල් වැය කොට ලබා දී ඇත් නම් එයද එම ඝනයට වැටේ. සිල් රෙදි ලබා දීම සිදුවූයේ කිසියම් කෙනෙකුගේ පුද්ගලික ධනය වියදම් කරමින් වුවද ඡන්ද විමසන කාල සීමාවක් තුලදී ඡන්ද අපේක්ෂකයන් හෝ දේශපාලනඥයන් මැදිහත් වී අපේක්ෂකයන්ගේ නම් හෝ අංක ප්‍රදර්ශනය වන ආකාරයට සිදුකලේ නම් එයද නීති උල්ලංඝනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.“

මෙහිදී මැතිවරණ කොමසාරිස් වරයා ඉතා පැහැදිලිව පවසන්නේ සිල් රෙදි බෙදීම පුද්ගලික ධනයෙන් කළත් වරදක් බවයි. මැතිවරණ කොමසාරිස් වරයා වැඩි දුරටත් මෙසේද පවසා ඇත.

“පසලොස්වක් පොහොය දිනයකදී විහාරස්ථාන වලදී සිල් රෙදි බෙදා දීම දේශපාලන අරමුණක් සඳහා යොදවා ගැනීමෙන් බුද්ධාගම හෑල්ලුවට ලක් කිරීම ගැනද සැලකිය යුතුය. එසේම මෙම බෙදා දීම් වලට බෞද්ධ නොවන ඡන්ද අපේක්ෂකයන් සහභාගී වීමද බෞද්ධ වුවද විහාරස්ථානයකට පා තබා නැති අපේක්ෂකයන් සහභාගී වීම ද විහිලුවට කරුණක් බව පෙන්වා දිය යුතුය. මෙම සිද්ධීන් පිලිබඳ වීඩියෝ හා හඬ පට මා වෙත ලැබී තිබේ. “

මෙහි දී මැතිවරණ කොමසාරිස් වරයා වැඩි දුරටත් මෙසේ පවසයි.

“මෙම කාරණා මුල් කොට ගෙන කිසියම් පුද්ගලයෙකු ආයතනයක් මාද පාර්ශව කරුවෙකු ලෙස නම් කරමින් අධිකරණයට ගියහොත් මා වෙත ලැබී ඇති මෙම සාක්කි අධිකරණයට ඉදිරිපත් කිරීමට මට සිදුවේ. මේවා මැතිවරණ දූෂණ සේ සලකන බැවින් අපේක්ෂකයන් වැරදි කරුවන් වුවහොත් ඡන්දයෙන් ජය ගත්තද ඔවුන්ගේ අසුන් අහිමිවීමට ඉඩ ඇතිබවද සැලකිල්ලට ගැනීම වටී. “

මැතිවරණ කොමසාරිස් වරයා 2014 සැප්තැම්බර් මාසයේ දී ඉතාමත් පැහැදිලිව සිල් රෙදි බෙදා දීමේ වරද ගැන අනතුරු අඟවා තිබුනද ලලිත් වීරතුංගලා 2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද එම වරදම දැන දැන කරන්නේ අන් කිසිවක් නිසා නොව එම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂම යලි ජය ගනු ඇතැයි යන අංහකාර ගොබ්බ සිතුවිල්ල නිසාය. වරදක් බව දැන දැනත් මහින්ද ජය ගත් පසු දඬුවම් නොලැබෙන බවට ඇති විශ්වාසය නිසාය.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට දැන දැනම දුෂණයේ යෙදුන අයයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.