ලොව විශාලතම ශෛලමය සමාධි පිළිම වහන්සේ බ්‍රහස්පතින්දා නිරාවරණය කෙරේ

ea40c278dfd9dd3030dc3e2837bcc13c_L

කුරුණෑගල දොඩම්ගස්ලන්ද ඓතිහාසික රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානයේ පිහිටි ස්වභාවික පර්වතයක මුර්තිමත්වන ලොව විශාලතම ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ එළඹෙන බ්‍රහස්පතින්දා (30) වන දින සවස 3.30 ට රම්බඩගල්ල මොනරාගල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයේදී නිරාවරණය කෙරේ.

මෙම උදාරතර අභීත පුණ්‍යකර්මය සදහා උරදී කටයුතු කරනු ලැබූවේ කුරුණෑගල රීදිගම රම්බඩගල්ලේ මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මාහිමිපානන්ය. මෙම නිර්මාණය භාරව කටයුතු ක‍රනුයේ ඉංදියාවේ ”පද්ම ශ්‍රී” “ශිල්ප කලාමණි” සම්මානලාභී ඇම්.ඇම්.ස්තපති නැමැති කීර්තිමත් කලා ශිල්පියාණෝය. එලෙසම මෙම නිර්මාණ කටයුතු සදහා ඩී.ඊශ්වරන් මහතාගේ කැපවීමද බෙහෙවින් මහෝපකාරී විය.
පොලොන්නරු ගල් විහාර පිලිම නිර්මාණයෙන් වසර 875 කට පසු නිර්මාණය වන දශලක්ෂ 5.3 ක වියදමින් අඩි 67.5 ක් උසැති අතීත ශ්‍රී විභුතියෙන් අභිමානවත්ව නිර්මාණ‍ය වූ මෙම ශෛලමය ප්‍රතිමා වහන්සේ විසිඑක්වෙනි සියවසේ සියලුම ජනතාවට ආඩම්බර විය හැකි, අනාගත දරු මුනුබුරන් වෙත අමිල තිලිණයක් ලෙසින් දයාද කල හැකි අති විශිෂ්ඨ කලා නිර්මාණයකි. මෙම සමාධි බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම සදහා දස දෙනෙකුගෙන් යුතු ශිල්පීන් කණ්ඩායමකට වසර 15 ක පමණ කාලයක් කැප කිරීමට සිදු විය.
රම්බඩගල්ල විහාරාධීපති එගොඩමුල්ලේ අමරමෝලි හිමියන්ගේ ආරාධනයෙන්  අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානේස්වර මාහිමිපාණන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය නාපාන පේමසිරි හිමිපාණෝ ඇතුළු මහා සංඝ රත්නයද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මහජන පුජෝපහාර පිණිස ශ්‍රී ලංකා ප්‍රෞඩ ඉතිහාසයේ, අනුරපුර පොළොන්නරු යුග පරිවර්තනයෙන් පසු රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරයේ පිහිටි මහා ගල් පර්වතයක නෙලන ලද මෙම අසහාය ශෛලමය සමාධි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ.

 

 

 

ලොව විශාලතම වූ මෙම අසිරිමත් බුදුපිළිම වහන්සේ නිර්මාණය කිරීමේ අදහස විහාරාධිපති අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික මහා නිකායේ මහා නායක ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි නාහිමියන්ගේ සිතේ ඇතිවූ පින්බර සිතුවිල්ලක ප්‍රතිඵලයකි.

මේ මහා ආශ්චර්යවත් නිර්මාණය කරනු ලබන ශිල්පියා වන්නේ ඉන්දියානු ජාතික මුත්තයියා ස්ථපති මහතාය. ඔහු ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, මැලේසියාව, බැංකොක් ආදි රටවල මූර්ති ශිල්පියකු වශයෙන් තම ප්‍රතිභාව ප්‍රකට කළ ඉන්දියාවේ ‘පද්ම ශ්‍රී’ හා ‘ශිල්ප කලාමනී’ ගෞරව නාමයන්ගෙන් ද උපහාර ලැබූ පාරම්පරික මූර්ති ශිල්පියෙකි. ස්ථපති මහතා සමඟ තවත් ඉන්දියානූ ශිල්පීන් එකොළොස් දෙනෙකු පිළිමය නෙළීමේ කටයුත්තට උරදී සිටී.

විහාර භූමියේ ඇති මහා ගල් පර්වතයේ බඳ අඩි 40ක් ඉදිරියට හාරමින්, ගල් තලාව පතුල අඩි 17ක් ගැඹුරට සුද්ධ පවිත්‍ර කොට මෙම පිළිමය නෙළීම ආරම්භ කොට ඇත. පිළිමයේ ඉදිරිපස බිමෙහි අඩි 7 ක් ගැඹුර රමණීය පොකුණක් ද තැනෙයි. එසේම පිළිමය ඉදිරිපස දැවැන්ත ගල සමතලා කර සැකැසූ මහා පීඨිකාවකි. පොකුණ වටා ශෛලමය කැටයම් වැටක් හා මල් ආසන කීහිපයක් කළු ගලින්ම නිර්මාණය වූ අගනා කලා කෘතියක් ලොවට දායාද කරයි.

මොනරාගල විහාරය අයත් වන්නේ රිදීගම මහලේකම් කොට්ඨාසයේ මාදුරේ කෝරලයටය. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයට අයත් මේ පුදබිම ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කය හා මහනුවර දිස්ත්‍රික්කය පිහිටා ඇත. මොනරාගල පර්වතය මුදුනේ මොනර සලකුණක් ඇති හෙයින් මොනරාගල යයි හදුන්වන බව ජනප්‍රවා‍දයේ ඇත. මොනරාගල පිරිවෙනද පිහිටි රම්බඩගල්ල ග්‍රාමයට ඒ නම නිර්මාණය වීම පිළිබද ඇති ජනප්‍රවාද අතර පිළිමයක උදර‍ කොටසේ රත්‍රන් නිදන් කොට තිබීමත්, රුවන්වැලි මහාසෑය තුළ තැන්පත් කර ඇති නිදන් වස්තු අතර රන් සැලක් ඇති අතර එම රන් සැල ලැබුනේ රන්බඩගල්ලෙන් බව සදහන් වෙයි.

පිළිම නෙළීමේ කලාවේ ආරම්භය වූ ගාන්ධාර හා මථුරා සම්ප්‍රදායන් දෙකේම සංකලනයක් වූ අමරාවතී සම්ප්‍රදාය ලංකාවේ නෙළන ලද බුදු පිළිමවලට බෙහෙවින්ම ගුරු වී ඇති බව ඉතිහාසය හැදෑරීමේදී පෙනී යයි. කෙසේ වෙතත් ක්‍රි.ව 1215 පසුව ලංකාවේ සෙල් පිළිම නිර්මාණය වී ඇති බවට සාක්ෂි නොමැත. එවකට රට තුළ පැවැති දේශපාලනයම ආරවුල් මෙන්ම 1505න් පසු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රිසි ආක්‍රමණයන්ද එබදු නිර්මාණයන් බිහි කරන්නට යෝග්‍ය පුද්ගල බද්ධතාවන් හා මානසිකත්වයක් ගොඩනගන්නට ඉඩ හසර නොතැබූ බවද වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් අවබෝධ වේ. මේ මහා ආශ්චර්යවත් නිර්මාණය සැබවින්ම ලක්දිවට බුදුන් වහන්සේ හතර වන වතාවට නැවත වැඩම කිරීමකි.

වර්ෂ 2001මාර්තු 16 දා අන්තවාදී තලෙයිබාන්වරු විසින් ඇෆ්ගනිස්ථානයේ ඇති ලෝක උරුමයන් අතර මුල්තැන දරන බුදු පිළිම විනාශ කිරීම දියතම කම්පා කරවන ඛේදජනක මිලේච්ඡ සිදුවීමකි. එදිනම රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානය වෙත සංවේදී බෞද්ධයෝ එක්රොක් වූහ.

ඊට පසු උදාවූ පෝය දින ප්‍රාථමික අංශයේ දරු දැරියන් මේ පන්සලේ පෙහෙවස් සමාදන් විණි. ඒ කුඩා දරුවන් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පළමු දායකත්වය ලෙස රුපියල් 1358ක මුදලක් එකතු කර නාහිමියන්වෙත භාරදී ඇත. මේ මුදල් කුමකටදැයි නාහිමියන් විමසූ විට දරුවන් කියා ඇත්තේ මේ අර විනාශ කළ පිළිම වෙනුවට බුදු පිළිමයක් නෙළීම සදහා මුදල් බවයි. මේ මහා නිර්මාණය කිරීමේ අරමුදල ආරම්භ වන්නේ එතැනිනි. ගල් පිළිමයක් සෑදීමට වැය වන මුදල කොතරම් දැයි උන්වහන්සේට සිතාගත නොහැකි වුවද කළු ගලින් පිළිමයක් කෙසේ හෝ සෑදිය යුතුමයැයි ස්ථිරවම අමරමෝලී නා හිමි සිතේ ගලේ කෙටූ අකුරක් සේ ලියවෙන්නේ මෙම සිදුවීමත් සමඟය.

මෙරට පමණක් නොව මෙතෙක් ලෝකයේ ඉදිවන අසමසම ශෛලමය බුද්ධප්‍රතිමාව සෑදීමේ අමරමෝලි නාහිමියන්ගේ අදහස මල්ඵල ගැන්වීම සදහා උන්වහන්සේ නිර්මාණ ශිල්පියකු සෙවීමේ කාර්යයේ දිවා රෑ නොබලා නියළුනද මෙවන් අසීරු කාර්යයක අත්දැකීම් ඇති ගලෙන් නිර්මාණ කළ හැකි විශිෂ්ට ගණයේ ශිල්පියකු සොයා ගැනීම ද ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. මේ අතර නාහිමියන්ට නුවර එළිය රම්බොඩ ප්‍රදේශයේ කෝවිලක ගලින් නෙළූ මනා අංගලක්‍ෂණ සහිත හනුමාන් පිළිමයක් ඇති බවට හෝඩුවාවක් ලැබේ. නාහිමියන්ගේ උත්සාහය බිඳ වැටෙන කර්ණ කඨෝර කතා මධ්‍යයේ අභීත බුද්ධ පුත්‍රයෙකු ලෙසින් මේ මහා කාර්ය කෙසේ හෝ ජය ගත යුතුයැයි මහා අධිෂ්ඨාන ශක්තියකින් යුතුව උන්වහන්සේ කටයුතු කරන්නට වුහ.

අවසානයේ නාහිමියන් හට නුවර එළිය රම්බොඩ හනුමන් කෝවිලේදී මීට සුදුසු නිර්මාණ ශිල්පියෙකු මුණ ගැස්සවීමට හැකි අයෙකු හමු වී තිබේ. ඒ කෝවිලේ පාලක සභාවේ සභාපති ඩී. ඊශ්වරන් මහතාය. හෙතෙම නාහිමියන් සමඟ ඉන්දියාවට ගොස් මේ සඳහා දැනට ජීවත්වන විශිෂ්ට ගල් කැටයම්කරුවකු වන “පද්ම ශ්‍රී” ශිල්ප කලාමනි එම්. මුත්තයියා ස්ථපති මහතා මුණ ගැහි මේ ගැන කතා බස් කොට තිබේ. ‘ස්ථපති මහතා කවදාවත් බුදු පිළිමයක් නෙළලා තිබුණේ නෑ. ඒත් එතුමා පොරොන්දු වුණා ලෝකයේ තිබෙන ලස්සනම පිළිමය නෙළලා දෙන්න’ යනුවෙන් නාහිමි අප සමඟ පැවසීය.

ස්ථානය ඇසින් නොදුටුව ද යන මුදල අනුමාන වශයෙන් ගණන් සාදා ස්ථපති මහතා පවසා ඇත්තේ මෙම කාර්යයට ඉන්දියානු රුපියල් දශ ලක්‍ෂ දහයක් පමණ වැය වෙන බවකි. මුදල ගැන කිවූ පමණින් අමරමෝලි හිමියන්ගේ සැලීගිය බව දුටු ඊශ්වරන් මහතා හිමියන්ගේ කනට කර පැවැසුවේ ‘ස්වාමීන් වහන්ස ගණන අපට ලාභයි’. ඒ ගැන තවත් කතා නොකරන ලෙසය.

එම හමුවීමෙන් පසුව ස්ථපති මහතා මොනරාගල විහාරස්ථානයේ ගල් තලාව බැලීමට ලංකාවට පැමිණ ගල්තලාව දැකීමෙන් පසුව ස්ථපති මහතාගේ අදහස වෙනස් වී තීරණය කරගත් අඩි 50 ක පිළිමය අඩි 67.5 ක් දක්වා තවත් විශාල ලෙස නිමකරවීමට භාරගෙන තිබේ. පිළිමය නෙළීම ආරම්භ වන්නේ 2002 සැප්. 13 වැනිදා වසරක් පුරා පැවැති පරිත්‍රාණ ධර්ම දේශනා මධ්‍යයේය.

මෙම පිළිමය නෙළීමේ කාර්යයේ නියැළී සිටින්නේ ඉන්දියාවේ ද්‍රවිඩ හින්දු භක්තිකයන් වීම විශේෂිතය. ත්‍රස්ත්‍රවාදී අරගලවලින් මේ රට ඇවිළුණ එදා සිට සාමය උදා වූ අද දක්වාම ඉන්දියානු ද්‍රවිඩ ශිල්පීන් විසින් ජාති ආගම් කුල භේද නොසලකමින් මහත්වූ භක්තියකින් පිළිමය නෙළීම සිදුකරයි. එම ශිල්පීන් වෙනත් ආගමික නායකයකුගේ ප්‍රතිමාවක් නෙළීම සිදුකරමින් ලොවටම කියා පාන්නේ සාමයේ සහජීව‍නයේ පණිවුඩය නොවන්නේද? ඔවුන් තමන්ගේ ආගම සිහිකොට ඉතා භක්තියකින් මෙම වැඩ බිමට පිවිසෙන බව ද අමරමෝලි හිමියෝ පවසති.

එදා සිට මේ දක්වා මේ අසහාය පිළිම වහන්සේ නෙළීම සදහා රුපියල් ලක්ෂ හයසිය පනහකට අධික මුදලක් වැයවී තිබේ. මේ මහා පුණ්‍ය කර්මය සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, දිවංගත ඇමැතිවරයකු වූ ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ මහතා, ඉන්දියානු හිටපු මහකොමසාරිස් නිරූපමා රාවෝ මහත්මිය, මැති ඇමැතිවරුන්, යුද හමුදාව, රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම තානාපතිවරු පවා පැමිණ මෙය නරඹා එමෙන්ම සිය කාර්ය මණ්ඩල සමඟ පැමිණ මුදලින් මෙන්ම ශ්‍රමයෙන්ද මෙම කටයුත්තට විශාල ලෙස දායකවු බව අම‍රමෝලි නාහිමියෝ පැවසූහ. තවද ව්‍යාපාරික ප්‍රජාව, දානපති පරිත්‍යාගශීලීන් මෙන්ම ජාති, කුළ, ආගම් භේදයකින් තොරව සෑම තරාතිරමකම මිනිසුන් තම ශක්ති ප්‍රමාණයෙන් හරි හම්බ කළ ධනය දහඩිය ශ්‍රමය මේ මහ ගල්කුලට බුදුහිමියන්ගේ ගුණ සුවද කැවීම සදහා පරිත්‍යාග කර තිබේ.

නිර්මාණ ශිල්පියා සම්බන්ධ කර දුන් ඊශ්වරන් බ්‍රදර්ස් ව්‍යාපාරයේ සභාපති ඩී.ඊශ්වරන් මහතා තම කාලයත් ධනයත් වැයකරමින් අදත් මේ දැවැන්ත කාර්ය පසුබිම වසා හිඳින යෝධ සෙවණැල්ලකි. අමරමෝලී හිමියන් පවසන්නේ ඊශ්වරන් මහතා වච‍නයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉටු දෙවියකු ලෙසින් මේ කාර්යයේදී තමාට පිහිට වූ බවයි. ඩී.එස්.අයි ආයතනයේ අධ්‍යක්ෂ නන්දදාස රාජපක්ෂ මහතා සැම්සන් සමූහ ආයතනය මගින් පුළුල් ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු විශාල මුදලක් වැය කරමින් සිදු කර ඇති අතර සිය ප්‍රදර්ශනාගාරවල කැට තැන්පත් කරමින් එහි රැස්වූ විශාල මුදලක් මේ සදහා පරිත්‍යාග කරමින් අදටත් සක්‍රිය ලෙස මේ සදහා දායකවන බව අමරමෝලි නාහිමියෝ කෘතවේදීව සිහිපත් කරයි.

රම්බඩගල්ල මොනරාගල විහාරයට කොළඹ සිට කිලෝ මීටර 116 ක්ද,අනුරාධපුර සිට කිලෝමීටර 115 ක්ද ඇත. කුරුණෑගලින් නුවර පාරේ කි.මී. 4 ක් පමණ පැමිණ මල්ලවපිටිය හන්දියෙන් වමට හැරී කැප්පිටිගල පාරේ තවත් කි.මී. 20 ක් පමණ ගමන් කිරීමෙන් මොනරාගල විහාරස්ථානයට පැමිණිය හැකිය. නැතහොත් දඹුල්ල මාතලේ පාරේ රුක්අත්තනගහ හන්දියෙන් දකුණු පසට ඇති මාර්ගයෙන් රිදීගමට ගොස් රිදීගම රම්බඩගල්ල මාර්ගයෙන් ගමන් කළත් මෙම පූජනීය භූමියට ළඟා විය හැකිය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.