ලෝක තෙත් බිම් දිනය පෙබරවාරි 02

we23

හදහස්‌ හසිය පණහක්‌ තුන්ලක      වැව්ය

දෙපණස්‌ ලක්‍ෂ හැත්තෑ දහසක්‌       කෙත්ය

තුදුස්‌ ලක්‍ෂ සූ සැටක්‌ බැඳි            ඇළ වල්ය

අනූ දෙකෙළ විසි ලක්‍ෂය               මුල් බිජුය

– මන්දාරම් පුවත

තෙත් බිමක්‌ යනු කුමක්‌ද?…

බාහිර භෞතික පරිසරයට සාපේක්‍ෂව පහත් බිමක පිහිටා ඇත. පාංශු සැකැස්‌ම ජලයෙන් සමන්විතය. තෙත්ය. වැඩිම කාලයක්‌ ජලයෙන් පිරී පවතින භූමිය පැළෑටි, පඳුරු සහ ගස්‌වලින් සැකසී ඇත. තෙත් බිම් පරිසර පද්ධතීන් ආවේණික වූ ජෛව විවිධත්වයකින් ද සමන්විතය. මෙවැනි පරිසර පද්ධතියකට වැසි දිය මඳ වශයෙන් ලැබුණද, ජලය ගලා නොගොස්‌ රැඳී පවතින බැවින් ජලයෙන් සංතෘප්තව පවතී. එනම් පස ස්‌පොන්ඡ් ස්‌වභාවයක්‌ ගනී.

පරිසර පද්ධතියක්‌ තුළදී එකිනෙකට වෙනස්‌ වූ තෙත්බිම් හමු වේ. වගුරු වනාන්තර, කඩොලාන, තලා, පිටාර තැනී, මෝය, ඩෙල්ටා, උදම් ඊට උදාහරණ වෙති. ස්‌වාභාවිකව හෝ කෘත්‍රිමව නිර්මාණය වූ කරදියෙන් හෝ මිරිදියෙන් සමන්විත ගලා යන දිය, නිශ්චල දිය හෝ සාගර කලාපයේ නම් මීටර් 06 ක්‌ ගැඹුරැති ප්‍රදේශයෙන් ආදී වූ පාරිසරික තත්ත්වයන් හමුයේ තෙත්බිම් නිර්මාණය වේ. තෙත්බිම් පරිසර පද්ධතීන් ජල විද්‍යාත්මකව, ජෛව විද්‍යාත්මකව මෙන්ම පාංශු විද්‍යාත්මකව ද වැදගත් කාර්ය භාරයක්‌ සොබා දහමට ඉටු කරති.

 

 

downwet459

1971 වසරේ ඉරානයේ රම්සා නගරයේදී ලෝකයේ රටවල් කිහිපයක්‌ එක්‌ව ජලචර පක්‍ෂීන් හා තෙත්බිම් සංරක්‍ෂණය කිරීමේ අරමුණින් “රම්සාර් සම්මුතිය” පිහිටු විය. 1990 වසරේ ජුනි 22 වැනි දින ශ්‍රී ලංකාව ද මෙකී සම්මුතියේ පාර්ශ්වකරුවකු වශයෙන් එකී සම්මුතිය හා සමග එකතු විය. රැම්සාර් සම්මුතියට අයත් මෙරට සතු තෙත් බිම්වල අයිතිය දරනුයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වේ.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇති තෙත්බිම් 41 කට ආසන්න ප්‍රමාණයක්‌ වර්ග කිලෝමීටර් 2740 ක්‌ පුරාවට ව්‍යාප්තව පවතී. ඒ අතර ස්‌වාභාවික මෙන්ම මිනිසාගේ මැදිහත්වීම මත නිර්මාණය වූ තෙත් බිම් ද විසිර පවතී. සංවර්ධනය වෙමින් පවතින අප රට තුළ ව්‍යාප්තව ඇති තෙත් බිම් පරිසර පද්ධතීන් අතුරින් ආර්ථිකමය, සංස්‌කෘතිකමය, විද්‍යාත්මක සහ විනෝදාත්මක වශයෙන් වටිනාකමකින් අනූන වූ ජාත්‍යන්තර රැම්සා සම්මුතියට අයත් තෙත් බිම් පරිසර පද්ධති 06 ක්‌ ප්‍රකාශයට පත් කර ඇත.

1. බුන්දල ජාතික උද්‍යානය 2. ආනවිලුන්දාව අභය භූමිය

3. මාදු ගඟ අභයභූමිය 4. වාන්කලෙයි අභය භූමිය

5. කුමන – පානම අභයභූමිය 6. විල්පත්තුව

තෙත්බිම් පරිසර පද්ධති සංරක්‍ෂණය සහ එහි සම්පත් නැණවත් ලෙස පරිහරණය, තෙත්බිම් හඳුනා ගැනීම සහ ආරක්‍ෂා කිරීම, තෙත්බිම් සංරක්‍ෂණය ගුණාත්මක භාවිතය සඳහා ජාතික වශයෙන් ක්‍රියාකාරී රාමුවක්‌ සකස්‌ කිරීමත්, ඒ සඳහා අන්තර්ජාතිකව කලාපීය වශයෙන් සහයෝගය ලබාගැනීමත් රම්සාර් (Raපිaර) සම්මුතියේ අරමුණු වෙති. තෙත්බිම් ආශ්‍රිතව සංක්‍රමණික කුරුලු විශේෂ ආරක්‍ෂා කිරීම, තෙත්බිම් සම්බන්ධව ගැටලු ඇතිවූ අවස්‌ථාවන්හිදී ඒ සම්බන්ධ සාකච්ඡා කර සහයෝගීව කටයුතු කිරීමද මෙහිලා මූලික වේ.

 

 

downloadwet


තෙත් බිමක්‌ සතු අගය

තෙත් බිම් පරිසර පද්ධතීන් ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි භෞතික සහ රසායනික සමතුලිතතාව පවත්වාගෙන යැමට ලබාදෙනුයේ අනගි පිටිවහලකි. වර්ෂාවෙන් අතිරික්‌ත ජලය ගලා විත් රැස්‌ වනුයේ පහත් බිමෙහි පිහිටි තෙත් බිම්වලට බැවින් ගං වතුර සමයට අතිරික්‌ත ජල ගබඩාවක්‌ වශයෙන් ක්‍රියාකරයි. ස්‌පොන්ඡ් තත්ත්වයේ පසු වන පස ගංවතුර සමග ගලා එන අපද්‍රව්‍ය රැගත් ජලය පස්‌ ස්‌ථරය හරහා භූගත ජලය තෙක්‌ මනා ලෙස පෙරී බේරී යයි. රොන් මඩ ආදියෙන් සමන්විත පස කඩොලාන ශාක සැකැස්‌මට කදිමය. කඩොලාන පරිසර පද්ධතියක්‌ යනු සංචාරක ආකර්ෂණය බැඳ ගන්නා ස්‌ථානයක්‌ වන්නා සේම එකී පරිසරය අනන්‍ය වූ ජීවී විශේෂයන්ට ව්‍යාප්ත වීමට ආරක්‍ෂිත පසුබිමද සපයති. වායුගෝලීය උණුසුම වැඩි කරනු ලබන අහිතකර මුදා හැරීම් කාබන් ආදිය වැඩි වශයෙන් අවශෝෂණය කර ගනී. වෙරළ ඛාදනයට විරුද්ධව ක්‍රියාත්මක වන ආරක්‍ෂිත වැටි වශයෙන් (කඩොලාන) ක්‍රියා කරයි.

තෙත් බිම් පරිසර පද්ධතීන් මූලික වශයෙන් මුහුණ දී සිටිනුයේ අනවසර ඉදිකිරීම්, ගොඩ කිරීම්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ආදී මානව ක්‍රියාකාරකම්වලට වේ. සමහරෙක්‌ අනවබෝධී ව්‍යාපෘතීන් සඳහා තෙත් බිම් පරිසර පද්ධතීන් යොදා ගනිති. වෙරළාශ්‍රිත ස්‌වාභාවික තෙත් බිම්, ලුණු ලේවායන් ආදිය තැනීමට යොදා ගනියි. කර්මාන්තශාලා ආදියෙන් කාර්මික අපද්‍රව්‍ය බැහැර කරනුයේද තෙත්බිම් වෙතටය.

තෙත්බිම් ආශ්‍රිත රැකියාවන්හි නියුතු වූවෝ නොදැනුවත් කමින් මෙකී පරිසර පද්ධතීන් වනසති. ඉස්‌සන් කොටු ඉදිකිරීමට දැව දඬු සඳහා කඩොල් ශාක කපති. එසේම මසුන් කොටු සඳහා අවශ්‍ය මස්‌ අතු ද සොයමින් කඩොල් පරිසරය වනසති. මෙකී පරිසර පද්ධතීන් අවට කෘෂිකර්මාන්තයන්හි නිරතව සිටින්නෝ තෙත් බිම් බලා ගලා බසිනා දිය පහරවල් තම වගා ප්‍රදේශයන් හරහා ගමන් කරන සේ සකස්‌ කර ගනිති. කෘෂි රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර පාංශූ දූෂණයට මුල් වේ. කාර්මික අපද්‍රව්‍ය බැහැර කරලීම නිසාවෙන් මෙකී බිම් ආශ්‍රිත ජලය දූෂිත වේ. මාදු ගඟ ආදී තෙත් බිම් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයේ යෙදෙන බෝට්‌ටු මගින් ජලයට මුදාහරින තෙල් වැනි අපද්‍රව්‍ය ද ජලය සමඟ මුසු වේ.

බෝට්‌ටු ගමන් මාර්ගයන්හි ඇති විශේෂිත ජලජ පැළෑටි එමගින් විනාශ වෙති. මේ වනවිට  ලෝකවාසීන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ නිරන්තරයෙන්ම අවිනිශ්චිතව සිදුවන දේශගුණික විපර්යාසයන් කෙරෙහිය. ඉදින් තෙත්බිම් සංරක්‍ෂණය කිරීම තුළින් අනාගතයේදී ඇතිවිය හැකි පාරිසරික ගැටලු බොහෝමයකට පිළියම් නිවැරැදිව සොයා ගැනීමටත්, අහිතකර වූ දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීමටත්, හැකිවනු ඇත. ඒ උදෙසා අප අද දිනයේදී ගනු ලබන තීන්දු තීරණයන්හි වැරදි නිවැරැදිතාවන් භුක්‌ති විඳිනුයේ අනාගත පරම්පරාව බැවින් ඒ පිළිබඳවත් සිතා අවැසි කටයුතු කිරීම යහපත් බවත් මෙහිලා අවසන් වශයෙන් සටහන් තබමි.

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික (වනජීවී නියාමක)
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.