වාස් ගේ රහස් කේස්

 

 

images (83wassd)

 

සිරභාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා ඇප වැඩි දෙනා හඳුනා ගත්තේ තම සැමියාගේ බලතල අයුතු ලෙස භාවිතා කළ කාන්තාවක් ලෙසයි.දැන් ඇය අළුත් චරිතයකට පණ පොවමින් සිටින්නීය .ඒ ඇගේ ස්වාමිපුරුෂයා ගේ ප්‍රකාශිකාවගේ චරිතයයි.

 

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ කළා යෑයි කියන රත්තරං ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් ඔබ පසුගියදා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළා. එවැනි බරපතල චෝදනාවක්‌ ඉදිරිපත් කිරීමට ඇති පදනම මොකක්‌ද?

ඔය හොරකම සිදු වෙලා තියෙන්නේ මගේ මහත්තයා නියෝජ්‍ය පොලිස්‌පති විදිහට රාජකාරි කරන කාලේ. එතකොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක. මහත්තයට ලැබුණු තොරතුරු මත රත්තරං ජාවාරම ගැන පරීක්‍ෂණ කරන්න පටන්ගෙන තිබුණා. සැලසුම් සහගතව පොලිසියේ කිහිප දෙනෙකු රත්තරං මිලට ගන්න මුවාවෙන් ගිහින් රත්තරං හොරකමට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා තිබුණා. ඒ ප්‍රශ්න කිරීම් අතරතුරදී සැකකරුවන් විසින් ශිරන්තිගේ නම කියලා තියෙනවා. පස්‌සේ මහත්තයා ඒ ගැන ඉහළ නිලධාරීන්ට දැනුම් දීලා. ‘හරියට මිනිස්‌සු හොයාගෙන ඒ ගැන පරීක්‍ෂණ කරමු’ කියලා ඉහළ නියෝග මත පරීක්‍ෂණ කටයුතු එතැනින් නැවතිලා. අත්අඩංගුවට ගත්ත කිහිප දෙනාවත් නිදහස්‌ කරලා. කොහොමහරි ඔය සිද්ධිය මාධ්‍යයට වාර්තා වෙලා තිබුණා. සතිඅන්ත පත්තර දෙකකත් ඒ ගැන ලිපි පළ වෙලා තිබුණා. ‘පත්තරවලට ගියේ කොහොමද’ කියලා ඉහළ තැන් උදහස්‌ වුණා. වාස්‌ විතරක්‌ නෙමෙයි ඔය රත්තරං ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු කරලා තිබුණේ තව කිහිප දෙනෙකුගේ එකතුවෙන්. අන්තිමේ වාස්‌ට විරුද්ධ කෙනෙක්‌ ඉහළට කියලා තියෙන්නේ වාස්‌ තමයි මේක එළියට දුන්නේ කියලා. ‘කේස්‌’ එක යට ගියා. අපේ මහත්තයගෙන් පළිගන්න පටන් ගත්තා. ඔය සිද්ධිය වුණේ මැයි මාසෙ. ජුලි මාසෙ අපේ මහත්තයව ෂියාම්ගේ සිද්ධියට අත්අඩංගුවට ගත්තා.

 

dowassq

රත්තරං ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත කිහිප දෙනා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ තව මොනවද හෙළිදරව් කරලා තිබුණේ…

ශිරන්තිගේ, තරංගා ඩයස්‌ගෙ නම් සහ තව නම් කිහිපයක්‌ම හෙළි කරලා තිබුණා. හෙට්‌ටිවීදියේ රත්තරං ව්‍යාපාරිකයන් මුවාවෙන් පොලිසියේ අය රත්තරං මිලට ගන්න ඔවුන් එක්‌ක ගනුදෙනු කතා කරනකොටත් ඒ අය කියලා තිබුණේ ‘කිසිම දේකට බය වෙන්න එපා මේවා මේ තැන්වල බඩු’ කියලයි.

ඒ අය කියන්නේ කවුද…?

රත්තරං විකුණන තැරැව්කාරයො.

ඒ කියන්නේ තැරැව්කාරයෝ හරහා තමයි බිස්‌නස්‌ එක කරලා තියෙන්නේ…?

ඔව්…

ඔය තැරැව්කාරයෝ කොහේ අයද…?

කොළඹ සහ අවට ප්‍රදේශවල කිහිප දෙනෙක්‌.

ඔය කියන විදිහට සැලසුම්සහගතව තැරව්කරුවන්ගෙන් පොලිසිය රත්තරං කිලෝ කීයක්‌ ගන්නද කතා කරගෙන තියෙන්නේ…?

කිලෝ සීයක්‌.

කතිකා කරගත් විදිහට රත්තරං මිලට අරගෙනද…?

මුලින්ම චෙක්‌ දීලා… පස්‌සෙ තමයි රත්තරං ගෙනත් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒත් රත්තරං ගන්න බැරි වෙලා.

downloadgold

ඔබ කියන විදිහට ඔය කියන පුද්ගලයන්ට රත්තරං තොගය ලැබිලා තියෙන්නේ කොහොමද…?

ඒක මම හරියට දන්නේ නෑ. ඒ ගැන දන්නේ වාස්‌ තමයි.

ඒ සිද්ධිය ගැන හරියට නොදැන ඔබ කොහොමද අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නේ…?

වාස්‌ගේ ඉල්ලීම මත එයා කියපු විදිහට ලිතව පැමිණිල්ල සකස්‌ කරලා මම ගිහින් ඉදිරිපත් කරලා අපිට වෙච්ච අසාධාරණය ගැන කිව්වා. සිද්ධිය හරියටම දන්නේ මහත්තයා. විමර්ශන කටයුතුවලදී අවශ්‍ය සාක්‍ෂි මහත්තයා ඉදිරියේදී ලබාදෙයි.

ඔබ ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව රත්තරං ගනුදෙනුව සම්බන්ධ සැකකරුවන් කීදෙනෙක්‌ ඉන්නවද…?

එකොළොස්‌ දෙනෙකුගේ නම් සඳහන් වෙලා තිබුණා.

ඒ නම් සඳහන් කරන්න පුළුවන්ද…?

නම් සේරම මතක නෑ.

මෙවැනි දූෂණ වංචා ගැන දැනගෙන මෙච්චර කාලයක්‌ නිහඬව හිටියේ ඇයි…?

මේ සිද්ධිය ගැන පරීක්‍ෂණ කරලා මාසයක්‌ විතර යනකොට මගේ මහත්තයත්, පුතාවත් ෂියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා. ඒ එක්‌ක අපිට මේ හැම දේම අමතක වෙලා යනවා. දිගින් දිගටම පළිගන්නකොට අපි කල්පනා කළා ඇයි අපෙන් මේ විදිහට පළිගන්නේ කියලා. එතකොට තමයි මේ සිද්ධිය අපිට මතක්‌ වුණේ. අපට හිතවත් අය කිව්වෙත් මෙච්චර පළිගන්න හේතුව මේක තමයි කියලා. ඒ දේ හැරෙන්න අපේ අතින් ඒ අයට වෙන වරදක්‌ වෙලා නෑ. ඒකත් වුණේ රාජකාරිය කරන්න ගිහිල්ලා. පැවති රාජ්‍ය බලයත් එක්‌ක කවුද මේ ගැන කතා කරන්නේ. මට පුළුවන්ද ඒ ආණ්‌ඩුව එක්‌ක හැප්පෙන්න. මම ඒ ගැන කිසිම දෙයක්‌ කතා කරන්නෙත් නැතුව මට මරණ තර්ජන ආවා. පවතින රජය පත් වුණාට පස්‌සේ පසුගිය රජය සමයේ කෙරුණු වංචනික ක්‍රියා දන්නේ නම් පැමිණිලි කරන්න කියලා ජනතාවට දැනුම් දුන්නා. ඒකයි අපි බය නැතිව ඉදිරිපත් වුණේ. පසුගිය රජය කාලේ මේ දේවල් කිව්ව නම් අපිව මරලා දමයි. අවස්‌ථාව ලැබුණු වෙලාවෙ අපි දන්න වංචා දූෂණ ගැන පැමිණිලි කළා.

හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌ ලෙස වාස්‌ ගුණවර්ධන මහත්තයා මේ අයථා ගනුදෙනුව සම්බන්ධ පරීක්‍ෂණ යට ගහපු ඒක සාධාරණද…?

ඒ ගැන නැවත පරීක්‍ෂණයක්‌ කරන්න වාස්‌ට කාලයක්‌ ලැබුණෙ නෑ. ෂියාම්ගේ මරණය සම්බන්ධයෙන් වාස්‌ව අත්අඩංගුවට ගත්තා.

ඔබ කියන්නේ වාස්‌ ගුණවර්ධන මහත්තය සිරභාරයට පත් වෙන්න ඒ සිද්ධිය මුල් වුණ කියලද…?

ඔව්. ඒකත් එක හේතුවක්‌. කොළඹ කුඩු පාතාලය නැති කරන්න වැඩ කරන්න පටන් ගත්තට පස්‌සෙ වාස්‌ට පොලිසිය තුළ වගේම පිටතත් හතුරො ඇති වුණා. ඒ පුද්ගලයන්ට කළු සල්ලි එන තැන් වැහිලා ගියාට පස්‌සෙ පිස්‌සු බල්ලො වගේ දඟලන්න පටන් ගත්තා. වාස්‌ට විරුද්ධව රජයේ ඉහළ තැන්වලට කේලම් කිව්වා. කොහොමහරි සේරම එකතු වෙලා වාස්‌ව හිර කෙරුවා. මාලඹේ සිද්ධියෙදී මගෙ පුතාගෙ පැත්තෙන් මාධ්‍යයට කතා කරන්න අපිට ඉඩක්‌ ලැබුණෙ නෑ. ඒ සිද්ධියේදී මගේ පුතාව සම්පූර්ණයෙන් වැරැදිකරුවෙක්‌ කරලා නිපුණ රාමනායක සුදු චරිතයක්‌ විදිහටයි කතා කළේ. ඒ සිද්ධියේ ඇත්ත කතාව ඒ පාසලේ ළමයි දන්නවා. පොලිසියේ උසස්‌ නිලධාරියකුම තමයි ඒ ළමයට මෙහෙම කියන්න, අරම කියන්න කියලා චිත්‍රපටයක්‌ හදලා මාධ්‍යයට ප්‍රදර්ශනය කළේ. අපේ පැත්ත ගැන කිසිම කතාවක්‌ නෑ. අන්තිමේ ඒ සිද්ධියක්‌ එක්‌ක වාස්‌ට රාජකාරි කරගන්න බැරිව ගියා.

වාස්‌ ගුණවර්ධන රාජකාරියේ නිරතව සිටි කාලයේ තවත් මෙවැනි අයථා ගනුදෙනු සිදු වෙලා තිබෙනවාද?

තව ගොඩක්‌ සිද්ධි එයා දන්නවා. ඉදිරියේදී වාස්‌ ඒ හැම දෙයක්‌ම හෙළි කරයි.

ඉදිරියේදී ඔබ ඒ සිද්ධි සම්බන්ධයෙන්ද අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවාද?

නෑ. මහත්තයා ඒ හැම දෙයක්‌ ගැනම ඉදිරියේදී හෙළි කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මම අල්ලස්‌ කොමිසමට ගියේ අපේ පවුලට සිදු වූ අසාධාරණයක්‌ ගැන දැනුම් දෙන්නත් එක්‌කයි.

වාස්‌ ගුණවර්ධන කියන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව සමග සමීපව රාජකාරි කළ කෙනෙක්‌.

එහෙම නෑ. වාස්‌ කොයි ආණ්‌ඩුව එක්‌කත් අවංකව රාජකාරි කළා. කිසිම ආණ්‌ඩුවක්‌ එක්‌ක පැති ගැහුවේ නෑ. පහුගිය කාලේ කහවත්තේ සිදු වුණු අපරාධ රැල්ල නතර කරන්න පොලිස්‌ එස්‌.එස්‌.පී. ලා කී දෙනෙක්‌ පත් කළාද. ඒ කිසිම කෙනෙකුට ඒ අපරාධ රැල්ල නතර කරන්න බැරි වුණා. අන්තිමේ වාස්‌ ගිහිල්ලා තමයි අපරාධවල සුල මුල හොයාගෙන ඒ අහිංසක කාන්තාවන්ගෙ ජීවිත සුරක්‌ෂිත කරලා දුන්නා. අදටත් කහවත්තේ මිනිස්‌සු මට කතා කරලා වාස්‌ ගේ දුක සැප අහනවා. එහෙම කැපවීම් කරලා තමයි වාස්‌ නියෝජ්‍ය පොලිස්‌පති තනතුරට පත් වුණේ. එහෙම නැතිව කාගෙවත් පන්දම්වලට ලැබුණු තනතුරක්‌ නෙමෙයි. වාස්‌ පැවති රජයත් එක්‌ක සමීපව රාජකාරි කළා නම් මේ විදිහට අපේ පවුලෙන් පළිගන්නේ නෑ. මහත්තයා සිරභාරයට පත් වුණාට පස්‌සෙත් ආණ්‌ඩුවට චෝදනා කරලා අමාරුවේ වැටෙන්න එපා කියලා මට තර්ජනය කරනකොට මොකක්‌ද වෙලා තියෙන්නෙ කියලා තේරෙනවානේ. අපිට හිතවත් අයත් කිව්වේ ආණ්‌ඩුවත් එක්‌ක හැපෙන්න යන්න එපා විඳ දරාගෙන ඉන්න සාධාරණයක්‌ ඉටු වෙයි කියලයි. මගේ ගෙදරට බෝම්බ ගැහැව්වා කිසිම පරීක්‍ෂණයක්‌ කළේ නෑ. අපේ වාසනාවට ඒ බෝම්බය පිපිරුවේ නෑ. පිපිරුව නම් මගෙ වයසක අම්මයි මමයි දෙන්නම ඉවරයි. අන්තිමේ ඒකත් ගියේ අපි බෝම්බ දාගෙනයි කියලා.

ඔබ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කරපු පැමිණිල්ල ඔප්පු කරන්න සාක්‍ෂි තියෙනවාද…?

ඔව්… මගේ මහත්තයානෙ ඒ හොරකම ගැන පරීක්‍ෂණ කළේ. මහත්තයා ළඟ සියලු සාක්‍ෂි තියෙනවා.

 

images (83)son

ආණ්‌ඩු පෙරළියක්‌ සිදු වුණා. දැන් වාස්‌ ගුණවර්ධනට සහ ඔබේ පුත්‍රයාට නිදහස ලැබෙයි කියලා විශ්වාස කරනවාද?

අපි නිවරැදි නම් සාධාරණයක්‌ ඉටු වෙයි. පැවති ආණ්‌ඩුව වගෙ මිනිස්‌සුන්ගෙන් මේ රජය පළිගන්නේ නෑ. අධිකරණයට ඇඟිලි ගහන එකක්‌ නෑ. රජයට තීන්දු වෙනස්‌ කරන්න බෑ. උසාවිය සාධාරණ තීන්දුවක්‌ ලබා දෙයි කියලා විශ්වාස කරනවා.

ඔබ කියන විදිහට පසුගිය ආණ්‌ඩුවෙන් ඔබේ පවුලට අසාධාරණයක්‌ වෙලා තියෙනවා. පවතින රජයෙන් එයට සාධාරණයක්‌ වෙයිද…?

සාධාරණයක්‌ වෙයි කියලා මම විශ්වාස කරනවා. නඩුව ඔප්පු වුණේ නැති නම් කොහොමහරි සාක්‍ෂි හදලා මේ මිනිහව පෝරකයට අරින්න කියලා නම් මේ රජය කියන එකක්‌ නෑ. මේ රජයට අපේ පවුලෙන් පළිගන්න ඕන නෑ. මහත්තය නිවැරැදි නම් නිදහස්‌ වෙයි.

ඔබ ඔය කියන සාධාරණය උසාවිය ඉදිරියේ විභාග වන නඩු තීන්දුවකින් ලැබෙන එකක්‌. නමුත් අපි කිව්වොත් ඔබ මේ උත්සාහ දරන්නේ නොකළ වැරැද්දක්‌ කෙනෙකුට පටවලා ස්‌වාමිපුරුෂයාව සහ පුත්‍රයා නිදොස්‌ කිරීමට කියලා…?

ඒ පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාව ඉදිරියේදී මහත්තයා හෙළි කරයි. වංචා දූෂණ ගැන දැන සිටින්නේ නම් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන්න කියලා රජයෙන් දැනුම් දීලා තියෙනකොට අපි ගිහින් පැමිණිල්ලක්‌ දැම්මහමත් අපිට මඩ ගහනවා. පහුගිය දවසක රන්ජන් රාමනායක මහත්තයා කියලා තිබුණා මම ඇගේ වෛරය රඟපාන්න යනවා කියලා. මම රඟපාන්න නිළියක්‌ නෙමෙයි. නළුවෝ තමයි ඇගේ වෛරය ගැන හොඳට දන්නෙ. මට කාගෙවත් අනුකම්පාවක්‌ අවශ්‍ය නෑ. මගේ මහත්තයා නිර්දෝෂයි කියලා මම දන්නවා. ‘මම මේ පැමිණිලි දැම්මේ වැරැදි වහගන්න කියලා සමහර අය හිතනවා නම් ඒක වැරැදියි. අපි දන්න දේයි පැමිණිලි කළේ. අපිට බොරු කියලා අනුකම්පාවක්‌ අවශ්‍ය නෑ.

වාස්‌ ගුණවර්ධන සහ ඔබගේ පුත්‍රයා සිරභාරයට පත් වෙලා දැනට කොච්චර කාලයක්‌ වෙනවාද?

අවුරුද්දකුත් මාස අටක්‌ විතර වෙනවා.

 

ra

ඒ කාල පරාසය තුළ ඔබේ ජීවිතය ගෙවිලා ගියේ කොහොමද?

ඕනෑම දුකක්‌ කරදරයක්‌ දරාගන්න පුළුවන් ශක්‌තියත් මට තියෙනවා. ඒ ආත්ම ශක්‌තිය අපේ පවුලේ හැමෝටම තියෙනවා. හැමෝම හිතුවා මම වැටෙයි කියලා. නෑ… මාව වට්‌ටන්න බෑ. මට බයක්‌ තිබුණේ මගේ පොඩි පුතා ගැන. එයා රට ඉන්න නිසා තමයි බේරිලා ඉන්නේ. නැත්නම් එයාවත් මොකකට හරි කොටු කරලා හිරේට දානවා. ඒ දරුවට ලංකාවට එන්න බෑ. මට එයාව බලන්න නවසීලන්තයට යන්නත් බෑ. මම ගියොත් මේ වැඩ කරන්නේ කවුද… අපේ පවුලට වෙච්ච දේ නම් මේ ලෝකෙ කිසිම පවුලකට වෙන්න එපා. වැරැදි නොකර අපිට මෙහෙම වෙලා තියෙන්නේ. මම පන්සලක්‌, පල්ලියක්‌, කෝවිලක්‌ ගානෙ ගිහින් අපිට වෙච්ච අසාධාරණයට පිළි ගැහැව්වා. මම පළිගැහැව්ව හැම එකාටම දැන් පඩිසන් දීලා තියෙනවා. මිනිස්‌සුන්ගේ පවුල් විනාශ කරනකොට ඒ සාපය වදිනවා. ඒක නිසා තමයි රජකම් කළත් කළකම් පලදෙමින් තියෙන්නේ. අපිට හොරකම් කරන්න ඕන නෑ. අපිට හොඳට සල්ලි තියෙනවා. අපේ තාත්තට අලි පස්‌ දෙනෙක්‌ හිටියා. අද වගේ හොරෙන් ගන්න අලි නෙමෙයි. ඒ කාලේ අලි ඉන්නේ හොඳ වත්පොහොසත්කම් ඇති පවුල්වලට. අපේ තාත්තා අලින්ගෙන් හම්බ කරගෙන කෑවේ නෑ. පන්සල්වල පෙරහැරවලට අලි දුන්නෙත් පිං පිණිස. අපි හොඳ පවුල්වල මිනිස්‌සු. එහෙම පවුලකින් පැවත එන අපිට ඔය කළු සල්ලි ඕන නෑ. වාස්‌ හොරකම් කරලා කියන අයට පුළුවන් අපේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරලා බලන්න. අපේ වත්කම් ගැන සොයාබලන්න පුළුවන්. එහෙම නොකර අපිට චෝදනා නඟන එක වැරැදියි.

ඔබ මේ සියලු චෝදනා ඉදිරිපත් කළේ වගකීමෙන්ද…?

ඔව්… මම වගකීමෙන් කියන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.