විජයානන්ද දහනායක මැතිවරණකරණය

 

dahanaka amudaya

වැඩි මහන්සියකින් තොරව අග්‍රාමාත්‍ය ධුරයට පත්වු විජයානන්ද දහනායක  ඒ අතින් දෙවැනි වන්නේ  අනපේක්ෂිත ලෙස ජනාධිපතිධුරයට පත්වු ඩී.බී. විජේතුංගට පමණි. කෙසේ වෙතත් දහනායක අග්‍රාමාත්‍ය කාලය තුලදී දේශපාලනික වශයෙන් ඔහු තවත් වැදගත් සිද්ධාන්තයක් ඔප්පු කළේය

එනම් නිසි දර්ශනයක් හෝ සැලසුමක් නැති රාජ්‍ය නායකයෙකුට යා හැකි දුර සීමිත බවයි. හදිසි නීතිය උපයෝගී කර ගනිමින් රාජ්‍ය  පාලනය කල දහනායක ගුවන් විදුලිය ඔස්සේ දේශන පවත්වමින් තමන්ගේ පම්පෝරිය කියා පෑවත් ඔහුට වැඩි දෙනෙක්ගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි විය.ඔහු අනෙක් ඇමතිවරුන් තඹ සතේකට මායිම් නොකළේය

මහ රෑ ඇමතිවරුන් 5 දෙනෙක් අස්කල දහනායකට විශ්වාසභංග යෝජනා දෙකකටම මුහුණ දීමට සිදුවිය. ඒ යෝජනා වලින් යාන්තමින් ගැලවුනත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හරින ලදී. පසුව ලංකා ප්‍රජාතත්ත්‍රවාදි පක්ෂයක් පිහිටුවා ගත්විට ඊට ලංකා පිස්තෝල පක්ෂයයි සමහරුන් සමච්චල් කලත් දහනායක ඒ කිසිත් ගණන් නොගෙන අපේක්ෂකයින් තෝරන්නට විය.

අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් පවසන ආකාරයට ඒ දවස්වල දහනායකගේ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් ලෙස ඉදිරිපත් වීම සඳහා ඉදිරිපත්වුවන් ගෙන් අරලිය ගහ මන්දිරයේ ආලින්දය පිරීගියේය. කෙටි සම්මුඛ සාකච්ඡාවෙන් පසුව ඡන්ද අපේක්ෂකයන් හට නාම යෝජනා ලිපියත් සමඟින් රුපියල් 25,000ක් ලැබිණ. දහනායකට අපේක්ෂකයින් එකසිය එක් දෙනෙක් ඉදිරිපත් කිරීමට හැකි වු අතර  එම මැතිවරණයේදි  ජාතික පක්ෂයක් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කලේ අපේක්ෂකයින් 113කි. මෙවැනි මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වීම සඳහා දුප්පත් කම ‍තොරම්බල් කළ දේශපාලඥයෙකුට හැකියාව ලැබුනේ කෙසේද යන ප්‍රශ්ණය ගැන යලිත් සිතා බැලිය යුතුව ඇත.

 

 

ඒ පිළිබඳ අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් අපූරු කතාවක් කියා තිබේ. දහනායක අග්‍රාමාත්‍යධූරයට පත්ව අරලිය ගහ මන්දිරයට  පැමිණි අවශ්ථාවේදි තමන් සඳහා වෙන් කරන ලද කාමරය ලොකු වැඩි හෙයින් ඔහු කුඩා කාමරයක් ඉල්ලා සිටියේය. ඒ නිසා ලොකු කාමරය තුල කුඩා කාමරයක් සැදීමට සිදුවිය. ඒ කුඩා කාමරය තුල අපූරු යමක් තියෙනවා. ඒ සේප්පුවකි. ඒ වන විට අලුත් අග්‍රාමාත්‍ය වරයාට තැනින් තැන මුදල් ගලා එන්නට වූ අතර, ඒවා සේප්පුවේ තැන්පත්  විය.

1969 මාර්තු 10 වෙනි දා මැතිවරණට තුන් දිනකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් ගාල්ලේදී පැවැත්විණ. එහිදී හිටපු මන්ත්‍රී සෝමවීර  සේනානායක කවියා දහනායක ගැන අනාවැකියක් පළ කළේය.

දකුණු ලකේ අග නගරේ               ගාල්ලයි

මුළු සිරිලකටම රස වෑහෙන           පීල්ලයි

මේ වැසියනට ඔය අලි බොරු       නාල්ලයි

විසි    වෙනිදාට    දහනායක          හූල්ලයි.

කවියෙන් කියු අනාවැකිය සනාථ විය.

පාන්දර යාමයේ මැතිවරණ ප්‍රතිපල නිකුත් වන විට ඡන්ද 463කින් ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක පරාජයට පත්විය. අගමැති කම අහිමි වු දහනායක තමන්ගේ කබල් සූට්කේස් දෙකත්  සමඟ අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගිය බව සමාජගත ප්‍රවාදයයි.

එහෙත් ඒ සූට් කේස්තුල මොනවා තිබුණාද යන්න පිළිබඳ යමක් දැන ගැනීමට නැත. අනෙක් අතින් ඒ කබල් සූට් කේස් දෙකත් සමගින්  අරලිය ගහ මන්දිරයෙන් නික්ම යෑමේ ප්‍රතිරූපය  මාකට් කර ගැනීමට දහනායකට හැකි විය.

දහනායක ඡන්දයෙන් පැරදුනත්  බොහෝ අවශ්ථාවලදි ඡන්ද පෙත්සම් හරහා යළිත් පාර්ලිමෙන්තුවට පැමිණියේය. 1978 දී ගාල්ලේ ඇල්බට් සිල්වා හට පරාජය වී ඉදිරිපත් කළ ඡන්ද පෙත්සම වෙනුවෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නීතිඥයෙකුගේ සහයකින් තොරවයි. ඒ පිළිබඳ ජේ. ආර්. ජයවර්ධන කියා සිටියේ නීතීඥයින් පරම්පරාවකට කරන්නට බැරි වු යමක් දහනායක කළා යනුවෙනි. මේ නඩුවෙදි දහනායක ඉතා දීර්ඝ ලෙස කරුණු දැක්වු අතර තර්ක විතර්ක විචක්ෂණ විය. පසුව පැවැති අතුරු මැතිවරණයේදි දහනායකට එක්සත් ජාතික පක්ෂයෙන් නාම ‍යෝජනා ලැබිණි.  සමුපකාර ඇමතිධූරයක් හිමිවිය.

jr jayawardana

මුලින් නාම යෝජනා ලබා දීමේදි දහනායකගේ ආකර්ශණීය බව නොතකා හැරිය ජේ. ආර්. ජයවර්ධන පවා දහනායක එක්සත් ජාතික පක්ෂයට එක්කර ගැනීම වාසියක් බව පිළිගැනීමට සිදුවිය.

1977 මැතිවරණයේදි දහනායක එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලැබීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එහෙත් ඉන් අනතුරුව දහනායක කළ දේ පිළිබඳ ඇත්තේ අපූරු කතාවකි. ගාල්ලේ එක්සත් ජාතික පක්ෂ රැළියක් පැවැත්වුණ අතර, ඊට පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන සහභාගී වෙන බව දැනගත් විජයානන්ද දහනායක තමන්ගේ මෝටර් රථයකින් කොළඹ සහ ගාල්ල අතර ස්ථානයකට ගියේය.

ජේ.ආර්. ජයවර්ධනගේ වාහනය දුර සිට එනු දුටු දහනායක අතවනා එය නතර කර ගත්තේය. තමන්ගේ කාර් එක  අතර මඟ ඇණ හිටි බවත්, තමන්ට ගාල්ලට යාමට අවශ්‍ය බවත් දහනායක ජේ.ආර්. ජයවර්ධනට කියා සිටියේය.

දහනායකගේ උපක්‍රමය වූයේ ජේ. ආර්ගේ වාහනයෙන් ගමන් කොට ඔහු සමඟ එක්සත් ජාතික පක්ෂ රැළිය කරා පැමිණිමයි. මේ මඟින් ජේ.ආර්. ජයවර්ධන තමන්ට නාම යෝජනා නොදුන්නත් තමන්ට  ඉතා හිතවත් බව පාක්ෂිකයින්ට ඒත්තු ගන්වා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරඟ කරන තමන් තාමත් ප්‍රබලයෙක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට දහනායකට අවශ්‍ය විය. ජේ.ආර්. ජයවර්ධනගේ ශූර බුද්ධිය කිසිසේත්ම  දහනායකට දෙවැනි නොවීය. සාක්කුවෙන් නෝට්ටු කිහිපයක් ඇද ගත් ජේ. ආර්. කුලිරථයක් අරන්  ගාල්ලට යන්නයි පවසමින් නික්ම ගියේ දහනායක අන්ද මන්ද කරමිනි.

මේ ලෙසින් සත්‍ය අසත්‍ය බව තහවුරු කර ගත හැකි ප්‍රවාද සිය ගණනක් දහනායක  වටා ‍ගෙතී  ඇතත් ඒ කිසිවකින් දහනායකගේ භූමිකාව නිරවුල්ව තේරුම් ගැනීම අසීරුය.

දහනායක සතුව තිබුණේ වැල යන අතට මැස්ස ගැසීමේ දේශපාලන කලාවකි. සමසමාජ, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා ස්වාධීන අපේක්ෂක  යන මාවත් ඔස්සේ විවිධා කාර දේශපාලන බල්ටි ගැසු දහනායක පිළිබඳ මතකය සරල සුන්දර දේශපාලඥයෙක්ගේ මතකයක්ද එසේත් නැත්නම්  අදටත් පූර්වාදර්ශයක් වී ඇති සටකපට දේශපාලනය පිළිබඳ මතකයක්ද යන්න පැහැදිලි නැත

විවිධා  විජ්ජා  සහ මවා පෑම් මඟින් තමන්ට අවශ්‍ය ප්‍රතිරූපයක් මවා ගෙන ඒ පෝෂණය කිරීමට නඩත්තු කළ හැකි බව දහනායක දේශපානඥයන් හට ඔප්පු කර පෙන්වුයේය. ඒත් දහනායක මේ සියල්ල කළේ තරමක ඕලාරික පිළිවෙලකටය. පසු කාලීනව මාධ්‍ය ව්‍යාප්ත වීමත් සමඟම ඊට වඩා සියුම් ලෙස මේ කාර්යය කළ හැකි දේශපාලඥයින් රැසක් බිහිවී සිටිති. මේ කළ හැකිව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩි දෙනා ඕනෑම බොරු කාරයෙක්ගේ බොරුව ඇත්තක් සේ පිළිගැනීමට සම්මුති ගතව සිටින බැවිනි. එය දහනායකටත්, දහනායකගෙන් පසුව පැමිණි බොහෝ දේශපාලනකයින්ටත් වාසි දායක විය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.