විජේ සැමරුම

vijaya3

Vijaya Kumaranathunga was commemorated-but?

විජය කුමාරතුංග අපෙන් නික්ම ගොස් 27 වසරක් ගෙවී ඇතත්, ඒ සොදුරු මිනිසා පිලිබද මතකය මාධ්‍ය තුල නලියන ආකාරය  දැකගන්නට ලැබුනා. සැමරුම්  උත්සව පැවැත්වුනා. විජය කුමාරතුංග මතකය යලිත් මාධ්‍ය තුල රීසයිකල් වෙන හැටි බලාහිඳ මේ සටහන ලියන්නට හිතුනා. විජය යලි යලිත් අපේ මතකය තුල පණගැනෙන්නේ ඔහු සොඳුරු මිනිසෙක් වූ නිසා යන්න බැහැර කරන්න බැහැ. එහෙත් ඊට වැඩි යමක් ඒ තුල  තිබෙනවා. පිර විය නොහැකි හිස්තැනක්  යුග යුග පවතින ලෙස  ඇති කොටයි විජය අපෙන් වෙන් වුනේ. විජය දේශපාලනයට මානව දයාව මුසු කලේ වතුරයි තෙලුයි කවලම් වෙන වෙලාවකුත්  තියෙන බව හඟවමින්.
විජය තාමත් මතකය තුල නලියන්නේ විජයට වඩා හොද මනුෂ්‍යයෙක් තාමත් දේශපාලනය තුලින් මතු නොවුන හින්දයි. මේක සදාකාලික වේකන්සියක්. පුරවන්න අමාරු හිස්තැනක්. විජය ගැන කතා බොහෝමයක් මේ දවස්වල මාධ්‍ය හරහා ප්‍රතිචක්‍රීකරණය වුනා. ඒ අතරින් තෝරාගත් සටහන් කිහිපයක් යොදා ගෙන වතුර සහ තෙල් එකට එක් කිරීමේ කලාව විජය ප්‍රගුණ කළ ආකාරය විමසන්නයි  මේ උත්සාහය.

වතුර සහ තෙල් එකට එක් කිරීමේ කලාව

 

ක්‍රිස්තුචරිතය චිත්‍රපටය නිෂ්පාදනය කරපු ඇලරික් ලයනල් ප්‍රනාන්දු කියන ආකාරයට  විජය ලංකාවේ හිටපු දුප්පත්ම නලුවා. තමන් කන කෑම එක හෝ අනුන්ට දන්දී හිනාවෙන්න පුලුවන් මිනිහෙක්. මාධ්‍යට කියපු විදියට ඇලරික් ලඟ ලක්ස් සබන් කැටයක් තියෙනවා. මේක අවුරුදු 30 කට වඩා පැරැණියි. විජයට ජනප්‍රිය නලුවා සදහා සම්මානයක් ලැබුනු දවසක ලැබුණු ලක්ස් කැට දෙකෙන් එකක් ඔහු එදා දුන්නේ පුංචි දැරියකට . ඇලරික්ගේ දියණිය වන නිෂානිට. විජය රගපාන්න ගියාම සල්ලි වලට වඩා තවත් බොහෝ දේ ගැන හිතපු අවස්ථා තිබෙනවා.
විජයට නෙක්සලයිට්  චෝදනා දාලා සිරගත කල වේලාවේ හිටපු ජේලර් කෙනෙක්, ෂෙල්ටන් කුරේරා. තමන්ගේ සමරු සටහන් පොත විජයට  දික්කලා 1982/11/28 කවදාහෝ මේ පවතින ආසාධාරණ සමාජ ක්‍රමයෙන්  යහපත් සාධාරණත්වයක් එළිදකින තෙක් ඔබත් මමත් අප හැමදෙනාම සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන ඉදිරියටම යමු. එදාට උදාවෙන විමුක්තියෙන් සියලු සත්වයෝ යහතින් වෙසෙත්වා ! විජයකුමාරතුංග. විජය මහත්තයාගේ  පුතාගේ නමත් විමුක්ති නේද යැයි ෂෙල්ටන් කුරේරා  බන්ධනාගාරගතව සිටි විජයගෙන් විමසුවා. ඔව් මන් ලියුවේ මට බැරිවුනොත් ජනතාවට විමුක්තිය ලබාදෙන්න පුතා  විමුක්ති කවදා හෝ ඉදිරියට ඒවී කියලා මම විශ්වාස කරනවා යැයි විජය පැවැසුවා. අපට මෙන්ම විජයටත් සිහින දැකීමේ තහනමක් නැත. ඒ සිහින බොඳ වී ගිය කල ඉතුරුවන්නේ මතකයක සේයාව පමණි.

විජයගේ දේශපාලනයත් එවැනිය. ඊට මුල්බැස ගැනීමට තැනක් නැත. සුන්දර මතකයන් අහිමි‍වීමේ වේදනාව පමණි ඉතිරිවන්නේ.

 

vijayachan2)

ඔසී අබේගුණසේකර-චන්ද්‍රිකා- විජේ  -පද්මනාභා -කේතීස්- ඉන්දියාවේදී

 

ක්‍රමයට එල්ලවිය හැකි අභියෝගය
වෝර්ඩ් පෙදෙසේ හුදෙකලාව විසූ ජේ.ආර් ජයවර්ධන විජය සිරගත  කළ විට  බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් විජය වටා රොක් වුනා. දැන් ඉතින් ඔය සහෝදරවරු පහලට බහින්න, නැත්නම් මටත්වඩා  කරදරවෙන්නේ මේ නිලධාරි මහතුන්ට යැයි විජය පැවැසුවේ තමන්ට මේ පිරිස මුණ ගැසීමට දොර හැරිය  ජේලර්වරයාගේ රැකියාව ගැන හිතමිනි. එහෙත් රහස් පොලීසිය ඒ ජේලර්වරයාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීම නතර කලේ නැත. විජය සහ චන්ද්‍රිකා අතර සිරගෙදර සිදුවූ කතාබහ රහසින් පටිගත කොට ඉතා ඉක්මනින් ජේ.ආර් ජයවර්ධනට අසන්නට සැලස්සූ බවයි ෂෙල්ටන් කුරේරා කියා සිටින්නේ. උපායෙන් පිරිපුන්දේශපාලනඥයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන විජය කුමාරතුංග ගෙන් තමන්ට පමණක් නොව “ක්‍රමයට එල්ලවිය හැකි අභියෝගය මැනවින් දැන සිටි බවයි” කුරේරාගේ සාක්ෂියෙන් සනාත වන්නේ.
පසුකාලීනව ආර්. ප්‍රේමදාසත්, සන්නද්ධ කැරලි කරුවනුත්, මේ තර්ජනය පිළිබඳව සවිංඥානිකව සිටි බවට සැකයක් නැත. මේ ක්‍රමය රැකගෙන යන පිරිස්වල වාසනාවට විජයගේ ක්‍රමයට අභියෝග කල හැකි දේශපාලඥයෙක් පේනතෙක්මානයක නැත. විජය ඝාතනය කලබව කියන

ලයනල් රණසිංහ
ලයනල් රණසිංහ

පොලිසියට දුන් කටඋත්තරය අනුව ඔහු මරා දැමීමට හේතුවසේ කොළඹ දිස්ත්‍රික් නායක ජයන්ත කියා සිටියේ ඔහු ඉන්දුලංකා ගිවිසුමට දැකිවූ පක්ෂපාතීත්වයයි. ඉන්දුලංකා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කෙරෙන බව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සහ ඔවුන්ගේ සගයින් ගෙතූ කෙප්පයක් බව දැන් කවුරුත් දනිති. මේ කෙප්පයට සමනලයා දඩයම් කිරීමට තරම් දඩයක් කාරයාගේ හිත දැඩි කිරීමේ සමත්කම තිබුණි. දෘෂ්ටිවාද බොරුව වසාලන අපුරූ පොරෝනයකි.
විජයට ප්‍රතිවිරුද්ධ දේශපාලන වේදිකාවේ සිට වාග් ප්‍රහාර එල්ලකල නලුවෙකි රෙක්ස් කොඩිප්පිලි. රෙක්ස් කොඩිප්පිලි පවසන පරිදි ඔහු නිෂ්පාදනය කල චිත්‍රපටයේ රගපෑමට අවැසි වුවිට  විජය සියල්ල අමතක කොට ඔහු වෙනුවෙන් රඟ පෑවේය. විජයගේ ලෝකයතුල වෛරයට ඉඩක් නොවීය. ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර, මාලනි ෆොන්සේකා සමඟ කළ ඡායාරූපකරණයකින් අනතුරුව ලේක් හවුස් එකේ කැන්ටිමට විත් තේ බොන අතරවාරයේ විජය වෙත ප්‍රශ්ණයක් එල්ල කළේය. හීන් හිනාවක් මුවඟ  රදවාගෙන තම කටහඬ අවදිකල විජය කියා සිටියේ, මාලනි වගේ කෙනෙක් මට හම්බවුනොත් හෙට මම බදිනවා.

විජය මාලනි 

 

malini-vijaya

 

ඇත්තටම විජය මාලනි බඳින්න සියල්ල සුදානම් වු දිනයක් විය. ඒ සදහා තමන්ගේ උපන්දිනය වන අප්‍රේල් 30 වනදා යොදා ගැනිනි. විජය එවකට රෝහල් ගතව සිටි සිඩ්නි අයියා හමුවීමට ගියේ ඔහුගේ ආශිර්වාදය ලබා ගැනීමටයි.  “ නංගි මගේ මල්ලී හොද ගති පැවතුම් තියෙන කෙනෙක් මෙයාව හොඳින් බලාගන්න”යැයි කියු සිඩ්නි අයියා මාලනීගේ හිස අතගෑවේය. මීලගට විජය ගියේ තමන්ගේ මඟුල් ඇදුම ටේලර් වෙතින් ලබා ගැනිමටයි. ඒ ඇඳුම අරන් එලියට එනවිටම   සාස්ත්‍රකරුවෙක් අනාවැකියක් කීවේය. මහත්තයා ඔය මගුල කෙරෙන්නේ නැහැයැයි ඔහු කීවේය. පුරා වසර 15ක් පමණ විජය ඒ සාස්ත්‍රකාරයා සොයා ගැනීමට උත්සාහ කලේය. මන්ද යත්  ඔහු කියූ පරිද්දෙන්ම ඒ විවාහය සිදු නොවී ඒ වෙනුවට සිඩ්නි අයියාගේඅවමඟුල සිදුවිය. විජයගේ පෞද්ගලික ජීවිතය මෙන්ම ඔහුගේ දේශපාලනයත් නිමානොවු ගමනකි.

ලාභ දේශපාලනයේ ගුණය
විජය තමන්ගේ ජනප්‍රියත්වය ලාභ දේශපාලනයට සින්න කළා කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. ඒත් ඒ ලාභ දේශපාලනයේ ගුණය වැඩිදියුණු කරන්න ඔහු බොහෝ දේ කළා කියන එක පිළිගන්න වෙනවා. ඔහු කරපු ලොකුම දේ තමයි මනුස්සකම තියන  දේශපාලනයකට උත්සාහ කරන්න පුලුවන් කියල පෙන්නල දීපු එක. ඒකට උපාය මාර්ග සැලැස්මක් විජයට තිබ්බ නැතිබව පිලිගන්න වෙනවා. ඒත් දේශපාලනය හැමවිටම උපාය මාර්ගිකව තීරණය නොකෙරෙන බවත් අපි දැනගන්න ඕනේ. විජය හිටියානම් ලංකා දේශපාලනය මීට වඩා ගොඩක් වෙනස් වෙනවට කිසිම සැකයක් නැහැ. ඒ වෙනස හොඳද නැද්ද කියන එක වෙනම කාරණයක්.

විජය කුමාරතුංග 25 වෙනි ගුණසමරුව පවත්වපු වේලාවේ ඉන්දියාවෙන් ආපු මහාචාර්යය ප්‍රතාප් භානු මෙහෙතා කිව්වේ විජයගේ මරණය දකුණු ආසියානු රාජ්‍යපාලනය ගැන තියෙන අර්බුදය හුවා දක්වන අවශ්ථාවක් කියලයි. ඇත්තටම ඒ අර්බුධය තේරුම් ගන්න හරි ලේසියි, සරලයි. කිසිම කෙනෙකුට තමන්ට වඩා බලවත් කෙනෙක්ගේ යමක් ප්‍රශ්ණ කරන්න ඉඩක් නැහැ. එහෙම කට ඇරියොත් දඬුවම මරණයයි. මෙයයි විජයගේ  මරණයෙන් හෙළිවන සත්‍යය.

 

 

ඒ සත්‍යය තාමත් වෙනස් වෙලා නැහැ. ඒත් ගැටලුවක් නැහැ. මොකද ලබන අවුරුද්දෙත් විජය සමරමින් ඔහු  පිලිබඳ සොඳුරු මතකයන් ප්‍රතිචක්‍රීකරණය කරමින් එය තළුමරන්න පුලුවන්.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.