වින්දිතයන්ට වන්දි ගෙවා අත පිසදා ගැනීම පමණක් ප්‍රමාණවත්ද?-පෝද්දල

poddala-jayanthaරාජපක්ෂ සමයෙහි පැවැති මාධ්‍ය මර්දනයෙ ්ගොදුරු බවට පත් ජනමාධ්‍යවේදීන්ට සහ ආයතනයන්ට වින්දි ගෙවීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කල නොහැකි බව පෙන්වා දෙන පෝද්දල ජයන්ත එකී අපරාධයන්ට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් දීම අත්‍යවශ්‍ය බව අගතියට පත් ජනමාධ්‍යවේදීන්ට වන්දි ගෙවීමේ කැබිනට් අනුකමිටුවේ ලේකම් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා වෙත ලිපියක් යවමින් පෝද්දල ජයන්ත අවධාරණය කරයි.

එම ලිපිය පහත දැක්වේ.

මහත්මයාණෙනි..!

වින්දිතයන්ට වන්දි ගෙවා අත පිසදා ගැනීම පමණක් ප්‍රමාණවත්ද?

වර්ෂ 2005 සිට 2015 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිදුවූ අගතීන් පිළිබඳ සොයා බලා සහන සැලසීම සඳහා වූ අමාත්‍ය අනුකමිටුව වෙත කෙරෙන යෝජනාවයි.

කිසියම් අපරාධයක් පිළිබඳව විමර්ශනය කර අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට රජයක් අසමත් වේ නම්, එකී අපරාධයට ගොදුරු වූවන්ට අවම වශයෙන් වන්දි ගෙවීම රාජ්‍යයේ පූර්ණ වගකීම වනු ඇත.

එකී වගකීම යම් තරමකින් හෝ ඉටුකර සියල්ල හමාර යැයි කවර හෝ රාජ්‍යයක් අත පිසදා ගැනීමට සැරසෙන්නේ නම්, එය පළමු අපරාධයට වඩා අපරාධයක් බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මර්දනය නොයෙක් ආණ්ඩු යටතේ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වී ඇති අතර, අවම වශයෙන් නිශ්චිත කාල පරාසයක් හෝ සැලකිල්ලට ගෙන එකී කාලය තුළ ජනමාධ්‍යයට එරෙහිව සිදුකළ සියළු අපරාධයන් පිලිබඳ පූර්ණ බලැති විශේෂ ජනාධිපති කොමිසමකින් පුළුල් විමර්ශනයක් කළ යුතු යැයි යෝජනා කරමි.

මර්දනයේ ස්වභාවය

යම් නිශ්චිත කාල පරාසයක් ලෙස 2005-2015 සැලකිල්ලට ගත හොත් ජනමාධ්‍යවේදීන් ඝාතනය, පැහැර ගෙන යෑම, අමානුෂික වධ හිංසා පැමිණවීම, poddalaතර්ජනය කිරීම, ජනමාධ්‍ය ආයතන වෙත ප්‍රහාර එල්ල කිරීම, ගිනි තැබීම, බොරු නඩු පැටලවීම, පෞද්ගලික ජනමාධ්‍ය ආයතන සතු අනෙකුත් ව්‍යාපාර වලට බලපෑම් කිරීම, විද්‍යුත් මාධ්‍ය ආයතන වලට ලබා දී ඇති සංඛ්‍යාත අවලංගු කිරීමේ තර්ජනය, අනියම් පුද්ගලයන් හරහා බලපෑම් කොට ජනමාධ්‍ය ආයතන මිලට ගැනීම, ජනමාධ්‍යවේදීන්ට සහ ආයතන වලට නොයෙකුත් වරදාන ලබා දී නිහඬ කිරීම ආදී මෙකී නොකී සියල්ල ජනමාධ්‍ය මර්දනයේ පැතිකඩවල් ලෙස සැලකිල්ලට ගත යුතු ය.

අවසන් ප්‍රතිඵලය

මෙහි පළමු ප්‍රතිඵලය ලෙස ජනමාධ්‍ය නිහඬ වූ පසු, වෘත්තීය සමිති (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ත්‍රස්තවාදය අවියක් කර ගත් සංවිධානය නොවේ) සිවිල් සංවිධාන වලට බලපෑම්, තර්ජනය කොට ඒවා අකර්මන්‍ය කෙළේය. අවසන් ප්‍රතිඵලය වූයේ සමස්ථ සමාජයම නිර්වින්දනය වීම ය. අනතුරුව පාලක රෙජීමය රිසි සේ තම පෞද්ගලික දේශපාලන අභිමතාර්ථයන් බාධාවකින් තොරව ඉටු කර ගත්තේ ය.

රටේ උන්නතිය වෙනුවෙන් වූ සමාජ ක්‍රියාකාරකම් ගල් ගැසුණු පසු, පාලක රෙජීමයේ ප්‍රබලයෝ කවර හෝ සීමාවකට යටත් නොවී මහා පරිමාණ වංචා, දූෂණ, බලය අනිසි ලෙස යෙදැවීමේ ක්‍රියාවලිය ස්ථාපිත කර ගත්හ. අවසන මුළු රටම එක් පවුලක අණසකට යටත් විය.

අමාත්‍ය අනුකමිටුවේ අත් හළ නොහැකි වගකීම

සාරාංශය ඉහත දැක්වූ ආකාරය වූ බැවින්, අගතියට පත් වූවනට වන්දියක් ගෙවීමේ නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමේ වගකීමෙන් එහාට ගිය විශාල කාර්ය භාරයක් ඔබ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට පැවැරී ඇතැයි මම විශ්වාස කරමි. ඔබ අමාත්‍ය අනුකමිටුවට කළ නොහැකි එහෙත් සිදුකළ යුතු තිර යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබලා සතුව ඇත. එනම් 2005-2015 අතර කාලය තුළ සිදු වූ ජනමාධ්‍ය මර්දනය පිලිබඳ කරුණු විමර්ශනය කිරීමේ පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

තොරතුරු දැන ගැනීමේ පනත කුමකට ද?

වසර ගණනාවක් තිස්සේ අපේ අරගලයක්ව තිබූ තොරතුරු දැන ගැනීමේ පනත යම් යම් අඩුපාඩු සහිතව හෝ ස්ථාපිත කිරීම සතුටට කරුණකි. එහෙත් දැවැන්ත මාධ්‍ය මර්දනයක් තිබෙන අවස්ථාවක මෙහි අයිතිය භුක්ති විඳීමට ඉඩකඩ ලැබෙනු ඇතිද?

උදාහරණයක් ලෙස පසුගිය පාලන සමයේ මෙකී පනත ස්ථාපිතව තිබුණේ වී නම් එකී පනතේ අයිතියක් ලෙස යමෙකු පාලක රෙජීමය නොරුස්සන තොරතුරක් ඉල්ලා සිටියා නම්, එවැනි තොරතුරක් නැවත නොවිමසීමේ පාඩම නිසැකවම උගන්වනු ඇත. තොරතුරු දැන ගැනීම කෙසේ වෙතත් තොරතුරු ඉල්ලූ පුද්ගලයාට ජීවත්ව සිටීමේ අයිතිය අවසන් වනු ඇත. ඉන්පසු තවත් කිසිවෙකු හෝ තොරතුරු විමසීමට ඉදිරිපත් වනු ඇතිද?

යම් අයිතියක් නීති ගත කර තිබූ පමණින් එකී අයිතිය භුක්ති විඳීමට ගිය තැන ඔහු හෝ ඇය සාහසික ලෙස ඝාතනය කරන්නේ නම්, බිය ගන්වන්නේ නම්, ඒ අයිතිය තවකෙකු ඉල්ලා සිටිනු ඇතිද?

උදාහරණයක් ලෙස ප්‍රගීත්ලා ලසන්තලා සිවරාම්ලා ඝාතනය වෙද්දී රටේ නීතියක් ලෙස ලිවීමේ අදහස් දැක්වීමේ අයිතිය නීතිගතව තිබිණ.

කවර හෝ රජයක් අතිශය සංවේදී මානුෂීය අයිතීන් නීතිගත කළද, ඒ අයිතිය එලෙසින්ම භුක්ති විඳීමට නොහැකි වන බාධක පැමිණවීමට එරෙහිව තිර ලෙස වැට කඩොලු බැඳ තැබීම ඔබ රජයේ වගකීමක් විය යුතු ය. නොඑසේ නම් ලබා දුන් සාධනීය අයිතියේ ප්‍රතිඵල සමාජයට අත් නොවනු ඇත.

අනෙක් අතට කවර හෝ රජයක් රටේ ජනමාධ්‍යයට යම් නිදහසක් ලබා දුන් පසු එකී නිදහස පටු න්‍යාය පත්‍ර උදෙසා තිරශ්චීන ලෙස පරිහරණය කරන්නේ නම්, එසේ කිරීමට නොහැකි හර පද්ධතීන්ද ජනමාධ්‍ය තුළ ස්ථාපිත කිරීමටත්, එසේ නොවන ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කිරීමේ සමාජ දැනුවත් භාවය ඇති කිරීමත් රජයක වගකීමක් විය යුතුය.

සිදුකරන ලද අපරාධ විමර්ශනය කර දඬුවම් පමුණුවා, එකී අපරාධ වල තරම කොතෙක්දැයි සමාජ සංවාදයට බඳුන් නොකළ හොත් යලි යලි එවන් භීම සමයන් උදාවීම නොවැළැක්විය හැකිය. ජනමාධ්‍ය නිහඬ කොට සමස්ථ සමාජය නිර්වින්දනය වූ පසු එවන් රටකට සිදුවිය හැකි විපත්තියේ තරම අපි හොඳින්ම අත් විඳ ඇත.

වැලිකඩ ඝාතනයේ වින්දිතයන්ට වන්දි ගෙවීම සහ මාධ්‍යවේදීන්ට වන්දිගෙවීම

වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ම්ලේච්ඡ ඝාතනය ගැන විමර්ශන වාර්තා ඉදිරිපත් වුවද ඒවා සඟවා ඝාතනයට ලක් වූ අයගේ පවුල් වලට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවන ලදී. ඒ අදාල ඝාතනයේ අපරාධකරුවන් සොයා ගැනීමේ අසමත් භාවය නිසා නොව, අපරාධය සැඟවීමේ වුවමනාව බව ඉඳුරා පැහැදිලිය. අදාල වින්දිතයන්ට වන්දි ගෙවීමෙන් පසු දැන් සියල්ල අවසාන ද? වන්දි ගෙවුයේ කාගේ අරමුදල් වලින්ද? මේ බන්ධනාගාරය තුල මෙලෙස ඝාතනය කෙළේ මේ පිරිස පමණක් ද? අපරාධ කරුවන්ට දඬුවම් නොකළහොත් ඉදිරියේ දී ද මෙවන් ඝාතන යළි ඇති වනවා නොවේද? අපරාධයේ සුළ මුල, එකී අපරාධය සිදුකෙළේ කවර කාරණා මතද යන්න සමාජ අවධානයට ලක් නොකිරීමෙන් යළි මෙවන් අපරාධ වලට උඩ ගෙඩි දීමක් සිදුවන බව අපගේ පිළිගැනීමයි.

ඒ අනුව යමින් අගතියට පත් මාධ්‍යවේදීන්ට වන්දි ගෙවීම ද සළකා බැලීමට නිතැතින්ම අපට සිදුවේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙළේ ඇයි? ඔහු ඝාතනය කිරීමෙන් ඝාතකයන් බලාපොරොත්තු වූ කාරණා ඉතා සරල ඒවා ද? ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙළේ ඇයි? ඉන් අපරාධ කරුවන් බලාපොරොත්තු වූයේ ඉතා සරල කාරණා ද? මෙතෙක් කතා බහට ලක් කර නැති උතුරු නැගෙනහිර ජනමාධ්‍යවේදීන්, ජනාමාධ්‍ය ආයතන සේවකයන් රැසක් ඝාතනයට ලක් වූයේ ඉතා සරල කාරණා මතද?

ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු ඔහුගේ හිඩැස පියවන්නට තරම් ඉංග්‍රීසි ජනමාධ්‍යයේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු බිහි වුයේ ද? නැත. ඔහු ජීවත්ව සිටියේ නම් ඔහුගේ මරණින් පසු රට තුළ සිදුවී ඇති අති දැවැන්ත වංචා, දූෂණ කෙතරම් ප්‍රමාණයක් ඔහු විසින් සමාජගත කරනු ඇතිද? වැලිකඩ රැඳැවියන් ඝාතනය නොකෙළේ නම්, ඔවුන් ලවා දේශපාලන බලාධිකාරය කරවා ගත් සාහසික අපරාධ හරි අඩක් හෝ රටට නිරාවරණය වීමට ඉඩ තිබුණා නොවේද? සපුමල් කුමරුගේ කඩුව සොයා කෝට්ටේ රජ මහා විහාරයේ හිමි දෙනමක් ඝාතනය කළ සැකකරුවාගේ නම කියා කැඳවා ඝාතනය කිරීම සැලකිල්ලට ගන්නැයි ඉල්ලමි. ඉන් වසා දැමුනේ ඔහු ලවා අපරාධය කරවා ගත් දේශපාලන බලාධිකාරියට එරෙහි ප්‍රධාන සාක්ෂිය නොවේද?

එහෙයින් අපරාධයකට ගොදුරු වූ වින්දිතයන්ට වන්දි ගෙවීමකින් පමණක් අනාගතයේ එවන් අපරාධ සිදුවීම කිසි ලෙසකවත් නවතින්නේ නැත.

වැරදි පූර්වාදර්ශය

මීට අමතරව මෙය වැරදි පූර්වාදර්ශයකි. කවර හෝ ආණ්ඩුවක් කළ හෝ කරන අපරාධ විමර්ශනය නොකොට, අපරාධ කරුවන්ට දඬුවම් නොකොට, අපරාධ කිරීමට හේතුව සමාජගත නොකොට, එකී අපරාධවල වින්දිතයන්ට වන්දි ගෙවා සියල්ල අවසාන කිරීමේ සම්ප්‍රදායක් මේ මගින් රටතුළ ස්ථාපනය කිරීම අතිශයින්ම නරක පූර්වාදර්ශයකි.

මන්ද සෑම ආණ්ඩුවක්ම තම බලය පවත්වා ගැනීම වෙනුවෙන් කරන සියළු අපරාධ වලට අවසානයේ වන්දි ගෙවන්නේ රටේ පොදු මහජනතාවගේ බදු මුදල් වලිනි. පාලකයන් කරන අපරාධ වලට රටේ ජනතාව වන්දි ගෙවන්නේ ඇයි?

කරුණු එසේ හෙයින්, උක්ත කාරණයේ දී අගතියට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ නිර්දේශ කරන්නේ නම් එයද සිදුකර එවන් තත්ත්වයක් යලි ඇති නොවීමේ ක්‍රියා මාර්ග ලෙස සිදුවූ අපරාධ පිළිබඳව පුළුල් විමර්ශන කොමිසමක් ස්ථාපනය කරන ලෙස රජයට නිර්දේශ ඉදිරිපත් කරන මෙන් ඉතා කරුණාවෙන් සහ වගකීමකින් යුතුව ඉල්ලමි.

මේ යෝජනාව මීට ප්‍රථම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ද රජයට ඉදිරිපත් කර ඇතත්, ඒ පිළිබඳ මෙතෙක් සැලකිලිමත් වී නොමැත. ඔබ අමාත්‍ය අනුකමිටුවෙන් එකී යෝජනාව යළි රජයට ඉදිරිපත් කරන ලෙස නැවතත් ඉල්ලා සිටිමි.

ස්තූතියි

මෙයට විශ්වාසී

පෝද්දල ජයන්ත
(වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති)
[email protected]
New York, USA.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.