විපක්ෂ නායක කමට දිනේෂ් ගුණවර්ධන?

 

 

 

dinesh-gunawardhana (1)

 

විපක්‍ෂ නායක ලෙස මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත් කළ යුතු බවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ කිහිපයක්‌ යෝජනාකර තිබේ.

මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවනාගාරයේදී ඊයේ (23 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායකයෝ මේ බව සඳහන් කළහ.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක තීරණය වන්නේ කථානායකවරයාගේ පිළිගැනීම මත බවත්, කථානායකවරයා විපක්‍ෂ නායක ලෙස පිළිගන්නේ විපක්‍ෂයේ බහුතරයකගේ නායකයා ලෙස කටයුතු කිරීමට විශ්වාසය දිනාගත හැකි වැඩි මන්ත්‍රී නියෝජනයක්‌ තියෙන තැනැත්තා බවත් වාසුදේව නානායක්‌කාර මහතා පැවසීය.

දැන් සිටින විපක්‍ෂ නායකවරයාගේ මන්ත්‍රී කණ්‌ඩායමේ පිරිසක්‌ ආණ්‌ඩුවට ගොස්‌ ඇමැති ධුර ලබාගෙන ඇති නිසා විපක්‍ෂ නායකයා විය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව කථානායකවරයාට තීරණයක්‌ ගැනීමට සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් අනුව වැඩිම සංඛ්‍යාව සිටින කෙනාට විපක්‍ෂ නායක ධුරය ලබාදිය යුතු බවත් ඒ සඳහා සුදුසුම තැනැත්තා දිනේෂ් ගුණවර්ධන මහතා බව තම මතය බවත් පැවසීය.

ශ්‍රී ල.නි.ප. යේ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ඇමැති ධුර භාර ගනිමින් ආණ්‌ඩුවට එක්‌වීම නිසා දැනට සිටින විපක්‍ෂ නායකවරයාට තවදුරටත් එම භූමිකාව ඉටු කළ නොහැකි බව විමල් වීරවංශ මහතා පැවසීය.

එම නිසා විපක්‍ෂ නායක ධුරයට දිනේෂ් ගුණවර්ධන මහතා සුදුසු බවට වාසුදේව නානායක්‌කාර මහතා කරන යෝජනාව තමන් ද අනුමත කරන බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

ජනතා විමුක්‌ති පෙරමුණෙ හා දෙමළ සන්ධානය ද ආණ්‌ඩුව නියෝජනය කරන බැවින් විපක්‍ෂයේ බහුතරය දිනාගත හැකි දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක ධුරයට පත් කළ යුතු බවට කෙරෙන යෝජනාව තමන් ද අනුමත කරන බව උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්‌ති පෙරමුණ ද අද (24 දා) පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායකවරයා කවුරුන්ද යන්න කථානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් විමසීමට කටයුතු කරන බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.