විල්පත්තුව විරෝධයෙන් කැළඹේ

 

වසර ගණනාවක සිට රටේ මහත් ආණ්දෝලනයකට ලක් වතිබෙන විල්පත්තුව වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට විශේෂ නියෝගයක් නිකුත් කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

විල්පත්තු වන විනාශය පිලිබඳ සොයා බැලීම සඳහා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත මහතා පරිසර වේදීන් සහ මාධ්‍යවේදීන් සමග මේ වනවිට එහි සංචාරයකද නිරත වෙමින් සිටී.

විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.

 

 

deforestation-lung-forest-jpg

 

.

විල්පත්තු රක්ෂිතයේ ස්වාරක්ෂක කලාපයේ (Buffer Zone) අයත් ඉඩම් වල ජනාවාස ඉදිකිරීම සම්බන්ධව සමාජ ජාල වෙබ් අඩවි හරහා විශාල ප්‍රතිරොධයක් ඉදිරිපත්වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රධානවශයෙන් චෝදනා එල්ල වන්නේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට වන අතර ඔහුට විරුද්ධව දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ගොඩනැගෙමින් පවතී.

විල්පත්තුව අවට රක්ෂිත විනාශ කරනු ලැබ ඇත්තේ රිෂාඩ් බදියුදීන් පමණක්ම නොවේ. හිටපු අමාත්‍ය සරත් අමුණුගමගේ බෑනා කෙනෙකුවන රොහාන් ප්‍රනාන්දු නැමත්තා විසින් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයට අයත් හා තබ්බෝව අභය භූමිය හා බැදී පවතින වනාන්තර අක්කර 250 ක් ව්‍යාජ ඔප්පුවක් මාර්ගයෙන් ඹහුට අයත් එච්.වී.ඒ. ෆාම් ආයතනයට පවරාගෙන තිබේ. එම ආයතනය මගින් මේ වන විට බැකෝ යන්ත්‍ර යොදාගෙන එම වනාන්තර කොටස එළි පෙහෙළි කරමින් සිටී.

පරිසර සංරක්ෂණ භාරය පවසන්නේ, පලූ, වීර, කළුවර, බුරුත ශාකවලින් සමන්විත වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරය මෙලෙස එළි පෙහෙළි කරන අතර මෙම ප්‍රදේශය අලින් බහුලව ජීවත් වන හා අලින් ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගයක් ද වන බවයි. මේ ව්‍යාපෘතිය සඳහා පළමුව වනාන්තර ප‍්‍රදේශය පුරාම පිවිසුම් මාර්ග පද්ධතියක් සකස් කර ඇත. මේ නිසා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් එළුවන්කුලම හා අච්චිමලේ ප‍්‍රදේශයේ ජනාවාස හා වගාබිම්වලට පැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශය අමුතුවෙන්ම අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වෙමින් පවතී.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය, තබ්බෝව අභයභූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන තුනෙහි අක්කර 35 ක වනාන්තර ප‍්‍රදේශයක් තුල දැනට වසර ගණනාවක සිට අනවසරයෙන් පවත්වාගෙන යන එච්.වී.ඒ ෆාම් වගා ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කිරීම සඳහා අවට පවතින රක්ෂිත වලින් අක්කර 225 ක භූමියක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මීට අමතරව තවත් වනාන්තර අක්කර 75 ක් අනවසරයෙන් අත්පත් කරගෙන ඒ සමස්ත වනාන්තර ප‍්‍රදේශය ආවරණය වන ආකාරයට විදුලි වැටක් ද ඉදි කර තිබේ. මේ අක්කර 75ක භූමිභාගය සඳහා සකස්කර ඇති ව්‍යාජ ඔප්පුවට වනාත විල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා නීත්‍යානුකූල බවක් ලබාදී තිබේ. වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ නිවැරදි තතු දැන සිටිය ද ඔවුන් විසින්ද මෙම ව්‍යාජ ඔප්පුව පිලිගෙන ඇත. මේ තත්ත්වය මෙතෙකින් නතරවී නොමැති අතර විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂක කලාපයේ අලි – ඇතුන්ගේ වාසස්ථාන දක්වාම මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා වයඹ පලාත් පරිසර අධිකාරියෙන් ද අවසර ලබා දී ඇත.

farm1වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිත මධ්‍යයේ පිහිටි එච්.වී.ඒ ෆාම් නමින් පවත්වාගෙන යන අනවසර වගා ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලාඔයට පහළිනි. එනම් පුත්තලම දිස්ති‍්‍රක්කයේ, වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අංක 635 රාල්මඩුව ග‍්‍රාම නිලධාරී වසමේ අච්චිමලේ ග‍්‍රාමයේ ය. අක්කර 35 ක් පමණ වූ භූමි ප‍්‍රදේශයක පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් ලෙස එච්.වී.ඒ ෆාම් පුද්. සමාගම නමින් පරිසර හිතකාමී කාබනික ගොවිපලක මුවාවෙන් මෙය සිදු කරගෙන යනු ලැබිණි. මෙහි ප‍්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කඳානල ලින්ටන් පාර, අංක 39/ඒ, දරණ ස්ථානයේය. මෙම ආයතනයේ හිමිකරු හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ බෑණනුවන් වන රොහාන් ප‍්‍රනාන්දු මහතා ය.

farm2වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 30128.9 ක් වන වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය තුළ මේ ව්‍යාපෘති බිමෙන් වැඩි කොටසක් පිහිටා තිබේ. මේ වගා ව්‍යාපෘතිය පවතින භූමය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ස්ථානගත කර ඇති යෝජිත රක්ෂිතයේ මායිම් කණු ද දක්නට ලැබේ. මීට අමතර ව 2002 ජූලි 19 වන දින අංක 1245/31 දරන ගැසට් නිවේදනයට අනුව ප‍්‍රකාශිත හෙක්ටයාර 2193.309 ක් වන තබ්බෝව අභයභූමියෙහි මේ වගා බිමේ තවත් කොටසක් පිහිටා තිබේ. එපමණක් නොව අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය තුළට ද මේ වගා ව්‍යාපෘතිය පැතිරී ඇත.

 

මේ ප‍්‍රදේශවල පිහිටි රජයේ ඉඩම් අනවසරයෙන් වගා කටයුතු සඳහා යොදා ගැනීම නිරන්තරයෙන් සිදු වේ. පළමු ව අක්කර 2 – 3 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් අනවසරයෙන් අල්ලා ගෙන ඒ භූමිය එළි පෙහෙළි කර වගාවන් සිදු කැරේ. පසු ව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඒ භූමිය වගා කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීමක් සිදු කර වාර්ෂික බලපත‍්‍ර ලබා ගත හැකියි. එච්.වී.ඒ. ෆාම් පෞද්ගලික සමාගම සිදු කර ඇත්තේ ද මේ ක‍්‍රියාවයි. මෙම සමාගම 1997 වසරේ දී පළමුව අක්කර 4 ක් සඳහා ද ඉන් පසු ව අක්කර 8 ක් හා අක්කර 25 ක් සඳහා ද නියමු ව්‍යාපෘතියක් සිදු කිරීමට ඉඩම් ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබේ. එය සැලකිල්ලට ගෙන වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් අක්කර හතරක් සඳහා පමණක් වාර්ෂික බලපත‍්‍ර යටතේ ඉඩම් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

එය ප‍්‍රයෝජනයට ගනිමින් එච්.වී.ඒ. ෆාම් ආයතනය මඟින් අක්කර 35 ක වනාන්තර භූමියක් වරින්වර අනවසරින් එළිපෙහෙළි කර ගස්ලබු, කෙසෙල්, දොඩම් හා අඹ වගා කර ඇත. මෙම වගා කටයුතු සඳහා ස්වාභාවික වනාන්තරය සම්පූර්ණයෙන් ම ඉවත් කර තිබේ. වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීම සිදු කරන්නේ ද ඒ ඉඩම ආසන්නයෙන් ගලා බසිනා රාල්මඩුව ඔයෙනි. මේ අනවසර වගා කටයුතු සඳහා තවත් හෙක්ටයාර 100 ක (අක්කර 250 ක් පමණ) ඉඩම් ප‍්‍රමාණයක් ලබා දෙන ලෙස වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා 1998/03/24 වන දින අදාළ සමාගම විසින් ඉල්ලූම් කරනු ලැබ ඇත. ඒ අනුව වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් 1990 අංක 12 දරන පළාත් පාරිසරික ප‍්‍රඥප්තිය යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන විශේෂ ගැසට් නිවේදනයට අනුව මේ ඉඩම් නිදහස් කිරීම සඳහා පාරිසරික බලපෑම් ඇගැයීම් (තක්සේරු) වාර්තාවක් සකස් කර අනුමැතිය ලබා ගන්නා ලෙසට ව්‍යාපෘති යෝජක සමාගමට දැනුම් දී තිබේ. ඒ අනුව 1999 ජූලි 28 වන දින වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත අනුමැතිය සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ වාර්තාවට අනුව ඉල්ලූම් කර ඇති ඉඩම් ප‍්‍රදේශ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයට හා කලාඔයේ ජලපෝෂක ප‍්‍රදේශයට අයත් වන නිසා, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා නිර්දේශ ලබා දීම ප‍්‍රතික්ෂේප කෙරිණි.

දිස්ත‍්‍රිත් ලේකම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ සැලැසුම් අංශය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රජයේ ආයතනවල නියෝජිතයන් ගේ එකමුතුවෙන් සමන්විත පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව අදාළ කරුණ සම්බන්ධයෙන් 2003.04.02 වන දින රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරු ව ඒකමතික ව තීරණය කර ඇත්තේ පාරිසරික ව හා පුරා විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා මේ ප‍්‍රදේශය සංවර්ධන කටයුතු සඳහා නිදහස් නොකළ යුතු බව යි.

රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ද කෘෂිකාර්මික කටයුත්තක් සඳහා අක්කර 50 කට වඩා වැඩි ඉඩම් ප‍්‍රමාණයක් නිදහස් කිරීමට ප‍්‍රථම, ඊට අදාළ සියලූ ම ආයතනවල නිර්දේශ ලබාගැනීම අවශ්‍යවේ.

farm3මෙවන් නෛතික ප‍්‍රතිපාදන රාශියකට යටත්ව පවතින රජයේ කැළෑ ඉඩමක් පෞද්ගලික ආයතනයක් මඟින් බලහත්කාරයෙන් ලබා ගැනීම ලංකාවේ නීති පද්ධතිය හෑල්ලූවට ලක් කිරීමකි. එච්.වී.ඒ ෆාම් මඟින් දැනට අනවසරයෙන් වගා කර ඇති ඉඩම් කොටසේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා කැණීම් කිරීමේ දී අඩි 02 ක් පමණ උස කිරිගරුඩ බුද්ධ ප‍්‍රතිමාවක් හමු වී ඇත. මීට අමතර ව මේ ප‍්‍රදේශයෙන් ශෛලමය ගල් ආසනයක්, ඇතුළුව ගල් කණු බොහොමයක් මතු ව තිබේ. ඒවා සියල්ල ම එච්.වී.එ. ෆාම් වගා භූමියේ පිහිටි ගොඩනැඟිල්ල ඉදිරිපිට අනාරක්ෂිත ලෙස තබා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගොඩනැඟිල්ල පිහිටි ප‍්‍රදේශය ඇතුළත් ව පුරා වස්තූන් හමු වූ අක්කර 2.5 ක් පමණ භූමි ප‍්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙවැනි ප්‍රදේශයක් වගාකටයුතු වලට යොදාගානීම කිසිසේත්ම සිදු කල නොහැකි කටයුත්තකි.

farm5එච්.වී.ඒ ෆාම් වගා ව්‍යාපෘති භූමිය අලි-ඇතුන් ගැවසෙන ප‍්‍රදේශයකි. ඒ වටා සම්පූර්ණ ප‍්‍රදේශය ම විල්පත්තුව හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස පවතී. නිරන්තරයෙන් මේ ප‍්‍රදේශයට අලි-ඇතුන් පැමිණෙන අතර, අලින් පලවා හැරීමට විශාල පරිශ‍්‍රමයක් දැරීමට මේ සමාගමට සිදු වී ඇත. අලින් මේ වගා භූමියට හානි සිදු කර ඇති ආකාරය ද අප ගේ නිරීක්ෂණවලට ලක් ව තිබේ. මේ තත්ත්වය සැලැකිල්ලට ගෙන 2003 වසරේ දී පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් මේ ස්ථානයෙන් මේ ව්‍යාපෘතිය ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ඒකමතික ව තීරණය කළ ද අදාළ සමාගම මේ වගා ව්‍යාපෘතිය ඉවත් කර නොගැනීමට එරෙහිව සීමාසහිත පාරිසරික පදනම මගින් නඩුකරයක් ගොනු කරන ලදී. පසු ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක 35/2007 දරන නඩුවට අනුව අධිකරණ ක්ෂේත‍්‍රයේ නව පරිච්ෙඡ්දයක් විවර කරමින් හිටපු අග‍්‍රවිනිශ්චකාර සරත් එන් ද සිල්වා මහතා විසින් මේ අනවසර ව්‍යාපෘතිය ඉවත් කිරීම වෙනුවට විකල්ප ඉඩමක් ලබාදෙන ලෙසට නියෝග කැරිණි. ඒ නියෝගය උපයෝගී කර ගනිමින් එච්.වී.ඒ ෆාම් ආයතනය අද වන විට වීරක්කුලිචොලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 225 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන් කර ගෙන තිබේ.

නඩු තීන්දුවේ කිසිදු ස්ථානයක රක්ෂිතයකින් ඉඩම් ලබා දෙන ලෙසට සඳහන් ව නොමැති අතර, දේශපාලන මැදිහත්වීම අනුව මේ ඉඩම් ලබාදීම සිදු කර තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට කරුවලගස් වැව දෙසට අලින් ගමන් කරන සාම්ප‍්‍රදායික ගමන් මාර්ගය විහිදී ඇත්තේ මේ ප‍්‍රදේශය හරහා ය. එමෙන්ම මේ වගා භූමියේ මායිමෙන් ගලා යන රාල්මඩුව ඔය දැඩි නියං කාලවල දී පවා සිදී නොයන බැවින් එහි ජලය බීමට අලි මේ ප‍්‍රදේශයට පැමිණෙති. මේහේතූන් නිසා ප්‍රදේශය තුල නව අලි – මිනිස් ගැටුමකට අවශ්‍ය සියල්ල සූදානම්ව ඇත.

මේ ඉඩම් වෙන්කර දීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක‍්‍රියාවකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මෙලෙස ලබාදීමේ හැකියාවක් නොමැත. 2009 අංක 56 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම යෝජිත රක්ෂිතයට අයත් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම වනාන්තර ඉඩම් ලබා දීම කනගාටුවට කරුණකි.

මීට අමතර ව වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තිය අභියෝගයට ලක් කරමින් හා මුල දී ඒකමතිකව ගත් තීන්දු අභියෝගයට ලක් කරමින් මේ හානි කර ව්‍යාපෘතිය සඳහා පාරිසරික අනුමැතිය ද ලබා දී තිබේ. මේ ප‍්‍රඥප්තිය යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි කැළෑ ඉඩමකල කැළෑ ආශි‍්‍රත නොවන සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගැයීම් කි‍්‍රයාවලියට යටත් ව කටයුතු කර පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. ඒ සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව දුර්වල හා නියමිත ප‍්‍රමාණාත්මක ඇගයීමකින් තොර වාර්තාවකි. එහෙත් මේ වාර්තාව පදනම් කරගෙන වයඹ පළාත් පරිසර අධිකාරිය කෙසේ අවසර ලබා දුන්නේදැයි විශාල ගැටළුවක් මතු වේ. 2003 වසරේ දී රාජ්‍ය නිලධාරීන් සියල්ලගෙන් සැදුම්ලත් පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් ඒකමතික ව හානි කර ව්‍යාපෘතියක් යැයි තීරණය කළ මේ ව්‍යාපෘතියට 2011 වසරේ දී අවසර ලබා දුන්නේ කුමන පදනමක් මත ද යන්න තවත් ගැටළුවකි.

farm4පරිසර හිතකාමී කාබනික ගොවිතැන නාමයෙන් ව්‍යාජ ව හඳුන්වන මේ වගා ව්‍යාපෘතිය සඳහා කිසිදු කාබනික සහතිකයක් ලබාගෙන නොමැත. කාබනික සහතිකකරණයේ ජාත්‍යන්තරව පිළිගත් (IFOAM‐ International Federation of Organic Agriculture Movement) ප‍්‍රමිතීන්ට අනුව වනාන්තරයක් එළි කර එහි කාබනික ගොවිතැන් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් නොමැති අතර ඒ සඳහා කාබනික සහතිකය ලබාගත නොහැක. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ මේ වගාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවත් මෙහි පළතුරු අපනයනය කිරීම සිදු නොකරන බවත් ය. තව ද කාබනික ගොවිතැනේ භාවිත වන නිවැරැදි සටහන් තබාගැනීමේ ක‍්‍රමවේදයක් මෙහි සිදු නොවන බවත් තහවුරු වී ඇත.

මේ සඳහා නීතිය ක‍්‍රියාත්මක කරනු වෙනුවට ඒ සඳහා අනුබල ලබාදීමෙන් හා අදාළ නිලධාරීන් මුනිවත රැකීමෙන් සිදු වන්නේ පියවරින් පියවර රක්ෂිත වනාන්තර විනාශ කිරීමට සමාගම්වලට ඉඩකඩ ලබාදීමකි. පළමු අදියරේ දී ම මේ සඳහා නීතිය ක‍්‍රියාත්මක නොකිරීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ අද වන විට වනාන්තර අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අහිමි වීම යග මෙය වනාන්තර අහිමි කිරීමක් පමණක් නොවේ අලි ඇතුන් ගේ නිජබිමක් හා අලිමංකඩක් අහිමි කිරීමකි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.