විල්ලරවාඩියේ රමණ සුසුම ග්‍රහණය කරගත් හෙන්රි

95e3896c1eaade363724bfdf53cbf260_L

ප්‍රවිශ්ටය
ගාමිණී විජේතුංග පරිවර්තනය කළ මිලාන් කුන්දේරාගේ ‘‘Unbearable Lightness of Being’’ (1998 දී මෙ’නමින් ම සිනමා නිර්මාණයක් ද තිරගතවිය) කෘතියේ සිංහල පරිවර්තනය වන ‘‘පියාපතක්වන් ජීවිතයක්’’ කෘතිය නිකුත් වූ පසු මා එය කියවීමි. විවිධ ස්ථානයන්හි දී හමුවන හිතමිත්‍රයන් සමග සාහිත්‍යය පිළිබඳ කෙරෙන කතාබහේ දී මා එක්තරා පුද්ගලයකුගෙන් (ඔහු එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාධරයෙකි) අදාළ කෘතිය පිළිබඳ විමසුවෙමි. ඔහු එකපැහැර මා වෙත සැපයූ පිළිතුර වූයේ ‘‘අපෝ ඒක මේ ගැනූයි මිනිස්සුයි හු#න එක ගැන ලියවුණ පොතක්නෙ’’ යනුවෙනි.

මා ඔහුට පෙරළා පවසා සිටියේ ‘‘එහෙමනම් මහත්තයො ඔයාට පොත තේරුම් ගන්න බැරි වෙලා. මම නම් දැක්කෙ ඒ පොතෙන් සාකච්ඡා වෙන්නෙ සෝවියට් රුසියාවේ ආක්‍රමණශීලිත්වය; විශේෂයෙන් ම චෙකෝස්ලොවැකියාව යටත් කරගැනීමේ දී අනුගමනය කළ ක්‍රෑර ක්‍රියාමාර්ගය.’’ යනුවෙනි.

ඒ මොහොතේ දී මගේ හිතමිත්‍රයා තදින් ම කෝපයට පත්විය. ‘‘ඔයා කොහොමද මහත්තයො එමෙ කියන්නෙ. සෝවියට් රුසියාව කවදාවත් කිසිම රටක් ආක්‍රමණය කළේ නැහැ. ඔයා එහෙනම් සෝවියට් විප්ලවය ගැන කියවල නැහැ …’’ යනාදි වශයෙන් දීර්ඝ වාදයක පැටලුණේ ය. ඒ සිද්ධිය සම්පූර්ණයෙන් ම වාර්තා කිරීමට මෙය අවස්ථාවක් නොවේ යැයි හැඟෙන බැවින් ඉන් වළකිමි. මා මෙම අතීත සිද්ධිය සිහිපත් කළේ අපේ ඇතැම් සාහිත්‍යය රසකාමීන් විවිධාකාරයේ කෘති තේරුම් ගන්නා විවිධාකාර විධි පිළිබඳ සිහිපත් කිරීම සඳහා ය.

මෙහි සුවිශේෂි නිමිත්ත වන්නේ හෙන්රි වර්ණකුලසූරිය ගේ ‘‘විල්ලර වාඩිය’’ කෘතිය රස විඳීමෙන් අනතුරුව ඒ පිළිබඳ සාහිත්‍යය මිතුරකුගෙන් විමසීමේ දි ඔහු දුන් පිළිතුරයි. ඔහු ද මා හා පැවසුවේ ‘‘අපෝ ඒකෙ ගැනුයි මිනිස්සුයි නිදිවදින එක හැර වෙන මොනවත් නැහැ’’ යනුවෙනි. එදා ‘‘පියාපතක්වන් ජිවිතයක්’’ කෘතිය පිළිබඳ මගේ අදහස පළ කළා මෙන් ‘‘විල්ලරවාඩිය’’ ගැන මගේ අදහස ඒ මිත්‍රයා සමග පවසන්නට මගේ සිත ඉඩ නුදුන්නෙමි. මේ මොහොතේ මා සූදානම් වන්නේ ‘‘විල්ලරවාඩිය’’ පිළිබඳ මගේ කියැවීම ලිවීම සඳහා ය.

විල්ලර වාඩියෙන් ඔබ්බට
කතුවරයා මෙම කෘතිය අරඹන්නේ 1947 අවසන් භාගය සහ 1948 පළමු භාගය පදනම් කර ගනිමිනි. ඔහු අදාළ කෘතිය සඳහා ප්‍රස්තුත කර ගන්නේ වයඹ පළාතේ මුහුදුකරයේ පිහිටි ගම්මානයක වෙසෙන මිනිසුන්ගේ ජීවන රටාව යි. නමුත් කෘතිය කියවාගෙන යද්දි මෙන්ම කියවා අවසන් වන විට හැඟී ගියේ ‘‘විල්ලර වාඩිය’’ යනු විල්ලරවාඩියේ ජීවත් වූ මිනිසුන්ගේ කතාව පමණක් ම නොවූ වගයි.

කෘතිය ආරම්භයේ දී ම කතුවරයා සාකච්ඡා කරන්නේ මෙරටට නිදහස ලැබීම, ලබාගැනීම සහ එය පූර්ණ නිදහසක් ද අර්ධ නිදහසක් ද යන්න පිළිබඳ සමාජයේ අදටත් පවත්නා කුකුස සම්බන්ධයෙනි. මෙය ඇතැම් විට කතුවරයාගේ මැදිහත්වීමක් ලෙ අර්ථ ගැන්විය හැකි වුව ද යථාර්ථය එය නම්…?

‘‘ඒක තමයි කතාව, කවද හරි මේ රටට නියම නිදහස ලැබෙන්නනං වාමාංශිකයො රජ කරන්න ඕනෙ. ඒත් ඒකට මේ කළු සුද්දො ඉඩ දෙන්නෙ නැහැ. පේනවනෙ ඡන්දෙන් යූ.ඇන්.පී. එක දිනපු රඟේ. නිදහස නිදහස කියල ඩී.එස්. සේනානායකල පුරාජේරු ගැහුවට අන්තිමේදි ලැබෙන්නෙ කප්පාදු කරපු නිදහසක්.’’
පිටුව 15

වාමාංශික ආත්මාර්ථය
මේ යථාර්ථය හෙළිදරවු කරන කතුවරයා වාමාංශිකයාගේ ආත්මාර්ථය ද එසැණින් ම ඉස්මතු කරයි. ඒ තම මස්සිනා වන විල්ෆ්‍රඩ් ඉස්කෝලෙ මහත්මයාගේ ක්‍රියාකලාපය පිළිබඳ දෙගිඩියාවෙන් ළතවෙන හෙන්ද්‍රික් අන්නවිරාල ගේ සිතුවිලි හරහා ය.
‘‘අසාධාරණය දුටු තැන එරෙහි වන, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින, වාමාංශික අදහස් දරන විල්ෆ්‍රඩ් ඉස්කෝලෙ මහත්තයා ගැන හෙන්ද්‍රික් අන්නවිරාල විටෙක කලබල වන්නේ ඔහුට අනතුරක් වුවහොත් සිය නැගණියට හා දරුවන්ට යන කලදසාව සිහිපත් කරමිනි.’’
පිටුව එම

වර්ගවාදී බෞද්ධයෝ
වර්තමානයේ මෙන් ම ඊනියා නිදහස ලද වකවානුවේ ද අන්ධ ජාතිමාමකයෝ සිටි බවට ද කතුවරයා ඉඟිසපය යි.
‘‘ඔය යාපනේ දෙමළගෙ ඉඩම හම්බයෙකුට අයිති වෙන්න දෙන එක අපරාධයක්. ආයෙ දෙකක් නෑ මුස්ලිම් ගමක්ම හැදෙයි. මේක කීයටවත් පිට යන්න දෙන්න බෑ… හෙන්ද්‍රික් ගන්නෙ නැත්තං කියනව, මං කොහොම හරි සිංහලයෙකුටම මේක අරන් දෙනව.’’
පිටුව 17

බෞද්ධ දර්ශනයේ උගන්වන්නේ ‘‘සියල්ල අත්හරින්න’’ යනුවෙනි. ජේසුස් වහන්සේ පැවසුවේ ‘‘අසල්වැසියාට ද ප්‍රේම කරන්න’’ යනුවෙනි. එහෙත් මේ සිංහල බෞද්ධයෝ එදා හැසිරුණේ ද, අද හැසිරෙන්නේ ද එකී ආගම් ශාස්තෘවරුන්ගේ දර්ශනයට සපුරා පටහැනිව ය.

කම්කරු නායකයන්ගේ ඇතුළුවත
වර්තමානයේ පැරණි වම මෙන් ම අලුත් වම ද කුජිතව ගොස් ඇත. පැරණි වම ආරම්භයේ කිසියම් වු සාධනීය සේවයක් ලක්වැසි පීඩිත ජනයා වෙනුවෙන් කළ බව අප අමතක නොකළ යුතු ය. (අලුත් වම එසේ නොකළේ යැයි කියන්නට තරම් ලියුම්කරු මුල්ධ නොවෙමි.) එකල ඉතා දැඩි ලෙස ව්‍යාප්තව ගිය මැලෙරියා වසංගතය මර්දනය කිරීම උදෙසා වාමාංශික ව්‍යාපාරයෙන් ලද සහයෝගය අමතක කළ නොහැකි ය. ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට මුල් වූයේ ද එකී රෝගය මර්දනය කිරීම සඳහා ම පිහිටුවාගත් ‘‘සූරියමල් ව්‍යාපාරය’’ යි. කතුවරයා ‘‘විල්ලරවාඩිය’’ නමැති ගම්මානයේ මිනිසුන් ගේ ජීවන තතු පවසන අතරම සිහින් දේශපාලනික මංතීරුවක් ද එකී මාවත පසෙකින් සකස් කරන්නේ නවකතාවේ මතුපිට තලය පමණක් විදින පාඨක සහෘද සහෘදනියන්ගේ අවධානයට ලක් නොවන ආකාරයෙනි. එබඳු පාඨකයෝ ‘‘විල්ලරවාඩිය’’ ගැහැනුන් සහ මිනිසුන් නිදිවදිනා කොටස පමණක් කියැවීම ද අරුමයක් නොවන්නේ ඔවුන් කිසිඳු දේශපාලනික සවිඥානිකත්වකින් හෙබි අය නොවන්නන් වීම හේතුවෙනි.

කම්කරු නායකයකු ලෙස භෞතීස්ම වූ ඊ. ඒ. ගුණසිංහ ගේ යටිකූට්ටු දේශපාලන සටකපටකම් පවා කතුවරයා සිය පෑන් තුඩින් සිතුවම් කරන්නේ ඊනියා කම්කරු නායකයන් ගේ ඇඳිවත උනා දමමිනි. ඔහු ඒ සඳහා උපස්ථම්භක කරගන්නේ කොලම්බු කොමර්ෂල් සහ මූල්ඔය වත්ත කම්කරු සටන ය. කතුවරයා වාක්‍ය කිහිපයකින් එකි ඛේදවාචකය සනිටුහන් කරන්නේ මෙලෙසිනි.
‘‘මොනවද කියන්නෙ ඉස්කෝලෙ මහත්තයට මතක ඇතිනෙ සමසමාජ පක්ෂෙ නායකත්වය දුන්නකොලොන්නාව තෙල් ගබඩාවෙ, හුනුපිටිය කොලම්බු කොමර්ෂල් ස්ට්‍රයික්වලදි කකුලෙන් අදින එකනෙ ගුණසිංහ කළේ…’’
පිටුව 57

ඉන් නොවතින කතුවරයා ඊළඟ නිමේෂයේ දී ඇතැම් වෘත්තීය සමිති නායකයන් කම්කරු සටන් පාවාදෙන්නේ කුමන හේතුවක් මත ද යන්න එක් වාක්‍යකින් හෙළිදරවු කරයි.
‘… මිනිහට මුදුන වෙන්න ලැබෙන්නෙ නැත්තං ඒ කම්කරු සටන වලංගු නෑ…’’
පිටුව එම

මෙම න්‍යාය එදාට පමණක් නොව 80 මහා වැඩවර්ජනයේ ද දක්නට ලැබිණ. වර්තමානයේ ද එහි කිසිඳු වෙනසක් නොමැති බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදුව ඇත.

Knight පදවියට වහවැටුණු කළු සුද්දෝ
මෙරටේ සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටින බොහෝ දේශපාලකයෝ කතෝලික, ක්‍රිස්තියානි හෝ ප්‍රොතෙස්තන්ත්‍ර වූහ. එමෙන් ම සුද්දා මෙරට පාලනය කළ සමයේ ඔවුන් වඩ වඩාත් උත්සුක වූයේ කුමානාරයෙන් හෝ සුද්දාගේ සිත දිනාගැනීම සඳහා අවැසි ඕනෑම කාර්යයක නියැළීමට ය. ඔවුහු අන්‍යආගම් වැලඳගත්තේ ද, ගෙල හිර වන සේ කරපටිය බැඳ කළු කබා ඇන්දේ ද සුද්දාගේ සිත දිනාගැනීම පිණිස මිස කිසිඳු ආගම් ලබ්ධියකින් නොවේ. එවන් දේශපාලකයන්ට සහ ඔවුන්ගේ අවස්ථාවාදීත්වයට කතුවරයා විටින් විට ප්‍රහාර එල්ල කරන්නේ ඉතා සියුම් ආකාරයෙනි.
‘‘සමහරුන්ට ලොකු වුණේ සුද්දන්ගෙන් ලැබෙන නයිට් පදවිය. ඒක ලැබෙන්න පමා වෙනකොටත් හිත රිදෝගන්නව මහ බක්කක් කියල. සර් කෑල්ල නමේ මුලට දාගන්න එක තරම් උජාරුවක් තවත් නෑ. ඉන්දියන් නායකයො කලිසම් කෝට් ගලවල ජාතික ඇඳුමට ගියා. අපේ ජාතික නායකයො ඉංග්‍රීසි ඇඳුමට විතරක් නෙවේ ඉංග්‍රීසි ජිවන රටාවටත් කත්අදින අය…’’
පිටුව 65

කතුවරයා මෙහි දී ‘‘අපේ ජාතික ඇඳුම’’ යනුවෙන් සටහන් කළ ද සැබැවින් ම 1505 පෙර වුව ද අපිට යැයි අනන්‍ය වූ ජාතික ඇඳුමක් තිබුණේ ද යන්න තවමත් නොවිසඳුණ ගැටලුවකි. වර්තමානයේ පිරිමින් අදිනා ජාතික ඇදුම (වේට්ටිය හෝ සුදු සරම සහ උඩ කොටසට අඳින කමිසය) ද කාන්තාවන් අඳින ජාතික ඇඳුම (ඔසරිය හෝ සාරිය) ද ඉන්දියාවෙන් සංක්‍රමණය වූවක් මිස අපේ නොවන බව මේ ඊනියා ජාතිමාමකයෝ නොදනිති. අපේ යැයි කියාගන්නා රජවරු විවාහය පිණිස ඉන්දියාවේ සිට ගෙන්වාගත් කාන්තාවෝ ඔසරිය ඇන්දා මිස ඊට පෙර සිටි කිසිඳු රජ බිසවක් ඔසරිය හෝ සාරිය ඇඳ සිටි බවට ඉතිහාසය සාක්ෂි නොදරයි.

දෙමළා පිළිබඳ සිංහලයාගේ ආකල්පය
සිංහල මිනිසා දෙමළ මිනිසා පිළිබඳ කෙතරම් පහත් අන්දමින් සිතනවා ද යන්න පිළිබඳ මීට පෙර සාහිත්‍යය කලා නිර්මාණකරුවන් ගේ නිර්මාණ පවා ගෙහැර දක්වමින් ලියා ඇත. එහෙත් මේ සිංහල නිර්මාණකරුවන්ට එකී උමතුවෙන් ගැලවිය නොහැකි බව වර්තමානයේ බිහිකෙරෙන ඇතැම් කලා නිර්මාණ දෙස අවධානය යොමු කිරීමේ දී දක්නට හැකි ය.

සාමාන්‍යය පුද්ගලයකු වුව ද නිවසට මෙහෙකරුවකු හෝ මෙහෙකාරියක සොයන්නේ නම් ඒ මෙහෙකරුවා හෝ මෙහකාරිය දෙමළ වන්නේ නම් වඩාත් රුචිකත්වයක් දක්වයි. වත්තක මුරකරුවකුට සුදුසු පුද්ගලයකු සොයන්නේ නම් එම පුද්ගලයා ද දෙමළ වන්නේ නම් වඩාත් රුචි වේ. එමෙන් ම ඕනැම කලා කරුවකු (සාහිත්‍යය, නාට්‍ය, සිනමාව හෝ රූපවාහිනිය) තම සාහිත්‍යය නිර්මාණයේ දී නිවසක මෙහෙකරුවා හෝ දරුවන් බලා ගන්නා ආයම්මා හෝ දෙමළ චරිතයක් බවට පත්කිරීම අනිවාර්ය ය. කලාකරුවා ප්‍රතිනිර්මාණය කරන්නේ සමාජයේ දක්නට ලැබෙන දෙය බව සැබෑ ය. එහෙත් අදාළ කලාකරුවා සවිඥානිකව ද මෙම දෙමළ චරිත තෝරා නොගන්නවායැයි අපි කෙසේ නම් විශ්වාස කරන්න ද? ‘‘විල්ලරවාඩිය’’ කෘතියේ ද මෙකී සංකල්පය බහාලන්නේ හුදෙක් කතුවරයාගේ පුද්ගලික අදහසක් නොවූව ද ප්‍රතිනිර්මාණය සඳහා සමාජ දේශපාලනික යථාර්ථය කෙතරම් දුරට උපස්ථම්භක කර ගන්නවා ද යන්න මේ හරහා ප්‍රකට කෙරේ.
‘‘වින්සන් මුදලාලිගේ අදහස වූයේ දරුපවුලක් ඉඩමේ පදිංචි කරවීම ය. එවිට වත්ත සුද්ද බුද්ද කරගෙන ගඩොල් පෝරනුවේ වැඩපලත් කරගෙන සිටිනු ඇත. දෙමළ පවුලක් නම් වඩාත් හොඳ බව සිතුවේ දෙමළුන් කීකරුව, අවංකව වැඩ කරන බව සේදරං මුදලාලි පැවසූ බැවිනි.’’
පිටුව 102

මෙහි වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ‘‘දෙමළුන් කීකරුව, අවංකව වැඩ කරන බව’’ සඳහන් වීම ය. එහි ද ‘‘දෙමළුන් කීකරුව,’’ යන්න වඩ වඩාත් දෙමළ ජනයා පහත් කොට සැලකීමේ ලක්ෂණය යි. පවත්නා සමාජ දේශපාලනික යථාර්ථය මගහැර යන්න කතුවරයාට නොහැකි වන්නේ හුදෙක් ඔහුගේ දුර්වලතාවක් නිසා නොව ප්‍රබන්ධයත් සත්‍යයත් අතර පවත්නා හුය කඩා බිඳ දමන්නට තරම් නිර්භීත භාවයක් කතුවරයා සතුව නොමැති බැවිනි.

ලිංගිකත්වය අවැසි තැන
ඇතැම් පාඨකයෝ ‘‘විල්ලරවාඩිය’’ කෘතියේ ලිංගිකත්වය විදහා දැක්වෙන අවස්ථා පිළිබඳ විවේචනාත්මක ස්වරූපයෙන් කතා කළ ද පෙර කි පරිදි ම නිර්මාණකරුවා ප්‍රතිනිර්මාණය කරන්නේ ම සමාජ යථාර්ථය යි. මේ ඊට කදිම නිදසුනකි.
‘‘චාලි පැතූ ආකාරයට ම නොවුණද නිකුලස් සදහට ම ගමෙන් පැන ගියේ ය. ඒ තනිවම නොව, සිය නැන්දම්මා ද රැගෙනය.’’
පිටුව 142
මේ ‘නැන්දම්මා’ යනු බිරිඳගේ මව යි. 40 – 50 දශකවල මතු නෙව වර්තමානයේ ද මෙවනු පුවත් අනන්තවත් අසන්නට දකින්නට නොලැබෙන්නේ ද? එසේ නම් කලාකරුවා සිය නිර්මාණ කෙරෙහි මෙවන් සිද්ධි පාදක කරගැනීම හුදු ලිංගිකත්වය විදහා පෑමක් ද?
ඉන් නොනැවතුණ කතුවරයා, මිනිස් සන්තානයේ කාම ආවේගයන් ඉස්මතු වී එය උතුරා පිටාර ගලන අවස්ථා ද නිරූපණය කරන්නේ හුදෙක් සම්මත සංකල්ප මත පදනම්ව නොව කතාවේ ගලා යාමට බාධා නොවන පරිදි ය. මේ ඉන් එක් අවස්ථාවකි.
‘‘මල්ලි… මං ඔයාගෙ අයිය ගැන බලාගෙන හිටියෙ. මාකස් මං ගැන ඇහැක් ඇරල බැලුවෙ නැත්තෙ එයා දැන්මම කසාද නොබඳින්න හිතාගෙන හිටිය හංද වෙන්නැති. මගෙ අම්ම මගෙ මිනිහව උදුරගත්ත… මට ඔයාව ඕන… ඕනෙමයි…’ ඩල්සි වියරුවෙන් මෙන් මැනුවෙල් සිපගන්නට විය.’’
පිටුව145
ඩල්සි යනු සිය නැන්දම්මා සමග පලා ගිය නිකුලස් ගේ බිරිඳ ය. මාකස් යනු ඩල්සි කලක සිට බලාපොරොත්තුවෙන් සිටි පිරිමියා ය. මැනුවෙල් යනු ඒ පිරිමියාගේ සොහොයුරා ය. ඩල්සි ගේ සිත කය ඉල්ලා සිටි පහස නොලැබුණු විට එය ලබාගන්නට ඇය සිය උපක්‍රමශීලි භාවය ක්‍රියාවට නංවන ආකාරය කතුවරයා ඉතා සියුම් අන්දමින් විවරණය කර ඇත. ‘‘කරුමක්කාරයෝ’’ හි සෝමා ද ‘‘තෙවැනි සිල්පදය නොකඩමි’’ හි මිසිස් පෙරේරාද මේ මොහොතේ සිහිවන්නේ නිතැතිනි.

ආගමික බලහත්කාරය
අතීතයේ දි අලුත උපන් දරුවාට නම් තැබූයේ ගමේ ආරචිචි හෝ කෝරාළලා විසිනි. ඔවුන් අදාළ නම යෝජනා කළේ ද දෙමාපියන්ගේ කුල ගොත් ආදිය සලකා බැලීමෙනි. තම දරුවාට නමක් යොදන්නට තරම් දැනුවත්භාවයක් නොතිබුණු මේ දෙමාපියෝ ග්‍රාමපාලකයාගේ හෝ පළාත් පාලකයාගේ සිතැඟි පරිදි සිය දරුවාට නම් තැබූහ. සැබැවින් ම නම තබන්නේ දෙමාපියෝ නොව සුද්දන්ගේ පශ්චාත් භාගය වුව ද සුගන්ධවත් යැයි පිළිගත් ප්‍රාදේශීය පාලකයෝ ය. පසුව මෙය කෙමෙන් කෙමෙන් පල්ලියේ පියතුමාගේ බලහත්කාරයට ද යටත්වන්නට විය. කතුවරයා ඉතාමත් සූක්ෂම අන්දමින් මෙම බලහත්කාරය සිය කෘතිය හරහා ප්‍රකට කරයි.
‘‘උපදින සෑම ළමයකුටම කතෝලික ආගමේ මුනිවරයකුගේ නමක් යොදන්නට අපොන්සු ස්වාමි බල කළේ සුදුසු නමක් ද යෝජනා කරමිනි. දෙමාපියන්ගේ කැමැත්ත අකැමැත්ත මේ දරදඬු පූජාප්‍රසාදිවරයාට අදාළ නොවී ය.’’
පිටුව 148

නිවැරදි වම කුමක් ද…?
ලාංකීය ප්‍රජාව දේශපාලනික වශයෙන් තවමත් අඳබාල ය. ප්‍රගතිශිලින් යැයි කියාගන්නා, වාමාංශිකයන් යැයි කියාගන්නා මේ අඳබාලයන් අදටත් රනිල් භීතිකාවෙන් සහ යූඑන්පී භීතිකාවෙන් පෙළෙන්නේ එබැවිනි. ලාංකීය ප්‍රජාවේ යම් ප්‍රමාණයක් අදහන්නේ යුඑන්පී නොවන සියල්ලෝ ම වාමාංශිකයෝ කියා ය; ප්‍රගතිශීලීන් කියා ය. ‘‘විල්ලරවාඩිය’’ කෘතියේ අන්තර්ගත මෙම කොටස එයට කදිම නිදසුනකි.
‘‘විල්ෆ්‍රඩ් ලොකු ඉස්කෝලෙ මහත්තයා සිටින්නේ බණ්ඩාරනායක, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයක් බිහිකිරීම ගැන උද්දාමයට පත්වෙමිනි.’’
පිටුව 153

මේ පිළිබිඹු වන්නේ ශ්‍රී ලාංකිකයාගේ අදූරදර්ශී භාවය යි. බණ්ඩාරනායක ශ්‍රිලනිපය පිහිටුවාගන්නේ තමන්ට එජාපය තුළ නොතිබූ බලය අත්පත් කරගැනීමේ වුවමනාවට මිස අන් යමකට නොවේ. පසු කලක දී ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුළත් මුදලි ඇතුළු පිරිසක් එජාපයෙන් වෙන්වන්නේ ද එකී බලතන්හාවේ ඵලයක් හේතු කරගෙන මිස සැබෑ ජනතා හිතෛශීන් ලෙස නොවේ. එසේ වූවා නම් අද අලියා වෙනුවට රාජාලියා නිදහසේ පියාසර කරන්නට තිබිණ.

දේශ ද්‍රෝහියා සහ දේශප්‍රේමියා
මෑත වකවානුවේ දේශ ද්‍රෝහීන් පිරිසක් සහ දේශ ප්‍රේමීන් පිරිසක් බිහිවූහ. පවතින ආණ්ඩුවට සහයෝගය දක්වන්නෝ දේශ ප්‍රේමීන් ලෙස ද ඊට එරෙහි වන්නෝ දේශ ද්‍රෝහීන් ලෙස ද හැඳින්වූහ. අතීතයේ ද මේ දෙපිල බෙදීම මෙලෙසින් ම පැවතිනි. ‘‘විල්ලරවාඩිය’’ ඒ වෙනුවෙන් මෙසේ සාක්ෂි සපය යි.
‘‘මාකස්, ජෝජි වැන්නවුන් කැපුවත් ඇඟේ කොළ පාට දුවන යූ.ඇන්.පීකාරයන්ය. ඩී.එස්. සේනානායකට ඔවුන් සලකන්නේ දැඩි භක්තියකිනි. සුද්දගෙන් රට නිදහස් කොට ගෙන ජනතාවට සුළිත මුදිත දේශයක් උරුම කොට දීම ඩී. එස්.ගේ අරමුණ බව මාකස් සිතයි. ඊට එරෙහිව යන්නෝ ද්‍රෝහියෝය. පාහරයෝය.’’
පිටුව 155

මෙම සංකල්පය එදා මතු නොව පසුගිය වකවානුවේ ද පැවතුණි. වර්තමානයේ ද පවතින්නේ ය. ඒ අවස්ථාවාදය, බල තන්හාව සහ දේශපාලන කැදරකම හේතුවෙනි. එදා ඩි. එස්. වෙනුවට අද මහින්ද ය. හෙට වෙනත් පුද්ගලයකු ආදේශ විය හැකි ය.

මෙකී දේශපාලන අවස්ථාවාදය ඉස්මතු කෙරෙන තවත් අවස්ථාවක් වෙත අවධානය යොමු කරමු.
‘‘බණ්ඩාරනායක බෞද්ධාගමට ප්‍රසිද්ධියේ ම ආවේ මේ රටේ වැඩි ජනගහනය බෞද්ධ නිසා බවත්, රටේ නායකකම ගන්නට නම් බෞද්ධයකු ලෙස පෙනී නොසිට සටනක් දිය නොහැකි බවත් හෙන්ද්‍රික් අන්නවිරාළ තේරුම් ගෙන ඇත. එහෙත්, බණ්ඩාරනායක තමන්ගේ ආගම සැබැවටම අත්නොහැරි බව ඔහුගේ විශ්වාසයයි.’’
පිටුව 157

මේ ලාංකීය දේශපාලකයන්ගේ සහ ලාංකීය දේශපාලනයේ ඇතුළු වත යි. ‘‘විල්රවාඩිය’’ ගම්මානයේ මිනිසුන් ගැහැනුන් සමග නිදිවදින කොටස පමණක් දකින පාඨක සමූහය මේ පිළිබඳ සවිඥානික නොවන්නේ ද ඔවුන්ගේ අවස්ථාවාදය සහ දේශපාලනික අවිඥානිකත්වය මත යැයි නිගමනය කිරීම නිවැරදි නොවන බව පසක්වන්නේ මෙවිට ය.

වමේ පාවා දීම
අප දන්නා පරිදි ලාංකීය මැතිවරණ ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ම වාමාංශික ආන්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලබා තිබුණි. එහෙත් වමේ පාවාදීම හේතුවෙන් එම අනගි අවස්ථාව රටටත් රටේ ජනතාවටත් අහිමි වූහ. හෙන්රි සිය ‘‘විල්ලරවාඩිය’’ කෘතිය හරහා මේ සියලු අහුමුළු ස්පර්ෂ කරන්නට සමත්ව ඇත.
‘‘… කොහෙද කොමියුනිස්ට් සමසමාජ හවුලට කිසිම ප්‍රතිපත්තියක් නෑනෙ. පිලිප් ගුණවර්ධනල අවස්ථාවාදියො. නැත්තං තමන්ගෙ සහෝදර පක්ෂයක් වෙච්චි සමසමාජෙට උදව් නොකර බංඩගෙ පැත්තට එක්කහු වෙනවද? ඒකෙන් වුණේ ඇන්. ඇම්.ලට තිබුණ විපක්ෂ නායකකම බංඩට ගිය එක…’’
පිටුව 166

මෙවැනි අවස්ථා කතුවරයාගේ මැදිහත්වීමක් ලෙස ඇතැමකු හැඳින්විය හැකි ය. එය එසේ වුව ද තමන් දන්නා දේශපාලන ඉතිහාසයේ යථා ස්වභාවය සාහිත්‍යය කෘතියක් හරහා සමාජ ගතකරන විට ඒ සඳහා එබදු මැදිහත්වීමක් කළ ද එය කෘතියට ආලෝකයක් මිස හානියක් නොවේ යැයි හැඟෙන්නේ ය.

අනුකම්පාව ඡන්ද මැෂිමක් ලෙස
අනුකම්පාවට ඡන්දය දීමට ද ලාංකීය ඡන්ද දායක දායිකාවෝ ඉතාමත් දක්ෂ ය. මේ සදහා ඇති පදමට උදාහරණ ගෙනහැර දැක්විය හැකි වුව ද එසේ නොකොට ඒ සදහා ‘‘විල්ලරවාඩිය’’ කෙතරම් මහෝපාකාරී වන්නේ ද යන්න විමසා බලමු.

දේශපාලකයා / දේශපාලිකාව යනු කුමන්ත්‍රණකරුවෙකි / කාරියකි. එකී කුමන්ත්‍රණයක් ප්‍රතිඵලයක් ලෙස ‘‘විල්ලරවාඩිය’’ ග්‍රාමයේ එක් අපේක්ෂකයකු වෛද්‍ය නිර්දේශ මත නිවාස අඩස්සියට පත්විය. එය ඔහුට වඩාත් වාසිසහගත අන්දමින් මැතිවරණ සටන මෙහෙයවන්නට එකී පක්ෂයේ පිරිස යොදාගත් ආකාරය කතුවරයා ඉස්මතු කරන්නේ සමස්ත දේශපාලන ක්ෂේත්‍රෙය් ම පවත්නා නිරුවත විදහා පාමිනි.
‘‘දන්නවනෙ ඒ ප්‍රශ්නෙ ජයගත්තු හැටි. හියු මහත්තයගෙඅවුරුදු නවයක් දහයක් විතර වෙච්ච දූ ස්ටේජ් එකට නැග්ගුවනෙ… කෙල්ල ගොත ගගහ තාත්තගෙ අසනීපෙ ගැන කියද්දි කී දෙනෙක් කඳුළු පෙරන්න ගත්ත ද? මමත් දැක්ක දුණුවිල රැස්වීමෙදි. බලන්ඩෙපෑ ස්ටේජ් එකෙයි, වටෙයි හිටි උදවිය දුවව වට කරගෙන අනේ අපොයි කිව්ව හැටි. හියු මහත්තය හිටියට වැඩිය ඡන්ද කඩාගන්නව මේ වැඩෙන්’’
පිටුව 180

පනස් හයේ විකෘතිය
අනතුරුව කතුවරයා සිය පන්හිඳට හසුකරගන්නේ පනස් හයේ පෙරළිය යි.181 පිටුවේ සිට 191 වන පිටුව දක්වා දිවෙන මෙම පෙරළියේ යථා ස්වරුපය සැබැවින් ම සාහිත්‍යය කෘතියක් වෙත උකහා ගැනීම ම අසීරු කාර්යයකි. එහෙත් හෙන්රි මේ යථාව සිය නිර්මාණයට පාදක කොට ගන්නේ හිත් පිත් නැති මැටි පිඬකින් පබාවතියගේ රුව වැනි මූර්තියක් නෙළනාකාරයෙනි. එය එතරම් ම සුනම්‍ය ය; මනරම් ය; ළගන්නා සුලු ය.
සිංහල භාෂාව රාජ්‍යය භාෂව කිරීමේ පාපයෙන් ගැලවීමේ මගක් ලෙස එස්. ඩබ්ලි්‍යු. ආර්. ඩී. බණ්ඩාරනායක ‘බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම’ අත්සන් කරන්නට යෙදුණි. එහෙත් මහා ලොකු ජාතික සමගිය ගැන කටමැත දෙඩවූ එක්සත් ජාතික පක්ෂය කළේ ඊට එරෙහිව පාගමනක් සූදානම් කිරීම ය. මේ සියල්ල ඉතිහාසයේ සිදු වූ බරපතල දේශපාලනික වැරදීම් ය. අනෙක එකල විසූ සහ මෙකල වෙසෙන බොහෝ දේශපාලකයෝ ද ක්ෂණික තීන්දු තීරණ ගනිමින් විසඳන්නට කැසකවන්නේ රටේ අනාගත ගැටලු නොව එදිනෙදා පැවැත්මට අදාළ ඔවුනොවුන්ගේ පුද්ගලික දේශපාලන ගැටලු ය. කතුවරයා ඉතාමත් සියුම් ආකාරයෙන් කෘතියේ චරිත තුළින් ප්‍රකට කරන්ට යත්න දරන්නේ 1956 දී මෙරට සිදු වු දේශපාලන විකෘතියේ යථා ස්වභාවය යි. එදා ජේ. ආර්. ජවයර්ධන කළ පාපතර ක්‍රියාව පිළිබඳ කතුවරයා තම සාහිත්‍යය නිර්මාණය හරහා මෙසේ පිළිබිඹු කරයි.
‘‘මටනං තේරෙන්නෙ නෑමේ රට මොන පැත්තකට ඇදගෙන යනවද කියල. පනස් හයේ කැලණියෙන් පැරදුණ ජේ. ආර්.ල සිංහලබෞද්ධ ආවේග අවුස්සල රට විනාස කරනව.’’
පිටුව 231

එදා ජේ. ආර්. මහා ගින්නකින් රට දවාලන්නට සූදානම් වූයේ කැලණියෙන් පමණක් පරාජය වීමේ පළිය ගන්නට වුව ද වර්තමානයේ සමස්ත රටෙන් ම පරාජයට පත් වූ දේශපාළුවන් යළි යළිත් කැසකවන්නේ මේ විනාශය කරා රට ඇදගෙන යාමට බව මේ දිනවල දක්නට නොලැබේ ද? එහි යථාර්ථය වඩ වඩාත් ප්‍රකට කිරීම සඳහා කතුවරයා සිය චරිතයෝ යළිත් සංවාද ගතකරති.
‘‘ලොකු ඉස්කෝලෙ මහත්තයට කියන්න ඔය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ හොඳ පැති කොයි තරම් තියෙනවද? හරිනම් නායකයො කරන්න ඕනෙ ගිවිසුමේ අඩුපාඩු පෙන්නල දීල ඒක වැඩි හොඳ විදිහකට ක්‍රියාත්මක කරන්න සහයෝගය දෙන එකනෙ. මේ බූරුවො බලන්නෙම තමන්ගෙ ප්‍රතිරූපෙ ගොඩනගාගෙන ඡන්ද ගොඩ වැඩිකොරගන්න. ඕකුන්ට ඇති ජාති ප්‍රේමයක් නෑ…’’
පිටුව 231

මේ හෙළිදරවු කරන්නේ එදත්, අදත්, හෙටත් මේ රට විනාශයේ මුවවිටට ඇදගෙන ගොස් එහි දොරකවුළු විවිර කළ පාදඩ දේශපාලකයන්නේ නිරුවත නොවන්නේ ද? මෙය කියවාගත නොහී මිනිසුන් සහ ගැහැනුන් ඇඳන් මත නිදිවදිනා කොටස පමණක් උකහා ගන්නා පාඨකයෝ පිරිසක් මෙවන් කාති පරිශීලනය කිරීම කෙතරම් ඛේදවාචකයක් ද?
මෙහි දී කතුවරයා පක්ෂ පාට භේදයකින් තොරව ම මෙරට අගාධයට ඇද දැමූ දේශපාලයෝ විවේචනයට ලක් කරයි. මේ ඊට කදිම නිදසුනකි.
‘‘මේකෙ කාරණාව සිංහල – බෞද්ධ ජනතාව පාගල දාන්න යනව කියල හාමුදුරුවන්ව කුලප්පු කරන්නෙ යූ.ඇන්.පී. එක. බණ්ඩාරනායක බලේට ආ විදිහට ම ජාතිවාදෙ අවුස්සල තමයි යූ.ඇන්.පී. එකත් බලේට එන්න යන්නෙ.’’
පිටුව 232

වර්තමාන තත්ත්වය මීට සසඳන්නට නම් කළ යුත්තේ කුමක් ද? ‘යූ.ඇන්.පී.’ යන්නට ‘මහින්දවාදි ශ්‍රී ලංකාකාරයෝ’ කියන නාමය යෙදීම පමණක් නොවන්නේ ද?

හමාර කිරීම
හෙන්රි වර්ණකුලසූරිය නම් වූ කෘතහස්ත පරිවර්තකයා, කවියා, කෙටිකතාකරුවා සිය දෙවන නවකතාව හරහා ‘‘විල්ලරවාඩිය’’ නම් වු මනඃකල්පිත ග්‍රාමයේ මිනිසුන්ගේ ජීවන හැලහැප්පීම් හරහා 1956 වසරේ මෙරට සිදු වූ දේශපාලන විකෘතිය පිළිබඳ කදිම චිත්‍රයක් නිමකරන්නට සමත්ව ඇත. ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදි එය ඇතැමෙකුට ‘‘විල්රවාඩිය’’ ග්‍රාමයේ මිනිසුන්ගේ ලිංගික චර්යාව පිලිබඳ ලියැවුණ කෘතියක් විය හැකි ය. එය කතුවරයාගේ දුර්වලතාවක් නොව කියවන්නාගේ පටු ආකල්පමය වරදකි. සාහිත්‍යය කෘතියක ගැඹුර වටහාගන්නට නොහැකි අදූරදර්ශී පාඨක පිරිසක් එසේ සඳහන් කළ ද සාහිත්‍යයකරුවකු වශයෙන් හෙන්රි සිය වගකීම ඉටු කරන්නේ අතීතයේ සිදුවු දේශපාලන විකෘතිය වාර්තාමය ස්වරුපයෙන් ඉදිරිපත් නොකොට පාඨකයා වෙනත් මානයක් හරහා එකී සන්දර්භය වෙත රැගෙන යාමෙනි. එය ඉතාමත් ප්‍රශස්ත ය.

ජයසිරි අලවත්ත95e3896c1eaade363724bfdf53cbf260_L

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!