වෙලේ සුදා අසු වූ හැටි

වෙ‍ලේ සුදා ගැන ඔත්තුව දුන්නේ ඔත්තුව දුන්නේ හොඳම යාළුවා සිද්දික්

පොලිස් ලොක්කාගේ ගෙදර පාතාලයේ මත්පැන් සාද

වෙ‍ලේ සුදාගේ කුඩු වික්කේ මරදාන සහ කොට්ටාවේ දෙදෙනෙක්

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ් ෆාදර් වූ ගම්‍පොළ විදානගේ සමන් කුමාර නොහොත් වෙ‍ලේ සුදා දැන් ඉන්නේ රහස් ‍පොලිස් භාරයේය. එලෙස රහස් ‍පොලිසියේ සිටින වෙ‍ලේ සුදා කිසිදු පැකිලීමකින් තොරව සියලු දේ දැන් දැන් වාමාරන්නට පටන් ගෙන ඇත. ඒ නිසාම වෙ‍ලේ සුදාගෙන් පඩිගත් බොහෝ දෙනාගේ ඉහමොළ මේ වන විට රත්වී සිටිති. ඒ සියලු දේ හෙළි වෙතැයි බියෙනි.

සියලු දේ එකින් එක වමාරන වෙ‍ලේ සුදාගේ කතාවේ ප්‍රධාන කථානායකයා වී ඇත්තේ කොළඹ ප්‍රදේශය නියෝජනය කරන තරුණ දේශපාලනඥයෙකි. එසේම කා අතරත් හිත හොඳ අයෙකු ලෙස ප්‍රසිද්ධය. එපමණක් නොව ඔහුගේ නමට උපමාවක් නැති බවද ඔහුගේ හිතවත්හු පවසති.
වෙ‍ලේ සුදා හෙළිකරන ආකාරයට මෙම දේශපාලනඥයා මාසිකව කුඩු වැටුප් ලැබූ අයෙකි. එය විටෙක කප්පමක් ලෙසද පසුව සන්තෝසමක් ලෙසද ඉන් අනතුරුව පුරුද්දක් වශයෙන්ද මුදල් ලබාදී ඇත. විශේෂයෙන් ඔහුට මාසිකව ලැබි ඇති උපරිම මුදල ලක්ෂ 25කි. අවමය ලක්ෂ හයක්ද එය කුඩු ප්‍රමාණය අනුව මාසික සන්තෝසම දෙගුණ තෙගුණ වූ බවද වෙ‍ලේ සුදා පවසා ඇත.

එලෙස ලැබෙන මුදල් සිය බිරිඳ සහ ගෝලයන් අතෙහි අදාළ දේශපාලනඥයාට හෝ ඔහුගේ හෙංචයියකුට ලබා දුන් බවද වෙ‍ලේ සුදා සඳහන් කර ඇත. කෙසේ වෙතත් මේ ගනුදෙනු හෝටලයක හෝ මහමගදී සිදුවූ බවත් කිසිදු මොහොතක එම මුදල් ගිණුමකට තැන්පත් නොකළ බවත් වෙ‍ලේ සුදා රහස් ‍පොලිසියේදී වමාරා ඇත.
සුදා හෙළිකරන ආකාරයට මෙම දේශපාලනඥයා සිදුකර ඇත්තේ ඔහුගේ ගෝලබාලයන් ආරක්ෂා කිරීමය. එනම් මෙම දේශපාලනඥයාට තිබූ බලය හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරාදුන් බව සුදා පවසා ඇත. එසේම ඇතැම් අවස්ථාවල ඔහු අදාළ ජාවාරම්කරුවන් ඔහුගේ නිවස තුළ සඟවාගෙන සිටි බවද සුදා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් සුදා කියන සෑම දෙයම විශ්වාස කළ නොහැකි නිසා රහස් ‍පොලිසිය ඉහත කී දේශපාලනඥයාගේ පෞද්ගලික ‍ලේකම් කැඳවා ප්‍රශ්න කර තිබේ. එහිදී ඔහු මේ පිළිබඳ විවිධ කතා කියා ඇත. එනම් මුදල් ලැබූ ආකාරය හා එම දේශපාලනඥයාගේ මිතුරන් ගැනත්ය.
මෙම මිතුරන් ගැන සඳහන් කිරීමේදී මෙම ‍ලේකම්වරයා රටම දන්නා තවත් අයකු ගැන කීවේය. ඒ හිටපු ‍පොලිස්පතිවරයකු ගැනය. මොහු සඳහන් කර ඇති ආකාරයට එම හිටපු ‍පොලිස්පතිවරයා ඉහත කී දේශපාලනඥයාගේ සමීපතම යහළුවෙකි. එපමණක් නොව ඒ මිතුදම කොතරම්ද කියතොත් මේ ‍පොලිස්පතිවරයාගේ නිවසටත් දේශපාලනඥයාගේ නිවසටත් දෙදෙනාම ආගිය බව ඔහු හෙළිකර ඇත.

 

හිටපු ‍පොලිස්පතිවරයා

ඒ අනුව මෙම ‍ලේකම්වරයා සඳහන් කර ඇත්තේ සුදාගේ වැඩවලට උදව් කළ නිසා සුදා විසින් දේපළ පරිත්‍යාගයක්ද කළ බවය. එම දේපළ කුමක්ද යන්න සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මොහුට ඉඩමක් පරිත්‍යාග කර ඇති බවය. එය කැලණිය ප්‍රදේශයෙන් ලබාදී ඇති බවත් මෙහිදී හෙළිවී ඇත. එහෙත් එක එකා කියූ පමණින් එය සනාථ නොවූ නිසා අදාළ හිටපු ‍පොලිස්පතිවරයා සම්බන්ධව බුද්ධි පරීක්ෂයණයක්ද ආරම්භ විය.

එහිදී හෙළිවී ඇත්තේ මෙම ‍පොලිස්පතිවරයා විදෙස්ගතවී ලංකාවට පසුගිය කාලයේ පැමිණ ඇති බවය. එසේ පැමිණි මොහුගේ නිවසේ පසුගිය දෙසැම්බර් අවසානයේදීත් ජනවාරියේ මුදලදීත් මත්පැන් සාද කිහිපයක් පවත්වා ඇති බවය. එම මත්පැන් සාදවලට පැමිණ ඇත්තේද කොළඹ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලයේ නම ගිය පිරිසකි. මෙහිදී හෙළිවන ආකාරයට පැමිණි පිරිස අතර ඝාතන සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවමත් අධිකරණ නඩු විභාග වන පිරිසක්ද පැමිණ ඇත. ඒ සාදය පවත්වා ඇත්තේද පැරණි මිතුදම අලුත් කරමින් පැවති ජනාධිපතිවරණ සටනේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය දැනුම්වත් කිරීම බව මෙම සිද්ධිය බුද්ධි අංශ වෙත හෙළි වී ඇත.

එසේම මෙම සම්බන්ධතා සනාථ කරමින් තවත් සිද්ධියක් හෙළි වී ඇත. එනම් මොහු ‍පොලිස්පතිවරයාව සිටි කාලයේ කොළඹ ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයකුට රාත්‍රියේ හිටිහැටියේ නිවසට එන ලෙස දන්වා ඇත. එසේ පැමිණි ඔහුට නිල ඇඳුමේ සිටම බොන්නට දී ඇත. එසේ බොන්නට දුන්න මොහුට තවත් යහළුවකු හඳුන්වා දී ඇත. ඒ ඉහත කී දේශපාලනඥයාය. එම දේශපාලනඥයා හඳුන්වා දී පවසා ඇත්තේ මෙයා කියන ඕනෑම දෙයක් සිදුකරන ලෙසය.
ඒ නිසාම ‍පොලිසියට කොටුවුණු සෑම ගෝලබාලයෙක්ම අවසානයේ නිදහස් වූයේ ඉහත කී දේශපාලනඥයාගේ නියෝග නිසාය. මෙම සිද්ධි අප කියන ඒවා නොව බුද්ධි අංශ සොයාගත් තොරතුරුය.

එපමණක් නොව වෙ‍ලේ සුදාගේ කුඩු විකිණූූ ජපන් චූටි නමැත්තා මියගිය බවට රට පුරා ප්‍රසිද්ධ විය. ඒ සඳහා මරණ සහතිකද තිබුණේය. ඒත් අවසානයේ ජපන් චූටි 2010 වසරේදී හදිසියේම මතු වුණේය. ඒ ඉහත කී දේශපාලනඥයා සමීපයේ සිටය. එසේ සැඟවී සිටි ජපන් චූටි පවා හිටපු ‍පොලිස්පතිගේ මිතුරකු බව ආරක්ෂක අංශ එවකට මෙන්ම දැන්ද සනාථ කරන්නේය.
කෙසේ වෙතත් මේ සියලු තොරතුරු ලැබෙන විට හිටපු ‍පොලිස්පතිවරයා අතුරුදන් වී ඇත. එසේ අතුරුදන් වූ ඔහු ඇතැම් නිලධාරීන්ට දුරකථනයෙන් පවා බලපෑම් කරමින් සිටිනා බව ‍පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.
කෙසේ වෙතත් රහස් ‍පොලිසිය සහ බුද්ධි අංශය තවත් සිද්ධියක් පසුපස මේ වන විට පන්නන්නට පටන් ගෙන ඇත. එනම් ඉහත කී ‍පොලිස්පතිවරයා කාලයක් ඩුබායිද සිට ඇත. එමෙන්ම වෙ‍ලේ සුදාද කාලයක් ඩුබායි සිට ඇත. මොවුන් දෙදෙනාම ඩුබායි සිට ඇත්තේ එකම කාලයකදීද එසේ සිටියා නම් එහිදී ගනුදෙනු කළාද යන්නත් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.
පරම්පරාවෙන් උරුම වූ දායාදයක්

welesuda
මේ සියලු කරුණු හෙළිකරන අතරතුර වෙ‍ලේ සුදා සිය අතීතයද මනාව හෙළිකර ඇත. එනම් ඔහු ඉපදී ඇත්තේ 1977 වසරේදීය. 1977 වසරේ උපදින විටත් සුදාගේ පියා සහ සහෝදරයා හෙරොයින් ජාවාරමේ මුල් පෙළේ සාමාජිකයන් වී සිට ඇත. මේ නිසාම පරම්පරාවෙන් උරුම වූ දායාදයක් ලෙස සුදාද ජවාරමට අතගසා ඇත. එතැන් පටන් ජාවාරමේ නිරත වී සිටි සුදා 2000 වසරේදී මැයි 27 දින ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටුවී ඇත. ඒ හෙරොයින් ග්‍රෑම් 6.07ක් සමගය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට නඩුවක් තවමත් විභාග වෙමින් පවතී. කෙසේ වෙතත් ඊට අදාළ ‍පොත්පත් දැනටමත් අතුරුදන් වී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් එම නඩුවෙන් ඇප ලබා සිට පැමිණි සුදා 2009 වසරේදී නැවතත් කුඩුත් සමග කොටු වේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයටය. එවකට එහි සිටියේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටින ඩී.ආර්.එල්. රණවීර මහතාය.

එම නඩුවෙන් බේරී එළියට පැමිණි සුදා 2011 වසරේදී කාටත් හොරා රට පනින්නේ ඒ වන විටත් රට පුරා පැවැති සුදු වෑන් භීතිකාව නිසාය. ඒ සුදාගේ ඉරණම කොයි මොහොතක අවසන් වේදැයි සැකයෙනි. මේ නිසාම සුදා මානගොඩ කම්කානම්ලාගේ සමන් ප්‍රදීප් යන නමින් ඉන්දියාවට පැන ගන්නේ ජීවිතය බේරාගැනීමටය.
එලෙස විදේශ ගත වන සුදාට ඉන්දියාවේදී තවත් සගයකු හමුවේ. ඔහු මෙරට හෙරොයින් ජාලයේ මුල් පුරුකක් වූ කිඹුලා ඇළේ ගුණාය. ගුණාගේ උපදෙස් මත සුදා විසින් නැවත හෙරොයින් ජාවාරම ඉන්දියාවේ සිට ආරම්භ කරනු ලබයි.
එලෙස ජාවාරම සිදුකරන අතරතුර සුදා හදිසියේම නැවත සිංගප්පූරුවට පැන ගනී. ඒ විජේසිංහ ආරච්චිලාගේ සුනිමල් සංජීව යන ව්‍යාජ නමිනි. එම ව්‍යාජ නමින් පැනගත් සුදාට එහිදී තවත් මිතුරකු හමුවේ. ඔහු වෙන කවුරුත් නොව ජාත්‍යන්තර හෙරොයින් ජාලයේ රජකු වන මොහොමඩ් සිද්දික්ය. සිද්දික් සමග ඇති වන බැඳීම අවසානයේ වෙ‍ලේ සුදාද ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරුවකු බවට ප්‍රසිද්ධ වේ.

මෙම බැඳීමත් සමග සුදා සහ සිද්ධික් හදිසියේම පාකිස්තානය බලා පිටත් වෙයි. ඒ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පාකිස්තානයේ හෙරොයින්වලට තිබූ ඉල්ලුම නිසාය. පාකිස්තානයට හෙරොයින්වලින් ජාත්‍යන්තර වශයෙන් විශාල තැනක් හිමි වී තිබිණි.
එයට හේතු වී ඇත්තේ දකුණු ඉන්දියාව හරහා පිටත්වන හෙරොයින්වලට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකිරීම නිසාය. ඒ නිසාම පාකිස්නායට පනින මෙම දෙදෙනා පිරිසිදු හෙරොයින් විකිණීම ආරම්භ කරති.

ශ්‍රී ලංකාවට කිසි දිනෙක පාකිස්තානු හෙරොයින් නොලැබුණු නිසා සිද්ධික් සහ සුදා විසින් පාකිස්තාන හෙරොයින් ජාලය ශ්‍රී ලංකාවට සම්බන්ධ කරනු ලබයි. මේ නිසාම මෙරට සිටි කුඩ්ඩන්ටද එය අලුත් අත්දැකීමක් විය.
මෙම හෙරොයින් ගනුදෙනුවේදී සුදාට සහ සිද්ධික්ට විශාල වශයෙන් සහයෝගය දෙන්නේ මුස්ලිම් පාතාලය විසිනි. ඒ නිසා විශාල වශයෙන් හෙරොයින් මෙරටට එවීම පමණක් නොව මෙරටින් වෙනත් රටවලට යැවීමටද සුදා සහ සුදාගේ ගෝලයන් විසින් සිදුකරනු ලබයි. ඒ අනුව සුදාගේ කුඩු ආවේ වරාය හරාය. එනම් පී.වී.සී. බට, විවිධ ගණයේ යන්ත්‍ර, විවිධාකාරයේ වාහන තුළ මහා පරිමාණයෙන් හෙරොයින් මෙරටට පැමිණෙන්නට විය. මේ නිසාම දකුණු ආසියාවේ හෙරොයින් ජාලයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව ඉබේටම පත් විය.

සැකය

මේ ආකාරයෙන් මෙම ජාවාරම සිදුවන විට වෙ‍ලේ සුදාත් සිද්ධික් අතරත් තිබූ දීගය කැඩී ගියේය. අවසානයේ දෙදෙනා දෙදෙනාට වෛර කරන වෛරක්කාරයන් බවට පත් වූහ. මේ නිසාම දෙදෙනා දෙදෙනාට හොරෙන් හෙරොයින් ශ්‍රී ලංකාවට එවන්නට පටන් ගත්තේ දෙදෙනා ගැන තිබූ සැකය නිසාය.
ඒ අනුව මෙම ගැටුමේ ප්‍රධාන තැන වන්නේ 2014 ජූලි මාසයේදීය. එනම් සිද්ධික් විසින් මෙරටට හෙරොයින් කිලෝ 100ක් පමණ එවීමෙනි. ඒ සුදාට හොරාය. කෙසේ වෙතත් සුදාට අවසානයේ මෙම සිද්ධිය දැන ගන්නට ලැබුණේය. මේ නිසාම සුදා විසින් සුදාගේම දුරකථනයෙන් මෙරට ‍පොලිස් නිලධාරියකුට ඔත්තුවක් ලබා දුන්නේය. ඒ හෙරොයින් තොගයක් මෙරටට පැමිණි බව කියාය. කෙසේ වෙතත් එම ‍පොලිස් නිලධාරියාට ලැබුණු තොරතුර නිවැරදි නිසා ඔහු මේ පිළිබඳ විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමකට දැනුම් දුන්නේය.

ඒ අනුව 2014 ජූලි 14 වැනිදා රාත්‍රියේදී විශේෂ කාර්ය බළකාය මගින් හෙරොයින් කිලෝ 85ක් අත්අඩංගුවට ගත්තේ සුදාගේ ඔත්තුව නිසාය. මේ බව අදාළ නිලධාරින් දැන සිටියාද නැද්ද යන්න ගැටලුවක් වී ඇත. ඒ නිසා මේ ගැන දැනටමත් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ ගැටුම මේ ආකාරයෙන් සිදුවන විට සිද්ධික් තව තවත් සුදා සමග වෛර බැඳ ගත්තේය. කෙසේ හෝ ඉහත හෙරොයින් තොගයෙන් කිලෝ නවයක් පැන්නුවත් අවසානයේ ඒ නවයද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ජූලි 15දා සොයා ගත්තේය. මේ නිසා තව තවත් සිද්ධික්ට සුදා එපා වුණේය.
මේ අතරතුර කිහිප වතාවක් සිද්ධික්ගේ හෙරොයින් මෙරටදී කොටු වූ නිසා සිද්ධික් නිතර සැක කෙරුවේ සුදා ගැනය. මේ නිසා සිද්ධික් තමන්ට වාරයක් එනතෙක් පුල පුලා බලා සිටියේය.
ට්‍රැක්ටර් දෙකෙහි ටයර්
කාලය ගෙවී ගියේය. 2014 ඔක්තෝබර් මාසයේදී තවත් කුඩු තොගයක් මෙරටට එවීමට සුදා සැලසුමක් ඇන්දේය ඒ සැලසුමට අනුව සිදුවීමට තිබුණේ ට්‍රැක්ටර් දෙකක් මෙරටට එවීමටය. එම ට්‍රැක්ටර් දෙකෙහි ටයර් තුළ හෙරොයින් කිලෝ 185ක් සැඟවීමට සුදාගේ සැලසුම විය. ඒ අනුව ඒ සැලසුමට අනුව අදාළ ට්‍රැක්ටර් දෙක මෙරටට ව්‍යාජ සමාගමක් නමින් එවීමට තිබුණේය.
හැංගි හොරා වෙස් බඳින්නට ගියත් අවසානයේ මෙය සිද්ධික්ට දැන ගන්නට ලැබුණේය. ඒ නිසාම සිද්ධික් හැකි ඉක්මනින් මේ පිළිබඳව ඔත්තුව පාකිස්තාන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දුන්නේය. එම ඔත්තුව මත එම අදාළ ට්‍රැක්ටර් දෙකත් වෙ‍ලේ සුදාවත් එරට ආරක්ෂක අංශයට කොටු වුණේය. ඒ සිද්ධික්ගේ ඔත්තුව නිසාය. ඒ බව සුදාද දන්නා දෙයකි.

අවසානයේ මෙරටට රැගෙන ආ සුදා එකින් එකට කියන්නට ගත්තේ පුද්ගලයන්ගේ නම්ගම් ඇතිවය. සුදාගේ හෙරොයින් විකිණීමට මෙරට භාරවී තිබි ඇත්තේ මරදාන සහ කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුටය. කෙසේ වෙතත් මරදාන ප්‍රදේශයේ පුද්ගලයා දැනටමත් රටින් පැන ගොස් ඇත.
මොවුන් දෙදෙනා අතින් පුද්ගලයන් 12 දෙනකු වෙත හෙරොයින් බෙදාහැර ඇති අතර ඔවුන් හරහා දිවයින පුරා හෙරොයින් විකිණූ බව සුදා සඳහන් කර ඇත. ඒ අනුව දැනට හෙරොයින් කිලෝ 1000ක ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් බෙදාහැර ඇත. එසේ බෙදාහැරි හෙරොයින්වල මුදල් උණ්ඩියල් ක්‍රමය හරහා සුදාට යවා ඇත. එය පාකිස්තානයේ හඳුන්වන්නේ නවාලා යන නමිනි.

 

සුදාගේ ගෝලයන් 48 දෙනකු

කෙසේ වෙතත් මේ වන විට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සුදාගේ ගෝලයන් 48 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ සුදාගෙන් පඩිගත් ඇතැම් ‍පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි නිසාය. එහෙත් එම නිලධාරීන් අද වන විට විශ්‍රාම ගොස් ඇත. එක් අයෙක් උප ‍පොලිස් පරීක්ෂකවරයෙකි. අනෙක් පුද්ගලයා සැරයන්වරයෙකි. ඔවුන් දෙදෙනාම විශ්‍රාම ගොස් ඇත. ඒ බව වෙ‍ලේ සුදා පවා දන්නා කරුණකි. එසේම තවත් උප ‍පොලිස් පරීක්ෂකවරයකු තවමත් සේවයේ සිටින බව පරීක්ෂණවලදී හෙළිවී ඇත. ඒ නිසා මේ සියලු දෙනා ගැන අලුතින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
එසේම ඊට අමතරව මෙම ලිපියේ මුලකී ආකාරයට සුදාගේ සමීපතමයන් වී සිට ඇත්තේ කොළඹ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා බවද සුදා හෙළි කර ඇත.
එපමණක් නොව සුදා ඩුබායි රාජ්‍යයෙහි සිටින කල ව්‍යාජ ගුවන් බලපත්‍ර සකසන ස්ථානයක්ද පවත්වාගෙන ගොස් ඇත. එක් බලපත්‍රයක් සැකසීමට රුපියල් ලක්ෂ පහක මුදලක් සුදා ලබාගෙන ඇත. ඒ සුදාගේ අතුරු ව්‍යාපාර විය.

කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ සිටින සුදා විවිධ පුද්ගලයන්ගේ නම්ගම් හෙළි කරමින් පවතී. ඒ හෙළිකරන නම් ගම් තවමත් මේ ශ්‍රී ලංකා ද්වීපය තුළ ජීවත්වන අයය. ඔවුන් ඉන්නේද අප අවටමය. එසේම ඔවුන් බලවත් පුද්ගලයන්ය. ඒ නිසා දැන් ‍පොලිසිය සිදුකරන්නේ අදාළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමය.
කෙසේ වෙතත් එම පරීක්ෂණවලදී සියලු දේ සනාථ වුවහොත් අදාළ හිටපු ‍පොලිස්පතිවරයාත් කොළඹ දේශපාලනඥයාත් අත්අඩංගුවට ගන්නා බව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

[vsw id=”/yocRCPG2_Bc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.