වේලි ඔයේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ඉදි කිරීමට යළි සූදානම්

golfපසුගිය රජය පැවති සමයේ දී ආරම්භ කිරීමට සැලැසුම් කළ වේලි ඔය ගොල්ෆ් ක්‍රීඩා පිටිය හා හෝටල් ව්‍යාපෘතිය පරිසර සංවිධානවල බලපෑම මත හා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඊට එරෙහිව ගෙන ගිය අධිකරණ ක්‍රියාමාර්ගවල ප‍්‍රතිඵලයක් ලෙස තාවකාලිකව නතර කිරීමට හැකි වුවද වත්මන් රජයේ අනුග‍්‍රහය යටතේ නැවත වරක් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් වේ.

ආයෝජන මණ්ඩල අනුමැතිය

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ මැදිහත්වීම මත හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ සහයෝගය මත මෙම හානිකර ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපෘතියක් ලෙස නැවත ආරම්භ කිරීමට මේ වනවිට සැලැසුම් කර තිබේ. ඒ සඳහා උපුල් ජයසූරිය මහතා විසින් ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා දීමට පියවර ගනිමින් සිටී.

මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට සූදානම් වන්නේ ජල පෝෂක හා අලි – ඇතුන්ගේ වාසස්ථාන ලෙස ඉතාම වැදගත් වනාන්තර පද්ධතියකි. රුපියල් මිලියන 850ක් පමණ වැය කර ක්‍රියාත්මක කළ වේලිඔය වාරි ව්‍යාපාරය යටතේ යල – මහ දෙකන්නය වගා කළ ජනතාව අවතැන් කරමින් සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628ක් එළි පෙහෙළි කර  “Eco Golf Resort” නමින් මෙම ගොල්ෆ් ක‍්‍රීඩා පිටිය හා හෝටලය ඉදිකිරීමට සැලැසුම් කර තිබේ.

හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, රන්වන්ගුහාව ග‍්‍රාම නිලධාරී වසමේ දඩයම්පළගම ග‍්‍රාමයේ පිහිටි වනාන්තර මේ ව්‍යාපෘතියට යොදා ගැනෙන අතර “Alpha and Omega Developers (Pvt) Ltd” නම් සමාගම විසින් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.

මේ සඳහා යොදා ගන්නා ඉඩම් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වන අතර මේ වනාන්තර ඉඩම් වේලි ඔය වාරි ව්‍යාපෘතියේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ වේ. මීට අතරව උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි අලි – ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයකි.

මේ වනාන්තර බිම් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ එච්.එම්. ජනක රවීන්ද්‍ර කළුපහන මහතාගේ පියා විසින් වරින්වර වංචනික ලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත. අංක 1567 (2006.07.21 දින ලියාපදිංචි අංක න්‍152/126 බදුල්ල) දරන ඔප්පුවේ උප ලේඛන ගත වනාන්තර ඉඩම් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගමේ ආයෝජකයා වන ඇමෙරිකාවේ පදිංචි වාසු රාසයියා මහතා ලබාගෙන ඇත්තේද එලෙස පැවරූ පුද්ගලයකුගෙනි.

පසුගිය රජය පැවති සමයේ දී මේ ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම පිටුපස සිටි ප‍්‍රධාන දේශපාලන හස්තය වූයේ ව.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ගේ පුත් හපුතලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, එකළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත් ලොකු බණ්ඩාර මහතා ය. වත්මන් රජය බලයට පත් වූ පසුව වාසු රාසයියා මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා හරහාද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ගැනීමට දැඩි උත්සාහයක් දැරීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!