ශ්‍රී ලංකා ක්‍රිකට්‌ -සිදත් ගේ ඉනිම

අතුරු කමිටුවෙන් පටන් ගත් ක්‍රිකට්‌ මෙහෙයුමේ දර්ශනය

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඉතිහාසය පුරා ‘ටොන්’ ගණනින් යෝජනා ඉදිරිපත්ව තිබුණි. එහෙත් පරිපාලනයේ ප්‍රධානීන්ගේ සුක්‌කානාම ඡන්දය නමැති කතිරය වෙනුවෙන් කරකැවීම හේතුවෙන් සහ පෞද්ගලික න්‍යාය පත්‍රයක්‌ ක්‍රියාත්මක කිරීමෙන් අද වන විටආයතනය මුල්‍යමය අතින් බිමටම සමතලා වී තිබේ. එය ගොඩනැගීමේ වත්මන් මෙහෙයුම්කරු බවට පත්ව ඇත්තේ සිදත් වෙත්තමුණිය. ඔහුගේ වෑයම කොතරම් දුරට සාර්ථක කරගත හැකිද යන්න මාතෘකාවට බඳුන් විය යුතුව තිබේ.

සිදත් වෙත්තමුණි ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරයා ලෙස වැඩ පටන් ගත්තේ ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගේ ඉල්ලීමක්‌ පරිදිය. එබැවින් වැඩේ පටන් අරන් දින 30 කට පසුව මෙරට ක්‍රිකට්‌ වෙනුවෙන් ඔහු කළ කී දැ මාධ්‍ය හමුවේ දිග හැරියේය. බලය නැමැති ආයුධය අතැතිව ප්‍රතිවාදීන්ට අත දිගහැර පහර එල්ල කරමින් ‘උඩු බුරන’ ‘කුහක’ දේශපාලනඥයන්ටද සිදත් වෙත්තමුණිගේ පරිපාලනයේ පළමු දින 30 දී උකහා ගත හැකි බොහෝ දේ තිබේ. ඔහු කිසිවකුට චෝදනා කළේ නැත. තමන්ගේ වැඩපිළිවෙල පිළිබඳව පමණක්‌ කතා කළේය. ‘මම කොච්චර දවසක්‌ මෙතන හිටියිද කියන්න බැහැ. හැබැයි මම ඉන්න ටිකේ වැඩපිළිවෙල සකස්‌ කරනවා. එන ඕන කෙනෙකුට ඒක දිගටම අරගෙන යන්න පුලුවන්.’ යනුවෙන් සිදත් වෙත්තමුණි මෙරට ක්‍රිකට්‌ අනාගතය වෙනුවෙන් ගත් තීරණය සම්බන්ධයෙන් පැවසීය.

ක්‍රිකට්‌ අතුරු කමිටු පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය ප්‍රසාදයක්‌ නොමැති වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය සතියේදී ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක, ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි, ලේකම් ප්‍රකාශ් සාµaටර් සහ භාණ්‌ඩාගාරි නුස්‌කි මොහොමඩ් යන මහත්වරු ඩුබායි නුවරට බලා පිටත් විය. එම සාකච්චාවලදී අතුරු කමිටුවට උපරිමය මාස අටක්‌ හෝ නවයක්‌ පැවැත්විය හැකි බව අයි.සී.සී. ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැතිවරයාට දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ කුමන ප්‍රශ්න තිබුණද නිලවරණය පැවැත්වීම අනිවාර්ය වේ. නිලවරණයෙන් කවුරු පැමිණියද සිදත් වෙත්තමුණි ආරම්භ කළ වැඩ නතර නොකිරීමද එන පාලකයන්ගේ යුතුකම බව අප ආරම්භයේදීම සටහන් කරමු.

2011 ලෝක කුසලාන තරගාවලියේ පටන් ශ්‍රී ලංකාව ණය නමැති ප්‍රපාතයේ ගැඹුරට කි¹ බැස්‌සේය. ඒ සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට 2012 දී තනතුරු අහිමි විය. ඒ පරිපාලනයේ ඇතැමෙක්‌ ක්‍රිකට්‌ පරිපාලනයේ ඉතුරු විය. එහි තවත් සමහරෙක්‌ වත්මන් ක්‍රිකට්‌ අතුරු කමිටුවේත් සිටියි. එහෙත් ක්‍රිකට්‌ ආයතනය ණය වුණේ කොහොමද යන්න සෙවීමට වඩා හෙට දිනයේ ක්‍රිකට්‌ වෙනුවෙන් වැඩක්‌ කිරීම පිළිබඳව සිදත් වෙත්තමුණි මහතා ගත් ක්‍රියාදාමය ඉතාමත් අගනේය. හොරු අල්ලන්නට හෝ පැවැති පරිපාලනයට දෙහි කපන වැඩේ කිරීමට සිදත් වෙත්තමුණි පටන් ගත්තේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල හෙට දිනයේදී බංග්ලාදේශයෙන්ද ඇති හැටියට ගුටි කනු ඇත. පකිස්‌තානය පසුගියදා බංග්ලාදේශය හමුවේ 3-0 ක පරාජයක්‌ ලැබීය. එම පරාජයට පෙර මාස 12 ක්‌ තුළදී පකිස්‌තාන් ක්‍රිකට්‌ පරිපාලනයේ ප්‍රධාන පුටුව තෙවරක්‌ වෙනස්‌ විය. පරිපාලනය ඇන ගන්නා විට රටක සමස්‌ත ක්‍රිකට්‌ ක්‍රීඩාව දිරා පත් වනු ඇත. පකිස්‌තානයට සිදුව තිබෙන්නේද එම වින්නැහිය වේ. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගත් යුගයක ජව සම්පන්න කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ වත්මන් ක්‍රිකට්‌ අතුරුපාලක මණ්‌ඩලයටය. එය මාස කිහිපයකින් අහෝසි වුවද එන පරිපාලනයට ඇදගෙන යා හැකි වැඩ පිළිවෙලක්‌ අතුරු කමිටුව සකස්‌ කළහොත් එය චිරාත් කාලයක්‌ මතකයේ රැදෙන විශිෂ්ට ක්‍රියාදාමයක්‌ වනු ඇත.

ක්‍රිකට්‌ අතුරු පාලක මණ්‌ඩලය හෝ වේවා නිලවරණයකින් පත්වන කමිටුවක්‌ හෝ වේවා අවශ්‍ය වන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ හෙට දවස සාර්ථක කරගැනීමේ මෙහෙයුම දියත් කිරීමයි. ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් ක්‍රිකට්‌ අතුරු කමිටුවලට විරෝධය දක්‌වා තිබියදී ක්‍රිකට්‌ අතුරු කමිටුව දැවැන්ත වැඩපිළිවෙළකට අතගසා තිබෙන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඇති ඇල්ම බව මතක්‌ කර දිය යුතුය.

ලෝක පූජිත ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බිහිවූ රටක, ලෝක ශූරයන් වූ රටක වැඩියෙන්ම වැඩ ගන්නා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වැස්‌සට පුහුණුවීමට තැනක්‌ නොමැත. ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා උදෙසා පුහුණුවීමට පිහිණුම් තටාකයක්‌ද එහි නොමැත. සම්පත් සොයා ගැනීමට නම් මෙවැනි අත්‍යවශ්‍ය දැ සම්පූර්ණ කළ යුතුය. එබැවින් ජුනි මස වන විට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ගෘහස්‌ථ ක්‍රීඩාගාරයට සහ පිහිණුම් තටාකයට මුල් ගල තැබීමට සිදත් වෙත්තමුණි මහතා පියවර ගන්නා බව පැවසීය. ”සමහර දාට වැස්‌සට පුහුණුවීම් කරන්න තැනක්‌ නැහැ. සමහර ක්‍රීඩකයන් කැමැතියි රාත්‍රි 8.00 ට හෝ 9.00 ට ඇවිල්ල පුහුණුවීම් කරන්න. ඒ නිසා ගෘහස්‌ථ ක්‍රීඩාගාරය අත්‍යවශ්‍යයි.’ යනුවෙන් සිදත් වෙත්තමුණි පැවසීය.

ජාතික කණ්‌ඩායමට ක්‍රීඩකයන් තෝරා ගන්න ප්‍රධානම මිණුම් දණ්‌ඩ වන ප්‍රිමියර් තරගාවලියේදී ක්‍රීඩකයකුට දිනකට ගෙවන සොච්චම් මුදල 300% කින් වැඩි කිරීමට ක්‍රිකට්‌ අතුරු කමිටුවට පියවර ගත්තේය. 2500 දීමනාව 7500 තෙක්‌ ඉහළ දැමීම හේතුවෙන් තම රැකියාව ආසාවෙන් කිරීමට ක්‍රීඩකයන්ට හැකි වනු ඇත. එවිට ඉරිච්ච බූට්‌ දෙක විසි කර දමා අලුතින් බූට්‌ දෙකක්‌ ගැනීමට ක්‍රීඩකයන්ට හැකියාවක්‌ තිබේ. ”අපේ පළමු පෙළ ක්‍රීඩකයන් ඉන්නෙ කළකිරිලා. ඔවුන්ට හරි මුදලක්‌ ලැබෙන්නෙ නැති නිසා පිටරට තරගාවලිවලට යනවා. අද කාලෙ හොඳ බුට්‌ දෙකක්‌ 25000 ක්‌ පමණ වෙනවා. බැට්‌ එකක්‌ 40000 ක්‌ විතර වෙනවා. ඉතිං මේවා මිලදී ගන්න ක්‍රීඩකයන්ට 2500 න් බැහැ. ක්‍රිකට්‌ කියන්නෙ අපේ රටේ ජාතික ක්‍රීඩාව වගෙයි. ඉදිරියේදි දක්‍ෂ ක්‍රීඩකයන් සොයා ගන්න මේ වෙනස්‌ වීම කළ යුතුයි.” යනුවෙන් මහේල ජයවර්ධන පවසයි. වත්මන් ක්‍රිකට්‌ අතුරු කමිටුවේ උපදේශකයකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන වසර විස්‌සකට ආසන්න කාලයක්‌ ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩා කරමින් උකහා ගත් දේ බෙදා හැරීමට ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරග රටාවේ ඇති අඩුපාඩු පිළිබඳවත් මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට දක්‍ෂ ක්‍රීඩකයන් සොයා ගැනීමට කළ යුත්තේ කුමක්‌ද යන්නත් මහේල විසින් ගවේෂණාත්මක සැලැස්‌මක්‌ සකස්‌ කර තිබේ. ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල පළමු පෙළ ක්‍රිකට්‌ ක්‍රීඩාවට වඩා ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට්‌ පහතින් ඇති බව මහේල විසින් සාක්‍ෂි සහිතව ඔප්පු කර තිබේ. එයට විසඳුමද ඔහු පෙන්වා දෙයි. එම කරුණු පිළිබඳව බුද්ධිමත්ව අධ්‍යයනය කළ සිදත් වෙත්තමුණි සද්භාවයෙන් එම සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට උත්සහ කරමින් සිටියි.

වත්මන් ලෝක ශූරයන් වන ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රිකට්‌ ප්‍රධානියා තේරීම සඳහා යොදා ගනු ලබන්නේ ඡන්ද පහකටත් අඩු සංඛ්‍යාවක්‌ බව වාර්තාවේ. එහෙත් අපේ රටේ ක්‍රිකට්‌ නිලවරණය සඳහා ඡන්ද 147 ක්‌ තිබේ. ”අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාව හදන්න නම් මේ ඡන්ද සංඛ්‍යාව අඩු කළ යුතුයි. විශාල රටක්‌ වන ඉන්දියාවෙ ක්‍රිකට්‌ නිලවරණයට තියෙන්නෙ ඡන්ද 47 ක්‌ වගෙයි. දකුණු අප්‍රිකාව සහ ඔස්‌ටේ්‍රලියාවෙ ඡන්ද පහ හයකට වඩා නැහැ. ඉතිං අපිට මේ ඡන්ද සංඛ්‍යාව අඩු කරගන්නෙ නැතිව ක්‍රිකට්‌ හරියට හදන්න අමාරුයි.” යනුවෙන් සිදත් වෙත්තමුණි පැවසීය. රට වටේ නමට ක්‍රිකට්‌ ගසන ක්‍රීඩා සමාජ ඕනෑ තරම් තිබේ. ඔවුන් කවුරු හෝ පරිපාලකයකුට ඡන්දය දී පොකැට්‌ටුවට කීයක්‌ හරි ඔබාගෙන ක්‍රීඩා සමාජය පවත්වාගෙන යයි. එවැනි ක්‍රීඩා සමාජවලින් එන දක්‍ෂ ක්‍රීඩකයකු නොමැත. නමුත් ඡන්දය හේතුවෙන් ක්‍රීඩා සමාජය දුවයි. මේ සඳහාද මහේල අපුරු සැලැස්‌මක්‌ ගෙන තිබේ. ඒ සැලැස්‌ම ක්‍රියාත්මක කළහොත් ඉදිරියේදී ක්‍රිකට්‌ නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව බොහෝ විට අඩු කිරීමට හැකි වනු ඇත.

”අපිට හොඳ ටෙස්‌ට්‌ ක්‍රීඩකයන් හොයා ගන්න දින හතරේ තරගාවලියක්‌ අනිවාර්යෙන් පවත්වන්න ඕන. අපි 2006 දී එහෙම පළාත් තරගාවලියක්‌ පැවැත්වුවා. හැබැයි එතනදි එක එක පළාත් කණ්‌ඩායම්වල සමබරතාව පවත්වන්න ක්‍රිකට්‌ තේරීම් කමිටුව ක්‍රීඩකයන්ව එහෙට මෙහෙට අදිනවා. එහෙම තෝරල වැඩක්‌ නැහැ. ඒ පළාතෙ ක්‍රීඩකයාව ඒ පළාතට ආදේශ කළ යුතුයි. අදාළ පළාතේ දිස්‌ත්‍රික්‌කයේ හෝ පාසලේ සිටින දක්‍ෂතම ළමයින් මේ පළාත් කණ්‌ඩායමට ක්‍රීඩා කළ යුතුයි. පළාත් කණ්‌ඩායම තේරීම පළාත් කමිටුවකට භාර දිය යුතුයි. එවිට ඔවුන් පරිපාලනය මගින් අත්දැකීමක්‌ ලබා ගන්නවා. එතන ඉන්න හොඳ ක්‍රීඩකයන්ට වගේම පරිපාලකයන්ට ක්‍රිකට්‌වලින් ඉහළම තැනට එන්න ක්‍රමවේදයක්‌ ඇති කරන්න ඕන. එතකොට ක්‍රිකට්‌ ඉබේටම දියුණු වෙනවා.” යනුවෙන් මහේල පවසයි.

අදාළ පළාත් තරගාවලිය ක්‍රියාත්මක විය යුත්තේද ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට තරගාවලි නොමැති කාල වකවානුවක විය යුතුය. ”අද වයස අවුරුදු 13 න් පහළ ළමයි ක්‍රීඩා කරන්නෙත් එක්‌දින තරග රටාවකට. මේ ක්‍රමයත් වෙනස්‌ කරන්න ඕන. ඔවුන්ට ඔලුව වෙහෙස කරල බැට්‌ කරන්නෙ කොහොමද, ඔලුව වෙහෙසල කඩුල්ලක්‌ දවා ගන්නෙ කොහොමද කියල ඒ අවධියේදිම කියා දෙන්න ඕන. එතනදි හරි දේ ඔලුවට වැටුණේ නැතිනම් ලොකු වුණහම හදාගන්න අමාරුයි. පොඩි කාලෙදිම බැට්‌ එක හරි ක්‍රමයට අල්ලන්න කියා දුන්නෙ නැතිනම් ලොකු වුණහම ඒක හදන්න බැහැ වගේ පොඩි කාලෙදිම මේ දේවල් කියා දිය යුතුයි.” යනුවෙන් මහේල සිය සැලැස්‌මේ ආදීනව වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් වැටුප් ලබන දිස්‌ත්‍රික්‌ සහ පළාත් පුහුණුකරුවන් බොහෝ විට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාලය කා දමයි. ඔවුන්ට පාසල් වලට ගොස්‌ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ වැඩපිළිවෙලක්‌ නොමැත. ඔවුන් මෙහෙයවන පුද්ගලයන්ද ‘බොර දියේ මාළු බෑමේ’ ක්‍රියාවක නිරත වන වගක්‌ පෙනෙයි. මේ සියලු දේ නිසියාකාරව කළමනාකරණය කිරීමද ක්‍රිකට්‌ පරිපාලනයේ වැදගත් සාධක වේ. ‘පිං පඩි’ ලබන ක්‍රිකට්‌ ආයතනයේ සේවක පිරිස ගෙදර යවා ඒ මුදල් වලින් ක්‍රිකට්‌ ක්‍රීඩා කරන පාසලකට ලණු පැදුරක්‌ හෝ අරන්දීමට කටයුතු කිරීමද ක්‍රිකට්‌ පරිපාලනයේ වගකීමකි. ක්‍රිකට්‌ අතුරු කමිටුව කොතරම් කාලයක්‌ තිබේද යන්න අපි නොදනිමු. එන පරිපාලනයද මේ වැඩපිළිවෙල ඇදගෙන ගියහොත් ශ්‍රී ලංකාවේ බහුතරයම ඇලුම් කරන ක්‍රිකට්‌ ක්‍රීඩාව රැකෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

අසේල විතාන

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.