ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට පත්වී වසර දෙසීයයි

 

ඉතින් ආයුබෝවන් ලක්‌ මවුනි ගරු…
ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතාපදානය නැවත කියවීමක්‌

පද්මිනී සෙනෙවිරත්න

 

“අස්‌ගිරියේ අලුත් විහාරයේ නේත්‍රා පින්කමට රජ්ජුරුවෝ පැමිණියේ මව් බිසෝ සාමීන් හා මැද වාහල උන්නාන්සේ ද (සොහොයුරිය) සමගය. ඒ වන විට එතුමාගේ වයස අවුරුදු විසි එකකි. උඩරට ජනතාව එතුමාට බොහෝ ආදරය කළහ. එතුමා ද බුදු සසුනේ චිරස්‌තිථිය සඳහා කටයුතු කළේය. පිළිමතලව්වේ හා ඇහැලේපොළ යන මහ නිලමේලාත්, සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයකුත්, උඩරට නිලමේලා බොහෝ ගණනකුත් එදා එතැනට රැස්‌ වී සිටියහ. උඩස්‌ගිරිය හා කහවත්ත ඇතුළුව විහාරයට පූජා කරනු ලබන ගම්බිම්වල තොරතුරු ඇතුළත් තල්පත අලුත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරියෙහි තැබූ මේසයක්‌ මත තබා පූජා කරන ලදි. ඉන් පසුව රාජකීය පිරිස විහාරය වටා ප්‍රදක්‌ෂිණාවේ යෙදුනාහ. සැතපෙන බුදු පිළිමය නෙළන ලද ගල් පර්වතයෙහි සුදුසු තැනක්‌ දුටු රජතුමා නියෝග කළේ, තල්පතෙහි ලියන ලද පුද පූජා පිළිබඳ විස්‌තරය එහි කොටවන ලෙසත්, එය පරීක්‌ෂා කිරීම සඳහා යළිත් තමන් විහාරයට පැමිණෙන බවත්ය. පැවසූ පරිදිම පෝය දෙකක්‌ ගෙවී ගිය තැන රජතුමා නැවතත් විහාරයට පැමිණියේaය. ඇහැලේපොළ නිලමේ විසින් තල්පත කියවන විට එය නිවැරදිව කොටා ඇත්දැයි පරීක්‌ෂා කර බැලුවේ රජතුමා විසින්මය. අස්‌ගිරි මහානායක හිමියෝද එතැන වැඩ සිටියහ. ශිලා ලේඛනය කෙටූ ශිල්පීන් ගැන සතුටට පත් රජතුමා මහ අරමුදලෙන් ඔවුන්ට ගෙවීම් කරන ලෙසටද නියම කළේය” (GAZETTEER OF THE CENTRAL PROVINCE OF CEYLON ˙ A’C’ LAWRIE පිටුව 74)

 

1859 දී මෙම විස්‌තරය කර ඇත්තේ අස්‌ගිරි විහාරවාසී හිමි නමක වූ බෝවල තෙරුන්නාන්සේ විසිනි. ඉන් කියවෙන්නේ 1801 දී පිළිමතලව්වේ මහ අදිකාරම විසින් අස්‌ගිරියේ විජයසුන්දරාරාමයේ කරවන ලද අලුත් විහාරයේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පින්කමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහභාගී වූ අවස්‌ථාව පිළිබඳවයි.

 

මෙම රජු කඩවසම් පුද්ගලයෙකු වූ බව ඔහුගේ හැඩරුව පිළිබඳව තොරතුරු දැක්‌වෙන විදේශීය වාර්තා අනුව පෙනී යයි. ඒවාට අනුව රජුගේ උස අඩි හයක්‌ පමණ වේ. ලොකු කලුවන් නෙත් සඟලකින් යුක්‌තය. ප්‍රසන්න මුහුණේ තිබූ ඔපකළ රැවුල නිසා ඇත්තේ තේජවන්ත පෙනුමකි. එසේම එතුමා ප්‍රාංශු දේහධාරීය. රජු පිළිබඳ මෙම විස්‌තරය පවසා ඇත්තේ ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වීමෙන් පසු එතුමාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ හෙන්රි මාර්ෂල් විසිනි. (රසවාහිනී – 1966 පෙබරවාරි – පිටුව 110 ) ශ්‍රී වික්‍රමයන් රූපශ්‍රීයෙන් යුතු පුද්ගලයෙකු බව ජෝන් ඩොයිලිගේ ප්‍රකාශයකින් ද හෙළිවේ. ඔහු කියා ඇත්තේ රූපය හැරුණු විට කථා කරන්නට තරම් වෙනත් ගුණයක්‌ රජු සතුව නැති බවකි.

1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට සිංහාසනයට පත්වූයේ කන්නසාමි නම් වූ ආතක්‌ පාතක්‌ නැති නායක්‌කර් වංශික කුමාරයෙකු බව ඇතැම් මූලාශ්‍රවල සඳහන්ය. එහෙත් අස්‌ගිරියේ විජයසුන්දරාරාම ශිලා ලේඛනයෙහි ඔහු ගැන සඳහන් වන්නේ”-… කීර්ති ශ්‍රී රාජසිංහ දෙවි ස්‌වාමි දරුවාණන්ගේ භාගිනෙයවූ… ශ්‍රී වික්‍රම රාජසිංහ…” යනාදී වශයෙනි. භාගිනෙය යනු සොහොයුරියගේ පුතා හෙවත් බෑනාය. ඒ පිළිබඳව පැහැදිලි කිරීමට තරම් තොරතුරු නොමැති වුවත්, ඔහුගේ දෙමව්පියන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ජනප්‍රවාදයක්‌ පවතී. ඊට අනුව ඔහුගේ මව රාජාධි රාජසිංහ රජුගේ යකඩ දෝලියකි. නමින් ඇය සිරියම්මාල් වේ. රාජාධි රාජසිංහයන්ගේ ප්‍රියතම අන්තඃපුර කාන්තාව වූ ඇය සිය මව සමග මල්වත්ත මාලිගයෙහි වාසය කළාය. කන්නසාමිගේ පියා පිළිබඳව නම් කියෑවෙන්නේ විවිධ තොරතුරුය. ඒ සිරියම්මාල් දේවිය පිළිමතලව්වේ මහ අධිකාරම සමගද රහස්‌ සම්බන්ධතාවයක්‌ පැවැත්වීයයි කියෑවෙන හෙයිනි. මදුරාපුර රාජ වංශය නම් පැරණි විත්තිපොතේද මෙම සම්බන්ධය ගැන සඳහන් වෙතැයි සිංහල සාහිත්‍ය වංශයේ කියෑවෙන හෙයින් එය සත්‍යයක්‌ බැව් පැහැදිලිය. කුඩා කන්නසාමි කුමරුගේ හිසේ ගෑමට අවශ්‍ය තෙල් සිඳීම සඳහා රජු රන් තැඹිලි ගෙඩි පහක්‌ යවන විට පිළිමතලව්වේ රන් තැඹිලි ගෙඩි දහයක්‌ යෑව්වේලු. (“මධ්‍යම ලංකා පුරාවෘත්ත” නාවුල්ලේ ධම්මානන්ද හිමි, පිටුව 181)

 


 

පිළිමතලව්වේගේ සම්බන්ධය

පිළිමතලව්වේගේ සම්බන්ධය රජුට හසුවූයේ ඔහුගේ සැරයටියක්‌ මල්වත්ත මාලිගයේ තිබී හමුවීමෙනි. එහි නැවතත් නොයන ලෙසට අදිකාරමට නියෝග කළ රජු ඉන් නතර නොවී, අවේලාවේ පැමිණෙන්නෙකු වේ නම් ඔහු නසන ලෙස පවසා රාජකීය කඩුව කන්නසාමිට දුන්නේය. කන්නසාමි ලවා පිළිමතලව්වේ මැරවීමට රජු සැලසුම් කළත් සිදුවූයේ අනෙකකි. දිනක්‌ රාත්‍රියේ සුපුරුදු පරිදි රජු අසු පිටින් මල්වත්ත මාලිගයට පැමිණියේය. එම ශබ්දයෙන් අවදි වූ කන්නසාමි -…කව්දැයි… ඇසූවද, තිගැස්‌සීම නිසා රජුට පිළිතුරු දී ගත නොහැකි වූයෙන් රාජ නියෝගය ක්‍රියාත්මක වී සිය දිවි අහිමි විය. ඇතැම් තැනෙක සඳහන් වන්නේ පිළිමතලව්වේ විසින් කඩුවක්‌ ලබා දී මෙම ඝාතනය කරවූ බවකි. කෙසේ හෝ සිදු වූ දෙයින් ශෝකයටත්, බියටත් පත් වූ කන්නසාමි ඇතුළු පිරිස අස්‌වසා, රජුගේ මරණය හදිසි අනතුරෙකැයි සියල්ලන්ටම ඒත්තු ගන්වන්නට පිළිමතලව්වේට හැකි විය.

 

 

015384

 

 

 

උඩරට සිංහාසනය අයත් විය යුත්තේ තමන්ටයයි පිළිමතලව්වේ කල්පනා කළත්, රජවාසල අනෙකුත් රදළ පිරිස්‌ ඊට අකමැති වන බැව් දැන සිටි ඔහු කළේ සිය සිතැඟි පරිදි උඩරට රාජ්‍යය කරවන්නට උපායක්‌ යෙදීමයි. ඒ අනුව රජකම ලබා දුනහොත් තමන්ට කීකරුව රජකම් කරන්නේදැයි ඇසූ විට, කන්නසාමි ඊට කැමති වූයෙන් ඇත් ගොව්වන්ට අල්ලස්‌ දී ඇතු මෙහෙයවා ඔහු ඉදිරිපිට දණ ගස්‌වන්නට පිළිමතලව්වේ සමත් විය. කන්නසාමිගේ මතු නොව පිළිමතලව්වේගේත්, රටේත් ඉරණම තීන්දු වී තිබූ පරිදි කන්නසාමි උඩරට සිහසුනට පත්වූයේ ඒ අයුරිනි.

Kandy-Royal-Palace

ශ්‍රී වික්‍රමයන් සිංහාසනාරූඪ වීමෙන් පසු පිළිමතලව්වේ තමන්ගේ පස මිතුරන් සංහාරය කිරීම ඇරඹුවේ ඔවුන් නව රජුට විපක්‌ෂ යෑයි පවසමිනි. ඊට හොඳම නිදසුන වන්නේ රාජාධිගේ දෙවන අධිකාරමව සිටි ඇරැව්වාවල නිලමේ ඝාතනය කිරීමයි. එය සිදු කරන ලදැයි කියවෙන්නේ 1799 දී පමණය. කන්ද උඩරටින් පිටුවහල් කිරීමට රජු විසින් නියම කළේ යයි ඇරැව්වාවල රවටා ගන්නොරුවට ගෙනගොස්‌ පිළිමතලව්වේ පාක්‌ෂිකයෝ ඔහුගේ හිස ගසා දැමූහ. තමාගේ ඝාතනය රජුගේ අණක්‌ නොව පිළිමතලව්වේගේ අවශ්‍යතාවට සිදුවන්නක්‌ බව ඇරැව්වාවල ප්‍රකාශ කළේයයි සඳහන් වන්නේ, 1800 දී ඉංග්‍රීසි තානාපති මැක්‌ඩෝවල් සමග උඩරටට ආ දූත පිරිසෙහි සිටි ජෝන් ඩි විල් නම් ප්‍රංශ ජාතිකයාගේ දින පොතෙහිය. ඇරැව්වාවල මරණයට අභීතව මුහුණ දුන් ආකාරය පිළිබඳව ඇසූ ජෝන් ඩි විල් විසින් ඔහුගේ හිස්‌ කබල එල්ලා තිබූ ගස මුල ස්‌මාරකයක්‌ ලෙස ගලක්‌ තැන්පත් කළ බවද ලියා ඇත.

 

පිළිමතලව්වේගේ බලය කොතරම්දැයි කිවහොත්, ඔහු රජුට එරෙහිව ප්‍රසිද්ධියේ පෙරළි කරන තුරුම ඇරැව්වාවල ඝාතනය පිළිබඳව රජු දැනුවත් කිරීමට සමත් වූවෙක්‌ රාජ සභාවේ සිටියේ නැත. එම සිද්ධිය දැන ගත් විට රජු පවසා ඇත්තේ.. මහ නිළමේ කෙනෙකුට අනිකෙකු හිස ගසා දමා මැරවිය හැකි නම්, මටද අදිකාරම් කෙනෙකු හිස ගසා දමා මැරවිය හැකිය… යනුවෙනිs. (ලෝරි – පිටුව 227 ) උඩරට පිළිගත් නීතිය අනුව උසස්‌ පවුල්වල අයට ශාරීරික වද හිංසා පැමිණවීමේ බලයක්‌ අදිකාරම්වරුන් සතු වූයේ නැත.

 

රජු ජනතා අප්‍රසාදයට ලක්‌ කිරීමද පිළිමතලව්වේගේ සැලසුමේ එක්‌ අංගයක්‌ විය. ඔහු ඒ සඳහා උපක්‍රමිකව කටයුතු කළේය. රඹුක්‌වැල්ලේ රතනජෝති හිමියන්හට කෙවුල්ගම විහාරය පවරමින් රාජාධිරාජසිංහයන් විසින් දෙනු ලැබූ සන්නස, මැණික්‌දිවෙල උන්නාන්සේ නම් යටිනුවර හිමි නමකට පැවරීම එක්‌ අවස්‌ථාවකි. එහෙත් රඹුක්‌වැල්ලේ වෙඩික්‌කාර ලේකම් විසින් එම අයුක්‌තිය පිළිබඳව රජු දැනුවත් කළ හෙයින්, පිළිමතලව්වේගේ අරමුණ ඉටු නොවීය. එහෙත් රජු කළ තර්ජනයෙන් ඔහු අතිශයින් බියට පත්වූ බව කියවේ. (ලෝරි – පිටුව 457)

 

පිළිමතලව්වේ ඊළඟට උත්සාහ කළේ රජවීම සඳහා ඉංග්‍රීසීන්ගේ ආධාර උපකාර ලබා ගැනීමටය. 1798 මැද භාගයේදී රජවූ ශ්‍රී වික්‍රමයන්හට සිහසුනේ හරිහැටි හිඳ ගැනීමටවත් කාල වේලාවක්‌ නොලැබිණි. 1799 පෙබරවාරියේදීම පිළිමතලව්වේ ගල්මුල්වල එල්ලී කඩුගන්නාවේ හෙළ බැස්‌සේ, කොළඹට ගොස්‌ -ෙµඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාරතැන හමුවී රජු මරා තමන්ට රජවීමට ආධාර ඉල්ලීමටයි. එහෙත් සීතාවකින් එම ගමන නතරවූයේ ඒ වන විට කොළඹ වසූරිය පැතිරී තිබුණු හෙයිනිs. නෝර්ත් ආණ්‌ඩුකාරතැනද, පිළිමතලව්වේ කොළඹ එනවාට අකමැති වී සීතාවකට පැමිණියේ, පිළිමතලව්වේ ඇතුළු පිරිස කොළඹට පැමිණිය හොත් ඔවුනට සංග්‍රහ කිරීමට සිදුවීමෙන් ගබඩාවල තිබූ සහල් ටික ඉවර වේයයි බියෙනි. පිළිමතලව්වේ විසින් තෙවරක්‌ ඉංග්‍රීසි නියෝරජිතයන් හමුවූ අතර ඒ සෑම අවස්‌ථාවකදීම පවසා ඇත්තේ, කුඩා කල සිටම තමන් නායක්‌කර් වංශිකයන්හට වෛර කරන බවත්, එබැවින් රූකඩ රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ ඝාතනය කොට තමාට සිංහාසනාරූඪ වීමට උපකාර කරන ලෙසත්ය. එසේ වුවහොත් ඉංග්‍රීසීන්ට රට පවරා දිය හැකි බවද ඔහු පවසා ඇත. ෙµඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාර තැන මෙම යෝජනාව සෘජුවම ප්‍රතික්‌ෂේප කළ බව කියවේ.

 

පිළිමතලව්වේ මහ අදිකාරම ඉංග්‍රීසීන් හා සාකච්ඡාවලදී පවසා ඇත්තේ රජුට හොරෙන් කොළඹ සිට උඩරට හරහා ත්‍රිකුණාමලයට පාරක්‌ කපන ලෙසටය. එය කළ නොහැකි බව පැවසූ ඉංග්‍රීසීන්, 1800 දී මැක්‌ඩෝවල් තානාපති තැන උඩරටට යවන්නේ රජු හා ඇති කර ගැනීමට බලාපොරොත්තු වන ගිවිසුමට ත්‍රිකුණාමලයට පාර තැනීම පිළිබඳ අදහසද ඇතුළත් කරමිනි. රාජ සභාවේදී තානාපති විසින් ගිවිසුම විස්‌තර කරන විට රජු කළේ තමන් ඇඳ පැළඳ සිටි ඇඳුම් ආයිත්තම් හා මැණික්‌ ආදිය, ඉහවහා ගිය මාන්නයකින් යුතුව දූත පිරිසට ප්‍රදර්ශනය කිරීම බව ඡේම්ස්‌ කෝඩිනර් පවසයි.

06

”A DESCRIPTION OF CEYLON” (පරිවර්තනය ( “ලංකාව ගැන වර්ණනාවක්‌” නිශ්ශංක පෙරේරා – පිටුව 655 )

 

රාජ්‍යතාන්ත්‍රිකමය අවස්‌ථාවකට අනුචිත අයුරින් මෝඩයෙකු සේ රජු හැසිරුණු නිසා සිය ගිවිසුමද හකුළා ගෙන ආපසු කඩුගන්නාව හෙළ බසින්නට මැක්‌ඩෝවල් දූත පිරිසට සිදුවිය. මහ අදිකාරමගේ කුමන්ත්‍රණ ගැන මේ වන විට රජුද දැන සිටි හෙයින් ඔහුගේ අනුදැනුමද ඇතිව පැමිණි දූත පිරිස මගහැරීමට රජුට අවශ්‍ය වූ නිසා, ඒ අයුරින් හැසුරුනා වන්නටද පුළුවන. එසේ කියන්නේ ටික දිනක්‌ ගතවීමෙන් පසු ගිවිසුමක්‌ ඇතිකර ගැනීම ගැන දන්වා, රජු විසින් ලෙව්කේ දිසාව ලවා කොළඹට ලියුම් ලියවූ බවක්‌ සඳහන්වන හෙයිනිs. රජුට අවශ්‍ය වූයේ අතීතයේ දී ලන්දේසීන් හා උඩරට අතර පැවති ආකාරයේ ගිවිසුමක්‌ ඇති කර ගැනීමට බව කියවේ.

 

මැක්‌ඩෝවල්ගේ දූත ගමන අසාර්ථක වූයෙන් පිළිමතලව්වේට අළුත් සැලසුමක්‌ ගැන සිතන්නට සිදු විය. ඉංග්‍රීසි ප්‍රදේශවල සිට උඩරට රාජ්‍යයට පැමිණි මුස්‌ලිම් වෙළඳුන් හැත්තෑ එක්‌ දෙනෙකු අල්ලා ඔවුන්ගේ දේපළ කොල්ල කෑමත්, තාඩන පීඩන කිරීමත්, පිළිමතලව්වේ සිදු කළේ ඉන් පසුවය. ඒවා රජුගේ ගිණුමට බැර කිරීම තුළින් උඩරටට ඉංග්‍රීසීන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ල කරවා ගැනීම ඔහුගේ අභිලාෂය විය. ඒ අතරම නෝර්ත් අත්අඩංගුවට ගැනීමටද ඔහු උපක්‍රම යෙදුවේය. මෙම කූටෝපක්‍රම පිළිබඳව දැන සිටි නෝර්ත් 1803 දී උඩරට ආක්‍රමණය කළ හමුදාවන්ට උපදෙස්‌ දුන්නේ, රජුගේ ජීවිතයට හානි වන ආකාරයේ කිසිම දෙයක්‌ නොකරන ලෙසට බව ඡේම්ස්‌ කෝඩිනර් සඳහන් කරයි.

 

1803 ආක්‍රමණය ඉංග්‍රීසීන්ට මුළුමනින්ම වැරදුණු අවස්‌ථාවක්‌ විය. වාගොල්ලේ සටන නමින් හැඳින්වෙන මෙම සටනේදී සිංහල හමුදා ඉංග්‍රීසි හේවායනට කළ කී දෑ වැලිගල මුදලිඳු නම් කවියා විසින් “ඉංග්‍රීසි හටන” නම් කවි පොතෙහි විස්‌තර කර ඇත්තේ…

 

උලා දණින් හම යන තුරු ඇද ඇද පඳුරක්‌ පාසා

 

විලාප කියමින් හඬවා උන්ගේ ඉංග්‍රිසි බාසා

 

රිලා මොටුන් ලෙස පෙරළා ගෙන කපමින් කන් නාසා

 

තලා මුගුරු ගෙන ඇට බිඳ හරිමින් යුදයෙහි ආසා

 

ආදී වශයෙනි. (සාහිත්‍යය ෙත්‍රෙමාසික සඟරාව 1966 පිටුව 130)

 

මෙම ග්‍රන්ථයේදී ශ්‍රී වික්‍රම රාජසිංහයන්ව ශක්‍ර දේවේන්ද්‍රයන්ට සම කරන වැලිගල කවියා පිළිමතලව්වේ හඳුන්වා ඇත්තේ සීතාවකට ගොස්‌ කුමන්ත්‍රණය කළ අනුවණයෙකු වශයෙනි.

 

පිළිමතලව්වේගේ කෙළවරක්‌ නැති කුමන්ත්‍රණවලින්a කෝපයට පත් රජු පෙළඹෙන්නේ ඔහු ඇතුළු රදළයන්ගේ බලතල කප්පාදු කිරීමටය. ඒ අනුව සත් කෝරළය හා ඌව සබරගමුව යන පළාත් දෙකට කඩා එකිනෙකා හා අමනාප පුද්ගලයන්හට ඒවායේ දිසා පදවි පැවරුවේය. එතරම් වැදගත් පවුලක්‌ ලෙස නොසැලකුණු මොල්ලිගොඩ පවුලට තනතුරු ප්‍රදානය කළේය. උඩ ගම්පහේ හා පල්ලෙ ගම්පහේ අදිකාරම් තනතුරු දෙක හැරුණු විට සියපත්තුවේ අදිකාරම යනුවෙන් අළුත් තනතුරක්‌ ඇති කළේය. එසේම තනතුරු ඉඩකඩම් ආදී වරප්‍රසාද දෙමින් සිය නායක්‌කර් වංශික ඥාතීන් බල ගැන්වූවේය.

feast-of-fools

මෙම පියවරවලට එරෙහි වූ පිළිමතලව්වේ ඇතුළු පිරිසගේ කෝපය පුපුරා ගිය අවස්‌ථාවක්‌ ලෙස දැක්‌විය හැක්‌කේ 1808 දී රජුට එරෙහිව සත් කෝරළයේ ඇති වූ කැරැල්ලයි. ඊට පිළිමතලව්වේගේ තිබූ සම්බන්ධය ජෝන් ඩොයිලි ගේ දිනපොතෙන් හෙළි වන අතර, රජුද එය දැන නොසිටින්නට ක්‍රමයක්‌ නැත. රාජෙද්‍රෝහීවීම සම්බන්ධයෙන් පිළිමතලව්වේට දැඩි දඬුවම් දීමට අවකාශ තිබුණත්, ඉක්‌මන්වීමට තරම් රජු මෝඩයෙක්‌ නොවීය. අනෙක්‌ අතට රජු ඒ අවස්‌ථාවේ ක්‍රියාමාර්ගයක්‌ නොගත්තේ, පිළිමතලව්වේට යම් දඬුවමක්‌ දුන්නොත් උඩුනුවර හා යටිනුවර ජනතාව තමන්ට එරෙහි වෙතැයි යන බිය නිසාද වන්නට පුළුවන. මේ වන විට පිළිමතලව්වේ රජු කෙරෙහි කොපමණ වෛරයකින් පසුවූවේදැයි කිවහොත්, රජුව හඳුන්වා ඇත්තේ “අවජාතක අහංකාර මන්දබුද්ධිකයා” යනුවෙනි.

 

පිළිමතලව්වේගේ කුමන්ත්‍රණ පිළිබඳව කෝපයෙන් දැවෙමින් සිටි රජුට නියම අවස්‌ථාව උදාවූයේ කීර්ති ශ්‍රී ගේ මිණිබිරියක්‌ සිය පුතුට විවාහ කර දීමට පිළිමතලව්වේ ගෙනා යෝජනාවෙනි. රජ පවුලට නෑකම් කීමට ඔහු දැරූ ප්‍රයත්නය පිළිකෙව් කළ රජු වහාම මහ නඩුව කැඳවා තමන්ගේ නමින්ද, එසේ නැතිවද පිළිමතලව්වේ කළ අපරාධ පිළිබඳ තමන් දැන සිටි සියලුම තොරතුරු ඉදිරිපත් කළේය. නඩු විභාගයෙන් ඔහු වරදකරු වූවෙන් දඟගෙට නියම කෙරිණි. කිසියම් හේතුවක්‌ නිසා ටික දිනකින් ඔහු නිදහස්‌ කොට ඊළඟ නියෝගය නිකුත් කෙරිණි. ඒ උඩුනුවර ඔහුගේ ගමට යන ලෙසටය. ඉන් පෙනී යන්නේ අවශ්‍ය නම් සිය ජීවිතය රැක ගැනීමේ ඉඩ ප්‍ර්‍රස්‌ථාව රජු ඔහුට ප්‍රදානය කළ බවයි. ආපසු උඩුනුවරට ගොස්‌ සාමාන්‍ය වැසියෙකු ලෙස ජීවත්වීම තම ඉරණම නොවේයයි කල්පනා කළ පිළිමතලව්වේ මහ වාසලෙහි සේවය කළ ජා මුහන්දිරම් කෙනෙකු ලවා රජු මැරවීමට සැලසුම් කළේය. රජුගේ මරණයත් සමගම උඩුනුවර හා යටිනුවර වාසීන් කැරැල්ලක්‌ දියත් කළ යුතු වීමද සැලසුමේ කොටසක්‌ විය. රෑ මැදියමේ සිරියහන් ගබඩාවට ගිය ජා මුහන්දිරම් දුටුවේ රජු අවදිව සිටින බවකි. ඔහු බියෙන් ත්‍රස්‌තව පළා ගියෙන් රජුගේ දිවි රැකිණි. මේ බව නොදත් දෙනුවර වැස්‌සෝ කැරළි ගැසූහ. අවසානය සිදුවිය යුතු පරිද්දෙන්ම සිsදු විය. පිළිමතලව්වේත්, ඔහුගේ බෑණා වූ රත්වත්තේත් හිස ගසා මරා දැමුණු අතර, පුත්‍රයාටද මරණ දඬුවම නියම වුවත්, එය ලිහිල් කොට හේවාහැට සිර කෙරිණි. අවශ්‍ය වීනම් මෙම අවස්‌ථාවේදී පිළිමතලව්වේ පරපුරම මුළිනුපුටා දැමීමේ හැකියාව රජුට තිබුණත් ඔහු එසේ කළේ නැත. තවත් සත් දෙනෙකු ඇතුන්a ලවා පාගා මැරවීයයිද කියවේ. පිළිමතලව්වේගේ ඝාතනයෙන් සරොස්‌ වූ දෙනුවර ජනතාව රජුට චෝදනා කළේ, රජු සිය පියා මැරවීයයි කියමිනි.

 

සිහසුනේ සිටි අවදියේදී ශ්‍රී වික්‍රමයන්ගේ මානසික තත්වය කෙසේවීදැයි යන්න පිළිබඳව අවබෝධයක්‌ ලැබිය හැක්‌කේ, වෛද්‍ය හෙන්රි මාර්ෂල්ට ඔහු කර ඇති ප්‍රකාශයකිනි. රජු කියා ඇත්තේ ඇතුළතින් හා පිටතින් පැමිණෙන කුමන්ත්‍රණ පිළිබඳව බියෙන් සිටි හෙයින්, යහන් ගතවුවද කිසිම අවස්‌ථාවක සුව නින්දක්‌ තමාට නොලැබුණු බවයි. නිදි යහනේදී ඝාතනයට ලක්‌වනු ඇතැයි සැකයෙන් සිටීම ඊට හේතුවයි. තමන් හොඳින් නිදා ගත්තේ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව යයි රජු තව දුරටත් පවසා ඇත. රජකම මතු නොව ජීවිතයද රැක ගැනීමට සටන් කිරීමට සිදුවීමෙන් රජු කෲරතම පාලකයෙකු වූ බව මේ අනුව පැහැදිලි වේ.

Image result for sri wickrama rajasinghe

මෙවන් මානසිකත්වයකින් යුතුව රජු විසින් සිදු කළ කුරිරු ඝාතන රැසකි. මාම්පිටිය ලොකු බණ්‌ඩාර, පරණාතල හිමි, ඇහැලේපොල පවුලේ සාමාජිකයන් ආදීන් ඝාතනය කිරීම අද පවා රජුට එරෙහිව නැගෙන චෝදනාවන්ය. මේවා පිළිබඳව විමසා බලන විට රජුට පමණක්‌ වගකීම පැවරීම සාධාරණදැයි සැකයක්‌ ඇතිවේ. මාම්පිටියේ යනු කීර්ති ශ්‍රී රාජසිංහයන්ගේ හා මාම්පිටිය දුග්ගන්නා උන්නාන්සේගේ (යකඩ දෝලිය) පුත්‍රයෙකි. සිය නැඟණියක සමගින් පවත්වා ගත් අයුතු සම්බන්ධයක්‌ පිළිබඳව ආරංචි වූ විට, රජු පවසා ඇත්තේ රාජවංශයට ගැලපුණද රටේ සිරිතට නොගැලපෙන දෑ නොකරන ලෙසටය. අනතුරුව කොණ්‌ඩදෙණියේ ජීවත් වූ මාම්පිටියේව ඔහුගේ ගමවූ මාම්පිටියට පිටුවහල් කළේ කොණ්‌ඩදෙනියේ දේපළද රාජසන්තක කරමිනි. එම දඬුවම දී සුළු කාලයකින් නැවතත් ඔහු මහනුවරට කැඳවූ රජු දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයද පැවරුවේය. එහෙත් රජු දැක්‌වූ සුහදත්වයට මාම්පිටියේ ගරුසරු නොකළේ පිළිමතලව්වේ ගිය මගම යමිනි. ඇහැලේපොල සබරගමුවට වී පෙරළි කරමින් සිටියේ එම වකවානුවේදීය. මාම්පිටියේ සිය ඥාතියෙකු වූ ඇල්ලේපොල නිලමේ හා එක්‌ව, ඇහැලේපොල සමගින් රහසින් ලිපි හුවමාරු කරන බව රජුට ආරංචි විය. ඒ අතරේම අරාවේ මඩුවේ ලේකම්ගේ නායකත්වයෙන් උඩුනුවර වැසියන් කැරැල්ලක්‌ දියත් කළේ, මාම්පිටියේ සිහසුනට පත් කර ගැනීමේ අරමුණෙනි. මාම්පිටියේට පමණක්‌ නොව ඇල්ලේපොලටද මරණ දණ්‌ඩනය නියම වුවත්, රජු විසින් ඇල්ලේපොලගේ දඬුවම ලිහිල් කොට ඔහු ගැටඹේ වෙල්අත්තේ අටුවේ සිරකර තබා, මාම්පිටියේ බණ්‌ඩාර ගැටඹේ හුණු කොටුවේදී කෑලිවලට කපා ඝාතනය කරවූයේ 1812 දීය.

 

පරණාතල හිමියන් යනු මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන්ගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයාය. අන්තඃපුර කාන්තාවක්‌ සමගින් අනිසි සම්බන්ධයක්‌ පැවැත් වූයේය යන්න එම හිමියන්හට එල්ල වූ චෝදනාවයි. දෙවරක්‌ නොසිතාම මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක විණිs. එහෙත් එම චෝදනාව අසත්‍ය බවත්, නායකත්වය සම්බන්ධයෙන් භික්‌ෂූන් වහන්සේලා අතර ඇතිවූ කුමන්ත්‍රණයක අවසාන ප්‍රතිඵලය එය වූ බවත් පැවසේ. “හයගිරි විහාරයේ නිවේදනයක්‌”යනුවෙන් මධ්‍යම ලංකා පුරාවෘත්ත ග්‍රන්ථයට ඇතුළත් කර ඇති ලිපියකින් එය සනාථ වේ. (පිටුව 220 )

 

ඇහැලේපොල දරු පවුල ඝාතනය කිරීම අහස පොළොව නොඋසුලන අපරාධයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. එහි වගකීම රජු මෙන්ම ඇහැලේපොලත් රජුට උපදෙස්‌ දුන් පුස්‌සැල්ලේ මහ ගබඩා නිළමේ වැනි නිළමක්‌කාරයනුත් අතර සමව බෙදී යා යුතුවේ. රජුගේ පාර්ශ්වයෙන් බලන විට ඇහැලේපොලට දඬුවම් දීමට, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හේතු රජුට තිබිණි. ඇලපාතගේ මරාල බද්දෙන් කොටසක්‌ සඟවා ගැනීමේ චෝදනාව ඇතුළුව ඔහුට එරෙහිව තිබූ කරුණු විභාග කිරීම සඳහා ඇහැලේපොල මහනුවරට කැඳෙව්වද, කිසිම දඬුවමක්‌ නොදී ආපසු සබරගමුවට යැමට රජු ඔහුට ඉඩ දුන්නේය. එහෙත් ඇපයට ඇහැලේපොල දරු පවුල මහනුවර නවත්වා ගත් බව පෙනී යයි. පිළිමතලව්වේ හා මාම්පිටිය මෙන්ම ඇහැලේපොලද රජුගේ හිත හොඳකම නිවට කමක්‌ ලෙස සැලකුවා වැන්න. දරු පවුලේ ජීවිත අවදානම පිළිබඳව හෝ මදකුදු නොතැකූ ඔහු සුපුරුදු ලෙසම රාජෙද්‍රෝහී ක්‍රියාවල යෙදුණෙන්, මොල්ලිගොඩ අදිකාරමට රජු අණ කළේ ඇහැලේපොල අල්ලා ගෙන එන ලෙසය. මෙම නියෝගය ආරංචි වූ විට ඇහැලේපොල ඉංග්‍රීසීන් වෙතට 1814 දී පළා ගියේය. ඔහුගේ අභිලාෂය වූයේද ඉංග්‍රීසීන්ගේ පිහිටෙන් උඩරට කිරුළ පැළඳීමය.

 

වෛරයෙන් උමතු වූ රජුගේ අතපොවන මානයේ සිටියේ ඇහැලේපොල දරු පවුලය. ඔවුනට සිදු කළ සාහසික අපරාධය තැඹිලිපොලේ කිවිඳු නමැත්තෙකු විසින් ලියන ලද -පෙරලි හටන නම් කවිපොතේ විස්‌තර කරන්නේ

 

…කඩා කවව් අඬුවෙන් මස්‌ උන්නේ

 

අඬා විලාපෙන් ඔළු කොටවන්නේ

 

කඩා ඉසුනි ලේ මූණට උන්නේ

 

අඬා බිසව් දෙරණත වැළපෙන්නේ ...

 

යනාදී වශයෙනි. රජු මේ විපත සිදුකර ඇත්තේ අධික ලෙස මත්පැන් පානය කර සිටි අවස්‌ථාවක දී යෑයි අසන්නට ලැබේ. නින්ද නොයැමේ රෝගයෙන් පෙළුණු රජුට ඊට ගැලපෙන ඖෂධයක්‌ ලෙස වයින් පානය පුරුදු කළේ පුස්‌සැල්ලේ මහ ගබඩා නිළමේ බව සඳහන්ය. එසේම රාජෙද්‍රෝහීන්ගේ පවුල්වලට පෙර සිරිත් පරිදි දෙන ලද දඬුවම් පිළිබඳව විස්‌තර සපයා ඇත්තේද ඔහුය. එම උපදෙස්‌ නිසා මහත් විනාශයක්‌ සිදු වූ බව වටහා ගත් රජු, පසුව පුස්‌සැල්ලේවද ඝාතනය කළේ මුලින් අත් පා ගලවා වද විඳින්නට සලස්‌වා ඉන් පසුව හිස ගසා දැමීමෙනි.

 

රජුගේ කුරිරු ඝාතන රැල්ල ආරම්භ වී ඇත්තේ 1811 සිටය. ඊට පෙර පිළිමතලව්වේ සමග ගැටෙමින් වුවද, මහනුවර අළුත් වැව හෙවත් කිරි මුහුද තැනවීම, මාළිගාවේ වාහල්කඩ හා පත්තිරිප්පුව තැනවීම, කුමරුප්ප වීදියේ සිට තල්වත්ත දක්‌වා දිය අගලක්‌ කැප්පවීම, කුණ්‌ඩසාලේ මාලිගාවක්‌ කරවීම ආදී ව්‍යාපෘති රැසක්‌ රජු අරඹා තිබිණි. වැව බැඳීම සඳහා යොදා ගෙන ඇත්තේ සත් කෝරළයේ මිනිසුන්වය. ඒ රාජකාරි ක්‍රමය යටතේය. මේ නිසා සත් කෝරළ ජනතාව අතර රජු අප්‍රසාදයට පත්විනැයි කියෑවේ. ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයෙකු වූ -විලියම් ග්‍රෙගරි පවසා ඇත්තේ රජුගේ රසඥතාව, වැව ඉදිකිරීමෙන් ප්‍රකට වන බවයි. එහි මැද ඇති දූපතෙහි කුණ්‌ඩශාලාවක්‌ද ඉදිකර, එහි යාම සඳහා හැකිලිය හැකි පාලමක්‌ද තනා තිබූ බව සඳහන්ය.

 

මේ සියලුම ව්‍යාපෘති රජු සඳහාම විය. රජකම් කළ කාලය තුළදී මහජනතාව වෙනුවෙන් ඔහු කිසිදු දෙයක්‌ නොකළේද යන ගැටලුව මෙහිදී ඇතිවේ. ඩොයිලිගේ දිනපොතෙන් පෙනෙන්නේ, නවීන ආර්ථික විද්‍යානුකූලවම අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල පාලනයක්‌ ක්‍රියාත්මක කිරීමට රජු කටයුතු කළ බවයි. ඒ අනුව වී පෑලක මිල පයිසා දාසයකට හෙවත් මස්‌සකට නියම වූ අතර, පොල් ගෙඩියක්‌ සල්ලියකටත්, ලුණු සේරුවක්‌ පයිසා එකකටත් නියමකර ඇත. වීවල පාලන මිල ස්‌ථාවරව පවත්වා ගැනීම සඳහා රජුගේ බණ්‌ඩාර අටුවල වී ද, වී අටු දෙකක්‌ අයිති පුද්ගලයන්ගේ එක්‌ අටුවක වී ද පාලන මිලට අලෙවි කළ යුතු යයි නියෝග කොට ඇත. (THE DIARY OF MR: JOHN DOYLY – පිටුව 115) එපමණක්‌ නොව උඩරැටියන් අතර මත්පැන් පානය වැනි දුරාචාර පැතිරෙන බව දුටු රජු එයද, සත්ව ඝාතනයද තහනම් කරමින් නීති පැනවීය. මෙම තොරතුරු වලින් පෙනී යන්නේ පිළිමතලව්වේ ඇතුළු පිරිසගේ රාජෙද්‍රෝහී ක්‍රියා නොවී නම් ජනහිතකාමී පාලකයෙකු වීමට ශ්‍රී වික්‍රමයන් හට අවස්‌ථාව මෙන්ම වුවමනාවද තිබුණු බවයි.

 

එහෙත් රජුට සිදුවූයේ ඒ සියල්ල අමතක කොට ජීවිතය රැක ගැනීමේ සටනක යෙදෙන්නටය. ඩොයිලිගේ දිනපොතෙහි 1811 ජනවාරි 25 දින සටහන අනුව ශ්‍රී වික්‍රම රාජසිංහයන්හට දියණියකද සිට ඇති අතර ඇයද, රජුගේ කිරි අම්මාද සතියක්‌ තුළ මියගොස්‌ ඇත. ඒ හැරුණු විට සුළු කාලයක්‌ තුළදී රජ වාසලට සම්බන්ධ මියගියවුන්ගේ සංඛ්‍යාව තිහක්‌ පමණ වන බව කියෑවේ. මාලිගයෙහි යක්‌ෂ දෝෂයක්‌ පවතින බවත්, නිරන්තරයෙන් ජනෙල් දොරවල් ඇරෙන වැහෙන අතර විවිධාකාර ශබ්ද ඇසෙන බවත් ඩොයිලිට සිය ඔත්තුකරුවන්ගෙන් ආරංචි වී ඇත. ඒ නිසාම රජු කුණ්‌ඩසාලේ මාලිගාවට පදිංචියට ගොස්‌ ඇති බවද ඔහු සඳහන් කරයි. උඩරැටියන්ගේ අංගම් හදි හූනියම් වලටද රජුට මුහුණදීමට සිදු වී ඇති සෙයක්‌ මෙම තොරතුරුවලින් පෙනී යයි.

 

පිළිමතලව්වේ විසින් රජු අහංකාර මන්දබුද්ධිකයෙකු ලෙස හැඳින්වුවද, කොන්වෝලිස්‌ නැවේ එතුමා භාරව ඉන්දියාවට යාත්‍රා කළ -විලියම් ග්‍රැන්විල් පවසා ඇත්තේ, අන් අයගේ චරිතයන් විනිවිද දැකිය හැකි තරම් වූ ඥාන ශක්‌තියක්‌ රජුට තිබූ බවකිs. තමා ඉතා වැදගත් කෙනෙකු යයි සිත තුළ වැඩුණු ගර්වයක්‌ කුඩා කල සිට තිබූ හෙයින්, එම ගර්වය මැඬලීමේ හැකියාවක්‌ රජුගේ විරුද්ධවාදීන්ට නොතිබුණු බවත් ඔහු පවසා ඇත. එසේම තමන් දැක පුරුදු දන්නා දේ ගැන මිස සිය නොදැනුqවත්කම පළ කෙරෙන කිසිම දෙයක්‌ ගැන එතුමා කථා නොකළ බවත්, කටවැරැද්දකින් හෝ නොදැනුවත්කම පළ කෙරෙන යමක්‌ කියවිනි නම්, වෙනත් කරුණු කාරණාවලින් එය යටපත් කර දැමීමට රජු අති දක්‌ෂ බවත් -ග්‍රැන්විල් තව දුරටත් පවසයි.

 

1815 පෙබරවාරි 18 දින රජු අත්අඩංගුවට ගන්නා විට රජුට බිසෝවරුන් සතර දෙනෙකු සිටි බවත්, දෙදෙනෙක්‌ රජු සමගද, ඉතිරි දෙදෙනා රජුගේ මව සමගින් උඩ දුම්බර හංවැල්ලේද සිටි බවත් ඩොයිලිගේ දින පොත පවසයි. රටේ සිරිතට නොගැලපෙන දේ නොකරන්නැයි මාම්පිටියට නියෝග දුන් රජු එම සිරිත් උල්ලංඝනය කරමින් 1813 දී අවසන් වරට විවාහ කර ගෙන ඇත්තේ වැඩිවිය නොපත් දැරියන් දෙදෙනෙකි. කෙසේ වුවද මෙම බිසෝවරු සතර දෙනාට මෙන්ම මවටද රජු මහත් ආදර ගෞරවයක්‌ දැක්‌වූ බව 1815 පෙබරවාරි 22 දින සටහනෙන් හෙළිවේ. එහිදී ඩොයිලි ලියා ඇත්තේ රජු එම කාන්තාවන් පස්‌දෙනාගේ අත් රැගෙන ඩොයිලිගේ දෑතෙහි තබා ඔවුන්ගේ මතු ආරක්‌ෂාව ඔහුට පැවරූ බවයි. රජුට කිසියම් කරදරයක්‌ ඉංග්‍රීසීන්ගෙන් සිදුවනු ඇතැයි බියවූ මව, රජු අත්අඩංගුවට ගත් බව දැනගත් මොහොතේ සිට ඒ වන තුරුත් සිටියේ හැඬූ කඳුලින් බවද ඩොයිලි සටහන් කර ඇත.

 

කොළොඹ සිර කුටිය
කොළොඹ සිර කුටිය

ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණය සැලවූ වහා පළා ගිය රජු සැඟවී සිටියේ මැද මහනුවර බෝමුරේ අප්පුහාමි ආරච්චිරාළගේ ගෙදරය. තෙල්දෙණියේ හංවැල්ල ගමේ වෙල්යායේදී අල්ලා ගත් කොලු ගැටයකු මගින් රජු සැඟවී සිටි තැන සොයා ගත් බව ලියා තිබෙන්නේ ඉංග්‍රීසී යුධ හමුදාවේ භාෂා පරිවර්තක තැන වූ ඩී.වී.ඒ. දියෙස්‌ විසිනි. එම ලිපියේ සඳහන් වන පරිදි වැල් පටකින් බැඳි කොලුවා ඉස්‌සර කර ගෙන එක්‌නැළිගොඩ ඇතුළු සබරගමුවේ මිනිසුන් යන විට, මෙම භාෂා පරිවර්තක තැනද ඔවුන් සමගින් ගොස්‌ ඇත. රජු සිටින්නේයයි කොලුවා පෙන්වූ ගෙදරට එක්‌නැළිගොඩ සෙනඟත් සමගින් ගොඩ වැදුණි. සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක්‌ ඔහු දැක ලන්සයකින් ඇන්නේය. එවිට සබරගමුවේ මිනිසුන් අප්පුහාමි අල්ලා උඩ දැමූ අතර, ඔහුගේ සිරුරට කුමක්‌ වීදැයි තමන් නොදුටු බව භාෂා පරිවර්තකතැන තව දුරටත් ලියා ඇත. බලහත්කාරයෙන් එළියට ගත් රජුට එක්‌නැළිගොඩ සැලකූ ආකාරය පිළිබඳව පිළිකුලෙන් විස්‌තර කර ඇති දියෙස්‌, එසේ කටයුතු කිරීම නොහොබිනා බව ඔහුට පැවසූ විට -…ඔතන කීම ගන්ට අපි මෙහෙ ආවා නොවේය… කියා තමන්ට සැරෙන් පැවසූ බවද ලියා ඇත. සිරකරුවෙකු ලෙස රැගෙන යාමට සූදානම් වන විට, රජු විසින් බෝමුරේ ආරච්චිරාළට කෘතඥතාව පළ කර ඇත්තේ කඳුළු පිරි දෙනෙතිනැයි කියවේ. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ රජු විසින් සිය ආරක්‌ෂාව බෝමුරේ ආරච්චිරාළ වැනි සුළු මුලාදෑනියෙකුට පැවරීම පිළිබඳවයි. ඉහළ තනතුරු දැරූ රදළයනට රජු එපා වූවද, සුළු නිලධාරීන් විසින් රජු ආරක්‌ෂා කළ බව මින් පැහැදිළිය. එසේම ශ්‍රී වික්‍රම රාජසිංහයන් සාමාන්‍ය මිනිසුන්ගෙන් දුරස්‌ථ වූ පුද්ගලයෙකුද නොවේ. එය ප්‍රකට කෙරෙන සිදුවීමක්‌ ලෝරි සිය කෘතියෙහි දක්‌වා ඇත. කිසියම් වරදක්‌ කළ නිසා උඩුදුම්බර ගමක්‌ම රජු විසින් තරාතිරමෙන් පහත හෙළුවේ, ඉර හඳ පවතිනා තුරු එසේ තිබිය යුතු යයි ගලකද කොටවමිනි. එහෙත් ඉංග්‍රීසි ආක්‍රමණයට මාස අටකට පමණ පෙර දිනෙක සිය ගම හරහා මැද මහනුවරට යාමට රජු එන බව ගම්මුන්ට ආරංචි විය. ඔව්හු දැකුම්ද රැගෙන රජු හමුවට ගොස්‌ සිය දුක්‌ ගැනවිල්ල ඉදිරිපත් කළහ. එය අසා සිටි රජු ඔවුන්ගේ දැකුම් පිළිගෙන නැවතත් තරාතිරම ඉහළ දමා ඇත.

 

ඩොයිලිගේ දිනපොතට අනුවත්, දියෙස්‌ගේ ලියවිල්ල අනුවත් එක්‌නැළිගොඩලාගෙන් බේරා ගත් රජු හා පිරිස, ඉංග්‍රීසින් විසින් මැද මහනුවර සිට කැඳවා ගෙන පැමිණ ඇත්තේ ගෞරව බහුමානයෙනිs. දූල්වල තානායමේ රැයක්‌ ගත කළ රාජකීය පිරිස, එතැනින් වෑඋඩ, කුරුණෑගල, අහුගොඩ, දඹදෙණිය හරහා ගිරිඋල්ලට ගෙන ගොස්‌ කොළඹට යෑවීම ඩොයිලිගේ සැලසුම විය. දූල්වල තානායමේ රාත්‍රිය ගත කිරීමෙන් පසු රාජකීයයන් වෑඋඩට යවා ඩොයිලි ආපසු මහනුවරට ගියෙන්, ඉන් පසුව ඔවුන් පිළිබඳ තොරතුරු දිනපොතෙහි ලියා නැත. එහෙත් 1815 දී සන්දනංගම සිද්ධාර්ථ නම් හිමි නමක විසින් රචිත -මීවැව විහාරයේ විත්ති පොත නම් පැරණි ලියවිල්ල අනුව රජු ගෙන ගොස්‌ ඇත්තේ, අහුගොඩින් පසුව මීවැව, විහාරේගම, කරගහගෙදර, පනාවිටිය යන ගම් හරහා ගිරිඋල්ලටය. මීවැව ගම මැදින් රැගෙන යන රාජකීයයන් බැලීමට එගම විහාරස්‌ථානයේ වැඩ සිටි සන්දනංගම සිද්ධාර්ථ හිමියන්, සිය ගුරු හාමුදුරුවන් වූ මීවැවේ සෝණුත්තර හිමිද සමග ගොස්‌ ඇත. පුවක්‌ගොල්ලේ මැණික්‌රාළ හා පුංචිරාළ යන මොහොට්‌ටාලවරුද ඒ සමග ගොස්‌ තිබේ. රජතුමා ඔවුන් සමග කථාබස්‌ කොට සිය දෙපා දෝලාවෙන් පිටතට දැමූ බවත්, මොහොට්‌ටාලවරු දෙදෙනා රජුගේ දෙපා සිඹ හැඬූ බවත්, එසේම දෝලාවේ සිටම රජු විසින් භික්‌ෂූන් වහන්සේලා දෙනමට නමස්‌කාර කළ බවත් එම විත්ති පොතෙහි සඳහන් වේ. (කුඹුක්‌ගැටේ විනීත නාහිමි අභිනන්දන සමරු කලාපය පිටුව 25 ගරු මීවැවේ ගුණානන්ද හිමි) මෙහි සඳහන් මැණික්‌රාළ මොහොට්‌ටාලට රජු විසින් සිය රාජාභරණ හා කඩුද සහිත පෙට්‌ටියක්‌ ආරක්‌ෂාව සඳහා භාර දී තිබූ බවට ජන ප්‍රවාදයක්‌ මීවැව ප්‍රදේශයේ පවතී. එය සත්‍ය බවත්, රජු මැද මහනුවරට පළා යාමට ප්‍රථම එම පෙට්‌ටිය දී ඇත්තේ මහ වාසලේ සේවය කළ සිය මීමුත්තාවූ මැණික්‌රාළ මොහොට්‌ටාලට බවත්, ගොඩගම්වෙල පුරාණ විහාරාධිපති ගරු මීවැවේ ගුණානන්ද හිමියෝ පැවසූහ. එම තොරතුර ආරංචිවීමෙන් පසුව පැමිණි ඉංග්‍රීසි සොල්දාදුවන්හට පෙට්‌ටියේa තිබූ වටිනා කඩු හතක්‌ පමණක්‌ භාරදී, ඉතිරිවා ගෙදර අය විසින් සඟවා තිබේ. එම භාණ්‌ඩවල අගය නොදත් පසුකාලීන පරම්පරාවල අය ඒවා වරින්වර විකුණා ඇතැයි වැඩිහිටියන් කියනු තමා කුඩා කල අසා ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. මෙයින්ද ප්‍රකට වන්නේ රජු හා සුළු මුළාදෑනීන් අතර තිබූ විශ්වාසවන්ත භාවයයි.

 

කොළඹට රැගෙන ගිය රජු 1815 මාර්තු 06 වෙනිදා සිට 1816 ජනවාරි 24 වෙනිදා දක්‌වා කොළඹ කොටුවේ රඳවා තැබිණි. එම වකවානුව තුල රජු කල් ගෙවූයේ සංගීතයට සවන් දෙමින් හා තමා සමග සිටි කලාකරුවන්ගේ හැකියාවන් අගය කරමින් යයි මාර්ෂල් පවසයි. ඩොයිලි සිය දිනපොතෙහි සඳහන් කර ඇති පරිදි විවිධාකාරවූ කුරුල්ලන්ගෙන් සමන්විත කුරුළු මඬුවක්‌ද මහනුවර සිටියදී රජුට තිබී ඇත. ඔහු සංවේදී හදවතක්‌ තිබූ මිනිසෙකු යෑයි කීමට මීට වඩා සාක්‌ෂි අවශ්‍ය නොවේ. එවන් පුද්ගලයෙකු කෲර ඝාතකයෙකු බවට පත් කරන ලද්දේ රාජ්‍ය ලෝභීන් විසිනි.

 

1816 ජනවාරි 24 වන දින මෙරටින් නැව් නැග්ගේ ශ්‍රී වික්‍රම රාජසිංහයන් පමණක්‌ නොවේ. මෙරට ස්‌වාධීනත්වය නැව් නැග්ගේද එදාය. එම ව්‍යසනය සිදුවූයේ රජුගේ කෲරතම උන්මත්තක ක්‍රියා නිසා යයි කියවුනද, විදේශීය මූලාශ්‍රයන් අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ රජු පමණක්‌ පව්කාරයා කොට ගල් ගැසීම අනුචිත බවකි.

 

Madduma Bandara statue Kandy 02.JPG

 

 

 

 

රජු සිහසුනෙන් නෙරපීමට ක්‍රියාත්මක වූ පිළිමතලව්වේ, ඇහැලේපොල ආදීන්ගේ පරම්පරා ඉරණම කුමක්‌ වීදැයි සඳහන් නොකළහොත් එය අඩුවක්‌ සේ හැඟේ. පිළිමතලව්වේගේ එකම පුත්‍රයා ඉංග්‍රීසීන්ට පක්‌ෂපාත වී තනතුරු ලැබ ගත්තද, පව් සමාකර ගැනීමට මෙන් 1818 කැරැල්ලට සම්බන්ධ වූයෙන් මුරුසියට පිටුවහල් කරන ලදි. පසු කාලයේදී ලංකාවට පැමිණ 1833 දී මිය ගොස්‌ තිබේ. ඔහුට දරුවන් සිටි බවක්‌ හෙළි නොවන හෙයින් එම පරපුර ඔහුගෙන් අවසාන වන්නට ඇත.

 

ඇහැලේපොල පරපුර අවසන් වූයේ 1814 දීමය. කොළඹ සිට උඩරටට පැමිණි ඇහැලේපොල, පිළිමතලව්වේගේ දියණිය විවාහ කර ගත්තත් දරුවන් ලද බවක්‌ අසන්නට නොලැබේ. ඇහැලේපොල අවිශ්වාස කළ ඉංග්‍රීසීන් පසුව ඔහුද මුරුසියට පිටුවහල් කරන ලදී. එහි සිටියදී, කුදු ගැසුණු සිරුරින් යුතුව බිම බලාගත් වනම ඇවිදින ඔහුගෙන් -කුමක්‌ සොයන්නේදැයි යමෙකු ප්‍රශ්න කළහොත් -උඩරට නැතිවුණු ස්‌වාධීනත්වය සොයනවා යයි පිළිතුරු දුන් බව කියවේ. 1829 දී ඔහු මිය ගියේ පිටුවහළෙකු ලෙසය.

 

මාම්පිටියේට සිට ඇත්තේ එක්‌ සොහොයුරෙක්‌ පමණි. ඔහු 1847 දී මිය ගිය අතර ඔහුගේ පුත්‍රයා අවිවාහකයෙකු ලෙසම මිය ගියෙන් එම පරපුරද නිමාවිණි. මුලින් ඉංග්‍රීසීන්හට පක්‌ෂපාතී වූ ඇල්ලේපොල හිස ගසා දැමීමෙන් ඝාතනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසින් 1818 දීය. ඒ ඔහුද උඩරට මහ කැරැල්ලට සම්බන්ධවීම නිසාය. ඔහුගේ බිරිඳද කාත් කවුරුත් නොමැතිව වසූරිය රෝගයෙන් මිය ගොස්‌ ඇත්තේ ඒ වන විට ඔවුන්ගේ දරුවන්ද ජීවත්ව නොසිටි හෙයිනි.

 

සිය පියා යයි හැඳින් වූ එක්‌ අයෙකු ඝාතනය කොට සිහසුනෙහි හිඳ ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම සිහසුන රැක ගැනීමට පියායයි කියවුණු අනෙකාද ඝාතනය කළේය. විවිධ අතවර මැද දාහත් වසක්‌ උඩරට රාජ්‍යය කරවූ ඔහුද, ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කරන ලදුව 1832 ජනවාරි 30 වන දින මිය ගියේය.

two hundred years after the last king of sri lanka-sriwickramarajasinha been arrested

[vsw id=”/c45dRaxGVrU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.