සටන්කාමී විමල් රොද්‍රිගු දිවි ඉනිම නිමා කරයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් වසර 36 ක් පුරා දිවි දෙවෙනි කොට සටන් කළ වමේ දේශපාලන පතාකයෙක් එය යහපත් අතට සිදුවනු දැකීමෙන් පසු සැනසිල්ලේ වුවත් එය සම්මත වීමට පැය කිහිපයකට පෙර මෙලොවින් සමුගත් බව සාතිශය කණගාටුවෙන් වාර්තා කිරීමට සිදුව තිබේ. හේ නමින් විමල් රොද්‍රිගු සහෝදරයා ය. දැන් වමේ කේන්ද්‍රය සමග ක්‍රියා කරන ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ නායකයෙක් මෙන්ම සමසමාජය තුල ජනප්‍රිය නායකයෙක්ද විය.

27 දා රාත්‍රියේ ඔහු සියළු දෙනා අතරින් හදිසියේ වෙන්ව ගොස් තිබේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 67 ක් විය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබූ 1948 උපන් විමල් රොද්‍රිගු වයස අවුරුදු 14 දී සිටම සමසමාජ පක්ෂය සමග ක්‍රියා කළේය. යාන්තම් 18 සම්පූර්ණ වීමටත් පෙර වයස අවුරුදු 17 දී සමසමාජ තරුණ අශයේ සාමාජිකත්වය ලබා ගත්තේය. සමසමාජ තරුණ භට කණ්ඩායමේ නායකත්වයට පත්වූයේ ඉන් වසර කිහිපයකට පසුව ය. පසුව එකළ සමසමාජ බලකොටුවක් වූ වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවෙකු ලෙස සේවය කළ ඔහු එහි වෘත්තීය අරගලයන්ට නායකත්වය දුන්නේය. ඉන්පසුව 1970 සමසමාජ හවුල් ආණ්ඩු සමයේ ලංගමයේ ස්වර්ණමය අවදිය වූ කාලයේ ලංගමයේ උප පරීක්ෂක වරයෙක් ලෙස සේවය කළේය.

පසුව ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් වූ විමල් රුද්‍රිගු මහතා එහි නියෝජ්‍ය ලේකම් වරයා ද විය. දොස්තර තිස්ස විතාරණගේ කණ්ඩායම ලංකා සමසමාජ පක්ෂය ක්‍රම ක්‍රමයෙන් මාක්ස්වාදයෙන් මරාවාදය කරා ගෙන යද්දී ඊට එරෙහි වූ විමල් රුද්‍රිගු 18 වන සංශෝධනයට එරෙහිව පක්ෂය තුල යෝජනාවක් ගෙන ආවේය. ඊට එරෙහි වූ තිස්ස විතාරණ ඔහුව දේශපාලන මණ්ඩලයෙන් පහලට ඇද දැමුවේය. අවසානයේදී තිස්ස විතාරණලා මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් බලයට ගෙන ඒමට යද්දී ඊට එරෙහි ව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොදු අපේක්ෂකයෙක් වටා සමගි විය යුතු යයි සමසමාජ පක්ෂය තුල ගෙන ගිය මතවාදී අරගලයේ නායකයෙක් වූ විමල් රුද්‍රිගු ඇතුළු පිරිස පක්ෂයෙන් නෙරපා දැමුවේය.

වමේ කේන්ද්‍රය

මුළු ජීවිත කාලයක් වෙහෙස මහන්සිව ගොඩ නැගූ පක්ෂයෙන් ඉතාමත් අසාධාරණ ලෙස නෙරපා දැමීම ගැන දැඩි හිත් වේදනාවට පත් විමල් රොද්‍රිගුට එම වේදනාව ගෙන දුන්නේ හදවත් රෝගී භාවයයි. එසේ තිබියදී වුව වමේ කේන්ද්‍රය ගොඩ නගා බහුතර සමසමාජ පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වටා ගොනු කරවා ඔහු ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහු ඉමහත් වෙහෙසක් දැරූ අතර එම වෑයම මල් ඵල ගත්තේය. පසුව විධායක බලය අවම කෙරෙන 19 වන සංශෝධනය ගෙන ඒමට බාධා එද්දී වමේ පක්ෂ එක් කොට පසුගියදා නගර ශාලාවේදී සමුළුවක් පවා පැවැත්වීමට විමල් රුද්‍රිගු මහතා ක්‍රියා කළේය.

19 වන ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය ගෙන ඒමේදී පළමුවෙන්ම එහි අගුණ පෙන්වා දී ඒ පිලිබඳ පොතක්ම ලියා ඊට එරෙහි වූ සමසමාජ නායක ආචාර්ය එන්.එම්.පෙරේරාගේ පිළිරුව අභියස පුෂ්පෝපහාරයක් පැවැත්විය යුතු බවත් තමාට කෙතරම් අසනීප වුවද ඒ සඳහා රැගෙන යන ලෙසත් තමා කාර් එකට වී හෝ සිට ඊට සහභාගී විය යුතු බවත් ඔහු පවුලේ අයට කියා තිබුනේ, ඒ වන විට ඔහුට ඇවිද මහන්සි වීම අගුණ බව වෛද්‍යවරු දන්වා තිබූ නිසාය.

කෙසේ වෙතත් 19 වෙනි සංශෝධනය සම්මත වීමට පැය කිහිපයකට පෙර විමල් රුද්‍රිගු සහෝදරයා අප අතරින් වෙන්ව ගියේ ය.

අවසන් ඉල්ලීම පරිදි සිරුර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට බාර දීමට නියමිතය. සමසමාජ බහුතර කණ්ඩායමේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත කීවේ සිරුර බාර දීමෙන් පසුව ඔහුගේ ඉල්ලීම පරිදි ඇන්.ඇම් පෙරේරා පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සූදානම් කර තිබේ. ‘නමුත් විමල් සහෝදරයා කාර් එකට වි හෝ සිටින්නට නැති වීම දුකක්‘ යැයි ඔහු පැවසීය.

මේ අතර අපූරු සිදුවීමක් අවමංගල දිනයේදී සිදුව තිබේ. විමල් රුද්‍රිගු සහෝදරයා ඉක්මනින් අවසන් ගමන් යැවීමට හේතුවක් වූ ඔහුව සමසමාජයෙන් නෙරපා හැරීමේ තීන්දුව ගත් දොස්තර තිස්ස විතාරණ, සමසමාජ පක්ෂයේ නම සඳහන් මල් වඩමක්ද රැගෙන ජයරත්න මල් ශාලාවට ආවේය. විමල් රුද්‍රිගු පවුලේ අය පවසා සිටියේ ශෝකය පලකිරීමට ඉඩ දිය හැකි නමුත් සමසමාජ පක්ෂය නමින් මල් වඩම තැබීමට තිස්ස විතාරණට ඉඩ දිය නොහැකි බවයි. මන්ද යත් බහුතර සමසමාජය සිටින්නේ දොස්තර සමග නොව මිය ගිය විමල් සමග නිසාය.  නමුත් දොස්තර විතාරණ සහ කන්ඩායම සමසමාජ පක්ෂයේ නම ගැසූ මල් වඩම සිරුර අසල තබා ගියේ ය. විමල් රොද්‍රිගුගේ ඥාතීහු මල්වඩම යලි තිස්ස විතාරණගේ කාර්යාලයට හරවා යවන ලදහ.

—————————

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.