සරත් ෆොන්සේකා ටොයියන් සහ බයියන් අතර

Field Marshal Sarath Fonseka's photo.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා යනු රාජපක්ෂගේ නිෂ්පාදනයක් නොවේ!

මේ දිනවල යුද්ධය ගැන විවිද කතා යලිත් මතුවෙමින් තිබේ. ඒ පරාජිත රාජපක්ෂ දෙවන වටයටත් පරාජය කිරීම සඳහා ජනතාවට වරමක් ලැබී ඇති බැවිනි. අපේ යුධ ඉතිහාසය නොදත් මුහුකුරා ගිය රාජපක්ෂවාදීන් මෙන්ම සමාජ වෙබ් අඩවි වල කරනම් ගසන ළපටි සිපයි, බයියන් හා ටෝයියන් විසින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ආමන්ත්‍රණය කරන ආකාරය දෙස බැලු විට අපට ඒ වහල් පරපුර ගැන ඇතිවන්නේ කණගාටුවකි.

ඒ නිසා මේ පැහැදිලි කිරීම සිදු කිරීමට මා හට සිත් විය. ඒ අනුව යුද්ධයේ විකාශනය, අවසන් සටනේ ආරම්භය මෙන්ම හමුදපති දුරාවලියේ අනුප්‍රාප්තිකත්වය යන කරුණු තුන මා සැලකිල්ලට ලක් කිරීමට කැමැත්තෙමි. එපමණක් නොව සාක්ෂි සාධක සහිතව එය සනාථ කිරීමටද පසුබට නොවෙමි.

බොහෝ දෙනෙක් කියන කතාවක් වන්නේ රාජපක්ෂ නැත්නම් සරත් ෆොන්සේකා කෙනෙකු නොමැති බවයි. තවත් කෙනෙකු කියන්නේ සන්නද්ධ නායකයා අණ දුන් නිසා සරත් ෆොන්සේකා යුද්ධ කල බවකි. කෙටියෙන්ම කිවහොත් සරත් ෆොන්සේකා යනු රාජපක්ෂගේ නිෂ්පාදනයක් බව ඔවූන්ගේ මතයයි. මෙය විහිලු අර්ථයක් නැති කතාවකි. 2005 ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ කිසි තැනක යුද්ධ කරන කතාවක් කිව්වේ නැත. ඔහු කිවේ ප්‍රභාකරන්ගේ ගෙදරට ගිහින් හෝ සාමය අරගෙන එන බවකි. 2004-2005 මාධ්‍ය වාර්තා කරුණාකර පරිශීලනය කර බලන්න. එහෙව් රාජපක්ෂව යුද්ධයට රැගෙන ගියේ සරත් ෆොන්සේකා මිස ගෝඨාභය රාජපක්ෂ නොවේ. ඒ ඔහු හමුදාපති දුරයට පත්වීමත් සමගය. ඔහු හමුදාපති දුරයට පත්වූ විගස ජනතාවට දුන් පොරොන්දුවක් වුයේ “මේ යුද්ධය මා මීළඟ හමුදාපතිට භාර නොදෙන බවයි” ඒ වන විට ප්‍රභාකරන්ගේ දොර ඉස්මත්තට ගොස් සාම කතා කරන්නට සිටි මහින්ද කුලප්පු වන්නට විය. ” සරත් කොහොමද ඔයා මෙහෙම කියන්නේ – ඔයා කොහොමද මේක කරන්නේ” මහින්ද සරත් ෆොන්සේකාගෙන් විමසන්නට විය. ඒ අනුව සරත් ෆොන්සේකා විසින් ඒ වන විටත් සකසා තිබු හමුදා ක්‍රියාන්විතයකින් කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ සැලසුම ආරක්ෂක මණ්ඩලයටත්, ආරක්ෂණ විශ්ලේෂණ වාර්තාවක් ලෙස ඉන්දියාවට හා ඇමෙරිකාවටත් ඉදිරිපත් කෙරින. සෝනියා ඝාන්ධි රජය තමිල්නාඩුවේ දැඩි බලපෑම නොතකා ශ්‍රී ලංකා රජයට ඒ අනුව උදව් කලේ රජිව් ඝාන්ධි ඝාතනය කල ප්‍රභාකරන්ට දැනෙන පිළිතුරක් ලබා දිය යුතු බවට වූ අරමුණත්, ඉන්දීය බුද්ධි අංශය විසින් සරත් ෆොන්සේකා පිළිබඳව තිබු විශ්වාසයත් ඔහුගේ යුද සැලසුම් පිළිබඳව ඉන්දීය රජයට ලබා දී තිබු සහතිකයත් නිසා මිස ප්‍රභාකරන්ගේ ගේ දොරකොඩට ගොස් කතා කරන්නම් කියූ මහින්ද ගැන ඇතිවූ පැහැදීමක් නිසා නොවේ. (2005 ඉන්දීය ආරක්ෂක වාර්තා බලන්න) ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියෙක් කොළ එලිය දල්වමින් හමුදා මුලස්ථානයේදී සරත් ෆොන්සේකාගෙන් ඇසුවේ සිවිල් වැසියන් කොපමණ මිය යාමේ ඉඩ කඩක් ඇත්ද යන්න පිළිබඳවත් යුද්ධයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ඇමෙරිකාව සුදානම් බවත්ය. එම මාධ්‍ය ආවරණ මා සිදු කල නිසා මා මේ ගැන හොඳින් දනී. සමහර හමුදාමය කරුණු තවමත් අනාවරණය වී නැත. විශේෂයෙන්ම ලොව ප්‍රභලම හමුදාමය බලය සහිත රට සමග. මේ එවැන්නකි. සිව්ව්වන ඊලාම් යුද්ධයේ ආරම්භයේ නාවික හමුදාව විසින් ජ්‍යාතන්තර මුහුදේ විනාශ කල කොටි අවි නැව් 5ක තොරතුරු යුධ හමුදාවට ලබා දුන්නේ එවකට ඉන්දියන් සාගර කලාපයේ නැංගුම් ලා සිටි USS ෆොර්ට් වොර්ත් ඇමෙරිකානු නාවික විධානය මගින්ය. ඒ හමුදාපති සරත්ෆොන්සේකා සමග ඇමෙරිකානු ආරක්ෂක අංශ ගොඩනගා ගෙන තිබු සම්බන්දකම් මතය.

සිව්වන ඊලාම් යුද්ධය

හමුදාපති සරත් ෆොන්සේකා තම හමුදා යාපනයෙන් හෝ ප්‍රභාකරන්ට අවැසි ඕනෑම තැනකින් සිව්වන ඊලාම් යුද්ධය ඇරඹීම සඳහා සුදානම් කොට තැබුවේ ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පාබල බල ඇණි සියල්ලටම කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත සැලසුම් ඉතා හොඳින් පුහුණු කිරීමෙන් අනතුරුවයි. අටේ කණ්ඩායමක් හෝ හතරේ කණ්ඩායමක් සතුරු භූමියට ඇතුළු කොට සතුරාට පහර දී නැවත තම භූමියට පැමිණීමට හැකි කුඩා කණ්ඩායම් දහසක් පමණ 2002 – 2003 සුදානම් කලේ මහින්දගේ අණ පරිදි නොවේ. වැලි සහිත යාපනයේ සතුරු භුමියට ගැලපෙන වේගවත් සන්නාහ සන්නද්ධ රථ බල ඇණි,යාන්ත්‍රික පාබල බල ඇණි ලෙස 2003 දී පමණ නිර්මාණය කලේ මහින්දගෙන් අහලා නොවේ. මා හොඳින්ම දන්නා පරිදි සරත් ෆොන්සේකා අවසන් සටන සැලසුම් කලේ 2002 වසරේ සිටයි.

2002 – 2003 කාලයේදී එල්ටීටීඊ – එජාප සාම සාකච්ජා සමයේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් යාපනයේ හමුදා අධි ආරක්‍ෂිත කලාප ඉවත් කර ගැනීම සඳහා එකගත්වකට පැමිණෙමින් සිටියේය. ජනාධිපතිනිය වුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියයි. එවකට හමුදාපතිවරයා වුයේ ජෙනරාල් බලගල්ලයි. නමුත් එදා එල්ටීටීඊයේ අවශ්‍යතාවට ඉඩ දීමට මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ඉඩ දුන්නේ නැත. රජය එවන් තීරණයක් ගත්තත් තමන් යාපනයේ සිටින තාක් අධි ආරක්‍ෂිත කලාප ඉවත් නොකරගන්නා බව සරත් ෆොන්සේකා තරයේ ප්‍රකාශ කළේය. කොටි අවි ආයුධ බිම තැබුවහොත් පමණක් තමන්ට ඒ සඳහා එකඟ විය හැකි බව සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය. සටන් විරාමය යුද්ධයේ විවේක කාලයක් ලෙස භාවිතා කල එල්ටීටීඊ සරත් ෆොන්සේකාගේ මේ ප්‍රකාශයත් සමග කලබල විය. වහාම තමිල් සෙල්වම් හරහා ශ්‍රී ලංකා රජයේ සාම ලේකම් කාර්යාලයට පණිවිඩයක් එවූ එල්ටීටීඊ සංවිධානය කියා සිටියේ අවි බිම තැබීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරයට ප්‍රථම මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රතිචාර දැක්වුයේ “අවි බිම තැබීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ නම්, අධි ආරක්‍ෂිත කලාප ඉවත් කර ගැනීමටද මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි” එවකට යුද හමුදාවේ 5 වැනියා ලෙස සිටිමින් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා කටයුතු කලේ සැබෑ සෙන්පතියෙකු ලෙසයි. මව්බිම මව්බිම කියා පපුවට තඩි බා ගන්නා යුද්දයේ අණදුන් වීරයින් කියා ගන්න කාඩ්බෝඩ් නායකයින් එදා කොටින්ගේ රෙද්ද පල්ලේ සැඟවී සිටියේය. මා මිත්‍ර මාධ්‍යවේදී සිරිමෙවන් කස්තුරිආරච්චි එදා 2003 ජනවාරි 5 වැනි ඉරිදා දිවයින පුවත් පතට සැපයු ආරක්ෂක වාර්තාව මීට සාක්ෂි දරයි. අපේ යුධ ඉතිහාසය නොදත් මුහුකුරා ගිය රාජපක්ෂවාදීන් මෙන්ම සමාජ වෙබ් අඩවි වල කරනම් ගසන ළපටි සිපයි, බයියන් හා ටෝයියන් විසින් මේ ලිපිය අකුරක් නෑර කියවන ලෙස මා ආරාධනා කර සිටිමි.

SF 2003

මෙවන් පසුබිමක සරත් ෆොන්සේකා හමුදාපති වන්නේ ජෙෂ්ඨත්වය අනුව ඔහු හමුදාපතිවීමට අනුප්‍රාප්තිකත්වය ලබා සිටි නිලධාරියා වීම නිසා මිස රාජපක්ෂගේ අනුහසකින් නොවන බව පැහැදිලිය. (වැඩිදුර අවශ්‍යනම් 2003 – 2005 යුධ හමුදා ජෙෂ්ඨත්ව නාමාවලිය බලන්න) සරත් ෆොන්සේකා 2000-2003 යාපනය අණ දෙන්නා වූ අතර 2004 දී ඔහු යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි හෙවත් දෙවැන්නා බවට පත් විය. ජෙනරාල් කෝට්ටගොඩ විශ්‍රාම යාමත් සමග හමුදාපති දුරයට පත් වීමට අනුප්‍රාප්තිකයා වී සිටියේ ජෙනරාල් ෆොන්සේකා මිස යුද්ධයට බයෙන් ඇමෙරිකාවට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ නොවේ. ඒ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකාට හමුදාපතිදුරය හිමිවුණේ ජෙෂ්ඨත්වය හා රටේ වාසනව යන කරුණු දෙකම නිසාය.

මේ අනුව මේ වීර සෙන්පතියා අවසන් සටන අවසන් කල හැටි අද ලෝක යුද ඉතිහාසයේ ලියවී හමාරය. ගරිල්ලා ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව ඉංග්‍රීසි බසින් ලියවී ඇති බොහෝ පොත පොත් පත්වල ඇත්තේ ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ සටන් ක්‍රම හා ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නම මිස වෙනත් පඹයකුගේ නම නොවේ. ඒ හමුදාවේ කීර්ති නමට යම් හෝ කැළලක් අත් කර දුන්නේ තමන්ට අයිති නැති වැඩ කරන්නට ගිය ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මිස සරත් ෆොන්සේකා නොවේ.

සංවාදයට විවෘතයි.

ශානක ද සිල්වා

Source :www.newsbirdsrilanka.com

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.