කිසිදු දිනක ඡන්දය නොදැමූ දිඹුලාගල හාමුදුරුවෝ

Dibulagala-Himiසුදු වතින් සැරසුණු පාසල් ළමෝද උවසු උවැසියෝද වැලනොකැඩී උදුම්බර ගිරි පර්වතය පාමුලට ඇදෙති. ගිනියම් වූ අඳුරු වලාවෝ නබෝ ගැබ මොහොතක් වසා ගත්තෝය. ගහකොළ සතා සීපාවෝ තුෂ්ණීම්භූතව ගල් ගැසුණාක් මෙනි. හුළං ‍පොදක් නොහැමුවේය. ලොවම මොහොතකට නතර වූවාසේය. ඒ කවරක් නිසා නොව උදුම්බර ගිරි පර්වත මස්තකය අරා විරාජමානවූ ඓතිහාසික කතාන්දරය අලුතින් ලිවීමට සමත් අහස් මාලිගය සිය දෑතින්ම නිම කළාවූ විශ්වකර්ම හාමුදුරුවන් අපවත් වී වදාළ හෙයිනි.
දිඹුලාගල යනුවෙන් කී විට අපට සිහි වන්නේ දිඹුලාගල හාමුදුරුවන් හෙවත් කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියෝය. රජ දවස රහතුන් වැඩසිටි දිඹුලාගල අරණේ නූතන ප්‍රබෝධයේ ලකුණ උන්වහන්සේය.
1950 දශකයේ මුල් භාගයේදී කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියෝ අලි, කොටි, වග වලසුන්ගෙන් ගහන ඝන කැලෑවක් වූත් ආදිවාසී ජන කොට්ඨාසයක ගොදුරු බිම්වූත් දිඹුලාගල හෙවත් ධූමරක්ඛ පබ්බතය වෙත වැඩම කළෝය. ආදිවාසීන්ගේ අනුග්‍රහය මත එළිපෙහෙළි කරගත් වන සෙනසුන වැඩි දියුණු කරන්නට පටන් ගත් උන්වහන්සේට මහා ශක්තියක් වෙමින් කොත්මලා පුරවරයෙන් තරුණයෙකු පැමිණියේය. ඒ අන් කිසිවෙකු නොව දිඹුලාගල දවෛනි හාමුදුරුවන්, විශ්වකර්ම හාමුදුරුවන්, කැටයම් හාමුදුරුවන් යන අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වූ මල්දෙණියේ ශ්‍රී ජිනාලංකාර නාහිමියෝය.

 

 

 


නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලා පුරවරයේ මල්දෙණිය නම් සුන්දර ගම්පියසේදී 1933 වෙසක් මස පස්වන දින පිහිල්‍ලේ ගෙදර මුදලිහාමි සහ රත්ගහගොඩ රම්මැණිකා දම්පතීන්ගේ පස්වෙනි කුල කුමරුවා ලෙස මෙලොව එළිය දුටු පිහිල්‍ලේ ගෙදර උක්කු බණ්ඩා දසදෙනෙකුගෙන් යුත් තම පවු‍ලේ සහෝදර සහෝදරියන් සමග කුඩා කල කෙළිදෙලෙන් ගත කළේය.
අකුරු ශාස්ත්‍රය උගැන්මට මල්දෙණියේ රජයේ පාඨශාලාවට ඇතුළු වූ හෙතෙම ගුරුසිත නොරිදවූ කීකරු ශිෂ්‍යයෙකු විය. එමෙන්ම සිය පියා සමග සෑම ‍පොහොය දිනකම අටසිල් සමාදන් වූ මේ ගැටවරයා මෑතගම මලියදේව රජමහා විහාරස්ථානයේ වැඩ විසූ කොත්ම‍ලේ සිරි පියරතන නාහිමි සමග ධර්ම සාකච්ඡාවල යෙදුණේය. වනවාසී ආරණ්‍යගත දිවියකටත් භික්ෂූත්වයටත් ඇළුම් කළ මේ තරුණයා වයස අවුරුදු 29දී මහා වනමැද දුෂ්කර ක්‍රියාවේ යෙදෙන දිඹුලාගල නායක හාමුදුරුවන් වූ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමි අභිමුව පැවිද්ද ලැබිය. ඒ මල්දෙණියේ ජිනාලංකාර යන නාමයෙනි. 1969 ඔක්තෝබර් දෙවැනි දින ප්‍රව්‍රජ්‍යා බිමට පිළිපන් 1970 ජූලි මස පළමු දින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක මඩිහේ පඤ්ඤාසීහ නාහිමිගේ උපාධ්‍යායයෙන් හා ශ්‍රී සීලාලංකාර නාහිමිගේ ආචාර්යත්වයෙන් මාතර ගංගාරාම සීමාමාලකයේදී දශකෝටියක් ශික්ෂාවරය ලබමින් උපසම්පදා ලැබූහ.
එතැන් පටන් උන්වහන්සේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ගොඩනැංවීමට ශ්‍රී සීලාලංකාර නාහිමියන්ට යෝධ ශක්තියක් වූහ.
මටත් දැන් සීතල කාමරයක් තියෙනවා නොවැ යැයි වරක් දිඹුලාගල නායක හාමුදුරුවන් පත්තර මිතුරන් සමග අසූව දශකයේදී පමණ පවසා තිබිණ. එහි අර්ථය කුමක්දැයි විපරම් කළ අපගේ මිතුරන්ට දැකගන්නට ලැබුණේ උන්වහන්සේගේ කුටිය ජල ටැංකියක් ආශ්‍රය කරගෙන ඉදිව තිබෙන අන්දමයි. ඒ.සී. කළ සැප පහසු කාමර අපේ රටේ ආරම්භ වූ මුල්ම යුගයේදී දිඹුලාගල මහ වනමැද එවන් ඒ.සී. කාමරයක් දැකීම පුදුම සහගතය. මේ අපේ විශ්වකර්ම හාමුදුරුවන්ගේ වැඩනේ දිඹුලාගල නායක හාමුදුරුවෝ පැවැසූහ.
ඉන් නොනැවතුණු මේ විශ්වකර්ම හාමුදුරුවන්ගේ ශිල්පීය ඥානයේ තරම මොනවට පසක් කරමින් දුම්රක්ගල් පර්වතය අරා වසර සිය දහස් ගණනක් නොනැසී පැවතෙන්නට ඉදිකළ අහස් මාලිගය, අහස් ගංගා ෙචෙත්‍යය නිර්මාණය කළහ. එහි සැලසුම් ශිල්පියාත්, නිර්මාණ ශිල්පියාත් අපගේ කතානායකයන් වහන්සේමය. දිඹුලාගල ආරණ්‍ය සෙනසුනේ ඉපැරණි ලෙන් හා ගල්තලා මත ඇඳි සෙල්ලිපි පමණක් නොව ලෙන් චිත්‍රවලටද ඇළුම් කළ උන්වහන්සේ ඒ ඔස්සේ යමින් දිඹුලාගලටම ආවේණික වූ ෙශෙලියකින් කලා නිර්මාණ රාශියක් බිහි කළහ. දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයටපාත්‍රවන ප්‍රතිමා ගෘහයත්, පත්තිරිප්පුවත් එහි දැවයෙන් නිමවූ ප්‍රතිමාත් ඊට සාක්ෂි සපයන ජීවමාන සාක්ෂිකරුවන් වැන්න. දුම්රක් ගල් පර්වත මස්තකයේ තැනූ අටෝරාශියක් මගුල් ලකුණින් හෙබි සිරිපතුලත් උන්වහන්සේගේ විශ්වකර්ම නිර්මාණ ශක්තිය විශද කරන්නේය. ප්‍රතිමා නිර්මාණයේදී දිඹුලාගලටම ආවේණික වූ ෙශෙලියක් සොයාගත් උන්වහන්සේ දිඹුලාගල කලා සම්ප්‍රදාය අලුතින් ලියවූහ. ගෘහ නිර්මාණ ශිල්පයේ කෙළ පැමිණි ඉතා ඉහළ ශික්ෂණයකින් යුත් මහා ඉංජිනේරුවෙකු සේ උන්වහන්සේ ප්‍රකට කළ අරුම පුදුම දස්කම් හේතුවෙන් ඉංජිනේරු හාමුදුරුවන් ලෙස දනන් මුවග අන්වර්ථ නාමයක් රැන්ද වූහ. මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නායක ස්වාමීන්වහන්සේ ඇරඹි ජාතික, ආගමික, සාමාජීය හා දේශපාලනික උන්නතියේ ඉදිරි ගමන්කරුවා වූයේද උන්වහන්සේය. වනගතව ගල්ලෙන්වල කුඩා පැල්පත්වල විසූ අසරණ සිංහල, දෙමළ, වැදි ජන කොට්ඨාසවල ආහාර අහේනියෙන් පීඩා විඳි ඇතැම් පිරිමි දරුවන් දෙමව්පිය කැමැත්තෙන් කැඳවාගෙන ගොස් මහණ කරවූ නායක හාමුදුරුවන්ගේ ශාසනික මෙහෙවර ද කරමතට ගත් දිඹුලාගල දවෛනි හාමුදුරුවන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500කට වැඩි ප්‍රමාණයක් සසුනට දායාද කළහ. වෙහෙර විහාර සියයකට අධික සංඛ්‍යාවකුත්, දිඹුලාගල සිරිකස්සප මහ පිරිවෙන් ඇතුළු ආරණ්‍ය සේනාසනයත් භාරගෙන කටයුතු කරන්නට සිදුවූයේ 1995 වෙසක් මස 26 වැනි දින එල්.ටී.ටී.ඊ.යේ වෙඩි පහරින් දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේ අපවත් වීම නිසාය.

 

[vsw id=”/2DSLEfYeMGw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

එතැන් පටන් දිඹුලාගල නායක හාමුදුරුවන්ගේ අඩිපාරේ යමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය දෙස් විදෙස් පතළ මහා පින්බිමක් බවට හැරවූයේය. දිඹුලාගල භික්ෂු පරපුරේ 1200කට අධික භික්ෂූන් වහන්සේලාට නායකත්වය දෙමින් සැබෑම වූ ශික්ෂාකමී විනයධර, ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් වීමට උන්වහන්සේ සමත් වූහ.
නිහඬ දිවියට ඇළුම් කළ උන්වහන්සේ ඉවතලන දැව කැබලි ගෙන කුමක් හෝ කැටයමක් නෙළන්නෝය. විවේකයද නිරාමිස ප්‍රීතිය උදෙසා යෙදවූ උන්වහන්සේගේ පින්බර සුරතින් නිම කළ දැවමය බුද්ධ ප්‍රතිමා දිඹුලාගල පත්තිරිප්පුවේ වසර සිය දහස් ගණනක් නොනැසී පවතිනු ඇත.


පක්ෂ දේශපාලනයට කිසිදා ඇළුම් නොකළ උන්වහන්සේ දිඹුලාගල නායක හිමියන් සේම එඩිතරය. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට දිඹුලාගල නායක හාමුදුරුවන් එල්ල කළ වාග් ප්‍රහාරය සේම මල්දෙණියේ ජිනාලංකාර නාහිමියෝ දේශපාලකයින් ළඟට නොගොස් තමන් වහන්සේ ළඟට දේශපාලකයින් එන අන්දමට වැඩ කළහ. මහා නායක හිමිවරුන්ට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබෙද්දී උන්වහන්සේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කටුකොහොල් මැද දිවි ගෙවූහ. කිසිදාක රූපවාහිනී යන්ත්‍රයක් නරඹා නැති උන්වහන්සේ කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් සයනය අසල තබාගෙන රාත්‍රී ධර්මදේශනා පමණක් ශ්‍රවණය කළහ.
ජීවිතාන්තය තෙක් ආරණ්‍ය සේනාසනය ප්‍රිය කළ උන්වහන්සේ පක්ෂ දේශපාලනය හිසට නොගත්තා පමණක් නොව කිසිදු දිනක කිසිදු මැතිවරණයකදී ඡන්දය දැමීමට ගියේ නැත.

ප්‍රියන්ත බණ්ඩාර

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.