සියළු කටයුතු යථා තත්ත්වයට – හිස නමන්නේ නැහැ – රනිල්

Ranil Wickramasingheඛනිජ තෙල් බෙදා හැරිම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරිමෙන් පසු තෙල් සංස්ථා පරිශ්‍රයන් හා ප්‍රවේශ මාර්තවල ආරක්ෂක කටයුතුවලට මෙන්ම ඉන්ධන බෙදා හැරීමේ කාර්යයන්ට ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක හමුදා යෙදවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් බෙදා හැරිම අත්‍යාවශ්‍ය සේවාවක් කිරිමේ ගැසට් නිවේදනය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මෙසේද කීය. ඕනෑම වෘත්තීය කණ්ඩායමක්, සිය වෘත්තීයේ උන්නතිය හා සුබසාධනය වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම්, අරගල, විරෝධතා ව්‍යාපාර පිළීබඳ අපට කිසිදු ගැටලූවක් නැහැ. නමුත් කිසියම් පිරිසක්, පදනම් විරහිතව, කිසිදු පිළිගත හැකි හේතු නොමැතිව, රටේ සාමාන්‍ය ජන ජිවිතය කඩාකප්පල් කොට, රට අස්ථාවර භාවයට පත් කිරිමට අප ලබා දුන් නිදහස පාවිච්චි කරනවා නම් රජයක් හැටියට වගකීමෙන් යුතුව ක්‍රියා කිරිමට අප බැදී සිටිනවා.

ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ සම්බන්දයෙන් ඔවුන්ගේ නිල අදහස ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු බන්දුල සමන් කුමාර දක්වන්නේ මෙහෙමයි.

මීට ලිඛිතව ජනාධිපතිවරයා එකඟ වෙනවා නම්, අපි අනිවාර්යයෙන් වැඩ වර්ජනය නවත්වනවා. එහෙම නැතුව ජනාධිපතිතුමා එක්ක නොවෙයි ශක්‍ර දේවේන්ද්‍රයා එක්කවත් අපි සාකච්ඡා පවත්වන්න එන්නේ නෑ. ඒක අපේ තිරණය…

අපේ රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමග සාකච්ඡා ප්‍රතික්ෂේප කර නැහැ. ඛනිජ තෙල් වෘත්තීය සමිති සමග අපේ මැතිඇමතිවරුන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා පවත්වා තිබෙනවා. මම අප්‍රේල් 24 සහ ජුලි 13 යන දිනවල ඔවුන් සමඟ සාකච්ඡා කළා.

ඒ සාකච්ඡවල දී ඔවුන් ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව අවධාරණය කළා. පළමුවැන්න හම්බන්තොට තෙල් ටැංකි සංකිර්ණය පිළිබඳව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳව, තුන්වැන්න සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය පිළිබඳව.

මෙයින් දෙවැනි හා තුන්වෙනි කරුණු පිළිබඳව අපි එකඟත්වයකට පැමිණියා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව සිදු කෙරෙන මූලික සාකච්ඡාවන්ට වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් ලබා ගන්නා බවද අපි ඔවුන් වෙත දැනුම් දුන්නා. දැන් ඒ පිළිබඳව බරපතල ගැටළු නැහැ.

හම්බන්තොට තෙල් ටැංකි අයිතිය ඇත්තේ වරාය අධිකාරියටයි. මේ අයිතිය ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක් මහතායි. නමුත් ඒ අවස්ථාවෙ කිසිවෙකුත් විරෝධය පළ කළේ නැහැ. අප දැන් වෘත්තීය සමිති ඉල්ලීම් වරාය අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. රජයේ කිසිදු ක්‍රියා පිළිවෙතකින් තෙල් සංස්ථාවට අගතියක් හෝ හානියක් නොවන බවට මා වෘත්තීය සමිති හමුවේ සහතික වුණු බව ද මෙහිදි සඳහන් කරන්නට කැමතියි.

එවැනි පසුබිමක ඛනිජ තෙල් වෘත්තීය සමිති හදිසි වර්ජනයක් කැදවිම අවාසනාවන්ත තත්ත්වයක්. වර්තමානයේ රටපුරා ඩෙංගු වසංගත තත්ත්වයක් පවතිනවා. ඩෙංගු වැළැක්විමට පක්ෂ පාට ජාති ආගම් ආදි සියළු භේද ඉවතලා රටේ බහුතර ජනතාව වෙහෙසෙන අවස්ථාවකයි ශක්‍රයා එක්කවත් සාකච්ඡා කරන්නේ නෑ කියමින් ඛනිජ තෙල් වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.

ඛනිජ තෙල් බෙදා හැරිම අකර්මන්‍ය වුනොත් රටේම එදිනෙදා කටයුතු අඩපණ වෙනවා. රෝහල් සේවක සේවිකාවන්ගේ ගමනා ගමනය, ගිලන් රථ ධාවනය, ඩිසල් විදුලි ජනනය, පොදු ප්‍රවාහන සේවා ආදි සෞඛ්‍ය සේවාවන්ට සෘජුවම බලපාන ෙක්‍ෂ්ත්‍ර ගණනාවකට මේ වර්ජනය බලපානවා. අනික් අතින් ගුවන් යානා ගමන් ඇනහිටිම්, වරාය අංගනයන්ට තෙල් නොමැති වීම නිසා බහාලූම් කටයුතු නතරවීම් ආදිය නිසා ආර්ථිකයට බලපානවා. සාමාන්‍ය ජනජිවිතයට බාධා වෙනවා. හෙට අනිද්දා ආරම්භවීමට නියමිත පාසැලි විභාග කටයුතු අඩාල වෙනවා.

රාත්‍රියේදි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයන් තුළ යම් යම් ක්‍රියාවන් සිදුවන බවට වාර්තා ලැබුණා. තෙල් බෙදා හැරීමට බාධා වන අයුරින් බවුසර් හරස් කිරීම, ඒවායේ හුළං ඇරීම, වෑල්ව් ගලවා විසි කිරිම වැනි දේත් ඒ අතර සිදු වී තිබෙනවා. මීටත් වඩා බරපතල ක්‍රියාවන් සිදුවිය හැකි බවටත් තොරතුරු වාර්තා වුණා. අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කිරිමෙන් පසු පරිශ්‍රයන් හා ඒවායේ ප්‍රවේශ මාර්ග ආරක්ෂා කරලීමේ කටයුතු වලට ආරක්ෂක හමුදා මැදිහත් වුනා. ඒ වගේම ඉන්ධන බෙදා හැරිමේ කාර්යයන්ට පූර්ණ ආරක්ෂාව සැපයීමේ වගකිම ඔවුන්ට පැවරුණා.

මේ වන විට ඉන්ධන බවුසර් පිටත් කෙරෙමින් පවතිනවා. ගුවන් යානා ඉන්ධන රැගත් දුම්රිය ද කටුනායක බලා යන්නට සුදානම්. සියළු කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා.

අප ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදි අගයයන් ඉහළට ඔසවා තබනවා. අධිකරණයට හා නීතියට ගරු කරනවා. නමුත් ඒවා විනාශ කරමින් රට අස්ථාවර කරන බලවේගවලට යට වෙන්නේ නැහැ. ඒ බලවේගවලට හිස නමන්නේත් නැහැ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.