සිරි ගුනසිංහ සංස්කෘතියට බය නැති මිනිහෙක්

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

මහාචාර්ය සිරි ගුනසිංහ සම්පූර්ණ සේවාකාලය ලංකාවේ විශ්වවිද්‍යාලයක ගත නොකර විදේශගතවීම අපට සිදු වූ බලවත් පාඩුවකි. ඔහු ලංකාවේ සිටියේ නම් ඔහුගේ කවිය සහ නවකතාව ලංකා සමාජය සමගත් ලංකා සමාජයේ කලින් කල ඇති වන කතිකා සමගත් සම්බන්ධ වෙමින් වර්ධනය වන්නට තිබිණි. එසේම ඔහු ලංකාවේ වාසය කරමින් සාහිත්‍ය කලා කටයුතුවල නියැලුණේ නම් පසුගිය දශක කීපය තුළ ලංකාවේ වර්ධනය වූ අතිශය ගතානුගාතික, සංස්කෘතික ජාතිකවාදී සාහිත්‍ය කලා ප්‍රවණතාවලට අභියෝග කරන්නට තිබිණ. ගුණදාස අමරසේකර වැනි අය ජාතිකත්වය, සම්ප්‍රදාය, හදබස ආදිය ගැන මතු කළ සාවද්‍ය කතිකාවලට නොබියව අභියෝග කරන කෙනෙකු ලෙස අමරසේකරගේ පරම්පරාවේ සිටි ප්‍රධානම ශාස්ත්‍රවන්තයා සහ සිංහල සාහිත්‍යධරයා මහාචාර්ය සිරි ගුනසිංහ විය. ඔහු ලංකාවෙන් බැහැරව යන්නට පෙරම ලියා තිබූ ඇතැම් ලිපි පවා අදටත් සීමාන්තික ජාතිකවාදීන්ගේ ගතානුගතිකවත්වය එල්ල කරන ලද දරුණු ප්‍රහාර හැටියට ශේෂ වී තිබේ. සිරි ගුනසිංහ යනු ඔහුගේ දැනුම සහ පුහුණුව පමණට පොත පත පළ කළ ලේඛකයෙක් නොවේ. ඔහු ඒ පරම්පරාවේ අඩුවෙන්ම පොතපත පළ කළ වියතා යැයි කියන්න පුළුවන. ලංකාවේ වාසයේ කළේ නම් යම් ප්‍රමාණික ශාස්ත්‍රීය කෘතියක් දෙකක් වත් ඔහුගෙන් උදුරාගන්නට අපට හැකි වන්නට තිබිණි.

නිර්භය නූතනවාදියා

මා දකින හැටියට සාහිත්යික නූතනවාදය එහි හරයද සමග සිංහලයට ගෙනාවේ සිරි ගුනසිංහය. ඔහුගේ සාහිත්‍යයට වඩා නූතනවාදී තාක්ෂණ ලක්ෂණ සහිත බොහෝ දෙනෙකුගේ නිර්මාණ නූතනවාදී වන්නේ හරයට වඩා තාක්ෂණයෙනියි සිතේ. සිරි ගුනසිංහ නූතනවාදයෙහි හරය අල්ලා ගන්නා බව පෙනුණේ ඔහුගේ නිදහස් කවියේදීමය. ඒ කවිය හුදෙක් ඡන්දස් අතහැරීමක් පමණක් නොවේ. අපගේ යුගය, චින්තනය සහ පැවැත්ම බාහිරින් සහ අභ්‍යන්තරයෙන් පරීක්ෂා කිරීමකි. නූතනවාදී කලාවේ හරය එයයි.

මහාචාර්ය සිරි ගුනසිංහ

“රජෙක් එතැයි කොපමන අප සිතුවත් එන්නෙ හිගන්නෝමයි” වැනි කවි පදයක් පශ්චාත් යටත් විජිත ලංකාවේ යථාර්ථයද මහජන අපේක්ෂාභංගයද එකවර හසුකර ගන්නා යෙදුමක් වන්නේ ඒ නිසාය.

හෙවනැල්ල වැනි නවකතාවක් නූතන ශ්‍රී ලාංකිකයාගේ ආත්මීයත්වයේ හැඩගැස්ම එහි පිටතින් සහ ඇතුළතින් අල්ලා ගන්නා බවක් අපට දැනෙන්නේ ඒ නිසාය.

එහෙත් මේ කෙටි ලිපිය අපට අමතකව ගිය ශාස්ත්‍රීය රචනා එකතුවකලා සිරි ගුනසිංහ පෙන්වන ප්‍රගල්භත්වය ගැනය.

ගතානුගතිකත්වය පරීක්ෂා කිරීම

ලෝක නූතනවාදී සාහිත්‍ය ව්‍යාපාරයෙහි එක් ලක්ෂණයක් වූයේ ගතානුගතිකත්වය එහි සමස්තයෙන් අල්ලා ප්‍රශ්න කිරීමයි. ඒ නිසා අතීතයේ මිනිස් ජීවිතය ගත වී ගිය සියලු ආකාර එහි ඇතුළතින් සහ පිටතින් ප්‍රශ්න කිරීම ඊට අයිති වේ. එහිදී සම්ප්‍රදාය යනුවෙන් ගන්නා දෙය සම්ප්‍රදාය ලෙස ස්ථාපිත වී ඇත්තේ මන්ද යන්න සොයා බැලීමද අවශ්‍ය වේ. සංස්කෘතික සහ සාහිත්‍යය අධ්‍යයන ක්ෂේත්‍රෙයහි සම්ප්‍රදාය යන සංකල්පය ප්‍රශ්න කිරීම ඇරඹුණේ 1970 දශකයේදී පමණ යැයි කියන්නට පුළුවන. බොහෝ සමාජ සම්ප්‍රදාය යනුවෙන් හ‍ඳුන්වන දේවල් චිරාත්කාලයක සිට පැවත එන බව විශ්වාස කළද සම්ප්‍රදාය යනුවෙන් ඉදිරිපත් කෙරෙන බොහෝ දේ දවසේ දේශපාලන හෝ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් ඉතා මෑතක නිර්මාණය කර පතුරුවා හරින ලද දේ බව අද සංස්කෘතික අධ්‍යයන ක්ෂේත්‍රය තුළ පැතිරී ඇති අවබෝධයකි. ඒ නිසා සම්ප්‍රදාය යනුවෙන් ඉදිරිපත් කෙරෙන සෑම දෙයක්ම ඒවා ඉදිරිපත් කරන අය සිතන තරම් පැරණි හෝ අදාළ සංස්කෘතිය සමග බැඳුණු දේ නොවන්න පුළුවන. නිදර්ශනයක් ගනිමු. අපේ ස්ත්‍රීන්ගේ ජාතික ඇඳුම සේ ඉදිරිපත් කෙරෙන ඔසරිය අපේ සාම්ප්‍රදායික ඇඳුම සේ ඉදිරිපත් කෙරෙන්නේ එය චිරාත්කාලක් ලංකාවේ භාවිත වූ බව සෘජුව හෝ වක්‍රව කියමිනි. එහෙත් ඔසරිය යනු දළ වශයෙන් 19 වැනි සියවසේදී නිර්මාණය කර පතුරුවා හරින ලද දේ බව මහාචාර්ය නීරා වික්‍රමසිංහ, ආචාර්ය ජානකී ජයවර්ධන වැනි අයගේ අධ්‍යයනවලින් පෙනී යයි. මෙලෙසම “චිරාත් කාලයක් පැවති සාම්ප්‍රදායික දෙයක් සේ” හඳුන්වා දෙනු ලබන බොහෝ දේ එකියන තරම් පැරණි නොවන බව සංස්කෘතික විචාරකයෝ දකිති.

එසේම යමක් පැරණි වූ නිසාම එය වර්තමාන මිනිසා මත යම් වූ ආකාරයක පීඩනයක් හෙළන්නේ නම් එය ප්‍රතිසංස්කරණය කළ යුතු බව සංස්කෘතික විචාරකයෝද සාහිත්‍යධරයෝද පෙන්වා දෙති. සිරි ගුනසිංහ මේ කාරණයෙහිලා අපට සිටි හොඳම වියතෙකි. ගතානුගතිකවය නිර්දය ලෙස විචාරය කිරීම අතින් ඔහු මහාකවි රවින්ද්‍රනාත් තාගෝර්ට නෑකම් කියයි.

මේ චින්තන මාර්ගය හෙළි කරන ලිපි එකතුවක් සිරි ගුනසිංහ පළ කළේය. චිරන්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය නම් වූ ඒ පොත1986 වර්ෂයේ මුද්‍රණය වී කෙටිකලකින් පාඨකයා අතර භාවිතයෙන් ඉවත් විය. ඊට ප්‍රධාන හේතුව සම්ප්‍රදාය යැයි ගන්නා දේවල් ගැන විචාරාත්මක නොවන දෘෂ්ටිවාද රජ කරන දශක කිහිපයක් පැමිණිම විය යුතුය. ඉතා කෙටි ලිපිවලින් සැදි මේ කෘතිය නැවත වරක් මතු කර සමාජය හමුවේ තැබිය යුතුය.

ඒ කෘතියේ එක් තැනක සිරි ගුනසිංහ ඔහුට ආවේනික අක්ෂර වින්‍යාසයෙන් මෙසේ කියයි.“සම්ප්‍රදාය ආරක්ෂා කිරීම යන්නෙන් කෞතුක වස්තු සංරක්ෂනය නම් එය සම්ප්‍රදාය පිළිබඳ සත්‍යය නොදැනීමේ ප්‍රතිඵලයයි. සම්ප්‍රදාය යනුවෙන් හැඳින්විය යුත්තේ ස්ථායි අවස්ථාවක් නොවේ. සම්ප්‍රදායක් ගොඩනැගෙන්නේ කලින් කල වෙනස් වූ අවස්ථා පරම්පරාවක් එකට ඇමිනුන පසුය. සමහර සම්ප්‍රදායක මුල සිට අග දක්වා දුවන සම්බන්ධයක් තිබිය හැකිය. තවත් සමහර සම්ප්‍රදායක එවැනි සම්බන්ධයක් බැලූ බැල්මට පෙනේනට නැත. කෝට්ටේ කාලයේ ලියවුනු කවි පොත්වලත් සීගිරි පද්‍යයත් අතර පෙනෙන්ට ඇති සම්බන්ධය කුමක්ද? කෝට්ටේ කවිවලත් මාතර යුගයේ කවිවලත් ඇති සම්බන්ධය කුමක්ද? මේ පරම්පරා තුන ශෛලිය අතින් පමනක් නොව භාෂාව හා කාව්‍ය වස්තු අතින්ද එකට එක වෙනස් බව ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයකි. එහෙත් බහුශ්‍රැතයන්ගේ අදහසේ හැටියට එය සිංහල කවි සම්ප්‍රදායයි.”

සිංහල කාව්‍ය සම්ප්‍රදාය අග සිට මුලට එකක් සේ ගැනීම සම්ප්‍රදාය නම් සංකල්පය සම්බන්ධයෙන් පමණක් නොව සිංහල කවිය සම්බන්ධයෙන්ද වරදක් බව සිරි ගුනසිංහ චිරන්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය කෘතියෙහි කිහිප තැනකම තර්ක කළේය. එහෙත් ඒ කාරණය සම්බන්ධයෙන් සවිස්තර අධ්‍යයනයක් ඔහුගෙන් නොකෙරිණ. එසේ වෙතත් ගුනසිංහගේ මේ අදහස අමරසේකරගේ හදබස ප්‍රවාදය හා ගැටෙන අදහසකි. අමරසේකරගේ හදබස ප්‍රවාදය අවිවාදයෙන් පිළිනොගැනෙන්නක් බව ඇත්තය. එහෙත් අඛණ්ඩ සිංහල කවිත්වයක් පිළිබඳ එවැනි අදහසකට නිර්මාණශීලි ලෙස අභියෝග කළ හැකි වූ අමරසේකරගේ පරම්පරාවේ වියතා වූයේ සිරි ගුනසිංහ බව කිව යුතුය.

ගුනසිංහ තව තැනක මෙසේ කියයි. “සම්ප්‍රදාය හුවා දක්වන හැම උගතෙක්ම හැම පන්ඩිතයෙක්ම අදහස් කරන්නේ පැරනි වූ හැම දෙයක්ම පැරනිකම නිසාම අගය කල යුතුය යනුයි. නැත්නම් සමාජයේ මුල් බැසගත් හැම දෙයක්ම මුල් බැසගත් නිසාම මුදුනින් පිළිගත යුතුයි යනුයි. එවැනි කොයි දෙයක් හෝ ලේශ මාත්‍රයකින්වත් වෙනස් කිරීම ජාතිද්‍රෝහීකමක්ය සමාව දිය නොහැකි අපරාධයක්ය. මේ අදහස වැරදි අදහසක් බව පෙන්නා දීමට අටුවා ටීකා උවමනා නැත.”

1986 වර්ෂයේදී පළ වූ මේ කෘතියෙහි එන ලිපි මුලින්ම ලියවුණේ ඊටත් පෙර විය යුතුය. සම්ප්‍රදාය යනුවෙන් ගන්නා දේ ගතානුගතිකව පිළිපැදීම අසූව දශකයෙන් පසුව තවත් වැඩිවිය. එය ඉතා දරුණු අන්තයකට ගියද දැන් නැවතත් මධ්‍යස්ථ මතවලට ඉඩ ඇති තැනකට සමාජය ගමන් කරමින් සිටිනු පෙනේ. පසුගිය දශක කීපයේ සිරි ගුනසිංහ ලංකාවේ සිටියේ නම් ගතානුගතිකවාදීන්ගේ දෘෂ්ටිවාදවලට අඛණ්ඩව අභියෝග කරන්නට තිබිණි.

 

 

downloadSSSS

නැවතත් සිරි ගුනසිංහට සවන් දෙමු. “ප්‍රගතිය හා සම්ප්‍රදාය යනු එකටෙක හාත්පසින් විරුද්ධ අදහස් දෙකක් නොවන බව අපි මුලින්ම සඳහන් කලෙමු. සම්ප්‍රදාය ස්ථායී තත්වයක් නොවේ. මුඛ පරම්පරාවෙන් ආ දෙය වුවද වෙනස් වෙයි. වෙනස් වීම සම්ප්‍රදායේ ලක්ෂනයකි. ප්‍රගතියද වෙනස් වීමකි. ප්‍රගතිශීලි නොවන සම්ප්‍රදාය පන නැති දෙයකි.”

ලංකාවේ විශ්වවිද්‍යාලයක සේවය කරමින් මෙවැනි දේ ප්‍රකාශ කිරීම යනු සෑහෙන තරම් නිර්භීතකමක් අවශ්‍ය කාර්යයකි. ගුනසිංහ ලංකාවේ සේවය කළ කාලයේ මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට සාපේක්ෂ වශයෙන් වැඩි අවකාශයක් තිබුණද ඒ අවකාශය එන්න එන්නම පටු විය. ලෝකය පිළිබඳ පැතිරුණු දැනුමද විචාරශීලිත්වයද තමන් වසන සමාජය සංස්කෘතික අන්තවාදයන් කරා ඇද වැටීම වැලැක්වීමේ වගකීමද අඩු අප්‍රබුද්ධ පිරිසක් ශාස්ත්‍රීය කතිකා අවකාශය අත්පත් කර ගත්තේය. එහෙත් විචාර බුද්ධිය සම්පූර්ණයෙන්ම පරජය කරන්නට ඔවුනට නොහැකි විය. විචාරාත්මක චින්තනයත්, මැදහත් නොඇලුණු බවත් පිණිස කාගේ හෝ ශක්තිය අවශ්‍ය වූ ඇතැම් වෙලාවට සිරි ගුනසිංහ මා අසල සිටියේය. කවදාවත් මුණ ගැසී කතා කර නැති මේ වියතා මා අසල සිටින බව මට දැනුණේය.

 

 

විමල් දිසානායක
විමල් දිසානායක

මේ වූකලි ඔහු සේම විදේශතව සිටිමින් නොයෙක් නොයෙක් දේ ලියූ මහාචාර්ය විමල් දිසානායක වැනි අය සම්බන්ධයෙන් මට කවදාකවත් නොදැනුණ හැගීමකි. සිරි ගුනසිංහ අභීත චින්තකයෙකු නම් විමල් දිසානායක යනු චින්තන කර්මාන්තයේ කම්කරුවෙකි. ඩෙරීඩාගේ චින්තනයෙහි හරයා වෙත නොයා “මම ඩෙරීඩා සමග තේ බොමින් කතා කළෙමි” වැනි පුරසාරම් සිරි ගුනසිංහ කවදාවත් දෙඩුවේ නැත. ඩෙරීඩා ගැන වචනයක් වත් කියා නැති සිරි ගුනසිංහ භාවිතය සහ චින්තනය අතින් මහාචාර්ය දිසානායක වඩා ඩෙරීඩාට සමීපය.

විමල් දිසානායක රට අතහැරයාම ගැන මට කවදාවත් විශේෂ දුකක් නොසිතුණත් සිරි ගුනසිංහ අප දමා යාම ගැන මම එදත් දුක්වීමි; අදත් දුක් වෙමි. එහෙත් ඔහු කැනඩාවේ හෝ දීගායු ලැබ වාසය කරන බව ඇසීම මගේ සවනට මිහිරි ගීයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.