සීගිරිය යළි පාදා ගත් බෙල් -මිනිබිරිය ගේ ආවර්ජනය

ලොකු තාත්තායි අත්තම්මයි
දෙන්නම මිය ගියේ මේ පොළවෙ
එච්.සී.පී බෙල්ගේ මිනිබිරිය කියන කතාව

* ලොකු තාත්ත අවුරුදු 64 ජීවත්වුණේ ලංකාවේ…
* ඒ කාලෙන් අවුරුදු 35 ගතකළේ අනුරාධපුරයේ
* පිටරටක දේපලක්‌ ලොකු තාත්තට තිබිලා නෑ

අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පටන්ගන්නේ හරියටම මීට අවුරුදු 125 කට පෙරය. 1890 ජුලි මාසයේ හත්වැනිදාය. මේ සද්කාර්යයට උරදෙමින් ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා වූයේ හැරී චාල්ස්‌ පර්විස්‌ බෙල්ය. කවුරුත් දන්නා මහා පැණවතා වූ එච්.සී.පී. බෙල්ය.

එවකට රටේ ආණ්‌ඩුකාරවරයාව සිටියේ ශ්‍රීමත් ආතර් ගෝර්ඩ්න්ය. ආතර් ගෝර්ඩ්න් ආණ්‌ඩුකාරතැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා බෙල් මහත්තයා පුරාවිද්‍යා කොමසාරිස්‌ තනතුරට පත්කිරීමට පෙරාතුව හේ හො`ද සිවිල් සේවකයෙකි. අප්‍රමාණ ධෛර්යයක්‌ සහිත මේ පැණවතා සුප්‍රකට බෙල් පාටිය නිර්මාණය කරගෙන මේ රටේ උරුම සංරක්‌ෂණයේ උත්තම කර්තව්‍යයට අතගැසුවේය. ලංකාවේ විදුහුරු පුරාවිද්‍යාව ආරම්භ කළෝ බෙල් සිරිමතාණෝය. විද්‍යාත්මක සාක්‌ෂි සහිතව සීගිරිය නූතන ලෝකයට හෙළිකළෝ එතුමෝ වෙති. විශිෂ්ටම ශාස්‌ත්‍රීය කෘතියක්‌ වන කෑගලු වාර්තාව ඇතුළු ශාස්‌ත්‍රීය ලේඛන ගණනාවක්‌ හේ පළ කළේය. පුරාණ ස්‌මාරක සහිත අතීත බිම්පෙත් ස්‌වකීය ජීවිතය කරගත් එතුමෝ විටෙක සිය ළපටි නොදරුවන් උරෙහි රුවාගෙන මාරක ගමන් යන්නාක්‌ සේ සීගිරිය තරණය කළෝය. දියණියක ළදරු පුතෙකු සමග සීගිරියේ ගුවනට නෙරා ඇති ආවාටයේ ඇටවූ ඉනි මැස්‌සක ගත කළේය.

මේ ආදරණීය මිනිසා පුරා අසූ හය වසරක්‌ ආයු වළ`දා මේ බිමේම මිහිදන් වූයේය. ඔහුගේ මිය යැමෙන් අනතුරුව අටදෙනෙකු වූ ඔහුගේ දරුවන්ගෙන් හය දෙනෙක්‌ රට හැර එංගලන්තය බලා ගියෝය. එක්‌ දියණියක්‌ ලංකාවේ ඉතිරි වූවාය. එක්‌ පුතෙක්‌ ලංකාවේ හා එංගලන්තයේ විටින් විට විසුවේය. ලංකාවේ ජීවත්වූ දියණිය විවාහ වී සිටියේ ලාංකිකයෙක්‌ සමගිනි. ඒ බෙල් පරම්පරාවෙන් පැනෙනා පුරාවෘත්තයක්‌ බ`දු වියපත් මාතාවක්‌ අපට මුණගැසුණේය. ඇය එච්.සී.පී. බෙල් නම් වූ මහා මනුෂ්‍යයාගේ මිනිබිරියය. ලංකාව හැර නොගිය බෙල් දියණියගේ දියණියය.

ඇය ක්‍රිස්‌ටබල් ඔන්ඩච්චිය. මේ සිරියාවන්ත මාතාව අද හැත්තෑ හතරවන වියේ පසුවන්නීය. මේ ඇය හා කළ අපූරු සංවාදයේ සංක්‌ෂිප්ත සටහනකි.

මගේ නම ක්‍රිස්‌ටබල් ඔන්ඩච්චි. විවාහයෙන් පස්‌සෙ තමයි මට ඔන්ඩච්චි වාසගම ලැබෙන්නෙ. මගේ සැමියා හෝටල් ක්‌ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්‌. මගේ ලොකු තාත්තා තමයි එච්.සී.පී.බෙල්. එයා මගේ අම්මගෙ තාත්තා.

මගේ අම්මා ලවුඩර්ට්‌ බෙල්. තාත්තා ලාංකිකයෙක්‌. ඔහු බෙනඩික්‌ට්‌ ලැම්බට්‌. මං ඉපදෙන්නෙ 1941 අවුරුද්දෙ. ඒ වෙනකොට ලොකුතාත්තා අන්තරා වෙලා. මගේ මාමලා ලොකු අම්මලා ලොකු තාත්තා නැතිවෙනවත් එක්‌ක ලංකාව දාලා ගිහිල්ලා. විවාහය නිසා අම්මට ලංකාව දාල යන්න පුළුවන්කමක්‌ තිබුණෙ නෑ.

මට මතක ඇති කාලෙක ඉ`දලා අම්මා උන්නෙ හුදකලා බවකින්. එයාගෙ නෑදෑයො කවුරුවත් ලංකාවෙ හිටියෙ නෑ එක මාමා කෙනෙක්‌ හැරෙන්න. මගේ තාත්තා විදේශ සේවයේ යෙදුණු නිලධාරියෙක්‌. තාත්තා ලංකාව වෙනුවෙන් සේවය කළේ වියට්‌නාමයේ. මං පුංචි කාලේ පවුල පිsටින්ම විදේශගත වෙලා හිටියා. මේ අතරෙ දෙවෙනි ලෝක යුද්දය ඇතිවුණා. ලෝක යුද්ධය නැවතුනත් වියට්‌නාම් යුද්ධය දිගටම තිබුණා. තාත්තා අපිවත් අරගෙන ආයෙත් ලංකාවට ආවා. ඇවිත් අපිව මෙහෙ පදිංචි කරවලා සේවයට ගියා. ඒ කාලේ අපි හිටියෙ කොටහේනෙ. මං ඉගෙනගත්තේ කොටහේන ගුඩ් ෂෙපර්ඩ් කොන්වන්ට්‌ එකේ.

මගේ අම්මාට ලොකු ආදරයක්‌ තිබුණා ලොකු තාත්ත ගැන. ඇය බොහෝ දේවල් අප සමග කතා කළා. අම්මා කියන විදිහට ලොකු තාත්තා මහ පුදුම මනුස්‌සයෙක්‌. එයා එයාගෙ දරුවො ගැන ආත්තම්ම ගැන බලනවට වඩා උනන්දුවෙන් මේ රටේ පුරාවස්‌තු ගැන බලලා තිබුණා. එයාගේ මුළු ජීවිතයම ගැටගැහිලා තිබුණෙ අනුරාධපුර පොළොන්නරුව හා සීගිරිය එක්‌ක.

ලොකු තාත්තලගෙ කාලය හරිම දුෂ්කර කාලයක්‌. මුළු රජරටම මහා වන දහනකින් වැහිලා. ඒ වනය කොටාගෙන මහා වනසත්තු මැද්දෙ ලොකු තාත්තලගෙ වැඩ පාටියෙ කට්‌ටිය පුරාණ නටබුන් සොයාගෙන ගිහින් තිබුණා. ඒ යන සමහර අවස්‌ථාවලදි අම්මවත් එක්‌ක ගිය ආකාරය ඇය මතක්‌කළේ අමුතු මිහිරක්‌ එක්‌ක.

ලොකු තාත්තා මේ පොළොවට පුදුම විදිහට ආදරය කළ කෙනෙක්‌. එයා ලංකාව දාලා ආපහු එංගලන්තයට යන්න සූදානම් වුණේ නෑ. අවුරුදු හැට හතරක්‌ එයා ලංකාවේ ජීවත්වුණා. ලංකාවෙම මියගියා. පිටරට කිසිම තැනක එයාට වත්කම් තිබ්බෙ නෑ. එයාට තිබුණ ලොකුම වත්කම එයාගෙ දැවැන්ත පුස්‌තකාලය කියලා අම්මා කියලා තියනවා. අත්තම්මත් මැරුණෙ ලංකාවෙදි. එයා නැතිවෙන්නෙ පිළිකාවක්‌ වැළ`දිලා. අත්තම්මගෙයි ලොකු තාත්තගෙයි මරණ තැන්පත් කළේ බොරැල්ලෙ කනත්තෙ. පස්‌සෙ ලංකාවෙ හිටිය මගේ මාමාගේ (බෙල් මැති`දුන්ගේ බාල පුත්) මරණයත් ලොකු තාත්තායි අත්තමිමයි ළඟ තැන්පත් කළා.

ලොකු තාත්තා ලංකාවෙ පුරාවිද්‍යාවට කරපු සේවය ගැන ඕනතරම් තොරතුරු තියනවා. ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගියාට පස්‌සෙ මාලදිවයින පිළිබ`ද විශේෂ ගවේෂණයක්‌ කළා. ශාස්‌ත්‍රීය ලේඛන ගණනාවක්‌ ලිව්වා. ඔහුට වාග් විද්‍යාව ගැන ප්‍රාමාණික දැනුමක්‌ තිබුණා. ඔහුගේ අවසාන කාලය ගැන වඩාත්ම හො`දින් ලියලා තියෙන්නෙ අපේ කවුරුවත් නොවෙයි. ඔහුගෙ කල්‍යාණ මිත්‍රයෙක්‌ වුණ ඒ.ජී.ඒ විඡේකෝන් කියන සිවිල් සේවා නිලධාරියා. ලොකු තාත්තා මිය ගිහින් අවුරුදු 2 කටපස්‌සේ ඔහු මේ ලිපිය ලියනවා.

ලොකු තාත්තා ලංකාවෙ ජීවත්වෙලා තියනවා අවුරුදු හැට හතරක්‌. ඉන් අවුරුදු තිස්‌ පහකට වඩා එයා ජීවත්වෙලා තිබුණෙ අනුරාධපුරයෙ පැරණිම නටබුන් එක්‌ක. ඒ ඇසුරින්ම ඔහු ලංකාවෙ ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන විශිෂ්ට දැනුමක්‌ උපදවාගෙන තිබුණා.

ඔහු විශ්‍රාම ගැනීමෙන් පස්‌සෙ මුලින්ම ජීවත්වෙලා තිබුණේ නුවර මලබාර් වීදියෙ නිවසක. මේ වෙනකොට යටත්විජිත ලේකම්වරයා ලොකු තාත්තට ලොකු තානාන්තරයක්‌ දෙන්න තීන්දු කරලා තිබුණා. ඒත් එයා කියලා තිබුණා ඒ තානාන්තරේ එයාගෙ හිසට බර වැඩියි කියලා. මේ කාලෙදි එක එක දැනමුතුකම් ගන්න ආණ්‌ඩුකාරවරයා පුද්ගලිකව ලොකු තාත්තාව මුණගැහෙන්න එනවා. මේ හමුව ලොකුවට සමාජයට පේනවට එයා කැමති වෙලා නෑ. ඔහුට ඕනවෙලා තිබුණෙ නිදහසේ සාමාන්‍ය ජීවිතයක්‌ ගතකරන්න.

නුවර ලොකු තාත්තට ප්‍රියතැනක්‌ වෙලා නෑ. ඔහු හරිම අපහසුවෙන් නුවර ඉ`දලා තියෙන්නෙ. ඒ පරිසරය එයාට ඉතාම සීතල වෙලා තිබුණා. බොහෝ වෙලාවට ඔහු මුළු රෑම ගතකරලා තිබුණේ බ්ලැන්කට්‌ එකක්‌ පොරවාගෙන. ලොකු තාත්තා මේ කාලේ ඉ`දලා තියෙන්නෙ නැවතත් අනුරාධපුරයට යන්න ප්‍රාර්ථනා කරමින්. ඔහු විශ්aවාස කළ ආකාරයට ඔහුට ජීවත්වෙන්න පහසු කාලගුණය තිබුණෙ අනුරාධපුරයෙ. ඔහු විදේශිකයෙක්‌ වුණාට නුවරඑළියේ තබා නුවරවත් ඉන්න පුළුවන්කමක්‌ තිබිලා නෑ. ඒ තරම් මේ ඝර්ම කලාපික දේශගුණයට මේ සංස්‌කෘතියට මේ පොළවට ඔහු හුරුවෙලා ඉ`දලා තිබුණා.

මේ කාලෙ වනවිට ලොකු තාත්තට අවශ්‍ය වෙනවා විශාල නිවසක්‌. මොකද එයා ළඟ ඉතා වටිනා පොත් විශාල එකතුවක්‌ තිබුණ බව කියෑවුණා. මේ අතර ලොකු තාත්තගෙ යාලුව වුණු ඒ.ජී.ඒ. විඡේකෝන් මහත්තයා ආණ්‌ඩුකාරවරයාගේ විධායක කවුන්සිලයට තේරිලා තිබුණා. ඔහු වහාම නුවරින් කොළඹ ඇවිත් පදිංචිවුණා. විඡේකෝන් මහත්තයගෙ නුවර නිවස ලොකු තාත්තට බාරදීලා තිබුණා. ඔහු 1937 මියයනකම් ජීවත් වෙලා තිබුණෙ මේ නිවසේ. මියයනවිට ඔහුගෙ වයස අවුරුදු 86 ක්‌. අවසන් මොහොත වනතුරු ඔහුට හො`ද සිහිය තිබුණා. ජීවත්වෙලා ඉන්නකම් හො`දට යාලුවො ඇසුරු කළ කෙනෙක්‌ මගෙ ලොකු තාත්තා. ඔහුට සෑහෙන පරාසයක පැතිරුණු මිත්‍රයින් පිරිසක්‌ හිටියා. අවසාන උපන්දින දෙකෙන් එකකට සිවිල් සේවාවෙ හිටිය සියලුම මිත්‍රයින් ඔහුව බලන්න ආවා. ඔහු විශ්වාස කළ දෙයක්‌ තමයි යහපත් සිවිල් සේවකයෙකුගේ මූලික යුතුකම රටේ ඉතිහාසය හා සම්ප්‍රදාය දැනගැනීම කියන එක.

අවසාන කාලයෙ ඔහු ළ`ගින් හිටියෙ මගේ ලොකුඅම්මා කෙනෙක්‌. ලොකු තාත්ත බලවත් විදිහට අසනීප වෙලා ඇය එයාව නුවර නර්සිං හෝම් එකකට අරන් ගිහින් තිබුණා. එයා එහෙදි නැතිවුණා

ලොකු තාත්තගෙ අවසන් මොහොත හරිම චාම් එකක්‌ වෙලා තිබුණා. මොකද එයාට අවශ්‍ය වෙලා තිබුණෙ නෑ එයාගෙ අවසන් මොහොත ලෝකයට දන්වන්න. පවුලෙ කීපදෙනෙකුට අමතරව මරණයට සම්බන්ධවෙලා තියෙන්නෙ විඡේකෝන් මහත්තයගෙ පුතා සහා එච්.ආර්. µ්‍රSමන් ඔහුගේ පරණම යාලුවා. කොළඹ හිටියෙ නැති ලොකු තාත්තා කොළඹ ආවෙ මරණයත් එක්‌ක.

වර්ෂ 1970 දි මගේ අම්මා අන්තරා වුණා. එතකොට එයාගෙ වයස අවුරුදු 62 යි. තාත්තා විදේශයකදිම 1973 දී අන්තරා වුණා. මගේ අම්මගෙ ලොකු ආසාවක්‌ තිබුණා පරණ නෑදෑයන් එක්‌ක යළි සම්බන්ධකම් හදා ගන්න. අම්මා නැති වුණාම මං කල්පනා කළා ඒ දේ කරන්න ඕන කියලා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවුරුදු සීයක්‌ පිරෙන දවසේ ලොකු උත්සවයක්‌ තිබුණා. ඒ උත්සවයට මගේ ඥාති සහෝදරියන් වුණු නැන්සි ඊට කලින් ලංකාවට ආවා එයාලා ලොකු තාත්තා ගැන ලියන පොතකට අවශ්‍ය තොරතුරු එකතුකරගන්න. එයා ලංකාවට ආවට පස්‌සේ අපි ගිහින් එයාව මුණගැහුණා. මුණගැහිලා කිවුවා අපි තවම ලංකාවෙ ඉන්නවා. ඔයාල එංගලන්තෙ ඉන්නවා, අපි එකට එකතුවෙන්න ඕන කියලා. එතකොට ඒ අය කිවුවා ඒ අය ලංකාවට ඇවිත් අපිව මුණගැහෙනවා කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවුරුදු සීයක්‌ පිරෙන වෙලාවෙ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණා ලොකු උත්සවයක්‌. ඒ උත්සවයට නැන්සි එක්‌ක තවත් ඥාති සහෝදරියක්‌ වුණු ෆෙදර් ආවා. දෙන්නම ඇවිත් පොත එළිදැක්‌වූවා. දැන් අපි අතර යහපත් සම්බන්ධකම් ගොඩනැගිලා තියනවා.

මගේ සැමියා හෝටල් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයෙක්‌. මං මේ ව්‍යාපාරයේ අධ්‍යක්‌ෂවරියක්‌ විදිහට තවමත් කටයුතු කරනවා. මගේ පවුලෙ දරුවො 3 යි. ජෙරාන් ඔන්ඩච්චි, ඇන්ජලීන් ඔන්ඩච්චි සහ හැරිස්‌ ඔන්ඩච්චි. අපි රටට ඵලදායී විදිහට හො`දින් ජීවත් වෙනවා.

ජානක ලියනආරච්චි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.