සුනිල් නික්ම ගොසිනි

sunilසිනමා ලේඛනයෙන් සහ විචාරයෙන් සිනමා සංස්කෘතිය පෝෂණය කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී සුනිල් මිහිඳුකුල ඊයේ (30) උදෑසන අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි 1 දා සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය මේ වන විට කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ සුනිල් මිහිඳුකුල මිය යන විට 58 වැනි වියේ පසුවිය.  සිනමා ලේඛනයට- ග්‍රන්ථකරණයට සහ සිනමා සංස්කෘතියට ඔහුගෙන් සිදුවූ සේවය උදෙසා පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී උපහාර සම්මානයක් පිරිනැමුණු අතර ඉන් අනතුරුව ඔහුගේ සේවය අගැයීමේ උපහාර උළෙලක් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

අභාවප්‍රාප්ත සුනිල් මිහිඳුකුල පිළිබඳ ශෝක ප්‍රකාශයක් කරන අගමැතිවරයා ඔහු ආචාරධර්ම ගරු කළ මාධ්‍යවේදියෙකු ලෙස සඳහන් කරයි.

අගමැවරයා නිකුත් කළ ශෝක ප්‍රකාශය පහත දැක්වේ.

“සුනිල් මිහිඳුකුල නාමය සමඟ නිතැතින් මතකයට නැගෙන්නේ චිත්‍රපට විචාර කලාවය. අඩසිය වසක කාලයක් සිංහල සිනමා සාහිත්‍යයට සහ විචාර කලාවට, එමෙන්ම පුවත්පත් කලාවට ප්‍රවීණ සාහිත්‍යවේදී සුනිල් මිහිඳුකුල මහතා වෙතින් ඉටුවූයේ අනුපමේය මෙහෙවරකි.

නව යෞවනයේ සිටම චිත්‍රපට නැරඹිමට මහත් රුචිකත්වයක් දැක්වූ සුනිල්, එබැවින්ම සිනමාව සම්බන්ධ පුළුල් කියවීමකට යොමුවූවෙකි. ඒ කියවීම හරහා පුවත්පත් කලාව කෙරෙහි ආශක්ත වන ඔහු සිනමාව සම්බන්ධ ලිපි ලියමින් පුවත්පත් කලාවට සම්බන්ධ වන්නේ 1978 වසරේ ය.

එදා මෙදාතුර ගැඹුරු සිනමා රසිකත්වය, හසළ භාෂා දැනුම, අනන්‍ය ලේඛන රීතිය මෙන්ම දෙස් විදෙස් සිනමාව පිළිබඳව පැවති අවබෝධය ඔහුගේ අදීන, අභීත සිනමා විචාර කලාවට ආලෝකයක්ම විය. ඔහු විසින් සම්පාදිත ග්‍රන්ථ දේශීය සිනමා සාහිත්‍යය පොහොසත් කිරීමට ලබා දුන්නේ නොමඳ දායකත්වයකි.

විවිධ මාධ්‍ය ආයතනවල සිනමාව, සාහිත්‍ය කලාව සම්බන්ධ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ සුනිල් දීර්ඝ කාලයක් සේවය කළේ ලේක්හවුස් ආයතනයේය. එහි දිනමිණ, සිළුමිණ, සරසවිය, රසඳුන, නවලිය ආදී පුවත්පත් රැසක සේවය කළ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකි. ඔහු වෘත්තීය ආචාරධර්ම ගරු කළ ආදර්ශවත් මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකටය.

දේශීය සිනමා සාහිත්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුනිල් මිහිඳුකුල මහතා ලබා දුන් දායකත්වය අගයනු වස් පසුගිය ජනාධිපති සම්මාන උළෙලේදී ඔහු වෙත උපහාර සම්මානයක් පිරිනැමිණි. අදීන සිනමා කලා විචාරකයකු ලෙස ක්ෂේත්‍රය තුළ මෙන්ම රසික සමාජය තුළද ඔහු ලද ඇගයීම සියලූ සම්මාන අභිබවන බව නිසැකය.

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල මහතාගේ වියෝ වීමෙන් වේදනාවට පත් පවුලේ සැමට,  ඥාති හිත මිත්‍රාදීන්ට මාගේ බලවත් ශෝකය පළකරමින්, එතුමාට මෝක්ෂ සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!