සුසන්තිකාට14 වසරකට පසු ජය

මළල ක‍්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ ජීවිතය අළලා චිත්‍ර පටියක් නිෂ්පාදනය කිරීමට ගත් උත්සහයක් අවුරුදු 14ක්ත පසුව උසාවිය විසින් තහනම් කොට තිබෙනවා.

මොහාන් නියාස් චිත‍්‍රපට නිෂ්පාදකවරයා හා සරත් නාමල්ගම අධ්‍යක්ෂවරයා 2001 වසරේදී නිර්මාණය කරන්නට උත්සාහ කළ ‘සුසීමා’ නමැති චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සාහ කළහ.

2000 වසරේ සිඞ්නි ඔලිම්පික්හිදී මීටර 200න් රිදී පදක්කම ලැබූ සුසන්තිකා ඒ කාලයේ ලැබූ ජනප‍්‍රියත්වය නිසා මේ චිත්‍රපටියට මුල් පිරුණි.

සුසන්තිකාගේ චරිතය ‘සුසීමා විජේවීර’ නම් චරිතයක් ලෙස තිර පිටපත ලියා සිනමා නිළි සංගීතා වීරරත්න  යොදා රූගත කිරීම්ද ඇරඹී තිබුනි.නිතර විවාදාත්මක සිදුවීම් වලට මුහුණදෙන සුසන්තිකා  කියා සිටින්නේ තන් ගේජීවිත කථාව කඩා හෝ පොතක් සේ එලි දක්වන බවයි.

imagessussssss83)

සුසන්තිකා ජයසිංහ තම අම්මා වෙනුවෙන් තැබූ සටහනක්

උපතින්ම ගෙනා හයි හත්තියටත් වඩා ඇගේ ජවය වැඩුණේ ගමේ මැල්ලුම් මුට්ටිය නිසාය. අල, බතල, මයියොකු, කොස් පොළොස් ඇගේ ආහාර වේලට නිතර එක්වීම ජාතියට ගෞරව පිණිසම වීය. නියරක් දිගේ කෙළින් දිව යා හැකි කන්දක සිට පල්ලට නොවැටි එකම වේගයෙන් ආ හැකි ශක්තිය ඇය තුළ වැඩුණේ අවසානයේ ඇය ලෝකයේ ඔලිම්පික් කෙටි ධාවන ශූරියක කරමිනි. ආසියාවේ කළු වෙළඹ නම් විරුදාවලී ලැබූ ඔලිම්පික් තරගයකින් ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් සුසන්තිකා ජයසිංහ මෙවර මට හමුවෙයි. ඇය තම මෑණියන් පිළිබඳ සෙනෙහෙ මතකය මෙසේ අවදි කරන්නීය.

මගෙ මව මැණික්පුරගේ බේබි නෝනා. දිප්පිටිය ගලපිටමඩ ඇගේ ගම. තාත්තා හිටපු ලංගම රියැදුරෙක්. මනත්නලාගේ ජයසිංහ. වරකාපොළ උඩුවක තාත්තගෙ ගමේ තමයි අපි ජීවත්වුණේ. අපේ පවුලෙ ඔක්කොම දරුවන් 5 දෙනයි. මා තමයි බාලයා. බඩපිස්සි.

උඩුවක ස්කෝලෙ 5 වැනි පන්තිය දක්වා අකුරු කරලා ඇත්නාවල විදුහලට ඇතුළු වුණා. අපේ ගෙදර තිබුණේ තරමක කන්දක් උඩ. වත්තෙ මුකුත් වවන්න තරම් ලොකු ඉඩක් තිබුණෙත් නෑ. ඒත් ගෙදරට අවශ්‍ය මිරිස් ගහක් දෙකක් මයියොකු ටිකක් අම්මා ඒ පුංචි ඉඩෙත් කන්දෙත් වවා ගත්තා. ගෙදර හයියට තිබුණේ අම්මා තමයි. අපේ වැඩ සියල්ලම සොයා බැලුවෙ ඇයයි. තාත්තට පවුල ගැන කටයුතු පිරිමහගන්න ලැබුණු මුදලත් මදි. ඒ නිසාම දරුවන්ගෙ ආහාර වේල සකසාගන්න ගමේ අල බතල කොස් පොළොස් විතරක් නොවෙයි මැල්ලුම් මුට්ටි ගණන් උයලා අම්මා බතට පිරිමහගත්තා.

මේක කොයිතරම් ආශිර්වාදයක් වුණාද කිව්වොත් අර කන්දෙ ඉඳන් පහළ පාරෙ බස් එක එන සද්දෙ ඇහෙන කොට තප්පර ගණනකදි මා දුවගෙන කන්දෙන් බහිනවා. පාසල් යන්නෙ එහෙමයි. බස් එකේ සද්දෙ ඇහෙනකම් අම්මට සුරතල් වෙලා ඉඳලා අන්තිම මොහොතේ තමයි මෙහෙම දුවන්නෙ. සමහර වෙලාවට ඇත්නාවල පාසල තිබුණු තැනටම එක දිගටම දුවනවා. මට මුලින්ම මතකයට එන්නෙ අම්මගෙ සුවඳ. ඒ සුවඳ තවමත් මා ළඟ රඳවාගෙන ඉන්නවා.

ලෝකෙ කොයිතරම් සුන්දර නගරවල ඇවිද්දත් කුසුම් යායක ඇවිද්දත් ඒ සුවඳ පරදන්න සුවඳක් මට දැනිලා නෑ. ඒත් මට අම්ම ගැන පුංචි තරහක් කවදත් තිබුණා. ඒක අදත් එහෙමමයි. ඒ අපේ පවුලෙ ලොකු අක්කගෙ ඉඳලා පවුලෙ හතර දෙනෙක් ගැහැනු ළමයි. මට කලින් ඉන්න අයියාට අම්මා කවදත් අපට වැඩියෙන් ආදරෙයි. ඒ ආදරය නිසාම එයා විනාශ වෙනවා.

ඒක වෙනම කතා කළ යුතු ප්‍රශ්නයක්. ඒත් සංසාරෙදිත් මට මේ අම්මව ඕනෑ. ඒ තරම් ඇය අප වෙනුවෙන් දුක් වින්දා. මං අවුරුදු 5 ක් යනකම් අම්මගෙන් කිරි බීපු දියණියක්. එච්චර කාලයක් කිරි දෙන්න මගෙ මේ පොඩි එකාට මට පුළුවන් වෙයි ද? ගෙදර තිබුණු “පච” වැඩ ඔක්කොම අම්මා බාර දෙන්නෙ මට. ඒ බය නැතිව, වරදක් නැතිව මේවා හරියට කර දෙනවා කියන විශ්වාසය ඇයට තියෙනවා. අම්මා දන්නවා මගේ කට සැරයි. බය නැතිව ඕනැ තැනකට ගිහින් වැඩක් කරගන්න පුළුවන් කියලා.

ඉතින්! කඩේට ගිහින් ණයට බඩු ගන්න. ගෙදරට අවශ්‍ය වෙනත් කළමනා ගෙනෙන්න යවන්නෙ මාවයි. මාත් ඉතින්! පාද යාත්‍රාවෙන් ඉගිලෙනවා. මේ විදියට ගොඩනැගුණු මගේ ජීවිතේ ඉස්සෙල්ලාම පාසල් තරග ජයග්‍රහණ කළා. ඊළඟට දිස්ත්‍රික් තරග. ඊටත් පස්සෙ ජාතික තරග.

ඉතින්! ක්‍රීඩාවෙදි දුවන්නට මා දක්වන දක්ෂතාව ගැන ක්‍රීඩා ගුරුවරු අපේ අම්මව දැනුවත් කරනකොට අම්මගෙ දෑසට කඳුළක් උනනවා. ගෙදර අඟහිගකම් බොහෝමයි. සමහර දිනට බඩගින්නෙත් වේලක් ඉන්න වෙනවා. පවුලෙ බාලයා නිසාත් ක්‍රීඩාවට යොමු වී සිටින නිසාත් අම්මා බිත්තරයක් කඩෙන් ගෙනැවිත් අනෙත් දරුවන්ට හොරා මට කැවූ අවස්ථා තියෙනවා. ඒ අනෙත් දරුවන්ට වෙනසක් කරන්න හිතාන නොවෙයි. මගේ ක්‍රීඩාවට අවශ්‍ය ශක්තිය ඇයට පුළුවන් ආකාරයෙන් ලබා දෙන්න.

අප මෑකරල් මාළුවත් එක්ක, එහෙමත් නැත්නම් වට්ටක්කා මාළුවත් එක්ක පමණක් බත්පත කාපු අවස්ථා තියෙනවා. අද ඉඳ හිටලා මෑකරල් මාළුවත් එක්ක බත් ටිකක් කමුද? කියලා ඇහුවොත් අපෝ! කරවල කෑල්ලක්වත් නැතුව කන්න බැහැ නේද? කියලා අපේ අය අහන අවස්ථා තියෙනවා. ඒත් මට නම් එදා වගේ ම අදත් ඒ මාළුවත් එක්ක බත් ටික කන්න පුළුවන්. අම්මගෙ මා දකින උසස්ම ගුණාංගය තමයි අරපිරිමැස්ම.

ගෙදරට එළවළු ගෙනාවම අපනම් බලන්නෙ නැවුම් එළවළු ටික ඉස්සෙල්ලම කන්නයි. ඒත් අම්මා බලන්නෙ මොනවාද ඉක්මනට නරක් වෙන්නෙ. කැඩුණු මිරිස් කරල මොකක්ද? වේලෙන කොළය මොකක්ද? ඒ අනුව මුලින්ම බත සකස්කරගන්නයි.

ඒක ඉතාම වටිනා දෙයක්. එතකාට ඔක්කොම එළවළු අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. අම්මා මාත් එක්ක අදත් උයන්ඩ ගියොත් රණ්ඩු වෙන අවස්ථා තියෙනවා. ඒ මගේ නාස්තිය වැඩිය කියලයි. මේත තණ්හාධික මසුරු කාරණයක් නොවේ.

අරපිරිමැස්මේ වටිනාකමයි. මා කීවනේ අපේ අම්මට වැඩ ටික පිළිවෙළට තියෙන්න ඕනැ. අප උයන්නෙ දැලිවළංවල. ඒ වළඳ හෝදන කොට ඇතුළත වගේ ම පිටතත් ඉතාම පිරිසුදුව හෝදගන්න ඇය මට ඉගැන්වූවා.

මා එසේ පිටත දැලි තට්ටුව තිබියදී හෝදලා නවලා තිබුණු අවස්ථාවක ඇය ඇවිත් ඒ දැලි මගේ මුහුණෙ තවරපු අවස්ථාත් තියෙනවා. එහෙම කළේ පිළිවෙළට වැඩ කරන්න උගන්වන්න මිසක් තරහින් නොවෙයි. අනෙක ඇඳ යට මේසය යට කෙළින් ඉඳගෙන අතු ගානවාට අම්මා කැමැතිම නෑ. අම්මා කීවේ හොඳට කොන්ද නවලා කොස්ස ඇඳ යටට දාලා අතුගාපන් කියලයි. ඒ විදියට ගෙදර වැඩත් ඇය අපට පිළිවෙළට උගැන්වූවා. ගෙදර අඟහිඟකම් මකාගන්න ඇය රබර් කිරි කපන්න දවල්ට යනවා. ඊට අමතර කන්ද කට්ටියෙ බුලත් එළවළු ටිකක් වවනවා. ඒ වගේම ගෙදර ආවම අක්කලා ටිකත් අල්ලගෙන බීඩි ඔතනවා. මේ බීඩි එතිල්ල කළෙත් පහනක් දල්වාගෙන කළුවරේ. අපේ ගෙදරට විදුලි එළිය තිබුණෙත් නෑ. ගමෙත් බොහෝ තැන් අඳුරේ තමයි තිබුණේ.

මගේ දිවීමේ දක්ෂතාව හඳුනාගත් අම්මා වරකාපොළ ක්‍රීඩා නිලධාරිනි ධම්මිකා වනිගසිංහ මහත්මිය හමුවෙලා කියලා තියෙනවා. කෙල්ලට සපත්තුවක් ගන්ඩ ඕනැ. ඇගේ ක්‍රීඩාවට ආධාර කරන්න කියලා. ඒ වගේම අපේ ස්කෝලෙ හිටපු සංගීත ගුරුවරියගේ සැමියා ඒ කාලෙ ප්‍රාදේශීය සභාවෙ සභාපති. ඒ අයගේ උදව්වෙන් මට මුලින්ම රුපියල් 1500 ක ආධාරයක් ලැබුණා.

තම දරුවා සමග

මට ඒ හැමදෙනාම කීවෙ සුසන්තිකා මෙහෙ ඉඳලා ඔබට දියුණු වෙන්න බෑ. කොළඹ යන්න. පුහුණුවීම් කරන්න අප උදව් කරන්නම් කියලයි. මගේ ක්‍රීඩා පුහුණුකරු ඩර්වින් සර් තමයි මගේ ජීවිතයට ආලෝකය දුන්නෙ.

මට කොළඹ එන්න ලැබුණ කියන්නෙ හරියට පිටරටක ගියා වගේ. කෑම බීම නවාතැන් මේවා ලැබෙන කොට මා ගෙදර ගැන දුක්වුණා. මට මේවා ලැබිලා ගෙදර අයට කොහොම ද? කියන කල්පනාවයි මාව කම්පනය කළේ. ඒත් අම්මා නිතරම කතා කරලා කීවේ ‘චූටි මැණිකේ කොහොමහරි ලංකාවෙ දක්ෂතම ක්‍රීඩිකාව වෙන්න ඕනැ. අප ජීවත් වෙනවා. උඹ මේ ගමන නොනවත්වාම පලයන්’ කියලයි. මගේ දිරිය ශක්තිය වැඩුණා. මට ගෙදරට කීවේ ‘චූටි මැණිකේ’ කියලයි. ලෝක ශූරතා තරග දක්වා මා ආවා. දෙවැනි ස්ථානය තමයි ලැබුණේ.

මා කැනඩාවේ එංගලන්තයේ විතරක් නොවේ දඹදිවත් දෙපාරක්ම අම්මාව රැගෙන යන්න හැකිවුණේ මට ලැබුණු කීර්තිය හා ගෞරවය වෙනුවෙන් කියලා හිතෙනවා. මා ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නංවද්දි මට අවශ්‍ය වුණේ මා දුවන හැටි අම්මාට පෙන්වන්නයි. ඒකට රූපවාහිනියක් ගෙදරට අරන් දෙන්න ඕනැ. ඊටත් ඉස්සෙල්ලා ගෙදරට විදුලි බලය ගන්නත් ඕනැ. අම්මට මා දුවන හැටි පෙන්වන්නට මා ගෙදරට ලයිට් හා රූපවාහිනියක් ගත්තා.

1997 ගී‍්‍රසියේ ඇතැන්ස් නුවර මීටර් 200 තරගය, 2000 ඔලිම්පික් රිදී පදක්කම මේ විදියට මගේ ජයග්‍රහණ ලබද්දි මගේ අම්මා වගේම මාව කොළඹ යවාපු උදේශිකා සංගීත ගුරුවරියත් සතුටු වන්න ඇති. ලෝක මලල ක්‍රීඩා තරගයේ මට විරුද්ධව ‘මත්ද්‍රව්‍ය’ ගත්ත කියා චෝදනාවක් පවා ආවා. මා ඒවාට විරුද්ධව ඒ කට්ටිය සමඟ චෝදනාවට පිළිතුරු දෙන කොට අම්මා ඇවිත් මාව වැළඳගත්තා. ‘පුතේ, උඹ ඔය දහජරාව පාවිච්චි නොකරන බව මා දන්නවා. රටේ මිනිස්සු මොන කයි කතන්දර හැදුවත් මට උඹ විශ්වාසයි. කලබල නොවී ගමන පලයන්.’ ඇය මා දිරිමත් කළේ එහෙමයි.

කොළඹ ඔරුගොඩවත්තේ නැන්ද කෙනෙකුගෙ ගෙදරත් මා ටික කලක් හිටියා. ඊට පස්සෙ තමයි මට පුහුණුව සඳහා අවස්ථා ලැබුණේ. මලල ක්‍රීඩා සංගමයේ කර්නල් පාලිත ප්‍රනාන්දු මහතාගේ අනුග්‍රහයත් මට ලැබුණා.

ලැබෙන රුපියල් 1500 සොච්චමින් වැඩ කටයුතු කරගන්න අමාරු නිසා මා අම්මාගේ කැමැත්ත අරගෙන හමුදා සෙබළියක් හැටියට හමුදාවටත් බැඳුණා. ඊට පස්සේ ඒ පඩියෙන් තමයි සියලු කටයුතු කරගත්තේ. එදා සීනි 100 ක් කරවල 100 ක් ණයට ගෙනෙන්න කඩේට ගිය සුසන්තිකා ලෝක ජයග්‍රහණ ලබද්දි ගමේ කට්ටිය ඇත්තටම ආශිර්වාද කළා. උපහාර පැවැත්වූවා.

එහෙම නොකළ අය අඩුයි. අම්මා ගෙදර හදන කංකුං මාළුව, පොඩි කාලෙ කෑවා වගේම අදත් මා කන්න ආසයි.

ඒ තරමට රහට ඇයට කෑම හදන්නත් පුළුවන්. මට විටින් විට රජයෙන් ලක්ෂ 50 ගණනේ තුන් වරක් ලැබුණා.

සල්ලි තිබුණත් අදත් මං මගේ අතීතය අමතක කරන්නේ නෑ. මගේ ලෝක ජයග්‍රහණ හා දහසින් බැඳි පියලි ලැබීම් අපේ ගෙදරට හා පවුලේ කට්ටියට අලුත් ඉරක් පැයුවා වගේ වුණා.

මගෙ මුළු පවුලම ගොඩ නඟන්න මා අම්මා වෙනුවෙන් උදව් කළා. අයියටත් කඩ දාලා සහාය දුන්නා. ඒත් එයා අම්මගෙ අනිසි ආදරය නිසා අදත් බීමට ඇබ්බැහි වූ කෙනෙක්. මගෙ අක්කලාගේ දරුවො හදන්නෙත් මමයි. තාත්තයි අම්මයි දෙන්නම බලා කියාගෙන මා ළඟ තියාගෙනයි ඉන්නේ.

අම්මා තාත්තට කවදත් සැලකුවා. තාත්තගෙන් අඩුපාඩු සිදුවුණත් ඇය ඒවා ගණන් නොගෙන දිරිය මවක් විදියට දරුවන් හැදුවා. බත් බෙදන කොට කොච්චර අප බඩගින්නෙ හිටියත් අම්මා අපට බෙදන්නෙ බත් මුට්ටියෙ මුදුන් හැන්ද තාත්තට බෙදලයි.

තාත්තා ගෙදර ගෘහ මූලික ලැයිස්තුවෙ ප්‍රධානියා වුණාට ඇත්තටම අපේ ගෙදර ගෘහ මූලිකයා වුණේ අම්මා. අම්මගෙ සුවඳට මා හරිම කැමැති බව මුලින් කීවා. ඒ සුවඳ රැඳි රෙද්ද පොඩි කාලේ මා සෝදන්නවත් දෙන්නෙ නෑ. සේදුවොත් මරා ගන්නවා. ධම්මික සමඟ යාළු වෙලා ඉන්න බව දැනගත්තාම අම්මා හොයා බැලුවා. ඇත්තටම ඒ අයගෙ ආශිර්වාදයත් ලැබුණා. ඔකිත රන්දිර මගේ පොඩි පැටියා.

බීජිං ඔලිම්පික් උලෙලේ මීටර් 200 මා දිව්වේ ඇත්තටම මේ පැටියාව කුසේ තියාගෙනයි. මට ලෝකෙ මොන සම්මානයටත් වඩා මේ පැටියා වටිනවා.

දැන් අම්මට 69 යි. තාත්තට 71 යි. මේ අය රැකගෙන මට ජීවත්වෙන්ඩ පුළුවන් වුණේ ක්‍රීඩාව නිසයි. ඒ වගේම රටේ මිනිසුන් ඒකට දක්වන ලද ගෞරවය නිසයි. මගේ ජීවිතේ නොයෙකුත් හැල හැප්පුම් ආවා. සමහරු මට උදව් කළේ මගෙන් වෙනත් ප්‍රයෝජන බලාගෙනයි. ඒත් අම්මා මට උගන්වපු ඒ විනීතකම මා නැති කරගත්තේ නෑ.

බීඩි ඔතපු කිරි කපපු ඒ අම්මා අද සතුටින් මා ළඟ ජීවත් වෙනවා. දරුවන් වෙනුවෙන් දහදුක් විඳි මගේ අම්මා ලෝකයටත් ආදර්ශවත් මවක්. මා මෙතරම් දුරක් ගෙන ගියේ ඇගේ ආදරය වගේම ගමේ මැල්ලුම් මුට්ටිය කොස් පොළොස් රස බව මා දන්නවා.

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.