සොමි සබඳ සෝමේ

සොමි සබඳ සෝමේ

දිනය පසුගිය පහළොස් වැනිදාය. තැන කොළඹ පදනම් ආයතනයේය. හැන්දෑ වරුවය. පණ්ඩිත් අමරදේව ප්‍රමුඛ එහි සිටි බහුතරය කලා ලෝකයේ නම් දැරූ සුධිහුය. ඔවුන්ගේ අරමුණ එක් පුද්ගලයකු වෙනුවෙන් බුහුමන් දැක්වීමය. සම්මානනීය ලේඛිකා කැතලින් ජයවර්ධන විසින් රචනා කරන ලද සොමි සබඳ සෝමේ නමින් ඔහු වෙනුවෙන් ග්‍රන්ථයක් නිකුත්වීමට නියමිතව තිබිණි. සභා මෙහෙයුම මනෝරත්නයන්ගෙනි. සෝමේ යනු කවියකු නොවේ. චිත්‍ර ශිල්පියකු ද නොවේ. නළුවකු ද නොවේ. ලේඛකයකු ද නොවේ. නාට්‍ය ශිල්පියකු ද නොවේ. ගායකයකු ද නොවේ. එහෙත් පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ බිහි වූ හොඳ ගීතයක, නාට්‍යයක, සාහිත්‍ය කෘතියක, චිත්‍රපටයක ඔහු කොතැනක හෝ සිටියේය. නිර්මාණයට දායක වීම නොවේ. නිර්මාණකරුවාගේ ජීවිතයට දායක වෙමිනි. ඔහු සෝමපාල හේවාකපුගේය.

1937 දෙසැම්බර් 10 වැනි දින මාතර නාවිමන උපන් ගම වූ සෝමෙ අයියාට අයි. පී. බී. යන අන්වර්ථ නාමයක් පටබැඳුණේ මෙරට කලා ක්ෂේත්‍රයේ වින්නඹු ගෙදරක් වූ අයි. පී. බී. මුද්‍රණාලය නිසාය. අයි. පී. බී. යනු ඉන්ටර් නැෂනල් පබ්ලිකේෂන් බියුරෝ යන්නයි. එහි අධිපතිකම් දැරුවේ සෝමෙ අයියාගේ අයියා වූ එඩ්වින් හේවාකපුගේය. ඔහු හැඳින්වූයේ ඉස්කෝලේ මහත්තයා යනුවෙනි. ඔහු ගුරුවරයකු ද විය. මේ ව්‍යාපාරයේ සියළු දුක් ගැහැට ඉසිලුවේත්, එහි වඩා ජනප්‍රිය වූයේත් සෝමෙ අයියාය. අයි. පී. බී. යනු ඉන්න පොඩ්ඩක් බලන්න යැයි සමහරු අර්ථ දැක් වූහ. (එයට වඩා වෙනස් අර්ථයක් ලෙස ඉකේ පල් බං යැයි කවුදෝ කියනු ඇසී එය පෙරළා මා පැවසූ විට මා දෙස සෝමෙ අයියා අමුතු බැල්මක් හෙලුවේය). කෙසේ වෙතත් හැටේ දශකයේ මෙරට වේදිකාව අලුත් නාට්‍යකරුවන් විසින් උඩු යටිකුරු කරද්දී එයට වඩා නිර්මාණශීලී වූ පෝස්ටර් මුද්‍රණ ආදියේ දායක වූයේ අයි. පී. බී. මුද්‍රණාලයයි. එය පිහිටියේ මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහල සමීපයේය.

රවීන්ද්‍ර රන්දෙණිය පවසන අන්දමට ඔහුගේ උපත් නාමය සිනමාවට උචිත ලෙස වෙනස් කරන දෙදෙනා වනුයේ රැලෙක්ස් රණසිංහ සහ සෝමේ අයියාය. ටෝනි රණසිංහගේ වැඩිමහල් සොහොයුරු රැලෙක්ස් රණසිංහ නැතහොත් රැලෙක්ස් අයියා නැතහොත් රැලෙක්ස් මාස්ටර් කලකට ඉහත අයි. පී. බී. පෝස්ටර් කලාවේ දැවැන්ත විප්ලවයක් කෙරුවෙකි.

වැඩි මුදලක් අය නොකිරීම

නිර්මාණකරණයේ නවතාවය මෙන්ම වැඩි මුදලක් අය නොකිරීම ද අයි. පී. බී. ලකුණ විය. එහෙත් ඒ මුදල ද ගෙවන්නට බොහෝ දෙනාට වත්කමක් නොවීය. නැතහොත් වුවමනාවෙන් මඟ හරින්නට සමහරු උත්සුක වූහ. දෙවැනි කාරණාවේදී කොයි හැටි වෙතත් පළමු කාරණාවේදී පිහිටට සිටියේ සෝමේ අයියාය. බොහෝ කලාකරුවන් අයි. පී. බී . යට ගොඩ වැදුණේ ඉස්කෝලේ මහත්තයා නැති සෝමේ අයියා ඉන්නා වෙලාවක් බලමිනි. අද මෙන් ජංගම දුරකතන නොමැති කාලයක එය දුෂ්කර කටයුත්තක් විය.

ද ඒ සියල්ල අතීතයට අයත් වුව ද එම නිර්මාණශීලී ගුණය විඳගත් පිරිසට එයට වඩා නැවුම් නිර්මාණ රසයක් අද අත් විඳින්නට ලැබෙණුයේ කලාතුරකිනි. එදා මෙන් අදත් හදවතින් පිරිපුන් තරුණයකු සෝමේ අයියා වෙතින් දැකගන්නට ලැබීම භාග්‍යයකි. එපමණක් නොවේ. සැබෑ මිතුරන් යනු සැපේදී නොව දුකේදී අතහැර නොයන පිරිසක් බවත් මේ උළෙලේදී දැකගන්නට ලැබීම මහත් පින්කමකි.

සෝමේ අයියා සමඟ ජීවත් වූ සියල්ලන්ම එහි සිටියේ නැතත් බහුතරයක් හෝ ඔහු දැකගන්නට සිටීමම මේ සමාජය කෙරෙහි පහන් සිතක් දල්වන්නට ප්‍රමාණවත් වෙයි.

කලා ලෝකයේ මට සෝමේ අයියලා කිහිප දෙනෙක් සිටිති. එක් අයකු සංගීතඥ සෝමපාල රත්නායකය. මා පුවත්පත් කලාවට පිවිසි පසු මුලින්ම හඳුනාගත් සෝමෙ අයියා ඔහුය. සෝමපාල ලීලානන්ද ද තවත් එක් අයෙකි. ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක ද ඔහුගේ සොහොයුරු හිටපු නාවික හමුදාපති මෙන්ම කිවියකු, ගීත රචකයකු වූ සෝමතිලක දිසානායක අනිත් සෝමෙ අයියලාය. සෝමපාල හේවාකපුගේ නම් සෝමෙ අයියාට මා එලෙස ඇමතුවත් ඔහු මට පවසන්නේ මචං යනුවෙනි. ඒ මචං මට වඩා අවුරුදු විසි අටක් වැඩිමල්ය. සෙසු සෝමෙ අයියලාට වඩා මේ සෝමේ අයියාට තිබු විශේෂණ නාමය අයි. පී. බී. සෝමෙය. එය ඔහුගේ මුල’කුරුවලටත් වඩා විශේෂය. අයි. පී. බී. සෝමෙ අයියා සොයා මෙරට බොහෝ කලාකරුවන් ගිය ද මට ඔහු මුණ ගැසෙන්නේ එයට වඩා වෙනස් ආකාරයකටය. ඔහු වසර ගණනාවකට පෙර සරසවියට ආවේය. ඒ මා හමුවන්නට නොවේ. එවකට සරසවිය කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා මුණ ගැසෙන්නටය. නමින් අසා තිබූ අයි. පී. බී. සෝමපාලහේවාකපුගේ මගේ සෝමෙ අයියලා ලැයිස්තුවට ඇතුළත් වනුයේ එහෙමය. එයටත් පසු තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සරසවිය කතු පදවිය දරද්දී සෝමෙ අයියා වැඩිපුරක් මෙහි ආ ගියේ ඔවුන් දෙදෙනා අතර ඇති සත්මිත්‍රත්වය හේතුවෙනි. එවකට සරසවියේ සිටි වයසින් බාල සගයා වුුවත්, මම සෝම අයියාට ලොකු ගණයේ විහිළු කරන්නට පුරුදුව සිටියෙමි. එහෙත් කිසිදු හේතුවකින් තොරව මගේ සිත දොස් පවරන්නට විය. එයට හේතුව නම් වැඩිහිටියන් සමඟ ඕනෑ නැති විහිළුවලට යන්නට එපා යැයි ලබා ඇති ඔවදන මතක් වූ හෙයිනි. එබැවින් ඊළඟ දවසේ සෝමෙ අයියා එන විට මම සිත සදාගෙන මුව පියා ගෙන සිටියෙමි. හැදිච්ච ළමයකු වී ලකුණු දාගන්නට මට වුවමනා විය. සෝමෙ අයියාට මගේ වෙනස තේරිණි. ‘මොකද උඹ අද බිල්ලෙක් වගේ’? ඔහු ඇසුවේය. අන්තිමට මම හිතේ තිබූ වරද එළියට දැම්මෙමි. ‘පිස්සුද, ඔහේ මට කොච්චර ආදරේ ද කියලානේ බං විහිළු කළාම පෙනෙන්නේ’.

සෝමෙ අයියා මා අස්වැසුවේය. පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, මහා රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය, සිනමාවේදී අශෝක හඳගම ආදී වියතුන් සෝමෙ අයියා ගැන බොහෝ දේ කියා ඇත. ඒ බොහෝ කරුණු සොමි සබඳ සෝමේ ග්‍රන්ථයට ද ඇතුළත්ය.

සෝමෙ අයියා පසුගිය වසර ගණනාව ඇතුළත හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටියේ නැත. වෙනදා මෙන් ඔහු වටා පිරිස ගැවසුණේ ද නැත. කවදත් බඩ බැඳගත් පිරිසක් ඔහුගේ දුක සැප නිතර විමසූ වග මම දැන සිටියෙමි. සෑම විටම සතුටින් ජීවත් වෙමින් සියල්ලන්ව සතුටු කළ ද, ලෝක ස්වභාවයේ විවිධ දුක් ගැහැට ඔහු වෙත ළඟා වෙමින් තිබිණි. මේ ඇතැම් කරුණු කැත්ලින් ජයවර්ධන විසින් සොමි සබඳ සෝමේ ග්‍රන්ථයෙහි ගොනු කර තිබිණ. එහෙත් ඒ කිසිවක් හෝ තඹ දොයිතුවකට ගණන් නොගෙන සිටිය හැක්කේ එහෙමත් කෙනෙකුට පමණි. සෝමේ අයියා ඒ ජාතියේ කෙනෙකි. පදනම් ආයතනයට පැමිණි බොහෝ හිතවතුන් අබියස රෝද පුටුවක වාඩි වී සියල්ලන්ටම ඔහු සිනාසෙමින් කතා කළේය. අවුරුදු ගණනාවකට පසු දුටු මා පවා ඔහුට මතකය. ඒ හැම එකාටම මොකක් හෝ කාඩ් එකක් ගැසීමේ පුරුද්ද ඔහු වෙතින් තවමත් පලා ගොස් නැත. ජීවිතය යනු ඇද වැටී හඬා වැටෙන තැනක් නොවේ. එහෙත් ස්වභාව ධර්මයා ඉදිරියේ කෙළින් මුහුණ දිය හැක්කේ කාටද? බොහෝ කලාකරුවන්ගේ ජීවිත කතාවන්ගේ පසුතලයෙහි සැඟව සිටි අපූරු සහෘදයකු වූ සෝමපාල හේවාකපුගේ ඔවුන්ගේ නිර්මාණ කෙරෙහි නැතහොත් ජීවිතය කෙරෙහි උකටලීව සිටි අවස්ථාවන්හිදී දිරි ගැන් වූයේය. ඔහු නොවන්නට මේ ඇතැම් කලා නිර්මාණයන් බිහි නොවන්නට ද ඉඩ තිබිණ. මිනිසුන්ට ධෛර්ය දෙන, උපදෙස් දෙන බොහෝ දෙනා තමන් එබඳු අවස්ථාවලට මුහුණ දුන් විට උකටලී වෙති. එහෙත් සෝමේ අයියා එසේ නැත.

අපූරු ගනුදෙනුවක්

සෝමේ අයියා පිළිබඳ අසම්පූර්ණ කෙටි සටහන හමාර කරන්නට මත්තෙන් ඔහු සමඟ මගේ ඇති වූ අපූරු ගනුදෙනුවක් ලියන්නට ද වුවමනාය. වසර දහසයකට එපිට එක දවසක් සෝමේ අයියා සරසවියට පැමිණියේ එවකට කතුවර තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා හමුවන්නටය. ඒ දවස්වල මා විවාහ වන්නට සූදානම්ව සිටි සමයයි. සාමාන්‍යයෙන් ඒ කාලයේ රටේ තොටේ මඟුල් තුලා ආදිය අප දැනගන්නේ සෝමේ අයියාගෙන් වුවද මගේ මංගල්‍යය සෝමේ අයියා දැන ගත්තේ තිලක් අයියාගෙනි. ඒ මොහොතේ ස්වෙච්ඡාවෙන් උදව් කිරීමේ සෝමේ අයියාගේ පුරුද්ද ඉස්සරහට ආවේය.Sara-07-23-Aruna-03-npr

‘ඔහේගේ කාඩ් එක ප්‍රින්ට් කරල දෙන වැඩේ මගේ ගාණේ’ ඉල්ලුමක් නැතිවම සෝමේ අයියා පැවසුවේය. වැඩේ එතැනින් අහවර නොකළ සෝමේ අයියා මංගල්‍යය ඉස්තරම් කිරීමට තවත් යෝජනාවක් ද කළේය. ඒ ආරාධිතයන්ට සමරුවක් දීමය. එය පැරැණි කැවුම් මුට්ටියක් සිහි කරන එකකි. එය තැනීම සඳහා සුදුසු තැනක ඔත්තුව දුන්නේ ද සෝමෙ අයියාය. සැලසුම ද සෝමේ අයියාගෙනි. වසර පහළොවකට එපිට මඟුල් කැවේ අද මෙන් ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට වුවමනා හැටියට නොවේ. අපට වුවමනා හැටියටය. ඔහු කාර්යබහුල බැවින් මම අදාල ස්ථානය සොයා කැළණිය පැත්තේ තැනකට ගියෙමි. ගණන එකකට රුපියල් විසි පහකි. මම ඇණවුම බාර දී ආපසු පැමිණියෙමි. මුදල ඇසූ සෝමේ අයියා ඔළුවේ අත ගසා ගත්තේය. ‘වැඩියි බං, වරෙන් යන්න හෙට උදේ මාත් එක්ක’ යැයි පැවසූ සෝමේ අයියා පසුවදා යළි එහි ගියේ මා සමඟය. නිමැවුම්කරු සෝමේ අයියා දන්නා හඳුනන්නෙකි. එහෙත් ඔහු ගාණ අඩු නොකරයි. අන්තිමට සෝමේ අයියා ඔහු පසෙකට කැඳවා රහසක් පැවසුවේ මටත් ඇසෙන්නටය.

‘ඔය බං ඕකුං ලෝක මාන්නෙටනෙ මඟුල් කන්නේ. තඹ දොයිතුවක් නෑ. මං තමයි වියදම් කරන්නේ. මේකා මං එපා කියද්දී තමා ඔය මුට්ටිය හදවන්නේ. කිව්වට අහනවායැ? ඔන්න ඔහේ ඔය ගාණ අඩු කරලා දෙනවකො. මොකෝ ඔහේට ඕකෙන් ලොකු පාඩුවක් වෙන් නෑ නොවැ. නැත්තම් මට තමා ඔය ගාණ ගෙවන්න වෙන්නේ’.

මට රුපියල් විසි පහක් යැයි පැවසූ ගාණ සෝමේ අයියා රුපියල් අටකටම අඩු කර ගත්තේය. ‘කොහොමෙයි? උඹ නිකං ගෙවන්න හැදුවට මං උඹට අරං දුන්න ලාබෙ.’ මා කිසිත් පැවසුවේ නැත. ලාබය කොයි හැටි වෙතත් මගේ ‘නම්බුවට’ මතු වූ කුණුුහරුප එළියට දැම්මේ නැත. මාතර උපන්, ගෙන්දගම් පොළව සුන්දර කළ මේ මිනිසා තම හපන්කම කියමින් මග දිගට සිනාසුණා මතකය.

ජීවිතයට අභියෝග කරන මේ අපූරු මනුස්සයාට දීර්ඝායුෂ පතන්නෙමි. එමෙන්ම කළ ගුණ දන්නා සොඳුරු මිනිසුන්ට පිං සිදු වේවා යැයි පතමි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.