සෝමලතා ගේ විකෘති නාට්‍යයේ අධ්‍යාපනයේ විපරීතය ප්‍රතිසංස්කරණවලට බලපෑවා -අගමැති

ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට මතු නොව සුවිශේෂව ළමා නාට්‍ය කලාවට ආදරණීය මවක් වූ, අත්පොතක් බඳු මාර්ගෝපදේශිකාවක් වූ සෝමලතා සුබසිංහ මැතිණිය ජීවිතයෙන් සමුගෙන ගොස් ය. ලාංකේය කලා කෙතට මහඟු දියවරක් සැපයූ යුගයේ දිරිය කතකගේ සමුගැන්ම පිරිමැසිය නොහෙන පාඩුවක් බව නොකිව මනා ය.

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ප්‍රවීණ නාට්‍ය ශිල්පිනියක වන ඇය “විකෘති”, “ඇන්ටිගනී”, “මවකගේ සංග්‍රාමය”, “යදම්” ආදී නාට්‍ය නිර්මාණ මගින් ප්‍රේක්‍ෂක හදවත් සබුද්ධික ආනන්දනීය හැඟුමින් සසල කළාය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ යුගයේ පටන් දශක හතරකට අධික කාලයක් නාට්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටි ඈ, රංගනයෙන් දායක වූ නාට්‍ය අතර එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “එලොව ගිහින් මෙලොව ආවා”, “රත්තරන්” සහ ගුණසේන ගලප්පත්තිගේ “මූදු පුත්තු”, දයානන්ද ගුණවර්ධනගේ “නරි බෑනා”, හෙන්රි ජයසේනගේ “දිරිය මව සහ ඇගේ දරුවෝ”, ධම්ම ජාගොඩගේ “වෙස් මුහුණු”, රංජිත් ධර්මකීර්තිගේ “චෙරි උයන”, “හිරු නැති ලොව” වෙසෙසින් සඳහන් කළ හැකිය.

“මඩොල් දූව”, “මහගෙදර”, “විරාගය”, “මේ මගේ සඳයි”, “සුදු කළුවර”, “තිලකා හා තිලකා”, “සිරිබෝ අයියා” වැනි චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වෙමින් සිනමාව ද සිය රංගන ප්‍රතිභාවෙන් ප්‍රභාමත් කළ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියක ලෙස ද ඇය හැදින්විය හැකි ය.

ළමා නාට්‍ය ක්ෂේත්‍රයට පහන් ටැඹක් වූ සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය ළමා නාට්‍ය යනු කුමක්දැයි ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන්ට හඳුන්වා දෙමින් “හිම කුමරි”, “ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි”, “තොප්පි වෙළෙන්දකු සමඟ”, “පුංචි අපට දැන් තේරෙයි” “වලස් පවුල” ආදී ළමා නාට්‍ය ළමා ලොවට තිළිණ කළාය. ළමා සිතුම් පැතුම් මැනවින් කියවා ගත් ඇය සංගීතය සහ නර්තනය ප්‍රබලව යොදා ගනිමින් විචිත්‍රවත්ව නිර්මාණය කළ මෙම ළමා නාට්‍ය, ඇය දරුවන්ට කොතරම් ආදරේ ද යන්න මනාව කියා පෑවේය.

1979 සිට දැඩි දුෂ්කරතා රැසක් මැද ළමා නාට්‍ය උළෙල පවත්වමින්, පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් “ළමා හා යොවුන් රංග පීඨය” නාට්‍ය පුහුණු පාසල පවත්වා ගනිමින් ඇය කුසලතා පිරිපුන් ශිල්පීන් රැසක් නාට්‍ය කලාවට දායාද කළා ය.

ඇය “විකෘති” නාට්‍යය මගින් පෙන්වා දුන්නේ මෙරට අධ්‍යාපන ක්‍රමයේ විපරීත තත්වයේ එක් පැති කඩකි. මා අධ්‍යාපන ඇමති ධූරය දැරූ අවදියේ ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාව සඳහා ඒ නාට්‍යයෙන් ලද ආලෝකය ද මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතු ය.

කෙටි සටහනකින් කියා නිම කළ නොහෙන විශිෂ්ඨ සේවයක් මව්බිම වෙනුවෙන් ඉටු කළ ඇය ජීවන රංග පීඨයෙන් සමුගෙන යන මොහොතේ මහත් වේදනාවට පත් ඇයගේ ආදරණීය සැමියා ලයනල් ප්‍රනාන්දු මහත්මාටත්, ආදරණීය දියණිවරුන්ටත්, මාගේත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් සාතිශය සංවේගය පළ කරමි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.