හම්බන්තොට ගැන මහින්ද දුටුවේ සිහිනයක්ද?

pa1400

සාමාන්‍යයෙන් කොළඹ සිට හම්බන්තොටට ලඟා වන්නෙකු ගමන් ගන්නා මාර්ග දෙකකි.එකක් ගාල්ල,මාතර,තංගල්ල හරහා හම්බන්තොටට ළඟාවෙයි.අනෙක රත්නපුර,පැල්මඩුල්ල,ඇඹිලිපිටිය හරහා හම්බන්තොටට ළඟාවෙයි.මෙම දෙමර්ගයෙන් කුමන මාර්ගයේ පැමිණියත් අම්බලන්තොට නෝනාගම හන්දියේදී මෙම මාර්ග දෙකම එකම මගක් බවට පත්වෙයි.ඉන් අනතුරුව මාතර – කතරගම මාර්ගය ඔස්සේ හම්බන්තොටට ළඟාවිය යුතුය.
මගේ මේ උත්සාහය ඔබට හම්බන්තොටට යන මාර්ගය කියාදීමට නම් නොවේ.වසර හත අටකට පසු මෙම මාර්ග ඔස්සේ හම්බන්තොටට යන්නෙකු මිරිජ්ජවිල හන්දියෙන් හැරුණු පසු අත් විඳින තත්ත්වය පැහැදිලි කිරීමයි. මංතීරු විශාල ගණනකින් හා වටරවුම් විශාල ප්‍රමාණයකින් සකස්කොට ඇති හම්බන්තොට මාර්ග පද්ධතිය කෙනෙකු අතරමං කරවන සුළුය. දකුණු අත පැත්තේ විශාල ඉඩම් ප්‍රමාණයක් යටකොට ඉදිකෙරෙමින් පවතින නව වරායයි. ඉතාමත් මෑත අතීතයේ පවා ගොන්නොරුව නමින් ප්‍රසිද්ධව පැවති වන භූමිය එළිකොට ඉදිකර ඇති ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,පරිපාලන සංකීර්ණය, ඉදිවෙමින් පවතින නව මහ රෝහල ද හම්බන්තොට නව දියුණුවේ සංඥා කුලුණු බඳුය.

ගොන්නොරුව හන්දියෙන් වමට හැරී කි.මී.23ක් ගියතැන ලෙනාර්ඩ් වුල්ෆ් දුටු “බැද්දේගම” ආසන්නයේ මත්තල ඉදිකර ඇති නව “ජාත්‍යන්තර” ගුවන් තොටුපලයි.(හම්බන්තොටට ජාත්‍යන්තර වරායක අවශ්‍යතාවය මුලින්ම දුටු පුද්ගලයා වුයේද ලෙනාර්ඩ් වුල්ෆ්ය.)
මවිසින් මෙතෙක් හඳුන්වාදීමට උත්සාහ කරන ලද්දේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හම්බන්තොට,මොනරාගල, සහ රත්නපුර දිස්ත්‍රික්ක ආශ්‍රිතව හම්බන්තොට මුල්කරගත් “රුහුණුපුර” ලෙස ගොඩනගන්නට උත්සාහ කළ “සිහිනපුරයේ” දැනට දක්නට ඇති ප්‍රධාන මං සලකුණු පිළිබඳවයි.

 

hamba

 

 

“සිහින පුරය” යථාර්ථයක් කර ගත නොහැකිද?
එහෙත් මේ සිහින පුරයේ සිහිනය කොතෙක් දුරට යථාර්ථයක් වී ඇත්ද? සිහින පුරය ආශ්‍රිතව ඇති ව්‍යාපෘතිවලින් ඒ  අවට ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ මොනවාද? මෙම සිහින පුරය පිළිබඳව සහ එහි නිර්මාර්තෘ මහින්ද රාජපක්ෂ ගැන ප්‍රදේශයේ ජනතාවගේ හැඟීම් මොනවාද? මේ “සිහින පුරය” යථාර්ථයක් කර ගත නොහැකිද?
මහින්ද රාජපක්ෂගේ “සිහින පුරයේ” හම්බන්තොට වරායේ සිට මත්තල “ජාත්‍යන්තර” ගුවන් තොටුපල දක්වා කාපට් අතුරන ලද සුපිරි මාර්ගයක ගමන් කරමින් දකින ලද සිහින වැලකදී මාගේ සිහිනවලට බාධා කරමින් මහ මග ලැග සිටි සහ මග හරහා ගමන් කරන ලද  මීහරක් රංචු නිසා මට ඉහත ප්‍රශ්න වැල වධ දෙන්නට විය.
වාහන ගමන් කරන්නේ ඉතා කලාතුරකිනි.
කාපට් අතුරා මහා මාර්ග සුපිරි තත්ත්වයෙන් ඉදිකර තිබුනද ඒවායේ වාහන ගමන් කරන්නේ ඉතා කලාතුරකිනි. මේ නිසා  ප්‍රදේශයේ ගව පට්ටිවලට මෙම මාර්ග ඉතා සුව පහසු වාසස්ථාන බවට පත්ව ඇත. ජාත්‍යන්තර වරායක් ඉදිකර තිබුනද එයට දින දෙක තුනකට වරක් වාහන නැවක් පමණක් පැමිණේ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට දිනපතා උදෑසන එක් මගී ගුවන් යානයක් පැමිණියද එයට ගොඩ වන්නේ සහ ඉන් බසින්නේ මගීන් දෙතුන් දෙනෙකු පමණි.ගුවන් යානයක් ගොඩ  බැස්සවීමෙදී එහි ටයර් පද්ධතියට වන අලාභය පියවා ගැනීමටවත් මෙමගින් නොහැකි බව ගුවන් සේවා සමාගම් නගන චෝදනාවයි. සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයක් ඉදිකර තිබුනද එහි වසරකට තරඟ දෙක තුනක්වත් පැවැත්වෙන්නේ නැත.

මත්තල නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට රාජපාක්ෂික සංග්‍රහයක්
මත්තල නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට රාජපාක්ෂික සංග්‍රහයක්

නැව් නැති වරායකින්,ගුවන් යානා නැති ගුවන් තොටුපලකින්,ක්‍රීඩා තරඟ නැති ක්‍රීඩාන්ගනවලින්, කර්මාන්තශාලා නැති කර්මාන්ත පුරවලින් වහන නැති මහා මාර්ගවලින් සමන්විත මෙය ඇත්තටම සිහින පුරයක් පමණමද? ආනයන අපනයන,  ප්‍රති අපනයන සිදු කරන කාර්ය බහුල වරායක්‌, ජාත්‍යන්තර ගුවන් ගමන් තදබදයෙන් යුතු ජාත්‍යන්තර ගුවන් තොටුපලක්, නිතර ජාත්‍යන්තර තරඟ පවතින ක්‍රීඩාන්ගනයක්, විශාල කර්මාන්ත ශාලාවන්ගෙන් යුතු කර්මාන්ත පුරයක් බවට මෙම ව්‍යාපෘති පත්කළ නොහැකිද? එය මහින්ද දුටු සිහිනයක්ද? එම සිහිනය දුටුවේ මහින්ද රාජපක්ෂ පමණමද? හම්බන්තොට ආශ්‍රිත ජනතාව මේ සිහින දුටුවේ නැද්ද?

ජනතාව කෝ?
වත්මන් දේශපාලකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සංවේදී විය යුතු ප්‍රශ්නය එයයි.
තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් හෝ මහින්ද මේවට යටකොට ඇති මහජන මුදල් ප්‍රමාණය සුළුපටු නොවේ. මේවා සාර්ථක කිරීමට කටයුතු කිරීමෙන් මහින්දගේ දේශපාලන ප්‍රතිරූපය වර්ධනය වේයැයි සිතා යමෙක් මෙම ව්‍යාපෘති අතහැර දැමුවහොත් එය  දේශපාලන කුහකකමකටත් වඩා ජාතික අපරාධයකි.
ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් විශාල වශයෙන් තිබියදී මහින්ද රාජපක්ෂ මෙම ව්‍යාපෘතීන් සඳහා විශාල වශයෙන් මහජන මුදල් යෙදවුවද දැන් එම මුදල් ඒ සඳහා යොදවා අවසානය. මේවා අසාර්ථක ව්‍යාපෘතීන් ලෙස අත්හැර දැමීම හෝ “ඉබාගාතේ” යන්නට ඉඩහැරීම තුලින් මේවට යටකළ මහජන මුදල්වලට සාධාරණයක් ඉටුවේද?

මුර වැඩක්වත් හොයාගන්න අමාරුයි
මත්තල ගුවන් තොටුපලට හෝ හම්බන්තොට වරායට ගිය විට පෙනී යන්නේ වත්මන්  මේවා අත්හැරදමා හෝ ඉබාගාතේ යාමට ඉඩදී ඇති සෙයකි.එතුලින් ප්‍රදේශයේ ජනතාවගේ සිතුම් පැතුම් සහ ප්‍රර්ථනාවන් බොඳවී යන සෙයකි. බලාපොරොත්තු කඩ වී යන සෙයකි. මත්තල ගුවන් තොට පිහිටි පහල මත්තල ගමේ ගැමියෙකු අප සමග පැවසූ අදහසකින් මෙය නිම කරන්නට සිතුණි.  සිය නම හෙළි කරන්නට අකැමැති වූ ඔහු අප සමග පැවසුවේ මෙයයි.
” මහත්තයෝ අපේ ආත්තලා මුත්තලා ඉඳලා අපි මේ පැත්තේ මිනිස්සු හේන් ගොවිතැනින් තමයි ජීවත් උනේ. ඒකත් මාහට විතරයි.කුඹුරු කළෙත් වැව පිරුනොත් විතරයි. එක අවුරුද්දක් කළොත් ඊළඟ අවුරුද්ද විශ්වාශ නෑ. අනෙක අපි හැමෝටම කුඹුරු ඉඩම් ඇත්තෙත් නැහැ. ජේ.ආර්.මහත්තයල ලුණුගම්වෙහෙර හැදුවත් අල්ලපු ගමේ හිටපු අපට නෙවෙයි ඒකෙ ඉඩම් දුන්නේ. දේශපාලන ලැයිස්තුවලින් පිට පළාත්වල මිනිස්සුන්ට. ඉතින් මහින්ද මහත්තය මෙතන ගුවන් තොටුපලක් හදනවට අපි මුලින්ම විරුද්දත් උනා. අපි ඉල්ලුවේ යල මහ වැඩ කරන්න වැවට වතුර එන වාරි යෝජනා ක්‍රමයක්. එත් පස්සේ හුඟක් අය කියන්න පටන් ගත්ත කුඹුරු වගේ නෙවෙයි ගුවන් තොටුපලක් හැදුනොත් මාසෙට පනස්දාහක් හැටදාහක් පඩි ගන්න පුළුවන් රස්සාවල් අපේ පුංචි එවුන්ටවත් ගන්න පුළුවන් වෙයි කියල. එත් ඉතින් මහත්තෙයලම දැක්කනේ මෙතන වෙලා තියෙන දේ. දැන් අපිට පනස්දහේ හැටදාහේ රස්සාවල් නෙවෙයි මෙතන මුර වැඩක්වත් හොයාගන්න අමාරුයි.මේ තියෙන ටිකත් හෙට අනිද්දම වැහිලා යයි මන් හිතන්නේ.”
මේ මිනිසුන්ගේ බිඳෙන බලාපොරොත්තු, ගිළිහෙන ප්‍රාර්ථනාවන් ජීවය දෙන්නේ කුමකටද? කවුරු කවුරුත් නැවත නැවතත් සිතිය යුතු ප්‍රශ්නය එයයි.

දයාරත්න විදානපතිරණ හම්බන්තොට සිට

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.