හෙල්මට් දාගෙන ඉතාලි යන්නෝ

රෙද්දකින් වෙන් කරගෙන එක කමාරේ ජෝඩු දෙකක්‌ ඉන්නවා…

කඳුළ සමග සිනාවද පැමිණේය. සිනහව සමග කඳුළද පැමිණේය. එහෙයින් කඳුළ සහ සිනහව ජීවිතයයි.

සිනහව සොයාගෙන කඳුළු සාගරයක්‌ මැදින් ඉතාලියට ගිය උදවිය ගැන කතාන්දර මාලාවක්‌ කියන්නට අපට සිතුණේය.

එහෙයින් අපි හොර පාරෙන් සේම හරි පාරෙන් ඉතාලියට ගිය අය සොයාගෙන මීගමුවට ගියෙමු. ට

ඉතාලියේ රැකියාවල නිරතව සිටින බහුතරය ජීවත්වන්නේ හලාවත සිට මීගමුව දක්‌වා ප්‍රදේශවලය.

වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පමණක්‌ 6425 දෙනකු ඉතාලියේ රැකියාවල නිරතව සිටිති. එහෙයින්ම වෙන්නප්පුව ප්‍රදේශයට පුංචි ඉතාලිය යන නාමය ද පටබැඳිව ඇත. එමෙන්ම නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ 4344 ක්‌ සහ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ 3601 දෙනකු ඉතාලියේ රැකියාවල නිරතව සිටිති.

මේ වන විට ලංකාව පුරා ප්‍රදේශවලින් හැත්තෑදහසකට ආසන්න පිරිසක්‌ ඉතාලියේ රැකියාවල නිරතව සිටින බව ද වාර්තා වේ. ඒ අතරින් වැඩිම පිරිසක්‌ සේවය කරනු ලබන්නේ ද ඉතාලියේ නාපෝලි නගරයේය.

පුරා දශක තුනහමාරකට අධික කාලයක සිට ජීවිතය සොයාගෙන ඉතාලිය බලා දුර ගමනක්‌ යන පිරිස මේ වන තෙක්‌ අඩුවීමක්‌ නැත. නීත්‍යනුකූල වීසා බලපත්‍ර මගින් සේම, නීත්‍යනුකූල නොවන ක්‍රමෝපායන් ඔස්‌සේ මිනිස්‌සු ඉතාලි යන්නාහ.

විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය වෙනස්‌ කොට ඊට ගැළපෙන පුද්ගලයකුගේ ඡායාරූපය යොදා ගුවන් තොටුපළ නිලධාරීන්ගේ ඇස්‌ වසා ගමන් කිරීම එක්‌ ක්‍රමයකි. මෙය ‘හෙල්මට්‌’ ක්‍රමය යනුවෙන් හැඳින්වේ. මෙම ක්‍රමය භාවිත කර ඉතාලියට යැමට තැත් කිරීමේදී ගුවන් තොටුපළ නිලධාරීන්ට හසු වීමට ඇති ඉඩ කඩ වැඩිය. කෙසේ වෙතත් මේ ක්‍රමය ඔස්‌සේ ඉතාලියට යැමට ද ජාවාරම්කරුවන්ට විශාල මුදලක්‌ ලබාදීමට සිදුවේ.

ට්‍රොaලර් යාත්‍රා මගින් මුහුද තරණය කොට ඉතාලියට ඇතුළුවීම අනෙක්‌ ක්‍රමයයි. මෙය අතිශය තීරණාත්මක ගමනකි. ජීවිතයත් මරණයත් අතරින් යන ගමනකි. මේ කටුක චරිකාව සඳහා ජාවාරම්කරුවන් භාවිතා කරන්නේ අබලන් වූ යාත්‍රාය. ඒ ඉතාලියට ළඟා වී සියලු දෙනා යාත්‍රාවෙන් බැසගත් පසු යාත්‍රාව මුහුදේ ගිල්වා දැමීම නිසාය.

ඉතාලියට ගිහින් ආපු කිහිප දෙනකු සමග අපි කතාබහ කළෙමු. කතා කළ අයගෙන් කෙනෙක්‌ රුක්‌ෂාන් ප්‍රසාද්ය. ඔහු බෝට්‌ටුවෙන් ඉතාලියට ගිහින් හිරේ විලංගුවේ ද වැටී හිස්‌ අතින්ම ලංකාවට ආ කෙනෙකි.

“මම කාලයක්‌ යුද හමුදාවේ සේවය කළා. ගොඩක්‌ මුදල් ප්‍රශ්න තිබුණා. ඒක නිසාම මම හමුදාවෙන් ඉවත් වෙලා ඉතාලි යන්න තීරණය කළා. වෙන්නප්පුව බොරැලැස්‌ස ප්‍රදේශයේ බෝට්‌ටුවලින් ඉතාලි යවන කෙනෙක්‌ මුණගැහිලා විස්‌තරය කිව්වා. ඒ පුද්ගලයා මගෙන් රුපියල් ලක්‍ෂ 3 1/2 ක්‌ ඉල්ලුවා.

මුලින් 50,000 ක්‌ දෙන්න. ඉතාලියට ගියාට පස්‌සේ ගෙදර අය හරහා ඉතිරි මුදල ගෙවන්න කිව්වා. නමුත් මම එහෙ හිඟා කෑවත් ගෙදරට කරදරයක්‌ කරන්නෙ නැතුව ණයක්‌ වෙලා සේරම මුදල් එක පාර දුන්නා.

2001 මාර්තු මාසේ දවසක අපි මීගමුව වෙරළෙන් පිටත් වුණා. මමත් එක්‌ක 55 දෙනකු බෝට්‌ටුවට නැග්ගා. මාසයකට විතර කෑමත් අරගෙන තමයි අපි බෝට්‌ටුවට නැග්ගේ. ගමන් මාර්ගය වුණේ ඉන්දියන් සාගරය හරහා මාලදයිවන මුහුදට ගිහින් සෝමාලි දූපත් හරහා ඊජිප්තුවට ගිහින් සූවස්‌ ඇළ හරහා ගී්‍රසිය, සයිප්‍රස්‌ මුහුදු සීමාවෙන් ඉතාලියට ගමන් කිරීමයි.

සූවස්‌ ඇළ හරහා ගමන් කරද්දී ඇමෙරිකන් නාවික හමුදාව ඇවිත් අපේ බෝට්‌ටුව සෝදිසි කළා. එතකොට ගොඩක්‌ අය හිටියේ ටැංකියේ. උඩ හිටපු අපි කිව්වා මාළු අල්ලන්නයි ආවේ කියලා. එහෙම කිව්වට පස්‌සේ ඒ අය යන්න ගියා. ඒ වෙද්දී බෝට්‌ටුවේ තිබුණු කෑම ගොඩක්‌ ඉවර වෙලා. බිස්‌කට්‌, සමපෝෂ, මාළු තම්බලා කෑවා. දින තුනක්‌ පපඩම් විතරක්‌ කෑවා.

පස්‌සේ අපිව අරගෙන යන අය සූවස්‌ ඇළේ බෝට්‌ටුව නතර කරලා හාලුයි, අලයි ගත්තා. දින ගණනකින් එදා තමයි බත් අහුරක්‌ කෑවේ. දවල්ට ගිනි ගන්න රස්‌නෙයි. එළියට එන්න බෑ. ඒ වෙලාවට හැමෝම යට ටැංකියට බහිනවා. හුළං එන්න ටැංකියේ උඩ පියන අරිනවා.

රෑටයි, උදේටයි තමයි බෝට්‌ටුව උඩට එන්නෙ. නාන්න ලැබෙන්නේ වැස්‌සොත් විතරයි. මුහුදු වතුරෙන් නාලා වැස්‌සෙන් ලුනු හෝද ගන්නවා. ඒ ගමන ගැන නම් කතා කරලා වැඩක්‌ නැහැ. තනිකරම අපා දුකක්‌.

ඔහොම යනකොට සයිරෝවලදී කුණාටුවක්‌ ඇල්ලුවා. ඒක පුදුම කුණාටුවක්‌. එදා නම් මම හිතුවා අපි ඉවරයි කියලා. ගෙදර අය මතක්‌ වුණා. කරන්න දෙයක්‌ නෑ. හැමෝම දෙයියෝ සිහි කරගෙන හිටියා. අපේ පූරුවේ පිනකට බෝට්‌ටුව පෙරළුණේ නැහැ. බෝට්‌ටුව පාවුණා. පස්‌සේ නැවක හිටිය අය අපේ බෝට්‌ටුව ඒ නැවේ ගැට ගහගෙන පැය හයක්‌ විතර තියාගත්තා.

කුණාටුව පහ වුණාට පස්‌සේ නැවත ගමන් ආරම්භ කළා. එහෙම ඇවිත් දින පනස්‌ පහකට පස්‌සේ රෑ ඈතින් ලයිට්‌ එළි පේන්න ගත්තා. හිතට සතුටක්‌ ආවා. කොහේ හරි ගොඩබිමක්‌නේ පේන්නේ. අපි ඒ ඈතින් දැක්‌කේ සිසිලියා දූපත. එදා රූ අපි සිසිලියා දූපතට ගොඩ බැස්‌සා. ඒ දූපතේ සති දෙකක්‌ විතර තියාගෙන ඉඳලා නැවක දාලා කටානියාවලට අරගෙන ඇවිත් අපිව ටැක්‌සියක අරගෙන යන කොට කලර් ලයිට්‌ එකක්‌ ගාවදී ඉතාලි පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඊට පස්‌සේ අපිව කඳවුරකට දැම්මා. හැබැයි ඒ කඳවුරේදී අපිට කිසිම කරදරයක්‌ කළේ නැහැ. හොඳට කන්න බොන්න දුන්නා.

මොරක්‌කෝව, පලස්‌තීන්නු, හොංගෝ අයත් ඒ කඳවුරේ හිර කරලා හිටියා. එක එක රටවල අයව වෙන වෙනම ශාලාවලට දාලා තිබුණා. අපේ රටේ අයත් ගොඩක්‌ හිටියා. අපේ රටෙත් දෙමළ අයයි, සිංහල අයයි වෙන් කරලා තිබුණා.

දින 21 ක්‌ ඒ කඳවුරේ හිටියා. ඉතාලි භාෂාව දන්න කෙනෙක්‌ අපිත් එක්‌ක හිටියා. ඉතාලි හමුදාවේ අය එයාට කිව්වලු ‘ඔබලාගේ ජනාධිපති කියනවා උඹලාව ලංකාවට එවන්න කියලා. යන්න කැමති අය ඉන්නව නම් කියපං’ කියලා. ඒ වෙන කොට මට ඉතාලිය එපා වෙලා තිබුණේ. මම කිව්වා මට ලංකාවට යන්න ඕනා කියලා. මාත් එක්‌ක තව කිහිප දෙනෙක්‌ ලංකාවට එන්න කැමති වුණා. ඊට පස්‌සේ අපි එක්‌ක හිටිය අයගේ ගාණට ඉතාලි පොලිස්‌ නිලධාරීන් ඇවිත් අපේ අත්වලට වෙන වෙනම මාංචු දාලා එක්‌ එක්‌ පොලිස්‌ නිලධාරීන්ගේ අත්වලට ඒ මාංචු දාගත්තා.

එහෙම කරලා ඉතාලියේ මල්මින්සා එයාර්පෝට්‌ එකෙන් කටුනායක එයාර්පෝට්‌ එකටම ගෙනත් මෙහේ ආරක්‍ෂක අංශවලට භාර දුන්නා. එයාර්පෝට්‌ එකේදී රහස්‌ පොලිසියෙන් ප්‍රශ්න කරලා යන්න දුන්නා.

ඊට පස්‌සෙත් මම රට යන්න කියලා කෙනෙකුට සල්ලි දුන්නා. ලක්‍ෂ පහළොවක්‌ විතර ණය වුණා. ඒත් මම තවම ලංකාවේ. ඔය රට යවනවා කියන ගොඩක්‌ දෙනෙක්‌ කරන්නේ බොරු. සමහර රට යවන්නෝ ඉතාලි යන්න කියලා ට්‍රොaලර්වලට කොල්ලන්ව පටවගෙන දින ගාණක්‌ මුහුදේ කරක්‌ ගහලා රෑක දකුණු මුහුදු තීරයට ගොඩ බස්‌සලා කියනවා ඉතාලියට බැස්‌සා දැන් ඉතිං යන්න කියලා ට්‍රොaලරය හරවලා මුහුදට යනවා. එහෙම වෙච්ච අය ඕනෑ තරම් ඉන්නවා”

එවකට රුපියල් හැත්තෑපන් දහසේ සිට ලක්‍ෂ පහ දක්‌වා මුදලක්‌ ට්‍රොaලර් යාත්‍රා මගින් ඉතාලි යැමට අය කෙරිණි. මෙම යාත්‍රාවක පුද්ගලයන් 75 ත් 80 ත් අතර ප්‍රමාණයක්‌ රැගෙන යති. ට්‍රොaලර් යාත්‍රාවකින් ඉතාලියට යැමට දින 35 ත් 50 ත් අතර කාලයක්‌ ගත වේ.

බොහෝ විට යාත්‍රාව ඉතාලියට ළඟා වන විට යාත්‍රාවේ ආහාර තොග අවසන් වී එහි ගමන් ගන්නා අය දින කිහිපයක්‌ නිරාහාරව සිටිති. වතුර පොදක පිහිටෙන් පණ කෙන්ද ගැටගසාගෙන ඉතාලියට ගොඩ බසින අය ද ඒ අතර වෙති. ඉතාලියට ගොඩ බැසීමෙන් පසු ජාවාරම්කරුවන් සමග තිබෙන ගනුදෙනුව හා ඒකඟතාවය අවසන් වේ. කිසිදා පය නොගැසූ බිමකට පය ගැසූ පසු ඇතැම් අය නන්නත්තාර වෙති. තවත් අය ඥතීන් හිතවතුන් පැමිණ කැඳවාගෙන යති.

කටුනායක ගුවන් තොටෙන් ඉතාලියට පියඹා ගිය ප්‍රියන්ත කැලුම්ට මිත්‍රයකුගේ පිහිට නොලැබෙන්නට ඔහුට ද හිරේ විලංගුවේ වැටී හිස්‌ අතින්ම ලංකාවට ඒමට ඉඩ තිබිණි. එහෙත් කැලුම් අවාසනාවන්ත නොවීය. 1990 ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලිය කැලුම්ගේ ජීවිතයට ජය ගෙනාවේය.

“මම ඉතාලියට ගියේ 1989 අවුරුද්දේ. ඒ කාලෙත් රුපියල් අසූදාහක්‌ දුන්නා. එහෙම දීලා ගිහිල්ලත් මාස තුනක්‌ ජොබ් එකක්‌ නැතුව යාළුවෙක්‌ ළඟ හිටියා. ඒ මාස තුනට ගොඩක්‌ දුක්‌ විනදා. කීප වතාවක්‌ම ආපහු ලංකාවට එන්න හිතුණා.

ඒත් ණයට ගත්තු සල්ලි නිසා හැම දෙයක්‌ම ඉවසගෙන හිටියා. අපි හිටිය පුංචි කාමරේ ලංකාවෙන් ගිය අය හය දෙනෙක්‌ හිටියා. නිදා ගන්නේ මේස උඩ. ඔහොම ඉන්නකොට රස්‌සාවක්‌ ලැබුණා. ඒ එක්‌කම වගේ 1990 වර්ල්ඩ් කප් මැච් එක තිබුණා. ඒ නිසා අපිට වීසා ලැබුණා. ඊට පස්‌සේ කාලයක්‌ ඉතාලියේ රැකියාවක්‌ කළා. ඒ කාලේදී හම්බ කරගත්තු සල්ලි පිරිමහගෙන දැන් ව්‍යාපාරයක්‌ කරගෙන ඉන්නවා”

චන්දන මලියරත්න ඉතාලියට ගියේ නීත්‍යනුකූල වීසා සහිතවය. වසර කිහිපයක්‌ ඉතාලියේ රැකියා කළ චන්දන ඉතාලිය ගැන කියන්නේ මෙවැනි කතාවකි.

“මම අවුරුදු හතකට ඉස්‌සෙල්ලා ඉතාලියට ගියේ. මෙහෙ මිනිස්‌සු කියන දේ නෙමෙයි එහෙ තියෙන්නෙ. අපේ රටෙන් යන එක මිනිහෙක්‌වත් වැදගත් ජොබ් එකක්‌ කරන්නේ නෑ. මෙහෙ හොඳ වැදගත් රජයේ ජොබ් දාලා ඉතාලියට එනවා.

ඇත්තටම මොනවට එනවද කියලා හිතෙනවා. එහෙ ඉඳලා එන අය ඇත්ත කතාව කියන්නේ නෑ. ලංකාවට ඇවිල්ලා රෙන්ට්‌ එකට වාහන අරගෙන එහෙ-මෙහෙ රවුම් ගහනවා. එතකොට මිනිස්‌සු හිතනවා ඉතාලිය සුර පුරයක්‌ කියලා. ඉතිං කොල්ලෝ ඉඩම් උකස්‌ කරලා ලෝකෙටම ණය වෙලා ඉතාලි යනවා.

එහෙ හරියට කරන්න රස්‌සාවක්‌ නෑ. ඉන්න තැනක්‌ නෑ. එක කාමරේ ජෝඩු දෙකක්‌ ඉන්නෙ රෙද්දකින් හෝ කබඩ්වලින් වෙන් කරලා. කිසිම පෞද්ගලිකත්වයක්‌ නෑ. සමහර වෙලාවට නෝනා වැඩට යනකොට මහත්තයා ගෙදර. මහත්තයා වැඩට යනකොට නෝනා ගෙදර. එහෙම එක කාමරය ගෑනු පිරිමි ඉන්නකොට මොකද වෙන්නේ…

අද අපේ ගම්වල අම්මලා ඉතාලි ගිහින් ආපු කොල්ලන්නට දූලා දෙන්න හරි කැමතියි. ඒ අම්මල බලන්නේ සල්ලි ගැන විතරයි. මේ ඇත්තයි කියන්නේ… ඉතාලිය කියන්නේ හොඳට හිටියොත් හොඳටම හොඳයි. නරකට හිටියොත් ජීවිතයම විනාශයි.”

දශක තුන හතරකට පෙරදී මීගමුව හලාවත මුහුදු තීරයේ වෙසෙන ජනතාව විඳින දුක්‌ ගැහැට දැක ඒ ප්‍රදේශවල දේවස්‌ථානවල සිටි ඉතාලි පියතුන්මලා දුගී පවුල්වල තරුණයන්ව ඉතාලි රැකියාවලට යොමු කළහ.

එසේ ඉතාලියට යන තරුණයන්ට ඉතාම පහසුවෙන් රැකියා අවස්‌ථාද ලැබිණි. එහෙත් වර්තමානයේ ඉතාලියට යන අයට රැකියාවක්‌ සොයාගැනීම ඉතාම අසීරු කාර්යකි. ඒ බව අපට කියන්නේ මහවැව මට්‌ටකොටුව මීසම් පාලක හයසින් තිසේරා පියතුමාය.

“ඒ කාලේ තරුණයෝ ඉතාලියට ගිහිල්ලා මුදල් හම්බ කරගෙන ලංකාවට ඇවිත් රඟපානකොට බලාන හිටපු අයට ඉවස ගන්න බැරි වුණා. ඇත්තෙන්ම ඉතාලියට ගිහිල්ලා දහදුක්‌ විඳලා ලංකාවට එන්නෙ මානසික ආතතිය නැති කරගන්න. ඒ සඳහා තරුණයෝ විවිධාකාරයෙන් සතුටු වෙනවා.

ඉතාලි අයගෙන් අපිට ඉගෙනගන්න ගොඩක්‌ දේවල් තියෙනවා. ඔවුන්ගේ විනය, ආචාරශීලීභාවය, වැරැද්දක්‌ වුණොත් සමාව ගැනීම වැනි ගුණාංග හරිම වැදගත්. ඒ වගේම පිරිසිදුකම ගැන අවධානය යොමු කරනවා.

ඒ නිසා ඉතාලියේ සංස්‌කෘතිය කොහොම වුණත් අපට අවශ්‍ය දේ අපි ලබාගෙන තමන් ඒ රටට ගිය අරමුණ මැනවින් වටහාගෙන ක්‍රියාකරන අයට වරදින්නේ නෑ. එහෙම නැතුව ඉඩම් උකසට තියලා සෙල්ලමට යන්නන් වාලේ ගිහින් ඉන්න උදවියට සාර්ථක ජීවිතයක්‌ ගත කරන්න බෑ”

මිනිස්‌සු හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්නටය. හරිහම්බ කර ගන්නා දෙයින් මේ රට තුළ සතුටින් ජීවත් වෙන්නට වාතාවරණයක්‌ ඇත්නම් මේ මිනිස්‌සු මරු කටෙන් පැන වෙන රටවලට නොයති.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.