හොඳ මිනිසෙකුගේ නික්ම යාම

senaka-tayitasස්වර්ගස්ථ වූ ප්‍රවීන පුවත්පත් කලාවේදී, සිනමා, රූපවාහිනී, වේදිකා නළු සේනක ටයිටස් මහතාගේ දේහය පෙරේදා (28) පස්වරුවේ රාගම පොඩි වී කුඹුරේ ඒ මහතාගේ නිවසට ගෙනඑන ලදී. දැනට දේහය පොඩි වීකුඹුරේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (30 වන සඳුදා) සිදුකිරීමට නියමිතය. ඔහුගේ බාල මළණුවන් තිදෙනාම ඉතාලියේ ජීවත් වන අතර ඔවුන්ගේ පැමිණීම ඥාතීහු බලාපොරොත්තුව සිටිති.

30 වන සඳුදා සවස 3.00ට පමණ දේහය රාගම ශාන්ත පාවුලු දෙව් මැදුරට ගෙන ඒමෙන් අනතුරුව අවසන් දේව මෙහෙය පවත්වා රාගම ශාන්ත පාවුලු දෙව්මැදුරට අයත් සූසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

සේනක ටයිටස් මහතාගේ දේහයට ගෞරව දැක්වීමට ඊයේ දවස පුරා කලාකරුවන්, මාධ්‍යවේදීන්, අසල්වාසීන් රැසක් පැමිණ සිටි අතර ඒ කාගෙනුත් මුවිනුත් පිටවූයේ සේනක ටයිටස් නමැති කලාකරුවාගේ නිරහංකාර ගතිගුණත්, ඔහුගේ මිත්‍රශීලි සුහද ඇසුරත් ගැනය.

සේනක සිංගප්පූරුව බලා ගියේ “අලුත් හොරෙක් ඕනෑ“ නමැති නාට්‍යයේ දර්ශන වාර දෙකක් සඳහා ය. ඒ යන විටද ඔහු උණ ගතියකින් පෙලී ඇති නමුත් දර්ශන වාර දෙකටම සහභාගී විය. ඒවා සාර්ථකව වේදිකා ගත කරන ලද අතර මහත් ජනතාවක් සහභාගී ද වූහ. දිගටම පැවැති උණ ගතිය හේතුවෙන් ඔහු ආහාර ගැනීමෙන් පාලනය වී ඇති අතර මත්පැන් පානයද කර නැත. සංවිධායක මහත්වරුන් විසින් සේනක එහි සිටින වෛද්‍යවරයෙකු වෙතද ඉදිරිපත් කරන ලද අතර වෛද්‍ය වරයා පරීක්ෂා කර තෙහෙට්ටුව නිසා යැයි කියා විටමින් කිහිපයක් ද ලබා දී ඇත. කෙසේ වෙතත් නාට්‍යය කටයුතු අවසන් කර සිය රට යෑමට ගුවන් තොටුපොලට ඇතුළු වී සියළු ලේඛන කටයුතුද අවසන් වීමෙන්ද පසුව ඔහු ගුවන් තොටුපොල තුලදී ක්ලාන්ත වී සිහිනැති වී තිබේ. ඒ අවස්ථාවේ දී තවත් කලාකරුවෙක් වන අජිත් මෙන්ඩිස් මහතාද ලඟ හිඳ තිබේ. ඉන්පසු ගුවන් තොටේ ගිලන් රියකින් වහාම ෂෙන්ගින් (Schengen) රෝහල වෙත රැගෙන යන ලද අතර ගෙන ගිය වහාම හදිසි ප්‍රතිකාර වාට්ටුවට ගෙන ප්‍රතිකාර ලබා දී තිබේ. ඒ අතර රෝගී තත්ත්වයන් ගැන පරීක්ෂණ සිදුකර ඇති අතර ඔහුගේ වකුගඩු ක්‍රියාකාරිත්වයේ වෙනසක් දැක ඇත. පසුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන ලදී. ඒ අතර වාරයේ දී තත්ත්වය දැන ගත් වහාම කොළඹ සිට සේනකගේ පුත්‍රයා ද ජැක්සන් ඇන්තනී මල්ලී ද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. ඒ යන විට සේනකගේ තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර ඔහුව සාමාන්‍ය වාට්ටුවෙන් දැඩි සත්කාර ඒකකයකට ඇතුළු කර තිබිණ. එතැන් සිට ඔහු අවසිහියෙන් හිඳ ඇති අතර සිරුර ක්‍රියාත්මක වී ඇත්තේ යන්ත්‍රවල පිහිටෙනි. හදිසි සැත්කමක් කිරීම ගැන වෛද්‍යවරුන් සාකච්ඡා කරන ලද නමුත් ඒ සඳහා සුදුසු ශාරීරික තත්ත්වයක් තිබී නැත. මොහොතින් මොහොත සේනකගේ තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර අවසානයේ ඔහුගේ හෘදය නතර වී තිබේ.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ මරණයට හේතුව දිගු කලක් තිස්සේ වකුගඩු අසාදනය වී තිබීමත් ඒ තත්ත්වය අක්මාව කරා පැතිර තිබීමත් ය. ඊට හේතු ලෙස පවසා ඇත්තේ සේනක කලකට ඉහත මුහුණ දුන් සර්ප විෂ ය. එහිදී ද ඔහු මරණය ආසන්නයටම ගොස් යලි ගොඩ ආ අයෙක් විය. සර්ප විෂ නිසා මෙන්ම ඒ සඳහා ලබා දෙන බෙහෙත් නිසා ද වකුගඩු අකර්මන්‍ය වීම දිගු කලක් බලපෑමෙන් සේනක ටයිටස් කලා කරුවාගේ අභාවය සිදුව ඇත. ඔහුගේ රුධිර පීඩනය සාමාන්‍ය වීමත්, දියවැඩියා තත්ත්වයක් ප්‍රදර්ශනය නොකිරීමත් ආදී හේතු නිසා අභ්‍යන්තරයෙන් සිදුවෙමින් තිබුනු වකුගඩු අසාදනය තේරුම් ගොස් නැත. අවසානය දක්වාම ඔහු නිරෝගී පුද්ගලයෙකු සේ විනෝදයෙන් සැහැල්ලුවෙන් කටයුතු කළේය.

සේනක ටයිටස් පසුගිය කාලයේ රූපවාහිනී නළුවෙකු ලෙස කවුරුත් දැන ගත් නමුත් ඔහුද ජැක්සන් සේම ප්‍රථම වරට කළ එළි බහින්නේ වේදිකාවෙනි. ඒ 1977 තරම් ඈත කාලයේ නෙවිල් ඩයස් සුබසිංහයන් නිෂ්පාදනය කළ ‘වාරුවෙන් යන මිනිස්සු‘ නමැති වේදිකා නාට්‍යයෙනි. පසුව ජනප්‍රිය වූයේ ‘මෙතනින් මාරුවෙනු‘ නාට්‍යයේ ‘පැබ්ලෝ‘ ගේ චරිත යයි. එතැන් සිට මරණය දක්වාම ඔහු වේදිකාව අතහැරියේ නැත. ‘දස්කොන්, ශ්‍රී රජ‘ ආදී චිත්‍රපට වල කැපී පෙණෙන චරිත රඟපෑ සේනක පසුගිය කාලයේ රූපවාහිනියේ තිරගත වූ ‘ගිනි අවි සහ ගිනි කෙළි‘ ටෙලි නාටක මාලාවේ ද මේ වන විට ජනප්‍රියතම ටෙලි නාට්‍යය වී ඇති ‘කූඹියෝ‘ ටෙලි නාට්‍යයේ ද පාතාල නායකයෙකුගේ චරිතයට පණදුන්නේය. පාතාල නායකයෙකුගේ පෙණුමක් මුහුණේ තිබුනේ වී නමුත් ඊට හාත්පසින්ම වෙනස් සේනක ටයිටස් දිගු කලක් ජනතාවට සේවය කෙළේ ළමා පුවත් පත් කතුවරයෙකු ලෙසය. කැකුළු, රං කැටි, මී පැණි, බන්ටි, සූකිරි ආදී රාශියක් ළමා පත්‍ර වල කතුවරයෙකු ලෙසත් උප කතුවරයෙකු ලෙසත් සේනක ටයිටස් සේවය කර තිබේ. ඒවායේ කාව්‍ය, කතා නිර්මාණ ද, චිත්‍ර නිර්මාණ ද බොහෝ විට සේනක අතින්ම සිදුකරන ලද අතර ඔහු කවියෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු ද විය. බොහෝ දෙනා නොදන්නා නමුත් ජනප්‍රිය ළමා ගීතයක් වන ‘පුංචි කුරුල්ලනි පුංචි බටිත්තනි සිනා වෙලා අහසේ‘ නමැති ළමා ගීයේ පද රචකයා ද සේනක ටයිටස් ය. ලංකාවේ මහා කලා කරුවන් ගොන්නට වැටීම සඳහා ‘ඉමේජ් බිල්ඩ් අප්‘ කිරීම තමන් විසින්ම සිදුකර නොගත් නමුත් සේනක ටයිටස් වනාහී ‘ඕල් රවුන්ඩර්‘ කෙනෙකි. ඒ සියල්ලටම වඩා සේනක ටයිටස් වනාහී දිගු කල් මිතු දම් රැක ගත හැකි, ඉදිරියේ සිටින්නා අසුරු සැනින් සිනහා ගැන්විය හැකි කතා රාශියක් දිව අග තබාගෙන සිටි, නිරහංකාර අපූරු මිනිසෙකි. ඔහුගේ වියෝව සත්‍ය වශයෙන්ම ඇසට කඳුළු නංවන්නකි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.