ෆේස් බුක් ඡන්ද කෙරුවාව-නාලක ගුණවර්ධන

ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ඉන්ටර් නෙට් භාවිත කරන මට්ටමට එළැඹ සිටින අපේ රටේ මෙම සයිබර් සාධකය මැතිවරණ ප‍්‍රචාරණයට හා ඡන්දදායක මතයට කෙසේ බලපානවාද යන්න විමසීම වැදගත්.

2010 මහ මැතිවරණයේ භාවිත වූවාට වඩා බෙහෙවින් මෙවර මැතිවරණයේ ඉන්ටර්නෙට් භාවිතය සිදුවන බව නම් කල් තබාම කිව හැකියි. දේශපාලන පක්ෂ, ඡන්ද අපේක්ෂකයන්, සිවිල් සමාජ සංවිධාන හා සාමාන්‍ය පුරවැසියන් යන මේ පිරිස් සතරම වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වෙත යොමුවීමත් සමග දේශපාලන තොරතුරු හා මතවාද ගලා යෑම පෙර පැවතියාට වඩා වෙනස්වන්නේ කෙලෙසද?

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා දේශපාලන චරිත හා පක්ෂවලින් ප‍්‍රශ්න කරන්නට හා ඔවුන් අභියෝගයට ලක් කරන්නට හැකි වීම හරහා දේශපාලන සංවාද වඩා හරවත් විය හැකිද? මෙය කෙතරම් පුළුල්ව රටේ සමාජගත වනවාද?

ගිණුම් මිලියන් 2.5කට

 

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් Facebook. එහි මෙරට ගිණුම් මිලියන් 2.5කට වඩා තිබෙනවා. ව්‍යාජ ගිණුම් හෝ ද්විත්ව ගිණුම් පසෙක තැබුවහොත් අඩු තරමින් මිලියන් 2ක් ලාංකිකයන් ෆේස්බුක් සැරිසරනවා යැයි කිව හැකියි. මෙරට ජනප‍්‍රිය අනෙක් සමාජ මාධ්‍ය වන්නේ ට්විටර්, වීඩියෝ බෙදා ගන්නා යූටියුබ් හා ඡුායාරූප හුවමාරු කැරෙන ඉන්ස්ටග‍්‍රෑම්. මේ හැම සයිබර් වේදිකාවකම මේ දිනවල දේශපාලනයට අදාළ තොරතුරු, මතවාද හා රූප බෙහෙවින් සංසරණය වනවා.

දේශපාලන පක්ෂවලට හා ඡුන්ද අපේක්ෂකයන්ට මේ යථාර්ථය නොසලකා සිටීමට බැහැ. එහෙත් බොහෝ පක්ෂවල මැතිවරණ කැම්පේන් හසුරුවන්නේ සාම්ප‍්‍රදායික මාධ්‍ය ගැන දන්නා, එහෙත් නව මාධ්‍ය ගැන හරි අවබෝධයක් නැති හිටපු මාධ්‍යවේදීන් හෝ දැන්වීම් ඒජන්සි විසින්.

පත්තරවල මුදල් ගෙවා ඉඩ මිලට ගැනීමට හා රේඩියෝ-ටෙලිවිෂන් නාලිකාවල ගුවන් කාලය මිලට ගැනීමට මේ උදවිය හොඳහැටි දන්නවා. මුදලට වඩා කාලය, ශ‍්‍රමය හා නිර්මාණශීලී බව අවශ්‍ය වන සමාජ මාධ්‍යවලට නිසි ලෙස ප‍්‍රවේශ වන හැටි මේ අයට වැටහීමක් නැහැ.

සමාජ මාධ්‍යවලටත් මුදල් ගෙවා ඕනෑම කෙනෙකුට තම ප‍්‍රචාරය උත්සන්න කර ගත හැකියි. ෆේස්බුක් ගෝලීය වේදිකාවක් වුවත්, තම භාණ්ඩය හෝ සේවාව හෝ පණිවුඩය නිශ්චිත රටක, නිශ්චිත වයස් කාණ්ඩයකට ඉලක්ක කොට පෙන්වීම කර ගත හැකියි.

එසේම ෆේස්බුක් හා ට්විටර් ගිණුම් සඳහා තොග වශයෙන් ලෝලීන් (fans) හා මනාප (likes) විකුණන විදේශීය සමාගම් තිබෙනවා. අපේ සමහර දේශපාලන චරිත අරඹා ඇති සමාජ මාධ්‍ය ගිණුම්වලට ඔවුන් හීන්සීරුවේ මුදල් ගෙවා මෙසේ තොග පිටින් ලෝලීන් හා මනාප ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා. සමහර දේශපාලකයන්ට ශ‍්‍රී ලංකාවේ සිටින Fans ගණනටත් වඩා තුර්කියේ සිටින සංඛ්‍යාව වැඩිවීමට හේතුව එයයි.

මුදල් ගෙවා ලබා ගන්නා සමාජ මාධ්‍ය ප‍්‍රමුඛත්වය විශ්වසනීය හෝ සාර්ථක වන්නේ නැහැ. මෙය කුලියට ගත් බස් රථවලින් මුදල් ගෙවා සෙනඟ රැුලිවලට ගෙනෙනවාට සමානයි. සයිබර් සාක්ෂරතාව පුළුල් වන විට මෙබඳු උපක‍්‍රම ගැන වැඩි දෙනකු දැන ගන්නවා.

කෙටි කාලීනවත් දිගු කාලීනවත් වඩාත් සාර්ථක ප‍්‍රවේශය නම් නිරතුරු සමාජ මාධ්‍ය හරහා පුරවැසියන් සමග සාමීචියේ හා සංවාදයේ යෙදී සිටීමයි (මැතිවරණයක් එළැඹි විට පමණක් නොවෙයි).

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

සමාජ ජාල මාධ්‍ය භාවිත කරන සියලූ ලාංකික දේශපාලකයන් හෝ දේශපාලන පක්ෂ හෝ නිතිපතා ෆලෝ කරන්නට මට හැකි වී නැහැ. එය ලේසි පාසු කාරියක්ද නොවෙයි.

එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ද, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ට්විටර් ගිණුමද හරහා කුමක් සන්නිවේදනය වේද යන්න ගැන මා විමසිලිමත්ව සිටිනවා.

කාර්යබහුල මෙවන් නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් විසින්. එය ලොව පුරා සම්ප‍්‍රදායක්. බොහෝ විට මේ ගිණුම් හරහා නායකයා කරන කියන දේ ගැන සංක්ෂිප්ත තොරතුරු හා ඡායාරූප/කෙටි වීඩියෝ බෙදා හැරෙනවා. මේ අන්තර්ගතයම නිල වෙබ්අඩවි හා මාධ්‍ය ප‍්‍රකාශන හරහාද නිකුත් කැරෙන නමුත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය පවා අද කාලේ නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියැවෙන දේ ගැන අවධානයෙන් සිටිනවා. අවශ්‍ය විටදී යම් දේ එතැනින් උපුටා දක්වනවා.

සමාජ මාධ්‍ය ගත වන දේශපාලන නායකයන් හා ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් මුහුණ දෙන අභියෝග ගණනාවක් තිබෙනවා. මූලික එකක් නම් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් විශ්වාසදායක නිල ගිනුම් (verified accounts) බව තහවුරු කරගැනීමයි.

ඉන්ටර්නෙට් වෙබ් අඩවි ලිපිනයන් (URL)මෙන්ම සමාජ මාධ්‍ය ගිණුම් නාමයන් ද මුලින්ම එය ලියාපදිංචි කරන්නාට හිමි කරගත හැකියි. රාජ්‍ය නිලධාරිවාදය නැති සයිබර් අවකාශයේ අපූර්වත්වය එය වුවත් එය අවභාවිතයට යොදන අයද සිටිනවා.

තහවුරු කළ සමාජ මාධ්‍ය ගිණුම්

මෙරට ජනාධිපති හා අගමැති දෙදෙනාගේම නම් පදනම් කරගෙන ඇරඹූ ව්‍යාජ ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ගණනාවක් තිබෙනවා. ඕනෑකමින් අධ්‍යයනය කළ විට මේවා ව්‍යාජ බව පෙනීයතත්, බැලූ බැල්මට ජනයා මුලා කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා ප‍්‍රසිද්ධ පුද්ගලයන් (දේශපාලන නායකයන්, සිනමා තරු, ක‍්‍රීඩකයන් ආදීන්) අනන්‍යතාව තහවුරු කළ සමාජ මාධ්‍ය ගිණුම් සකසා ගැනීමත් එය පැහැදිලිව පෙන්නුම් කිරීමත් වැදගත්.

පසුගිය ජනාධිපති වරණයේදී කැම්පේන් වැඩට සමාජ මාධ්‍ය යම් පමණකට ඔවුන් යොදා ගත්තද ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ දෙපළටම අනන්‍යතාව තහවුරු කළ සමාජ මාධ්‍ය ගිණුම් තිබුණේ නැහැ. මේවායේ අවශ්‍යතාව අප සමහරක් දෙනා ප‍්‍රසිද්ධ අවකාශයේ පෙන්වා නිතර දුන්නා.
මේ අනුව 2015 මැයි මාසයේ පටන් ජනාධිපති සිරිසේනට තහවුරු කරන ලද නිල ට්විටර් හා ෆේස්බුක් ගිණුම් තිබෙනවා. ප‍්‍රමාද වී හෝ මෙය ලබාගැනීම හිතකර ප‍්‍රවණතාවක්. එහෙත් වික‍්‍රමසිංහ නමින් ට්විටර් ගිණුම් ගණනාවක් පවතින අතර එයින් කුමක් ඔහුගේ නිල ගිණුම් ද යන්න තහවුරු කර නැහැ. අපට කළ හැක්කේ අනුමාන පමණයි.

මේ දෙදෙනාගේ සමාජ මාධ්‍ය භාවිතය ද ප‍්‍රශස්ත මට්ටමක නැහැ. ගිය වසර අගදී කැම්පේන් කරන විටත්, ජනාධිපති ලෙස තේරී පත් වූ පසුවත් මෛත‍්‍රිපාල සිරිසේන සමාජ මාධ්‍ය භාවිත කරන්නේ තොරතුරු හා ඡායාරූප බෙදාහරින්නට මිස පුරවැසියන් සමග සංවාදයට නොවෙයි.

ජනපතිවරණයට පෙර හා පසු සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන සජීව සැසි වාරයක් (Live Q&A) කරන මෙන් අප ඉල්ලා සිටියා. මේ වනතුරු එබන්දක් සිදුකර නැහැ. තම ජයග‍්‍රහණයට උපකාර වූවා යැයි ඔහුම ප‍්‍රසිද්ධියේ පැවසූ මාධ්‍ය හරහා පුරවැසි ප‍්‍රශ්නවලට මුහුණදීමට ජනපති සිරිසේන පැකිළෙන්නේ ඇයි?

වික‍්‍රමසිංහ අගමැති වරයාගේ සමාජ මාධ්‍ය භාවිතය වඩාත් පසුගාමීයි. ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් මේ දිනවල ප‍්‍රචාරක රැුලිවල ඡුායාරූප හා කෙටි වීඩියෝ බෙදා හරිනවා. එහෙත් රටේ ප‍්‍රශ්න ගැන හෝ ප‍්‍රතිපත්ති/විසඳුම් ගැන කිසිදු සංවාදයක් පෙනෙන්නට නැහැ.

සමාජ මාධ්‍ය භාවිතය හරහා දේශපාලන චරිත ප‍්‍රචාරණයට එහා යන තවත් බොහෝ දේ කළ හැකියි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ට අදහස් හා යෝජනා ඉල්ලා ලබා ගත හැකියි. රටේ දැවෙන ප‍්‍රශ්න ගැන (සීරුවෙන් හා ප‍්‍රවේශමෙන්* සංවාද කොට මහජන මතය ගැන දළ හැඟීමක් ලද හැකියි. ඡුන්දදායකයන්ගේ රුචි අරුචිකම්, ප‍්‍රමුඛතා හා අපේක්ෂා ගැන ගවේෂණය කළ හැකියි. ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය හා පිලිපීනය වැනි ආසියානු රටවල දේශපාලකයන් හා පක්ෂ මෙසේ වඩාත් හරවත් හා පුළුල් ලෙසින් සමාජ මාධ්‍ය යොදා ගන්නවා.

සමීක්ෂණවල ආවේණික සීමා

 

මැතිවරණ ආසන්න වන විට මිලියන් ගණන් වැය කරමින් ජනමත සමීක්ෂණ පැවැත්වීම දැන් අපේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවලත් සිරිතක්. බොහෝ විට සොයා ගැනීම් ප‍්‍රසිද්ධියට පත් නොකරන මේ සමීක්ෂණවලින් කැම්පේන් පණිවුඩ හා අවධාරණය කළ යුතු තැන් ආදිය ගැන යම් ඉඟි ලැබෙන බව ඇත්තයි. එහෙත් සමීක්ෂකයන් අසන හැම ප‍්‍රශ්නයකටම ජනයා අවංකව පිළිතුරු නොදෙන නිසා මේ සමීක්ෂණවල ආවේණික සීමා තිබෙනවා.

එයට වඩා විවෘත ලෙස මත දැක්වීමක් සමාජ මාධ්‍ය තුළ කැරෙනවා. මේවා විශ්ලේෂණය කරන මෘදුකාංග හරහා යම් සමුච්චිත ප‍්‍රවණතා සොයා ගත හැකියි. එබඳු විශ්ලේෂණ දැන් වෙනත් රටවල දේශපාලන පක්ෂ සන්නිවේදකයෝ කරනවා. ඒ හරහා කැම්පේන් පණිවුඩ වඩාත් සමාජගත කර ගත හැකියි.
සමාජ මාධ්‍යවල විභවය තේරුම් ගෙන ඇතැයි පෙනෙන ජාතික මට්ටමේ දේශපාලන චරිත දෙකක් නම් මහින්ද රාජපක්ෂ හා චම්පික රණවකයි. ඔවුන්ගේ දේශපාලන මතවාදයන් කුමක් වෙතත්, මෙරට සෙසු දේශපාලකයන්ට සාපේක්ෂව ඔවුන් සමාජ මාධ්‍ය හරහා යම් පුරවැසි පිරිසක් සමග සන්නිවේදනය කරනවා. නිතිපතා නොවූවත් විටින් විට හෝ පුරවැසි ප‍්‍රශ්නවලට සමාජ මාධ්‍ය හරහා පිළිතුරු ද දෙනවා.

ගිය වසරේ මේ දෙපළ පැවැත් වූ ට්විටර් ප‍්‍රශ්නෝත්තර සැසිවලදී දුෂ්කර යැයි සැලකිය හැකි අන්දමේ ප‍්‍රශ්න මා ඉදිරිපත් කළා. රාජපක්ෂ එවන් ප‍්‍රශ්න නොතකා හැර ලෙහෙසි යයි පෙනෙන ප‍්‍රශ්නවලට පමණක් පිළිතුරු දුන්නා. එහෙත් රණවක ආන්දෝලනාත්මක මාතෘකා ගැන පවා තම මතයේ සිට පිළිතුරු සැපයූවා. එම පිළිතුරු ගැන මා සෑහීමකට පත් නොවූවත් ඔහු එසේ සංවාදයේ නියැලීම මා අගය කරනවා.

 

බොරු පුරාජේරු පම්පෝරි කරන්න අමාරුයි

සමාජ මාධ්‍යවල බොරු පුරාජේරු පම්පෝරි කරන්න අමාරුයි. එය භාවිත කරන සමහර පුරවැසියන් ගරුසරු නොවීමට හා සත්‍යවාදී නොවීමට ඉඩ තිබෙනවා. සමහර දේශපාලන කැම්පේන් කරුවන් සංවාදවලට ඉඩ නොදෙන්නේ මේ අවදානම නිසා විය හැකියි.

දේශපාලන රැස්වීම් වේදිකාවක කථිකයකුට ඉඳහිට හූ හඬක් ලැබිය හැකි වුවත් ඉන් ඔබ්බට යන අභියෝග මතු වන්නේ නැහැ. ටෙලිවිෂන් දේශපාලන සංවාදවලත් මෙහෙයවන්නා විසින් යම් සමනයක් පවත්වා ගන්නවා. මෙබඳු තිරිංග නැති සමාජ මාධ්‍ය හරහා දුෂ්කර ප‍්‍රශ්න, අවලාද, බොරු චෝදනා හා අපහාස එල්ල විය හැකියි.

එහෙත් පොදු අවකාශයේ සිටින, මහජන නියෝජිතයන් වීමට වරම් පතන දේශපාලකයන් මෙබඳු මහජන ප‍්‍රතිචාරවලට මුහුණදීමේ හැකියාව හා පරිණත බව සමාජ මාධ්‍ය හරහා රටටම පෙනෙනවා
සමාජ මාධ්‍ය පරිහරණය කරන පුරවැසි අපටත් වගකීම් තිබෙනවා. අප කැමති දේශපාලන පක්ෂයට හා චරිතවලට සයිබර් සහයෝගය දෙන අතරේ යම් සංයමයක් පවත්වා ගත යුතුයි. ප‍්‍රතිවිරුද්ධ මතධාරීන්ට අසැබි ලෙසින් පහර නොගසා තර්කයට තර්කය මතු කළ යුතුයි. එසේම නොකඩවා ගලා එන විවිධ විග‍්‍රහයන් හා රූප වැඩිදුර පතුරුවන්නට පෙර ඒවා වෛරීය දේශපාලනයට අදාළදැයි මඳක් සිතිය යුතුයි.

මෙරට ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි ප‍්‍රවේශ වන්නේ ස්මාට් ෆෝන් හරහායි. ස්මාට්ෆෝන් තිබුණාට මදි. ස්මාට් පුරවැසියන්වීමටත් ඕනෑ! වැඩවසම් ගතානුගතිකත්වය හා වෛරීය ජාතිකත්වය පසු කර නව දේශපාලන සදාචාරයක් බිහි කරන්නට ද අප දායක විය යුතුයි!

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.