19 අංග විකල කිරීම් ගැන රනිල්, මෛත‍්‍රී හා මහින්දට චෝදනා

 01

 

“රනිල්ගේ, මෛත‍්‍රීගේ, මහින්දගේ බල අරගලය 19වන ව්‍යවස්ථා සංශෝධනයට බාධා කළා. රටක ව්‍යවස්ථාව කියන්නේ මූලික නීතියයි. අපි කවුරුත් යටත්. එම නීතියක් සකස් කිරීමේදී මෙම කණ්ඩායම් කටයුතු කළේ තම තමන්ගේ පටු බල වුවමනාවට අනුවය. ඒ නිසා අපි ජනතාවට කියනවා ඔබගේ ජනතා නියෝජිතයන් ඔබ වෙනුවෙන් නීති සකස් කිරීමේදී හැසිරුණේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න කියලා. මෙයම ප‍්‍රමාණවත් නැද්ද මොවුන් ගැන තේරුම් ගන්න…” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (29) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බත්තරමුල්ල පැළවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතාද සහභාගී වූ අතර එහිදී අනුර දිසානායක මහතා අදහස් දක්වමින්…

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතියයි. පවතින ව්‍යවස්ථාවට අපි කැමති වුණත් නැතත් සියලු දෙනා එම නීතියට යටත්. තිබුණු ව්‍යවස්ථාව යම් පුද්ගලයෙකුට ඒකාධිපතිත්වය කරා ව්‍යවස්ථානුකූලව ගමන් කිරීමට ඉඩ හදලා තිබුණා. අපේ රටේ ව්‍යවස්ථාවට ඉදිරිපත් වුණු 17වැනි සංශෝධනය හැර ඉතිරි සියළු සංශෝධන ඒකාධිපති බලතල වැඩිකළා පමණක් නොව ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝණය කළා. පළමු වතාවට 18වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ පාර්ලිමේන්තුවකම 19 සම්මත කරගැනීමට හැකිවුණා. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්දයෙන් මතුවෙලා තියෙන ගැටලුවට හේතුව ව්‍යවස්ථාවේ තිබෙන නීතිමය ප‍්‍රතිසංස්කරණ පමණක් නොවේ. අපේ රටේ නීතිය දණ්ඩ නීති සංග‍්‍රහය, අපරාධ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, අල්ලස් කොමිෂන් සභා පනත වැනි නීතිවලින් උසස් තැනක තිබෙනවා. නමුත් කි‍්‍රයාත්මක වීමේදී ආර්ථික, සමාජ ප‍්‍රතිපත්තීන් එයට බාධා කරනවා. එනිසා ව්‍යවස්ථාවට සිදුකරන ප‍්‍රතිසංස්කරණ සහ සංශෝධනවලින් පමණක් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න බැහැ. ඒ සඳහා සමාජ ආර්ථික දේහයේ පුළුල් පරිවර්තනයක් අවශ්‍යයයි. ඒ අතරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ දිශාවට ගෙනෙන සංශෝධන රටටත් ජනතාවටත් ඉතා වැදගත්.

පසුගිය ජනවාරි 08වැනිදා ජනවරම ලැබුණේ අන් කවරදාටත් වඩා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, රටේ නිදහස ගැන විශාල සාකච්ඡාවක් මැතිවරණයේදී සිදුවුණු නිසයි. එනිසා ජනවරම ලද මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගෙත් ආණ්ඩුවේ අගමැති වූ රනිල් වික‍්‍රමසිංහ මහතාගේත් ප‍්‍රධාන වගකීම වුණා, නීතිමය ප‍්‍රතිසංස්කරන සඳහා දායක වීම. 19වැනි සංශෝධනය මෙතෙක් අපේ රටේ ව්‍යවස්ථාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට දායකවූ වැදගත්ම සංශෝධනයක්. මහින්ද රාජපක්‍ෂ තම බල වුවමනාව වෙනුවෙන් පවුලේ බලය වෙනුවෙන් මාර්ග සිතියමක් හදලා තමන්ට නොතිබුණු පාර්ලිමේන්තුවේ 2/3ක් මන්තී‍්‍රවරුන්ට අල්ලස් දීලා හදාගෙන 18වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. එනිසා 2/3න් සම්මත වුණත් 18වන සංශෝධනය සුජාත නැහැ. විවිධ අල්ලස්දීම්, කප්පම්දීම්, බියගැන්වීම් හරහා තමයි එය සිදුකළේ. 1978 සකස් කළ ව්‍යවස්ථාවට ගෙනා ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී සංශෝධනයක් තමයි 18 කියන්නේ. එය මුළුමනින්ම අහෝසි කරන්න 19වැනි සංශෝධනය සමත් වුණා.

 

 

[vsw id=”/rocRRAFtPeU” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

 

අපේ රටේ ව්‍යවස්ථාවේ විකෘති තත්වයක් තිබුණා. ජනවරමින් බලයට පත්කළ ජනාධිපතිවරයාත් එවැනිම ජනවරමකින් පත්වන පාර්ලිමේන්තුවකුත් තිබෙනවා. එසේ ජනවරමකින් පත්වන පාර්ලිමේන්තුව ජනවරමකින්ම පත්වන ජනාධිපතිවරයාට විසුරුවන්න බලයක් ලබාදී තිබෙනවා. ජනවරමක් තවත් ජනවරමකින් යටපත් කරන්නේ කොහොමද? එය යුක්තිසහගත නැහැ. ජනාධිපතිවරයාට එවැනි බලයක් තිබිය යුතු නැහැ. 1978 සිට ඊයේ (28) වනතෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව යට කිරීමේ බලයක් තිබුණා. පාර්ලිමේන්තුව තේරී පත්වී අවුරුද්දක් ගතවූ පසු විසුරුවන්න ජනාධිපතිට පුළුවන්. එය විකෘති තත්වයක්. ඒවගේම පහුගිය කාලයේ චෝදනාවක් එල්ල වුණා පොලීසිය, අධිකරණය වැනි ආයතන දේශපාලනීකරණය වුණා කියලා. රටේ පාලකයින් අල්ලස් කොමිසම තමන්ට හීලෑ නැති අය දඩයම් කිරීමට භාවිතා කළා. විගණකාධිපති දෙපාර්තමේන්තුව පාලකයින්ගේ වුවමනාවට භාවිතා වුණා. එය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බරපතළ හානියක්. අගවිනිසුරුවරයා, පොලිස්පතිවරයා,විගණකාධිපතිවරයා, අල්ලස් කොමිසමේ සභාපතිවරයා, පාර්ලිමේන්තු ලේකම්, කොමිසන් සභා සියල්ල පත්කරන්නේ ජනාධිපතිවරයා නම් ඒවා සියල්ල දේශපාලනය විසින් ගිලගන්නවා. එයට දැඩි විවේචනයක් පසුගිය කාලයේ තිබුණා. එවැනි බලයක් ලබාදුන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්මයි. එම බලය 19න් ඉවත්කර තිබෙනවා. එය වැදගත් පියවරක්. අගවිනිසුරු ඇතුළු විනිසුරු මණ්ඩල පත්කිරීම, අභියාචනාධිකරණ සභාපති පත්කිරීම, පොලිස්පතිවරයා පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවක් වෙත පැවරී තිබෙනවා. තනි පුද්ගලයෙක් සිදුකරනවා වෙනුවට ජනපතිගේ නියෝජිතයෙක්, අගමැතිවරයා, විපක්ෂනායකවරයා,කතානායකවරයා, පාර්ලිමේන්තුව නියෝජනය කරන කුඩා පක්ෂවල නියෝජිතයෙක්, අගමැති සහ විපක්ෂ නායක නම්කරන පස්දෙනෙක් සහිත දහදෙනෙක්ගෙන් යුත් මණ්ඩලයක් මෙම පත්කිරීම් සිදුකරනවා. ජනාධිපතිවරයාට ලබාදී තිබූ විවිධ තනතුරු පත්කිරීමේ බලය ස්වාධීන මණ්ඩල හරහා පත්කරන්න අවස්ථාව උදාකර දී තිබෙනවා.

පොලීසියේ බඳවාගැනීම්, උසස්වීම්, මාරුකිරීම්, රාජ්‍ය සේවයේ බඳවාගැනීම්, උසස් කිරීම්, මාරු කිරීම් සියල්ල දේශපාලනයට යට කර තිබුණා. එනිසා තමයි සමහර මන්තී‍්‍රවරු තමන්ගේ පළාතේ ඕ.අයි.සී.ට “මගේ  ඕ.අයි.සී.” කියලා කියන්නේ. හරියට තමන් හදලා වඩලා පොලීසියට බඳවලා ඕ.අයි.සී කළා වගේ දේශපාලනඥයින් කථා කරනවා. එසේ දේශපාලනයට යටකරලා තිබුණු මන්තී‍්‍රවරයා අතේ තිබුණු පොලීසියේ මාරු කිරීම, උසස් කිරීම, ස්වාධීන කොමිසමක් යටතට පත්කළා. කොමිසම නිසාම පොලීසිය ස්වාධීන වේ යැයි අපි කියන්නේ නැහැ. නමුත් ස්වාධීනව වැඩකරන පොලිස් නිලධාරීන්ට නීතිමය ආවරණයක් හැදුවා. ස්වාධීනව වැඩකරන්න කැමති රාජ්‍ය සේවකයින්ට ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමෙන් නීතිමය ආවරණයක් සකස් කර දෙනවා. එසේ ආවරණයක් නොතිබුණු නිසා තමයි බැසිල් රාජපක්‍ෂ එක්ක අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්‍ෂ ජනරාල් හිරේට යන්නේ. මුදල් රෙගුලාසි, පරිපාලන රෙගුලාසිවලට අදාල නැතත් ඇමතිගේ කැමැත්ත අනුව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩකළ යුතුයි. එවිට ඇමතිවරයා සමඟ ලේකම්වරයාත් හිරේ යනවා. එම දේශපාලන බලපෑමෙන් රාජ්‍ය සේවාව මුදා ගැනීමට ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම 19න් ස්ථාපිත කරදෙනවා.

අගවිනිසුරු පත්කිරීම, නෙරපා හැරීම, පසුගිය කාලය තුළ අපිට දක්නට ලැබුණා. ලංකාවේ පළමු වතාවට රාජපක්ෂ පාලනය විසින් බැංකු සභාපතිවරයෙක් අගවිනිසුරු පුටුවේ වාඩි කළා. ජනාධිපතිවරයාට හිතුනොත් තමන්ගේ ප‍්‍රධාන ආරක්‍ෂකයා අගවිනිසුරු පුටුවේ වාඩි කරන්න බලයක් තිබුණා. එම බලය ජනාධිපතිවරයාගෙන් ගලවලා ව්‍යවස්ථාදායක සභාවට පවරා ගත්තා. ස්වාධීනව වැඩකරන්න විනිසුරුවරුන්ට ඉඩ සකස්කර දුන්නා. එනිසා 19 ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගත්තාම සුවිශේෂී ජයග‍්‍රහණයක්. 19සංශෝධනය සකස් කරන්න පටන් ගත් වෙලේ සිට ජවිපෙ සියලු සාකච්ඡාවලටම සහභාගි වුණා. ව්‍යවස්ථාව සම්මතවීම වැළැක්වීමට විවිධ පිරිස් කුමන්ත‍්‍රණ කරපු හැම වෙලේම එහි පිටුපස සිටින්නේ ජනාධිපතිවරයාද අගමැතිවරයාදැයි නොසළකා කුමන්ත‍්‍රණය වැළැක්වීමට පරාජය කිරීමට කටයුතු කළා. අවසාන මොහොත වනතුරු 19 සම්මත කිරීම පිළිබඳව එකඟතාවයට එන්න ප‍්‍රධාන පක්‍ෂ දෙකට බැරිවුණා.

ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි 19 පිළිබඳව ජනතාව දැනුවත් කරන්න සාකච්ඡා, සම්මන්ත‍්‍රණ වගේම උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග ගත්තා. 19 සම්මත කරන්න අපගේ උපරිම දායකත්වය ලබාදුන්නා. ඒවගේම තවත් දේශපාලන පක්‍ෂ සිවිල් සංවිධාන, පුරවැසියන්, හාමුදුරුවරුන්, මාධ්‍යවේදීන්, 19 සාර්ථක කරගන්න මැදිහත් වුණා. ඒසියලු දෙනාට අප ස්තුතිවන්ත වෙනවා. මෙම සංශෝධනය මීට වඩා රටටත් ජනතාවටත් යහපත් කරගන්න අවස්ථාවක් තිබුණා. නමුත් එම අවස්ථාව ඇතැම් පිරිස් හිතාමතාම වැළැක්වුවා. මීළඟ ජනාධිපතිවරයා, අගමැතිවරයා වෙන්නේ කවුද කියලා හිතලා ව්‍යවස්ථා සංශෝධන හදන්න පුළුවන් කමක් නැහැ. එජාප නායකයා කි‍්‍රයා කළේ මීළඟ අගමැතිවරයා වෙන්නේ තමන් කියලා හිතලා. ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රී පිළ මහින්ද පිළ තම තමන්ගේ බලය තහවුරු කරගන්න මෙම ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රයෝජනයට ගත්තා. ශ‍්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාවේ සමුළුවේ විධායක සභාවේ බල පොරයක් තිබෙනවා. එම නිසාම 19 මීට වඩා යහපත් සංශෝධනයක් බවට පත් කරගන්න බැරි වුණා. මෛත‍්‍රීපාල හිතුවා තමන්ට තිබෙන විධායක බලයෙන් කොටසක් හරි ඉතිරි කරගෙන මහින්ද පිළ පරද්දන්න පුළුවන් කියලා. නිමල් සිරිපාල, සුසිල්, අනුර යාපා ඒ  වෙනුවෙන් පෙනී සිටියා. මහින්ද පිළ හිතුවා මේ පාර්ලිමේන්තුවේ කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුව අරාජිකයි කියලා පෙන්නවන්න. ඒනිසා ඔවුන් පාර්ලිමේන්තුවේ නොනිදා හෝ නිදාගෙන උපවාස කළා. පාර්ලිමේන්තුව අස්ථාවරයි කියලා මතයක් හදලා අස්ථාවර රට ස්ථාවර කරන්න මහින්ද ඕනෑ කියලා මතයක් හදන්න උත්සාහ කළා. මේ බල පොරය නිසා 19 මීට වඩා යහපත් කරගන්න තිබූ අවස්ථාව අහිමි වුණා.

19 සංශෝධනය ව්‍යවස්ථාදායක සභාවක් යෝජනා කළා. එම සභාවෙන් තමයි ස්වාධීන කොමිෂන් සහ තනතුරු පත් කරන්නේ. 10 දෙනෙක්ගෙන් යුතු ව්‍යවස්ථාදායක සභාව කතානායක, අගමැති, විපක්ෂ නායක හැරුණු විට සිවිල් පුරවැසියන් හත් දෙනෙක්ගෙන් සමන්විත වෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන වීමට නම් ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන විය යුතුයි. නමුත් මහින්ද පිළ වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන පෙනී සිටියේ සාමාජිකයන් දහ දෙනාම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විය යුතුයි කියලා. පාර්ලිමේන්තු බලය සිවිල් පුරවැසියන්ට දෙන්න බැහැ කියලා ඔහු තර්කයක් ගෙනාවා. ඒක වැරදි අදහසක්. බලය තිබුණේ විධායකයට. එවැනි බලයක් විද්වත් මණ්ඩලයකට දුන්නාම මොකද වෙන්නේ? දහ දෙනාම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වුණාම එම මණ්ඩලයත් මුළුමනින්ම දේශපාලනීකරණය වෙනවා. නමුත් මහින්ද පිළ දිගින් දිගටම එම සංශෝධනයට බාධා කළා. අවසානයේදී  මන්ත‍්‍රීවරුන් හතයි සිවිල් පුරවැසියන් තුනයි කියලා යෝජනා කළා. දිනේෂ් ගුණවර්ධන කීවා මන්ත‍්‍රීවරුන් හා සිවිල් පුරවැසියන් එක සමානව වාඩි වෙන්න බැහැ කියලා. 19 වන සංශෝධනය සම්මත වීම වැළැක්වීමට මේ ආකාරයේ කඩාකප්පල් කාරී කුමන්ත‍්‍රණ විශාල වශයෙන් දියත් වූණා. මහින්ද රාජපක්ෂ තමන්ගේ සහචරයින්ට උපදෙස් ලබාදුන්නා.

අප සාකච්ඡාවකදී එකඟ වුණා 19ට ලබාදෙන සංශෝධන සාකච්ඡා කරළා එකඟ විය හැකි ඒවා පමණක් සම්මත කරමු කියලා. නමුත් කාරක සභා අවස්ථාව ඉතා විහිළු කාරී තත්වයක් උද්ගත වුණා. වගන්තියෙන් වගන්තියට සංශෝධන ගෙනාවා. මුලින් උත්සහ කළා 19 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීමට. දෙවැනිවර ඡන්දය වැළැක්වීමට උත්සහ කළා. ඉන්පසුව කාරක සභා අවස්ථාව වළක්වන්න උත්සහ කළා. වැදගත් සංශෝධනයක් තිබුණා පක්ෂ මාරුව වැළැක්වීම ගැන. යම් මන්ත‍්‍රීවරයෙක් පක්ෂයෙන් ඉවත්කළ හොත් ඔහුගේ මන්ත‍්‍රී ධූරය අහෝසි වෙනවා. නමුත් එම මන්ත‍්‍රීවරයාට අසාධාරණයක් වෙනවානම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. මාස දෙකකින් තීන්දුවක් ලබාදෙනවා. නමුත් මහින්ද පිළ එම සංශෝධනයට විරුද්ධ වුණා. අගමැතිවරයා එම සංශෝධනයට ඡන්දයක් අවශ්‍ය නැහැ කියූ නිසා එම සංශෝධනය සම්මත කරගන්න බැරි වුණා. තවත් සංශෝධනයක් තිබුණා වසරක් ගිය පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට හැකි බලය අහෝසි කිරීම සඳහා. දිනේෂ් ගුණවර්ධන එයට විරුද්ධ වුණා. ඔහු කිව්වා එම බලය ජනාධිපතිට ඕනෑ කියලා. දිනේෂ් ගුණවර්ධනගේ පියා පිලිප් ගුණවර්ධන රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විශාල හඬක් නැගුවා. ඔහුගේ පුත‍්‍රරත්නය කෑගහනවා ජනාධිපතිට බලය ඕනෑ කියලා. මේ වගේ විකෘති සංශෝධන මහින්ද රාජපක්ෂ පිල විසින් ගෙනාවා. විටෙක පාර්ලිමේන්තු බලය ගැන කතා කරන දිනේෂ් ගුණවර්ධනලා විටෙක ජනාධිපතිවරයාගේ බලය ගැන කතා කරනවා. ශ‍්‍රිලනිපයේ බල අරගලයේ ප‍්‍රතිඵලයක් විදියට තමයි 19වන සංශෝධනය කඩාකප්පල් කිරීමේ වුවමනාව ඇති වෙන්නේ. මහින්ද පිළට අවශ්‍ය වුණේ 19ය පරාදයි කියලා ප‍්‍රවෘත්තිය පළ කර ගැනීමටයි.

රනිල්ගේ, මෛත‍්‍රීගේ, මහින්දගේ බල අරගලය 19වන ව්‍යවස්ථා සංශෝධනයට බාධා කළා. රටක ව්‍යවස්ථාව කියන්නේ මූලික නීතියයි. අපි කවුරුත් යටත්. එම නීතියක් සකස් කිරීමේදී මෙම කණ්ඩායම් කටයුතු කළේ තම තමන්ගේ පටු බල වුවමනාවට අනුවය. ඒ නිසා අපි ජනතාවට කියනවා ඔබගේ ජනතා නියෝජිතයන් ඔබ වෙනුවෙන් නීති සකස් කිරීමේදී හැසිරුණේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න කියලා. මෙයම ප‍්‍රමාණවත් නැද්ද මොවුන් ගැන තේරුම් ගන්න. ජනතාව කෝටි දෙකක් ඉන්නවා. ඔබ විසින් ඡන්දය දීලා ජනතාව වෙනුවෙන් නීති හදන්න පාර්ලිමේන්තුවට නියෝජිතයින් 225ක් එවනවා. කොළඹ ජනතාව දිනේෂ් ගුණවර්ධනට, කැළණියේ ජනතාව මර්වින්ට, ගාල්ලේ ජනතාව මුතුහෙට්ටිට කතිරය ගහලා එවන්නේ තමන් වෙනුවෙන් නීති හදන්න කියලා. ජනතාව වෙනුවෙන් නීති හදන්න එන ජනතා නියෝජිතයින් කටයුතු කරන්නේ තම තමන්ගේ බල වුවමනාවට අනුවයි. 19 සකස් කරන්න මුලපිරූ දවසේ සිට ඊයේ රාත‍්‍රී 11වන තෙක් අපි පාර්ලිමේන්තුවේදී දැක්කා මේ රටේ දෙශපාලනය කොයිතරම් මජරද කියලා. රටේ මූලික නීතියවත් තමන්ගේ දේශපාලන කෝණයෙන් වියුක්ත වෙලා බල අරගලයෙන් වියුක්ත වෙලා සාකච්ඡා කරන්න බැරි සභාවක් මේ රටේ ගොඩනැගිලා තිබෙනවා. ජනතාවට කියනවා මේ වගේ සභාවක් අපි නඩත්තු කළ යුතු නැහැ; මේ වගේ සභාවක් යළි පත්කරගත යුතුත් නැහැ. මෙවැනි පාර්ලිමේන්තුවක් තවදුරටත් රටට ඕනද?

ව්‍යවස්ථාවේ ප‍්‍රතිසංස්කරණ, නීති රෙගුලාසි නීතිපොත්වල, කඩදාසිවල පමණක් තිබෙන ලියවිලි විය යුතු නැහැ. ජනතා බලයක් මගින් නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. නීතියත් ව්‍යවස්ථාවත්, එය කි‍්‍රයාත්මක කිරීමට තිබෙන ආයතනත් බලය තහවුරු කිරීමට බලයක් ගොඩනැගිය යුතුයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ජනතාවගේ නිදහසත්, නීතියේ විධානයේ ආධිපත්‍යයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් පුළුල් ජනතා බලයක් ගොඩනැගීමයි අපේ අරමුණ වී තිබෙන්නේ.”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.