20 පස්සට

header-logo.4116bd8c6d45

නව මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 සිට 255 දක්‌වා වැඩි කළ යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධව පක්‍ෂ අතර පරස්‌පර මත පළවීමත්, මෙතෙක්‌ අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීමත් හේතුවෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දේශපාලන පක්‍ෂ අතර පුළුල් සාකච්ඡා පැවතියද මන්ත්‍රී සංඛ්‍යාවට වැඩි කිරීමේ යෝජනාවට පක්‍ෂ රැසක්‌ විරෝධය පළකර තිබේ.

මේ අනුව විසිවැනි සංශෝධනය සම්බන්ධව එකඟතාවක්‌ ඇතිකර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද තවදුරටත් ප්‍රමාද වනු ඇති බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ‘දිවයින’ට පැවැසීය.

උද්ගතව ඇති තත්ත්වය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවම වශයෙන් මාස තුනක්‌වත් ගතවනු ඇති බව හෙතෙම කීය.

නව මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම සහ 20 වැනි සංශෝධනය සම්මත කර ගන්නා ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ කිහිපයක නියෝජිතයන්ගෙන් ‘දිවයින’ විමසා සිටියද මේ සම්බන්ධව ඔවුහු පරස්‌පර අදහස්‌ පළ කළහ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 225 සිට 255 දක්‌වා වැඩි කිරීම මැතිවරණ කොමසාරිස්‌වරයාගේද එකඟත්වය මත ගත් කාලෝචිත තීන්දුවක්‌ බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

දැනට රටේ ක්‍රියාත්මක මැතිවරණ ක්‍රමය සකස්‌ කරන විට රටේ ජනගහනය ඉතා අඩුමට්‌ටමක පැවැති බවත් මේ වන විට එම පදනම කිහිප ගුණයකින්ම වැඩි වී තිබෙන බවත් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි නොකර සිටිය නොහැකි බවත් හෙතෙම කීය.

මෙය රටේ ආර්ථිකයට බරක්‌ බව ඇතැම් අය ප්‍රකාශ කළද එය කිසිසේත් බරක්‌ නොවන බව පෙන්වා දෙන නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනතා විමුක්‌ති පෙරමුණ වැනි පක්‍ෂ කෑගහන්නේ මේ ක්‍රමය යටතේ ඔවුන් නන්නත්තාර වන නිසා යෑයිද හෙතෙම පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 සිට 255 දක්‌වා වැඩි කිරීම තුළින් රටේ ආර්ථිකයට දැරිය නොහැකි තවත් බරක්‌ එකතුවන බැවින් එක්‌සත් ජාතික පක්‍ෂය කිසිලෙසකින්වත් එම යෝජනාවට එකඟ නොවන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ඉන්දියාව වැනි විශාල භූමියක්‌ ඇති ජනගහනය කෝටි 121 පමණ වන රටකද පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 543 කට සීමාකරගෙන තිබෙනවා නම් ජනගහනය අඩු ලංකාව වැනි රටකට මන්ත්‍රී සංඛ්‍යාව අඩුකරගත නොහැක්‌කේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.

මන්ත්‍රීවරු වැඩි කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තු නියෝජනය කරන පක්‍ෂ රැසක්‌ විරෝධය පළකර තිබෙන බව සිහිපත් කළ කිරිඇල්ල මහතා මේ ගැන කඩිනමින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට කැමැති ආණ්‌ඩුවක්‌ බලයට පත්කර ගැනීමට අවස්‌ථාව සලසා දිය යුතු බව අවධාරණය කළේය.

අද කළ යුතුව ඇත්තේ තවදුරටත් රට අරාජික තත්ත්වයට තල්ලු කරමින් නොසිට මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම හෝ අඩු කිරීම සම්බන්ධව පක්‍ෂ අතර එකඟතාවක්‌ ඇතිකර ගෙන විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීම බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

පසුගිය කාලයේ සිදුකළ පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට අනුව එම ආයතනවලට මන්ත්‍රීවරු 5000 පමණද පළාත් සභාවලට මන්ත්‍රීවරු 450 ද වශයෙන් පත්වන බවත් නව සංශෝධනය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 සිට 255 දක්‌වා වැඩි කෙරෙන බවත් මෙම ක්‍රියාමාර්ගවලින් ජනතාවට හෝ රටට කිසිදු සෙතක්‌ සැලසෙන්නේ නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

දැනට සිටින මන්ත්‍රීවරු සංඛ්‍යාව 5 හෝ 10 කින් වැඩිකර ගත්තාට ගැටලුවක්‌ නැති බව පවසන ඒ මහතා රටක ප්‍රතිපත්ති සම්පාදනයේදී හැම විටම රටේ සහ ජනතාවගේ යහපත ගැන බැලිය යුතු බව පෙන්වා දුන්නේය.

මැතිවරණ ක්‍රමය සම්බන්ධව මතුව තිබෙන ගැටලු කඩිනමින් විස¹ගෙන වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයකට යා යුතු බව පවසන ඒ මහතා එසේ නොවුණහොත් රට දැවැන්ත අර්බුදයක්‌ කරා තල්ලුවීමේ අවදානමක්‌ මතුව තිබෙන බව වැඩිදුරටත් කීය.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව පත්කරන ලද තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස වසර ගණනාවක්‌ කටයුතු කළ තමා මුලින්ම මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරනවාට විරෝධය පළකළ මහජන නියෝජිතයා බව මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමට අමතරව විසිවැනි සංශෝධනයේ තවත් ගැටලු රැසක්‌ තිබෙන බවත් ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර තීන්දු තීරණවලට එළැඹිය යුතු බවත් හෙතෙම කීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යැමට ඇතැම් පාර්ශ්වවලට වුවමනාව තිබුණද මෙවැනි ව්‍යවස්‌ථා සංශෝධන කිසි ලෙසකින්වත් කඩිමුඩියේ සිදු නොකළ යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසිවැනි සංශෝධනය ගැන බෙරිහන්දී ඇතැම් අය කතා කළාට මේ වන තෙක්‌ තමන් එහි අවසාන කෙටුම්පත දැක නැති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි නොකර මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට අදාළ ක්‍රමවේදය ක්‍රියාවට නැංවිය නොහැකි බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවැසීය.

දැනට පවතින මනාප ක්‍රමය වෙනස්‌ කර කොට්‌ඨාස ක්‍ර්‍රමයට යැමේදී මන්ත්‍රී සංඛ්‍යාව වැඩි නොකළොත් කුඩා පක්‍ෂවලට හා ජනවර්ග නියෝජනය කරන පක්‍ෂවලට බලවත් අසාධාරණයක්‌ සිදුවන බවත් ඒ අනුව සියලු කරුණු කාරණා සාකච්ඡා කර මැතිවරණ කොමසාරිස්‌වරයා පවා දැනුවත් කර මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකිරීමට යෝජනා කළ බවත් පැවැසීය.

මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවීම රටට බරක්‌ වනු ඇතැයි ජනතාව කිසිවිටකත් විශ්වාස නොකරන බව පෙන්වා දෙන ඒ මහතා ජනතාව හැම විටම ඉල්ලා සිටියේ ඇමැති සංඛ්‍යාව වැඩි නොකරන ලෙස යෑයි වැඩිදුරටත් කීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!