Art:කලාකරුවාට බලය ලැබෙන එක භායානකයි-ප්‍රසන්න

 

praasa

 

දේශීය සිනමාව කෙරෙහි ආසක්ත වූ කිසිවකුටත් ප්‍රසන්න විතානගේ කවුරුන් දැයි හඳුන්වා දිය යුතු නැත. ඒ ඔහු මෙරට කලාත්මක සිනමා ධාරාවේ හතර මායිම් පුළුල් කළ අපේ කාලයේ විප්ලවකාරී සිනමාවේදියකු වන බැවිණි.

 

ජාත්‍යන්තරය වෙත අපේ සිනමාව ගෙන යන්නට සිහන මවන, ජාත්‍යන්තරයට ඔබින චිත්‍රපට නිර්මාණය කළ බවට පුරසාරම් දොඩන අධ්‍යක්‍ෂවරුන්ට වඩා ප්‍රසන්න විතානගේ ප්‍රායෝගික මිනිසෙකි. එය එසේ වන්නේ ඔහු දේශීය සිනමාව ජාත්‍ය්තරයට ඔසවා තැබූ හා එසේ ඔසවා තබන්නට මේ මොහෙතේ පවා කැපවී සිටින මුල් පෙළේ සිනමාකරුවකු වන නිසාය.

 

සිය සිනමා ප්‍රකාශනයේදී ඔහුගේ ඒකායන අරමුණ වඩාත් යහපත් සමාජයක් උදෙසා ජනතාව පෙළගැස්වීම හා ඔවුන් ඥානනය කිරීමයි. සිනමාව හරහා මිනිස් ජීවිතය විනිවිද දුටු අපේ කාලයේ අපූර්වතමයා වන ප්‍රසන්න අද මෙලෙස සරසවිය හා එක්වන්නේ සිනමාව පිළිබඳ මෙන්ම ඒ හා සබැඳි වෙනත් කාරණා අරබයා සිය මතවාද ගෙන හැර පෑම සඳහාය.

 

පසුගිය කාලේ ඇති වූ දේශපාලන පෙරළියත් සමඟ අපේ මුළු සමාජ දේහයම කිසියම් පරිවර්තනයකට ලක් වී තිබෙනවා. මට හිතෙන විදිහට මෙය එක්තරා සංක්‍රාන්ති සමයක්. කලාකරුවකු හැටියට මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

 

ඔබ කිව්වා වගේ මේ මොහොත සමාජ ප්‍රතිසංස්කරණයක් නැතිනම් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තු වෙන මොහොතක්. පුරවැසියන් හැටියටත් කලාකරුවන් හැටියටත් අපි ඒ ගැන අවදියෙන් ඉන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙක් පත්කරලා, තොරතුරු දැනගැනීමේ පනත ගෙනෙන අතරම අනෙකුත් සුබවාදී දේවල් ක්‍රියාත්මක වෙන වෙලාවක් මේ. කිසියම් අවකාශයක් නිර්මාණය වී තිබෙනවා මේ මොහොතේ ඒ සඳහා.

 

ඔබ ප්‍රමුඛ කලාකරුවන් පිරිසක් සහයෝගය ලබා දුන්නා මේ වෙනස ඇති කරන්නට?

 

කලාකරුවාගේ කාර්යභාරය ආණ්ඩු පත්කිරීම නොවේ. ඒ වගේම කලාකරුවො ඉන්නෙ ආණ්ඩු ආරක්‍ෂා කරන්නත් නෙවෙයි. මගෙ හැඟීම අනුව සැබෑ කලාකරුවා හැමදාම ඉන්නේ විපක්‍ෂයේ. කලාකරුවා කියන්නේ පවතින තත්ත්වයට එහායින් ගිය වඩා හොඳ ජීවිතයක්, වඩා හොඳ සමාජයක් හැමදාම ප්‍රාර්ථනා කරන කෙනෙක්. තමන්ගේ නිර්මාණ හරහා එවැනි ජීවිතයක් ප්‍රාර්ථනා කරන කෙනෙක්. එතනදි මම හිතන්නේ එයාට බෑ කිසිම දේශපානල පක්‍ෂයකට ගැති වෙන්න.

 

හැමදාම, හැමතැනම පැවැති රජයන් එක්ක කලාකරුවන් යම්, යම් අරගල කළා?

 

ඔව්, ආණ්ඩුවක් වැරදි කරනවානම් ඒ ආණ්ඩුව විවේචනය කරන්න කලාකරුවාට හැකියාව තිබිය යුතුයි. සමහර රජයන් පත් කරන්න කලාකරුවො වෙහෙසෙනවා. ඊට පස්සෙ ඒ රජයෙන් සිදුවන වැරදි පෙන්වා දෙන්න ඔවුන්ට බෑ. දන්නෙම නැතිව ඊට පස්සෙ කලාකරුවන් ආණ්ඩු ගැත්තන් බවට පත් වෙනවා.

 

දැන් ඔබට එහෙම ආණ්ඩුවක් විවේචනය කරන්න හැකියාව තිබෙනවා ද?

 

අනිවාර්යයෙන්ම. ඔබ අනාගතයේදී ඒ ගැන බලන්න. මෙතනදි මෙහෙම දේවල් තියෙනවා. එකක් තමයි නිර්මාණකරුවාට නිදහසේ තමන්ගේ නිර්මාණ කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම. විශේෂයෙන්ම පසුගිය රජය සමඟ සිනමා ශිල්පීන් වගේම බෙදා හරින්නන්, සිනමාහල් හිමියන් සාකච්ඡා කළේ අපේ සිනමාව ඩිජිටල්කරණය කිරීම පිළිබඳ. මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලෙකම් චරිත හේරත්, චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති අශෝක සේරසිංහ ඇතුළු පිරිස මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න සක්‍රීයව මැදිහත් වුණා.

 

එහෙම සක්‍රීය දායකත්වයක් තිබුණත් ඩිජිටල්කරණය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් වුණේ නෑ?

 

හරියට හරි. ඒක තමයි කාරණය.

2202633667_7ba59f191b

ඇයි එහෙම වුණේ?

 

ඔව්, එහෙම සක්‍රීය මැදිහත් වීමක් තිබිලත් මෙය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වුණේ නෑ. නමුත් කිසියම් වූ විදිහක නිර්දේශ ගෙනෙන මට්ටමකට මේ රටේ චිත්‍රපට බෙදා හරින සමාගම්, මණ්ඩල තුනක් යටතේ චිත්‍රපට බෙදාහරින්නට කැමැත්ත පළ කළා. ඒ කියන්නේ චිත්‍රපට බෙදාහැරීම විධිමත් කරන්න. ඒ වගේම ඩිජිටල්කරණයට කැමැත්ත පළ කළා.නමුත් වසර දෙකක කාලයක් පුරා අපි ෂෝට්ඊට්ස් කමින්, දැඩි සේ සීනි සහිත තේ බොමින් කාලය ගත කළා හැරෙන්නට නිර්දේශ ක්‍රියාත්මක වුණේ නෑ. ඒ වගේම 2014 වසරේ ජනවාරි මාසේ මේක ගැසටි නිවේදනයක් මඟින් තහවුරු කළා කියලා පැවති රජය සිනමාකරුවන් මුලා කළා. නමුත් බලපුවාම එය ඇත්තටම ගැසට් නිවේදනයක් නෙවෙයි කෙටුම්පතක්.

 

පසුගිය රජය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නිවැරැදි දැක්මක් සහිතව ක්‍රියා නොකළ බවද ඔබ ඔය කියන්නේ?

 

සිනමා ශිල්පීන් ගේ සංසදය, මේ ගැටලුවට නිසි විසඳුමක් ඉල්ලා පා ගමනක් පවා ගියා. අර කෙටුම්පත ගෙනැල්ලා අපිට රාත්‍රී භෝජන සංග්‍රහයක් දුන්නා. දැන් මේකෙන් කාටද පාඩු වුණේ. අද අපේ කලාපයේ මම මේ කතා කරන්නේ දකුණු ආසියාතිකකලාපයේ බොහෝ රටවල්වල සිනමාව ඩිජිටල්කරණය වෙලා ඉවරයි. ඉන්දියාවේ සියයට අනූ ගාණක් වෙලා ඉවරයි. දෙමළ චිත්‍රපට පෙන්නීම සඳහා අපේ රටේ ඒ දමිළ චිත්‍රපට පෙන්වන සිනමාශාලා ඩිජිටල්කරණය කරන්නට සිදුවුණා ඒ සිනමාශාලා හිමියන්ට. නමුත් සෙසු සිනමාහල් එහෙම වුණේ නෑ.

 

ඇත්තටම වරද කාගෙද?

 

මම ඇඟිල්ල දිගු කරන්නේ පසුගිය රජයේ සිනමාව සම්බන්ධ තීන්දු ගත්ත ඉහළම නිලධාරීන්ට. මැතිවරණ සමයේත් මම මේක කියලා තියෙනවා. දැනුත් කියනවා. අවසානයේ අපේ සිනමා කර්මාන්තය විධායකය විසින් සහ අමාත්‍යවරයා විසින් රැවටීමට ලක් කළා. ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයා සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා. මොකද ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේයි චිත්‍රපට සංස්ථාව තිබෙන්නේ.

 

එතකොට ඔබ පවා ඒ රැවටීමට ලක් වුණා?

 

නෑ, එදා අරලියගහ මන්දිරයේ තිබුණ ඒ රාත්‍රී භෝජන සංග්‍රහයට මම සහභාගි වුණේ නෑ. මොකද අපි කිහිපදෙනෙක් දැනගෙන හිටියා මේ කරන්න යන්නේ රැවටිල්ලක් කියන එක.

 

කොහොමද දැන ගත්තේ?

 

දැන් මේ කඩිමුඩියේ සංස්ථා පනත සංශෝධනය නොකර කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කළාම ප්‍රශ්නය විසඳෙන්නේ නෑනේ. එයින්ම අපි තේරුම් ගත්තා මේක නිකං රැවටිල්ලක් විතරයි කියලා.

prassan

ඔය ඩිජිටල් සිනමාව ගැන කතා කරපු සමහර නළු, නිළියන් ඇතුළු සිනමා ශිල්පීන් ඇත්තටම දන්නේ නෑ මොකක්ද මේ ඩිජිටල් කතන්දරය කියලා. 2ම්, 4ම් කියනවා විතරයි?

 

ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටවන කොට සිනමා පටය අර්ථ නිරූපණය කළේ මි. මී. 35 කියලා. ඒ මි. මී. 16 සුපර් එයිට් තිබුණ යුගයක. දැන් අපේ සිනමා පටයේ ප්‍රමිතියට සමාන එක 2ඬ කියලා අපි හඳුනා ගත්තා. මේ ප්‍රතිපත්ති සැලසුම්කරණයේ දී ඊට මදක් පහළින් තියෙනවා ඡ්සිනමාව කියලා. එහිත් විවිධ ප්‍රමිතීන් තියෙනවා. දැන් 2ම්කියන ප්‍රමිතිය කවුද හැදුවේ. ලෝකයේ තිබෙන ප්‍රකාශන සමාගම් ටික එකතු වෙලා මෙන්න මේකයි ප්‍රමිතිය කියලා කිව්වා. එයාලා එහෙම හදාගත්තට ඒක මේ දේව භාෂිතයක් නෙවෙයි. අද ඉංගී‍්‍රසි චිත්‍රපට ගොඩක් එන්නේ 2ඬවලින්. හැබැයි ප්‍රොජෙක්ටරය නැත්නම් අර ඡ් සිනමාහලේ ඒක ප්‍රදර්ශනය කරන්න බෑ.

 

පිටපත් 35- 55 අර්බුදයත් පසුගිය කාලයේ අපේ සිනමා කර්මාන්ය තුළත්, ඉන් පිටතත් දැඩි ආන්දෝලනයකට ලක්වූවක්?

 

මේ ගැටලුව පිළිබඳ චිත්‍රපට සංස්ථාව අධිකරණයට ගියා. අධිකරණයේ තීන්දුව වුණේ උපරිම පිටපත් ප්‍රමාණය 35 කට සීමා විය යුතුයි කියලා. සංස්ථාව නඩු කිව්වේ මහජන මුදලින්. නමුත් විධායකය විසින් ඒ නීති, රෙගුලාසි පවා මායිම් නොකර, අධිකරණ තීන්දුවට පිටින් ගිහින් යම්, යම් චිත්‍රපට සඳහා වැඩි පිටපත් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට අවසර දුන්නා. එහෙම කළේ සමහර චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ඉල්ලීමට. නමුත් අපි අපි බැලිය යුත්තේ බෙදා හැරීමේ ක්‍රියා පිළිවෙත නිසි විදිහය ක්‍රියාත්මක කිරීමටයි. එක එක්කෙනාට ඕනෑ විදිහට, මට හෝ තව කෙනෙකුට අවශ්‍ය විදිහට පරිපාලන නීති සම්පාදනය කරන්න බෑ.

 

නමුත් ක්ෂේත්‍රයේම අයත් මේ තත්ත්වයට වග කිව යුතුයිනේ ඔබ කියන විදියට?

 

ඔව්, ඒක පිළිගන්න වෙනවා. සමහරු තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් දේශපාලනඥයන් පසු පස ගිහින් ඒ අවශ්‍යතාවයන් ඉටු කරගත්තා. ඒක එක හේතුවක් වුණා අපේ බෙදාහැරීම නිසි ලෙස ක්‍රියාත්මක නොවෙන්නට. ඒක එක පසුබිමක්.

 

ඇතැම් නිෂ්පාදක, අධ්‍යක්‍ෂවරුන් ගොඩ නැඟූ ප්‍රබල තර්කයක් තමයි මේ BLOCK BUSTER ගණයේ චිත්‍රපට සඳහා වැඩි පිටපත් ප්‍රමාණයක් අවශ්‍ය බව. ඊට ඔබ එකඟ නැද්ද?

 

මෙහෙමයි, කිසිම විදිහකින් ඒ පිටපත් සීමා කිරීම අදාළ ප්‍රශ්නයට ස්ථිර පිළිතුරක් ලෙස අපි දැක්කේ නෑ. දැන් එතනදි අපි දැකපු දේ තමයි සිනමාශාලා ඩිජිටල්කරණය කිරීම. එතකොට තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන සිනමාහල් සියල්ලම ඩිජිටල් වෙලා නම් පිටපත්වලට යන මුදල විශාල වශයෙන් අඩු වෙනවා. මේ නිසාම ඔහුට ලාබයක් ලැබෙනවා. දැන් අපි ළඟ තිබෙන දේ කරගන්න ගියාම ඒ මොහොතෙම අපි පිටපත් 55 ක් දාමු කියන තැන සමහරු හිටපු නිසා අර ප්‍රශ්නය එහෙමමම යටපත් වුණා.

imaprssawges (87)

පිටපත් 55, 45 ප්‍රදර්ශනය කරළත් සමහරුන්ට ගොඩගන්න බැරි වුණා?

 

අසංක, අපිට පේනවානේ ‘සරසවිය’ පුවත්පත හරහාම ඒ අය කියන දේවල්. යම් හෙයකින් අපි ඩිජිටල්කරණය වෙලා තිබුණා නම් ඔවුන්ට කිසියම් ලාබයක් ගන්න තිබුණා. ඒ වගේම තමයි මිලියන 13.5 ඉඳලා මිලියන 07 දක්වා ප්‍රේක්‍ෂක සංඛ්‍යාව පහළ බැස තිබෙනවා. මේ ඕඹ්ර්‍ණර්‍ණම් ඕකඉඊඡ්අ ගණයේ චිත්‍රපට හැදෙද්දි. 2001 සිට 2014 දක්වා වූ කාලය ගැන මම ඔය කිව්වේ.

 

BLOOK BUSTER ගණයේ චිත්‍රපට නිර්මාණය නොවුණා නම් තත්ත්වය ඔයිටත් වඩා නරක් වෙන්න තිබුණා කියලා කෙනෙක් කියන්න පුළුවන්?

 

අපේ රටේ සංහල චිත්‍රපට පෙන්වන සිනමාශාලා එකසිය දහඅටක, විස්සක ප්‍රමාණයෙන් අරවගේ චිත්‍රපටයක් සඳහා සිනමාහල් විශාල ප්‍රමාණයක් ගන්නවා නම් වෙනත් මණ්ඩලයකට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. මොකද ඒ මණ්ඩලයේ සිනමාහල් ටිකත් අර චිත්‍රපටයට වෙන්වන නිසා. එතකොට මොකද වෙන්නේ. වසරකට පෙන්වන චිත්‍රපට සංඛ්‍යාව අඩු වෙනවා.

 

ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රවර්ධන මණ්ඩලයක් විය යුතුයි කියා ඔබ සඳහන් කර තිබුණා. ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් කළොත්?

 

ප්‍රවර්ධන මණ්ඩලයක් යනු කුමක්ද? ප්‍රවර්ධන ආයතනයක් කියන්නේ චිත්‍රපට සඳහා දිරි ගන්වන, චිත්‍රපට කර්මාන්තය වර්ධනය කරන, ඒ සඳහා නව ආකෘතින් සකසා දෙන තැනක්. අද චිත්‍රපට සංස්ථාව භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ වැටුප් ගෙවන්නත්. දැන් මේ තත්ත්වයෙන් සංස්ථාව මුදාගත යුතුයි. ඒ සඳහා ප්‍රතිපත්ති සැකසිය යුතුයි. වෙන රටවල මේ මුදල් හොයා ගන්නේ කොහොමද කියලා පෙනනලා දීලා තියෙනවා. උදාහරණයක් හැටියට මේ සම්බන්ධයෙන් එංගලන්තයේ තියෙනවා ලොතරැයියක්. ඉතින් ඒ ලොතරැයියෙන් එන ආදායම තමයි චිත්‍රපට සංවර්ධන අරමුදල වෙන්නේ.

 

චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පමණක්ම නෙවෙයි අද චිත්‍රපට සමාගම්, නිෂ්පාදකයන් ආදායම ලබන්නේ?

 

ඔව්, අන්තර්ජාලයේ ප්‍රදර්ශනය හරහා යූ ටියුබ් එක හරහා විශාල ආදායමක් ලබනවා. මේ සියලු මාවත් පෞදිගලිකව මම විවිර කරගෙන තිබෙනවා. මගේ චිත්‍රපට ඔබට යූ ටියුබ් එක හරහා නරඹන්න පුළුවන්. නැතිනම් අන්තර්ජාලයේ අපි ඒකට කියනවා “වීඩියෝ ඩිමාන්ඩ්” කියලා, නරඹන්න පුළුවන්. මේ ඉන්දියාව හරහා මේ සියලු දේවල් මම ගොඩනඟගෙන තියෙනවා. නමුත් මම පෞද්ගලිකව කැමැති මේක සියලු දෙනාටම විවෘත කරන්න. දැන් සංස්ථාව මඟිනුයි මෙවැනි කාර්යයන් සඳහා සහාය දිය යුත්තේ. සංස්ථාව තියෙන්න ඕනෑ සිනමා ශිල්පීන් පාලනය කරන්න ඉන්න නිලධාරී මණ්ඩලයක් හැටියට නෙවෙයි. සංස්ථාව සේවය කළ යුත්තේ සිනමා කරුවන්ට.

 

විවිධ ක්‍රමෝපායන් මඟින් ඔබ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරමින් කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ඒ ඔබ සිනමාකර්වකු වගේම කිසියම් ව්‍යාපාර ඥානයක් සහිත පුද්ගලයකු නිසයි. අපේ ගොඩක් සිනමාකරුවන්ට නැත්තෙත් ඕකමනේ?

 

ඔව්, අපි එතකොට මොකද කරන්න ඕනෑ. අපි ඒ සඳහා ආයතනයක් බිහිකරන්න ඕනෑ සිනමාකරුවන් වෙනුවෙන් මැදිහත් වෙන. අපි ගම්මු ඉරානයේ තියෙන ‘ෆරාවි’ පදනම. ඉන්දියාවේ N.F.D.C.ආයතනය. දැන් ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව හරහා තමයි එවැන්නක් කෙරෙන්න ඕනෑ. එය ප්‍රවර්ධන මණඩලයක් විය යුතුයි කියා මා කියන්නේ ඒ නිසයි. මෙවැනි වේීවල් කරන්න නම් ඒකට අවශ්‍යයි මේ සිනමාව කෙරෙහි උන්මාදනීය ප්‍රේමයක්. ඒක නැතුව කිසි දෙයක් වෙන්නේ නෑ.

 

ඇයි එහෙමනම් ඇරයුම් ලැබිලත් චිත්‍රපට සංස්ථා සභාපති ධුරය භාර නොගත්තේ?

 

සමන් අතාවුදහෙට්ටි සහෘදයා මාව ඒ තනතුරට යෝජනා කළ වේලාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා මොකටද ප්‍රසන්න වගේ කලාකරුවෙක් එකතැනක හිරකරලා තියන්නේ කියලා. අනික කලාකරුවාට බලය ලැබෙන එක තමයි භායානකම දේ.

 

රැඟුම් පාලක මණ්ඩලය වර්ගීකරණ මණ්ඩලයක් විය යුතු බවටත් ඔබ යෝජනා කරනවා?

 

වර්ගීකරණ මණ්ඩලයක් කියන්නේ මොකක්ද? දරුවන්ට අයිති දේ දෙන්න. වැඩිහිටියන්ට වැඩිහිටියන්ට අයිති දේ දෙන්න.

 

දැන් වර්තමාන රැඟුම් පාලක මණ්ඩලයෙන් එහෙම කිසි දෙයක් සිදු වෙන්නේ නැද්ද?

 

නෑනේ. අපි දැන් ගම්මු. ලංකාවේ වාරණ මණඩලයේ මොකක්ද තියෙන දුර්වලතාවය. ලංකාවේ අපි දකින “වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි”, ‘වැඩිහිටියන්ට පමණයි’ වගේ දේවල් ලෝකෙ කොහොමද වෙන්නේ. දැන් කුඩා ළමයින්ටනේ බැරි තමන් නරඹන්නේ කුමක්ද කියා තීරණය කරන්න. එතකොට මවුපියෝ දැනුවත් කරනවා “යුනිවර්සල්” නැත්නම් සියලු දෙනාටම නැරඹිය හැකි චිත්‍රපටයක් කියලා. එසේම මෙය සුදුසු වන්නේ වයස අවුරුදු දොළහෙන් පහළ කණ්ඩායමයි. දොළහෙන් ඉහළ කණ්ඩායමයි කියලා ඔවුන් චිත්‍රපට වර්ගීකරණය කරනවා.

 

කිසියම් විධිමත් ක්‍රමවේදයකට අනුවයි ඔවුන් මේ වර්ගීකරණයන් සිදු කරනවා ඇත්තේ?

 

ඇත්තෙන්ම, ළමා මනස පිළිබඳ වැටහීමක් ඇති අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් සමඟයි ඔවුන් මේ දේවල් කරන්නේ. දැන් ලංකාවේ කොහොමද වෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. මගේ ‘ඉර මැදියම’ චිත්‍රපටය ලංකාවේ යුනිවර්සල්. සියලු දෙනාටම නැරඹිය හැකියි. හැබැයි ඕස්ට්‍රේලියාවේ “වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි” ඇයි? ඒ චිත්‍රපටයයේ තියෙනවා කුඩා දරුවකුට තමන්ගේ සුරතල් බල්ලා අහිමි වෙනවා. ඒ බල්ලා චිත්‍රපටය අවසන්වන තුරුම ළමයාට හමුවන්නේ නෑ. එයින් ඇති වන්නේ වියෝවතක්. ඒ නිසා එය දරුවකුගේ මනසට නුසුදුසුයි. මෙන්න මේ වගේ ශ්‍රේණිගත කිරීම් අවශ්‍යයි.

 

අපේ රටේ පසුගිය කාලයේ රැඟුම් පාලක මණ්ඩලයේ තීන්දු, තීරණ පවා කිසියම් අන්දමක වාරණයකට, අභියෝගයකට ලක් වූ අවස්ථා අප දුටුවා?

 

රැඟුම් පාලක මණ්ඩලයේ නිලධාරීන් අසරණ වූ අවස්ථා අපි දැක්කා පසුගිය කාලයේ. අපි හඬ නඟා කියන්න ඕනෑ දේශපාලනඥයන්ගෙන් එල්ලවන සියලු බලපෑම් නතර කළ යුතුයි කියලා. මොකද මගේ හැඟීම අනුව නම් අපේ සිනමාව නිවට කර්මාන්තයක්. මේක නිවටයන්ගෙන් පිරිච්ච කර්මාන්තයක්. තමන්ගේ දේකදි ඇරෙන්න කවුරුවත් කට අරින්නේ නෑ.

 

සිනමාකරුවන්ට පොදුවේ එල්ල කරන චෝදනාවක් ද ඔය?

 

සිනමාකරුවන්ට විතරක් නෙවේ. නිෂ්පාදකයෝ, බෙදාහරින්නෝ සියලු දෙනාට ඒ චෝදනාව අදාළයි. අපි දැක්කා මගේ “ඔබ නැතිව ඔබ එක්ක” තහනම් කළා. පිස්තෝලයක් ළඟ තබාගෙන ඉන්න විශ්‍රාමික හමුදා නිලධාරියෙක් නිසා. කවුද කට ඇරලා කතා කරන්න හිටියේ ඒක වැරදියි කියලා.

 

‘පුරහඳ කළුවර’ වෙනුවෙන් උසාවි යන්නත් වුණා?

 

ඔව්, හැබැයි මගේ චිත්‍රපට සම්බන්ධයෙන් වුණේ මම මේ හැම අභියෝගයක්ම පරාජය කරලා මගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරපු එක. කවදාවත් මම ඒ වාරණයට යටත් වුණේ නැහැ. අපේ සමහරු කැමැති දීනයෝ වෙලා දේශපාලනඥයෝ පසුපස ගිහින් වාසි ලබා ගන්න.

 

අශෝක හඳගමගේ “අක්ෂරය” චිත්‍රපටයට රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලැබිලත් එවකට සිටි සංස්කෘතික අමාත්‍යවරයා එය තහනමට ලක් කරනවා. ඔබ ඒ වෙලාවේ ඒ ගැන හඬක් නැඟුවද?

 

ඔවි, ‘අක්ෂරය’ වෙනුවෙන් අපි හඬ නැඟුවා. අපි උසාවියට ගියා. එදා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා එවකට රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගෙන් බලකරමින් රැඟුම් පාලක මණ්ඩලය් සහතිකය ඉල්ලා සිටියා. ‘අක්ෂරය’ චිත්‍රපටයේ දී සිදු වුණේ රැඟුම් පාලක මණ්ඩලය දුන් සහතිකය බාල අපරාධ චෝදනාවක් මත නැවත ඉල්ලා සිටීම. හරි. ඒකට විරුද්ධ වුණා. ඉතිං ඒකට විතරක් නෙවේ සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිලෙන මාළුවෝ’ වාරණයටත් මම විරුද්ධ වුණා. කොහොමද ලංකාවේ චිත්‍රපටයක් තහනම් කරන්නේ රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් .

 

එක පුද්ගලයකුගේ වුවමනාවකට?

 

ඔව්, එහෙම කරන්න බෑ. ඒ ගැනත් මම මාධ්‍යවලට ලිපියක් යොමු කළා. ඒ විතරක් නෙවේ අද චිත්‍රපටයක් කරන්න ගිහින් පිටපත් දුන්නම පොලිසියයි, හමුදාවයි කියනවා මේක අපිට නුසුදුසුයි, අපට අගෞරවයක් වෙනවා කියලා. හමුදාව, පොලිසිය සිනමාවට කරන මේ සියලු බලපෑම් හකුලා ගත යුතුයි. චිත්‍රපටයක් කිසියම් ආකාරයක ඒ රටේ ජාතික ආරක්‍ෂවට තර්ජනයක් නම් එහි දී රැඟුම් පාලක මණ්ඩලයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට ඊට මැදිහත් විය හැකියි. මේ හැදෙන චිත්‍රපටවලට කරන බලපෑම් නැවැත්විය යුතුයි. මහින්ද රාජපක්‍ෂ යටතෙත් හමුදාකරණය වූ සංස්කෘතියක් අපි දැක්කේ ඒ සියලු දෙනාම වපුරපු අස්වැන්නේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ.

 

නමුත් ඒ කාලයේ ‘මාතා’, ‘ගාමණී’, ‘ප්‍රතිරූ’ වගේ යුද්ධය පසුබිම් කරගත් චිත්‍රපට නිර්මාණය වෙනවා?

 

ඔව්, ඇයි ඒ ? හමුදාවේ ප්‍රතිරූපය ඉහළට නංවනවා නම් ඒ සඳහා සහයෝගය දුන්නා. විධායකය මැදිහත් වුණා තමන්ගේ රාජ්‍ය මතවාදයවපුරන නිර්මාණකරුවන්ට අතහිත දෙන්න. විශේෂයෙන්ම වර්තමානය අමතක කරලා නැති ඉතිහාසයක් හරහා තමන්ම පුම්බගන්න පුළුවන් නිර්මාණවලට තමයි ඔවුන් ප්‍රමුඛතාවය දුන්නේ. අපි අද මැදිහත් වෙන්න ඕනෑ සියලු රාජ්‍ය මැදිහත් වීම් සිනමාවෙන් ඉවත් කරන්න.

 

ඉරානය වැනි උසස් සිනමා සංස්කෘතියක් තිබෙන රටවල සිනමාවේදීන්ට පවා දැඩි රාජ්‍ය මර්ධනයක් එල්ල වෙනවා. සමහරුන් රටින් පිටුවහල් කරනවා. අසල්වැසි ඉන්දියාවේ එක්තරා සිනමාවේදියෙක් සිරගෙදරදි මිය යනවා. එබඳු උදාහරණ බොහොමයි. දැන් සිනමාවේ ඊට සාපේක්‍ෂව සුවිශාල අර්බුදයක් පැන නැගිලා නෑනේ?

 

නෑ, ලංකාවේ කරන්නේ නොමරා මරණ එකනේ. නොමරා මරණ එකයි, මැරෙන කල් බලං ඉන්න එකයිනේ. තමන් ජීවත්වෙන සමාජය ප්‍රශ්න කිරීම සිනමාකරුවාගේ යුතුකමක්. විශිෂ්ට කලාකරුවෝ තමන්ගේ පෞද්ගලික දේවල් නෙවෙයි, ඒ සමස්ත සමාජ දේහයටම බලපාන ප්‍රශ්න විෂය කර ගන්නවා. ඒ විෂය කරගන්නා දෙයින් හෙළිදරව් වෙනවා නම් පවතින සමාජ යථාර්ථය පාලකයන් ඊට බියයි. දැන් ලංකාවේ සිදු වුණේ අපි සිරගෙවල්වල දැම්මේ නෑ. නමුත් සම්පූර්ණයෙන්ම සමාජය ප්‍රශ්න කරන චිත්‍රපට නිර්මාණය කිරීම මන්දෝත්සාහි කළා. චිත්‍රපට වාරණය කළා.

 

ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ අපේ සමහර චිත්‍රපටවලට පාදක වෙලා තිබුණේ අපේ අගහිඟකම්, නැතිනම් හමුදාවේ යම් යම් දුර්වලතා. ඇතැමුන් මිනී කන්නන්ගේ දේශය ලෙසත් මේ පින්බිම හැඳින් වූවා. දැන් සමහර සිනමාකරුවන්ට චෝදනාවක් තියෙනවා නේද අපේ ආත්ම අභිමානයට, රටේ කීර්ති නාමයට කිසියම් කැලලක්, හානියක් සිදුවන නිර්මාණ කර එයින් ජාත්‍යන්තර සම්මාන ලබා ගන්නවා කියලා?

 

ඔබේ ප්‍රශ්නයට සෘජුව මගේම චිත්‍රපටයකින් පිළිතුරු දෙන්න පුළුවන්. ‘පුරහඳ කළුවර’ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා ජාත්‍යන්තරයේ. ඒ සම්මානයට පාත්‍ර වුණේ ඔවුන් අපේ රටේ දුප්පත්කම දැක්ක නිසාද? අපේ රටේ හමුදාවේ අඩුවක් දැක්ක නිසාද? නැත්නම් සාමාන්‍ය දිළිඳු ගැමියෙක් තමන්ගේ ආත්ම අභිමානය වෙනුවෙන් කරන සටනක් දැක්ක නිසාද?

 

ඔබ අපේක්‍ෂා කළ සුබවාදී වෙනස වත්මන් රජය යටතේ ඇතිවේ යැයි කියන විශ්වාසය ඔබට තියෙනවාද?

 

මම කියන්නේ කලාකරුවාගේ අරගලය සදා කාලිකයි. රජයක් පත්වුන පමණින් සියලු ප්‍රශ්න විසඳේ යැයි මම හිතන්නේ නෑ. තවම සංක්‍රාන්ති සමයකනේ අපි ඉන්නේ. විමසිල්ලෙන් අනාගතය දිහා බලාගෙන ඉන්නවා. කලාකරුවන් හැටියට මේ රජය එක්ක අපේ රහස් ගිවිසුමක් නැහැ.

 

අසංක දේවමිත්‍ර පෙරේරා

it is dangerous for an artist to have power

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.