Art- ගාමිණි අබේකෝන්-තෙලි තුඩ පන ලබයි

7b11a173cefc35gamin

ගාමිණි අබේකෝන් ගේ ‘‘LINE POETRY’’ නමැති සිතුවම් ප්‍රදර්ශනය පෙබරවාරි 27 වන දින සවස 06.00 ට.Lional Wented කලාගාරයේ දී විවෘත වන අතර පෙබරවාරි 28 වන දින සිට මාර්තු 02 දක්වා උදැසන 08.30 සිට රාත්‍රි 08.30 දක්වා විවෘතව පවතී.

මතු දැක්වෙන්නේ එය නිමිති කොට ගෙන ඔහු සමග කළ කතාබහේ සංෂිප්ත සටහනකි.

රත්නපුර සීවලී මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ගාමිණි අබේකෝන් 8 වන ශ්‍රේණියෙන් අනතුරුව රත්නපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. ඔහු චිත්‍ර කලාවට අත් පොත් තබන්නේ සීවලී මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ දී ම ය. එම පාසලේ චිත්‍ර ආචාර්යවරයා වු පේමානන්ද ගුරු මහතාගේ මග පෙන්වීම නොවෙන්නට ඇතැම් විට ගාමිණී චිත්‍ර ශිල්පියකු නොවෙන්නට ඉඩ තිබිණ. මන්ද ඔහු සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ විද්‍යා විෂයයන් බැවිනි.

උසස් පෙළ විභාගයෙන් අනතුරුව ගාමිණි ‘‘සිත්තර’’ චිත්‍රකතා පුවත්පතේ චිත්‍ර ශිල්පියකු වශයෙන් බඳවාගන්නේ ඔහුගේ දක්ෂතාවන් ඇගයීමට ලක් කරමිනි. මින් නොනැවතුණු ගාමිණී සිත්තර පුවත්පතේ සේවය කරන අතර ම හේවුඩ් විද්‍යාලයෙන් චිත්‍ර කලාව පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය ලැබි ය. එහි දී ඔහුගේ ගුරුවරයා වූයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ස්ටැන්ලි අභයසිංහ මහතා ය.

1981 වර්ෂයේ සිට 2000 වර්ෂය දක්වා වු කාලය තුළ ගාමිණී: ‘‘සිත්තර’’, ‘‘සත්සිරි’’, සහ ‘‘සුහද’’ යන චිත්‍රකතා පුවත්පත්වල චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළේ ය. අනතුරුව රෙදි පින්තාරුකරුවකු ලෙස රැකියාවක නිරත වන ඔහු, මේ වන විට වෙළෙඳ දැන්වීම් ආයතනයක සේවයේ නිරතව සිටී.

සිතුවම් කලාවේ ද මානයන් විවිධයි. ඒ එක් එක් මානයන් පිළිබඳ ඔබේ අදහස සහ ඔබ රේඛාමය මානයක් තොරා ගන්න විශේෂ වූ හේතුවක් තියෙනවද?

මම නොයෙක් මාධ්‍යයවලින් චිත්‍ර නිර්මාණය කරල තියෙනවා. (water coulor, poster coulor, oil paint) වැනි දේවල්වලින්. මේ වන විටත් ඒ එක් එක් මාධ්‍යය උපයෝගී කරගෙන චිත්‍ර අඳිනවා. මෙතනදි තිබෙන විශේෂත්වය තමයි මම ඉතිහාස ලෝලියෙක් වීම. මම ඒ ගැන දැඩි උනන්දුවක් දක්වනවා. ඒ ගැන ලියවුණ පොත්පත් කියනවනවා. ඒ වගේ ම පැරණි දේවලටත් කැමතියි. මට යාළුවෙකුගෙන් පැරණි රේඛා චිත්‍ර ඇඳපු පොතක් ලැබෙනවා. ඊට පස්සෙ තමයි ඒ ගැන තිබෙන උනන්දුව වැඩි වෙන්නෙ. ඊට පස්සෙ මම හුඟක් පරණ චිත්‍ර අරගෙන රේඛා මාධ්‍යයෙන් ඇන්දා. ඒ නිසා මේ ප්‍රදර්ශනයට මම තෝරා ගත්තෙත් රේඛා මාධ්‍යයෙන් ඇඳපු සිතුවම්.

ඔබ සිතුවම් කලාවට අවතීර්ණ වෙලා වසර හතළිස් පහකට ආසන්නයි. නමුත් මේ ඔබේ පළමු ඒකපුද්ගල ප්‍රදර්ශනය. මෙතරම් පමා ඇයි?

ඇත්ත ම තත්ත්වය නම් මම මීට පෙර ප්‍රදර්ශන කිහිපයක් කරල තියෙනවා. නමුත් ඒ තනිවම නොවෙයි. කිහිප දෙනෙක් සමග. ඒ එක්කම ජෝර්ජ් කිට් සංගමයේ චිත්‍ර ප්‍රදර්ශනවලටත් සහභාගි වෙලා තියෙනවා. නමුත් ඒ කාලෙ මට සැකයක් තිබුණා ‘මට තනියම ප්‍රදර්ශනයක් කරන්න පුළුවන් ද’ කියලා. නමුත් පසුකාලිනව මගේ යහළුවො වගේ ම හිතවත් බොහොම දෙනෙක් මාව උනන්දු කෙරෙව්වා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නෙ.

ඕනැම කලා නිර්මාණයක් නිර්මාණය කරන්නා මෙන් ම නරඹන්නා ද, සාහිත්‍යය නම් කියවන්නා ද විඳීමට එහා ගිය යම් සමාජ ආර්ථික දේශපාලනික දැනුවත් භාවයක් මෙන් ම ඒ ඒ අංශයන් පිළිබඳ ප්‍රශ්න කරනවා. මෙය අනෙක් කලා නිර්මාණවලට සාපේක්ෂව සිතුවම් කලාවට බලපාන්නේ කෙසේ ද?

සිතුවම් කලාව තුළින් සමාජ ප්‍රශ්න සාකච්ඡා කරන චිත්‍ර ශිල්පින් කිහිප දෙනෙක් අපේ රටේ ඉන්නවා. ඒ අතරින් සුවිශේෂිත ම පුද්ගලය විදියට මම දකින්නෙ චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයා. නමුත් අපේ රටේ චිත්‍ර කලාව පවතින තත්ත්වය තුළ එවැනි අවස්ථා සදහා ලැබෙන ඉඩ-කඩ අඩුයි. විශේෂයෙන් ම අපේ රටේ සංගීතය, වේදිකා නාට්‍යය, සිනමාව සහ සාහිත්‍යය වැනි කලා මාධ්‍යයන් කෙරෙහි තිබෙන උනන්දුවට සාපේක්ෂව චිත්‍ර කලාවට තිබෙන්නෙ අවම උනන්දුවක්. ලාංකීය සමාජය චිත්‍ර කලාව කියන කලා මාධ්‍යය දිහා බලන්නෙ වෙනත් ඇසකින්. බිත්තියෙ එල්ලගන්න මොකක් හරි පාට ගාපු චිත්‍රයක් හොයනවා මිසක චිත්‍රයකින් පිළිබිඹු වෙන සමාජ දර්ශනය පිළිබඳ හොයන අය ලංකාවෙ අඩුයි. ඒ නිසා තමයි වික්ටෝරියා පාර්ක් එක වටේ තිබෙන චිත්‍ර රුපියල් දාහට දෙදාහට අරන් යන්නෙ. කෝටි ගණන් වියදම් කරල ගෙවල් හදල හොඳ සිතුවමක් වෙනුවෙන් වැඩිපුර මුදලක් වැය කරන්න මිනිස්සු කැමති නැහැ.‍

ඔබ එතනට ආපු එක හොඳයි. සැබැවින් ම ඒ සිතුවම් කලාව නොවෙයි ද? එහෙම නම් ඒ මොනවද?

ඇත්තට ම සිතුවම් කලාව කියන මාධ්‍යයටත් යම් ප්‍රමිතියක් තිබිය යුතු යි. නමුත් වෙලා තියෙන්නෙ හුඟක් බාල අමුද්‍රව්‍යය යොදාගෙන පාට තැවරීමක්. අපේ අමු රෙදිවල imartion coulour ගන්න එක නෙවෙයිනෙ ආර්ට් කියන්නෙ. මෙන්න මේ කියන ප්‍රමිතිය මෙතනදි කඩා වැටිල තියෙනවා. අපේ ලංකාවෙ දේශීය කලාකරුවාට කිසිම තැනකින් අනුග්‍රහයක් නොලැබෙන නිසා තමයි වර්තමානයේ ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ. මිනිස්සු එවැනි දේවල්වලට හුරු වුණාම ප්‍රමිතියක් සහිත කලා නිර්මාණයත් හෑල්ලුවට දාල තියෙන්නෙ. වික්ටෝරියා පාර්ක් එක වටේ ඉන්නෙ අහිංසක පිරිසක් තමයි. නමුත් එතනින් වෙන හානිය සමස්ත චිත්‍ර ශිල්පීන්ට ම බලපානවා. මේ මොහොතෙ මිනිස්සු චිත්‍ර අගයන එක කොහොම වෙතත් bargane (කේවල්) කරන්න පටන් අරගෙන.

නමුත් ඔවුන්ට එදා පැවති ආණ්ඩුවෙන් උපරිම සහයෝගයක් ලැබුණා. ඉතිං ආණ්ඩුවේ සහයෝගයත් ලැබුණම නරඹන්නා එහෙමත් නැත්නම් විඳින්නා හිතනව නේද මේ තමයි සිතුවම් කලාව කියල?

නෑ… ඒ අයට ආණ්ඩුවෙන් සහයෝගයක් ලැබුණ කියල කියන්න බෑ. එහෙම නම් ඒ අය ඔතන කට්ට කන්න ඕන නැහැනෙ. නමුත් ප්‍රශ්නය වෙන්නෙ දැන් මිනිස්සු චිත්‍ර සංසන්දනය කරන්නෙ එතන තිබෙන නිර්මාණත් එක්ක. නිර්මාණය කියන දේට වඩා මිනිස්සු ප්‍රශ්න කරන්නෙ ‘අතන මෙච්චර ගාණ වැඩි නැහැනෙ. ඇයි ඔයාලගෙ චිත්‍ර මෙච්චර ගණන්?’ කියල තමයි අහන්නෙ. ඒ කියන්නෙ සිතුවම් කලාව වට්ටලා.

හොඳයි. ඔබ නියම සිතුවම් කලාව අගයන්නෙක් විදියට ලංකාවෙ සිතුවම් කලාව නගා සිටුවීම සඳහා යම් අදහසක්, යෝජනාවක් තිබෙනව ද?

මම කලින් සඳහන් කළ ආකාරයට ලංකාවෙ කලාව කියන්නෙ සිනමාව, නාට්‍යය, සංගීතය සහ සාහිත්‍යය. කලාකරුවා කියන්නෙ නළුවයි, ගායකය යි. නමුත් අපේ රටේ චිත්‍ර අඳින මනුස්සයා කලාකරුවෙකුට අයිති වෙන්නෙ නැහැ. ඇත්තට ම ලංකාවෙ චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න අනුග්‍රහය දක්වන්නෙ ‘ජෝර්ජ් කිට් පදනම’ විතරයි. රජයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න්වා නම් අවම වශයෙන් චිත්‍ර කලාකරුවො කීප දෙනෙක් එකතු කරලා ප්‍රදර්ශනයක් පවත්වලා මිනිස්සු දැනුවත් කරන්න පුළුවන්නෙ. චිත්‍ර කලාකරුවන්ට වෙළෙඳපොළක් හදල දෙන්න පුළුවන්නෙ. ඒ නැතත් රාජ්‍යයක් විදියට චිතු කලා ශිල්පියො යම් මට්ටමකට ඔසවා තබන්න පුළුවන්නෙ. නමුත් අද ලංකාවෙ තිබෙන එකම art gallery එකෙත් වහලය කැඩිල තෙමෙනවා. මාස ගණනාවක් තිස්සෙ දැනුවත් කරත් අඩු ගණනෙ ඒක ප්‍රතිසංස්කරණය කරල දෙන්නෙවත් නැහැ..

ඒ ගැන කියන්න හරි මේ වගේ වෙලාවක් ප්‍රයෝජනයට ගත්තොත් හොඳයි නේද?

වැඩක් නෑ… මේ ගැන එතන ඉන්න අය කීප සැරයක් ම කියල තියෙනවා. නමුත් තවම විසඳුමක් නෑ.
සාකච්ඡාව: ජයසිරි අලවත්ත

unnamed 1

unnamed 2

unnamed 3

unnamed 4

unnamed 5

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.