Cancer:පිළිකා රෝහලේ දුෂණ පිළිකා පැතිරේ

 

 

wasa77

 

පිළිකා රෝහල තුළත් තවම යහ පාලනයක්‌ නෑ

අකුණු සන්නායකය අතුරුදන් වීම ඇතුළු මහා පරිමාණ දූෂණ රැසක්‌ සිදුවී ඇතැයි පසුගිය දිනවල මාධ්‍ය ඔස්‌සේ හෙළිදරව් වුණු මහරගම පිළිකා රෝහලට පසුගියදා නව අධ්‍යක්‌ෂවරයකු පත්කර ඇත. වසර හයක්‌ තිස්‌සේ වැඩබලන අධ්‍යක්‌ෂවරයකු යටතේ පැවති මහරගම පිළිකා රෝහල තුළ පසුගිය ආණ්‌ඩු සමයේ බරපතළ අක්‍රමිකතා රැසක්‌ සිදුව ඇතැයි පවසන එහි වත්මන් නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක රට තුළ යහපාලනයේ මුල් දින සියය ඇරඹී ඇතත් මහරගම පිළිකා රෝහල තුළ තවමත් දූෂිතයන්ට නිදහසේ ක්‍රියාත්මක විය හැකි වාතාවරණයක්‌ පවතින බව ද පවසයි. මහරගම පිළිකා රෝහලේ වර්තමාන තත්ත්වය පිළිබඳ එහි නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා සමග පැවැත් වූ සාකච්ඡාවකි මේ.

මේ මහ රෝහල අපේ රටේ පිළිකා රෝගීන් සඳහා වෙන්වුණු එකම රෝහල. පසුගිය කාලය පුරා මෙම රෝහලේ සිදුවුණු විවිධ අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳව වාර්තා වුණා. විශේෂිත රෝගීන් විශාල ප්‍රමාණයකට තිබෙන එකම රෝහලෙත් මෙබඳු තත්ත්වයන් ඇතිවීම වළක්‌වාගන්න බැරි ඇයි?

එයට මම දකින හේතු ගණනාවක්‌ තිබෙනවා. පසුගිය ආණ්‌ඩුව කාලේ මෙම රෝහලේ පරිපාලනය ගෙන ගියේ ඊට සම්බන්ධ විවිධ පුද්ගලයන්. ඒවගේම අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ මේ රෝහලට ස්‌ථිර අධ්‍යක්‌ෂවරයෙක්‌ නෑ. වසර හයක්‌ තිස්‌සෙ හිටියෙ වැඩබලන අධ්‍යක්‌ෂවරයෙක්‌. වසර හයක්‌ තිස්‌සේ ආයතනයක එවැනි තනතුරක්‌ පවත්වාගෙන ගියේ කවර නීතියක්‌ යටතෙද කියල මම නම් දන්නෙ නෑ.

පසුගියදා මේ රෝහලට නව අධ්‍යක්‌ෂවරයෙක්‌ පත්කළා?

ඔව්. නමුත් ඒ පත්කිරීම තුළින් මේ රෝහල තුළ සිදුවුණු සහ දැන් දීර්ඝ කාලයක සිට මේ රෝහල තුළ සිදුවන අක්‍රමිකතා හා දූෂණ වළක්‌වන්න පුළුවන් කියා මම හිතන්නේ නෑ.

මොනවද ඒ දූෂණ?

පසුගිය ආණ්‌ඩුව කාලේ විකිරණ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර දහයක්‌ – එක යන්ත්‍රයක්‌ කෝටි සියය බැගින් කෝටි දහසකට යන්ත්‍ර දහයක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගෙන්වීම සඳහා පියවර ගෙන තිබෙනවා. එම යන්ත්‍ර ගෙන්වූ සමාගමේ ප්‍රධාන කාර්යාලය තිබෙනවා යෑයි කියන්නෙ කොල්ලුපිටියෙ බයිබල් සමාගම් ගොඩනැඟිල්ලෙ. මේ ගනුදෙනුව සිදුවන කොට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමති. නමුත් එතුමට කිසිම දෙයක්‌ කරන්න හැකියාවක්‌ තිබිල නෑ. මේ ගෙන්වන යන්ත්‍ර දහයෙන් එකක්‌ සවිකිරීමට සූදානම් කරල තිබෙන්නෙ හම්බන්තොට. නමුත් හම්බන්තොට පිළිකා රෝහලක්‌ නෑ. දැනටමත් යන්ත්‍ර කිහිපයක්‌ ගෙන්වලා තිබෙනවා. මේ යන්ත්‍රවල නියම වටිනාකම කුමක්‌ද? මේවා ස්‌ථානගත කරන්නේ කොහේද? මේ කිසිවක්‌ සොයා බලල නෑ. මේක පසුගිය කාලෙ මේ රෝහලේ සිදුවුණු එක මහාපරිමාණ දූෂණයක්‌.

පිළිකා රෝහලේ රෝගීන්ට වතුර එන්නත් ලබාදුන්නා කියල පසුගිය කාලෙ විශාල ආන්දෝලනයක්‌ ඇතිවුණා. නමුත් ඒ පිළිබඳ කෙරුණු පරීක්‌ෂණයක්‌ නෑ. මේ රෝහලේ දිනපතා භාවිතා වන එන්නත් කටු දහස්‌ ගණනක්‌ තලවතුගොඩට ගෙනගොස්‌ පිරිසිදු කොට යළි අසුරා වෙළෙඳපළට යෑවීමේ ජාවාරමක්‌ පිළිබඳ තොරතුරු හෙළිවුණා. ඒ ජාවාරම අල්ලගත්තෙ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‌ෂවරයා. නමුත් ඒ පරීක්‌ෂණවලටත් සිදුවූ දෙයක්‌ නෑ.

මේ රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ග්ලවුස්‌ දෙසීයක පමණ ප්‍රමාණයක්‌ රෝහල ආසන්නයේ මල්ශාලාවක තිබී හසුවුණා. රෝහලේ මුළුතැන්ගෙයින් ආහාරද්‍රව්‍ය පිටකර අසුවුණා. මේ ආකාරයට මේ රෝහල තුළ අක්‍රමිකතා දූෂණ විශාල ප්‍රමාණයක්‌ සිදුවුණා.

අද වනවිට මේ රෝහලේ අකුණු සන්නායකයට වෙච්ච දෙයක්‌ නෑ. එය ලක්‌ෂ හතළිහකට වඩා වටිනවා. මේ ගොඩනැඟිල්ල මුදුනේ සවිකර තිබුණු අකුණු සන්නායකය වෙත යන දොරෙහි යතුර තිබුණෙ පරිපාලන නිලධාරියාගේ කාමරයේ. පරිපාලන නිලධාරියාගෙ කාමරයේ තිබුණු යතුර ගන්නෙ නැතුව ගොඩනැඟිල්ල මුදුණේ සවි කර තිබුණු අකුණු සන්නායකය වෙත යන්න බෑ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ අන්තිමට හොරෙකුත් නෑ. අකුණු සන්නායකයට වෙච්ච දේකුත් නෑ.

මේ රෝහලට අයිති යකඩ තොගයක්‌ රෝහලේම ඩබල්කැබ් එකක පටවල රෝහලෙන් පිටකිරීම තමයි මෑතකදී සිදුවූ අලුත්ම හොරකම. ඒ හොරකම සිදුවන හැටි රෝහලේම සේවකයෙක්‌ දැකල තියෙනව. ඒ හින්ද ඒ හොරකම කරපු කට්‌ටිය ඩබල් කැබ්එකේ පාට මාරු කළා.

ඔබ මේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා ලෙස දීර්ඝ කාලයක සිට කටයුතු කරනවා. රෝහලේ සිදුවන මේ අකටයුතුකම්වලට එරෙහිව ඔබ ගත් පියවර මොනවද?

මේ හොරකම්වලින් වැඩිහරියක්‌ ඇල්ලුවෙ මම. මේ මහාපරිමාණ හොරකම් එළිදරව් කෙරුවෙත් මම.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හුඟ දෙනෙක්‌ පහුගිය ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා දිනවන්න මහන්සි ගත්තා. තරු පහේ හෝටල්වල කෑම බීම ඇතුළු සම්මන්ත්‍රණ සූදානම් කරල අපටත් ආරාධනා පත් එව්වා. ඒවට කිව්වෙ ප්‍රගති සමාලෝචන රැස්‌වීම් කියල. ඒවයෙ කරපු ප්‍රගති සමාලෝචනයක්‌ නෑ. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා ඇවිත් අතට අත දීල එයා කරපු වැඩ කියල යන්න ගියා. ඒව එහෙම්පිටින්ම ඉලෙක්‌ෂන් කැම්පේන්. ඒවට වියදම් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සල්ලි. මම ඒ කිසි රැස්‌වීමකට ගියේ නෑ. මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලන උත්සව ප්‍රතික්‌ෂේප කරපු මට ඔවුන් දුන්නු දඬුවම තමයි සදාකාලික නියෝජ්‍ය අධ්‍යක්‌ෂකම. මම තනතුරු බලාගෙන වැඩ කරන කෙනෙක්‌ නෙමෙයි. නමුත් අවුරුදු දහයක්‌ තිස්‌සෙ මම මෙතන නියෝජ්‍ය අධ්‍යක්‌ෂ. මේ රටේ දස අතින් පිළිකා රෝගීන් මේ රෝහලට එන්නේ පිළිකාව හොඳකරගෙන යන්නයි. නමුත් අද මේ රෝහලට විශාල පිළිකාවක්‌ වැළඳිලා තියෙනව. රෝහලට වැළඳිලා තියෙන පිළිකාව සුවකරන්නෙ නැතිව රෝහල කොහොමද රෝහලට එන ලෙඩ්ඩුන්ගෙ පිළිකා හොඳ කරන්නෙ?

අපේ රටේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රටේ වත්මන් ජනාධිපතිතුමා. ඒ වගේම රට තුළ යහපාලනයක්‌ ඇතිකිරීම වෙනුවෙන් කැපවුණු රාජිත සේනාරත්න මහතා අද අපේ රටේ සෞඛ්‍ය ඇමති. එතුමන්ලා දැනුවත් කරල පිළිකා රෝහලට වැළඳිලා ඇතැයි ඔබ කියන මේ ලෙඩේ ඇයි සුවකරන්න බැරි?

අලුත් අධ්‍යක්‌ෂවරයෙක්‌ පත්කරපු වෙලාවෙ වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා මට කිව්වෙ ඔබ මේ අධ්‍යක්‌ෂ පදවිය බාරගන්න බෑ කියල තියෙනව කියල. මේ රෝහලේ අධ්‍යක්‌ෂ තනතුරට පත්වෙන්න මට සම්පූර්ණ සුදුසුකම් තිබුණත් මම තනතුරු පස්‌සෙ යන කෙනෙක්‌ නෙමෙයි. නමුත් අධ්‍යක්‌ෂ පදවිය බාරගන්න මට බෑ කියල මම කවදාවත් කියල නෑ. මේ රෝහල තුළ වසර දහයකට වැඩි කාලයක්‌ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ලෙස කටයුතු කරමින් මම මට හැකි උපරිමයෙන් මේ රෝහල තුළ යහ පාලනයක්‌ ඇති කළා. එය දරාගන්න බැරි පිරිසක්‌ සෞඛ්‍ය ලේකම් තුමා සහ සෞඛ්‍ය ඇමතිතුමා නොමග යවල තියෙනව මම මේ රෝහලේ අධ්‍යක්‌ෂ තනතුර බාරගැනීමට බැහැ කිව්ව කියල.

ඔබ ඒ බව සෞඛ්‍ය ඇමැතිවරයාට දැන්වුවේ නැද්ද?

මම කිව්වා. එතුමගේ පිළිතුර වුණේ දැන් ඉතින් අපි කෙනෙක්‌ පත්කරල තියනවනෙ. ඔබට ඕනෙ නම් වෙන රෝහලක්‌ දෙන්නම් කියල. මම නැවතත් කියන්නෙ මම තනතුරු බලාගෙන වැඩ කරපු කෙනෙක්‌ නෙමෙයි. නමුත් අධ්‍යක්‌ෂ තනතුරට සුදුසුකම් ඇතිව දස වසරක්‌ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ තනතුර දැරූ මට මෙය මගෙ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්‌. නමුත් මම කැමති මේක ජනතාවට කියන්නයි. වෙනස්‌ කරන්න බෑ කියල විශාල මතයක්‌ ගොඩනගාගෙන සිටි හිටපු ජනාධිපතිත් ජනතා මතය හමුවේ වෙනස්‌ වුණා. රට ඒ වෙනස්‌ වුණේ යහපාලනයකට වුණත් පිළිකා රෝහල ඇතුළෙ නම් පාලකයො ගොනාට අන්දගෙන අර හොරු ටිකම තවමත් හොරකම ගජරාමෙට කරගෙන යනව.

corruption at cancer hospital

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!