Censoership-සමන් ගේ කතුර

kapoana

මෑතකදී ඉන්දියාවේ සඟරාවකට ලිපියක් ලියන ප‍්‍රවීණ සිනමාකරු අදූර් ගෝපාල්ක‍්‍රිෂ්ණන් ලියනවා, (ඉන්දියාවේ) වාරණ මණ්ඩලය නැති කළ යුතු එකක්ය කියලා. ලංකාවේත් බුද්ධිමතුන්, ප‍්‍රබුද්ධ කලාකරුවන් හා රසිකයන් රැුඟුම් පාලක මණ්ඩලය අවශිෂ්ට විය යුතු දෙයක් ලෙස තමයි සලකන්නේ. ඒ වාගේ වෙලාවක තමයි ඔබ සභාපති හැටියට පත්වෙන්නේ. කලාවේ, ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඉදිරිගාමී අදහස් දරන ඔබ වැන්නෙක් වාරණ මණ්ඩලයක සභාපති වීම ගැන හිතන්නේ කොහොමද?

ඔබ හොඳ තැනකින් පටන්ගත්තේ. මම මේ පුටුවේ වාඩිවුණේ මෙතැනින් මේක ඉවර කරන්නයි. 1952 රැුඟුම් පාලක මණ්ඩල පනත ඉංග‍්‍රීසියෙන් හඳුන්වන්නේ ‘පබ්ලික් පර්ෆෝමන්ස් බෝඞ් ඇක්ට්’ කියලා. නමුත් ඒක සිංහලෙන් රැුඟුම් පාලක මණ්ඩලය කියලයි කියන්නේ. ඒත් ප‍්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ කපන මණ්ඩලය, වාරණ මණ්ඩලය, එහෙම නැත්නම් සෙන්සර් බෝඞ් කියලා.

1994 ඡන්දෙන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පැරදිලා චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති වෙලා සුගතපාල ද සිල්වා මහත්තයාට ආරාධනා කළා රැුඟුම් පාලක මණ්ඩලයේ සභාපති පදවියට එන්න කියලා. සුගත් අයියා පොඩි කොළ කෑල්ලක් යැව්වා චන්ද්‍රිකා මැතිනියට, ‘චන්ද්‍රිකා, මම වාරණයට විරුද්ධ බව ඔබතුමියත් දන්නවා නේද? – සුගත්.’ කියලා. එදා ඔය සිද්ධිය ගැන කතාකර කර ඉන්නකොට වික‍්‍රමසිංහ මහත්තයා කිව්වා, රැුඟුම් පාලක මණ්ඩලය යල්පැන ගිය සංකල්පයක් බවට පත්වෙමින් තියෙනවා, අපි මේක වෙනස් කරන්න ඕනෑ, රැුඟුම් පාලනය කිරීමේ මණ්ඩලයක් රටට අවශ්‍ය නැහැ කියලා. මේ සැරේ මේක මට භාරගන්න කියන ගමන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කිව්වේ, අපි මේක වෙනස් කරන්න ඕනෑ සමන්, ඒක තමයි ඔයාගේ ප‍්‍රධාන කාර්යය වෙන්නේ කියලා.

දියුණු රටවල මේක පවත්වන්නේ වර්ගීකරණ මණ්ඩලයක් විදියට. අපේ මුඛ්‍ය අරමුණක් වෙන්නේත් මේක වර්ගීකරණ මණ්ඩලයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සකස්කිරීමයි. දැනට තියෙන පනත යටතේ මණ්ඩලයේ එක වගකීමක් වන්නේ චිත‍්‍රපටවලට බලපත‍්‍ර නිකුත්කිරීම. ඒ හා සමාන වගකීමක් ලෙස මේ මණ්ඩලයම කටයුතු කරනවා, ඉතාම කෙටි කාලයක් තුළ මේක වර්ගීකරණ මණ්ඩලයක් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට. ඒ සඳහා අලූත් පනතක් ගේන්න අවශ්‍යයි. ඒ ගැන අපි දැනටමත් බොහෝදෙනකුගේ අදහස් විමසීම පුද්ගලික මට්ටමෙනුත් කරගෙන යනවා. විශේෂයෙන් අපේ රටේ ඉන්නවා මේ වර්ගීකරණ ක‍්‍රියාදාමය පිළිබඳව හැදෑරූ අය. ඉදිරියට ඒ අයත් එක්කත් සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. එසේම විවිධ රටවල වර්ගීකරණ මණ්ඩල සමගත් සම්බන්ධයක් ඇතිකරගෙන ඒ ක‍්‍රමවේදයන් හදාරලා ලංකාවට ගැළපෙන ක‍්‍රමවේදයක් හදාගන්න අපි වැඩ කරනවා.

 

Lady Chaterlys lover

ඔබ හිතන විදියට ඇයි මේක කපන මණ්ඩලයක් බවට පත්වෙන්නේ?

බොහෝ අවස්ථාවල මේක ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්කෝ චිත‍්‍රපටි තහනම් කළ නිසා, නැතිනම් කෑලි කැපූ නිසා, ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලවල චිත‍්‍රපටි තහනම් කළ නිසා. එලෙස සමාජගත වෙච්ච අදහසත් සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න ඕනෑ. මේක කපන මණ්ඩලයක් නෙවෙයි. නිර්මාණයක් සංස්කරණය කරන්නේ චිත‍්‍රපටියේ සංස්කරණ ශිල්පියා. වෙන කවුරුත් සංස්කරණය කළ යුතු නැහැ. නීතිරීති අනුව අපිට කියන්න පුළුවන්, මේක වැඩිහිටියන්ට සුදුසු චිත‍්‍රපටියක්, නැතිනම් සියල්ලන්ටම සුදුසු චිත‍්‍රපටියක් කියලා. ඒ වාගේම ඉතාමත් බාල අශ්ලීල කාමුක චිත‍්‍රපටියක් තහනම් කිරීමේ බලයත් තිබිය යුතුයි කියලා මම හිතනවා. ඒ පාරිශුද්ධභාවය පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා නෙවෙයි, කලාව පිළිබඳ ප‍්‍රශ්නයක් උඩ. පෝනොග‍්‍රාෆ් තත්ත්වයට අයිති ඒවාත් චිත‍්‍රපටි කියන කඩතුරාවට මුවාවෙලා එන්න පුළුවන් නිසා. නමුත් කලාත්මක, රසිකයන්ගේ රසඥතාව වර්ධනය කිරීමට ඉවහල් වන, සිනමා කර්මාන්තයේ ප‍්‍රගමනයට හේතුපාදක වන නිර්මාණවලට බාධා කරන මණ්ඩලයක් විදියට කටයුතු කිරීම අපේ අරමුණ නෙවෙයි.

 

පනත යටතේ මණ්ඩලයට තිබෙන බලතල මොනවාද?

පනතේ තිබෙන යම් යම් වගන්ති අපට නිර්වචනය කරන්න පුළුවන්නේ. උදාහරණයකට ප‍්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත‍්‍රපටියේ විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක් පිස්තෝලයක් ළඟ තියාගෙන ඉන්නවා. පරණ රැුඟුම් පාලක මණ්ඩලය, ඒක ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විදියට නිර්වචනය කරනවා. ‘විශ‍්‍රාමික නිලධාරියකුට එහෙම පිස්තෝලයක් තියාගෙන ඉන්න බැහැ, එසේ පෙන්වීමෙන් හමුදාවේ මානසික ධෛර්යය බිඳවැටෙන්න පුළුවන්, මානසික ධෛර්යය බිඳවැටුණොත් හමුදාව උකටළී වෙන්න පුළුවන්, උකටළී වුණොත් ඉදිරි අවස්ථාවක ඔවුන් පසුබෑමකට ලක්වෙන්න පුළුවන්, ඒක ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්’ ආදි ලෙස නිර්වචනය කරන්න පුළුවන්. එහෙම නිර්වචනයකට පසුබිම් වන හේතු සාධාරණද අසාධාරණද යථාර්ථවාදීද කියන එක වෙනම ප‍්‍රශ්නයක්.

පනත පිළුණු වුණාට ඒක ඇතුළේත් අපට කළ හැකි යම් දේවල් ඉතිරි වෙලා තියෙනවා. රටම වසාගෙන සිටි බරපතළ දේශපාලනිකකරණය නිසා ඒ කළ හැකි දේවල් කරන්න පවා පසුබිමක් මේ ආයතන ඇතුළේ මෙතෙක් තිබුණේ නැහැ. දැන් සමස්ත සමාජයම නිදහස් වෙනකොට, නිදහසේ කතාකරන්න ලියන්න චිත‍්‍රපටි හදන්න ලැබෙනකොට මේ සියල්ලෙන්ම ඒ නිදහස පිළිබිඹු වේවි.

අපේ රටේ තියෙන ලොකු අවුලක් තමයි නිලධාරීන්ගේ ස්වයං-දීනභාවය. ආණ්ඩුව බලපෑමක් කළත් නැතත් ඔවුන් ස්වභාවයෙන්ම දීනයි. මේ මණ්ඩලයේ මීට පෙර හිටි නිලධාරීනුත් කලාව ගැන ලොකුවට කතාකළා, ලිව්වා. ඒත් තමන්ගේ වගකීමවත් ඉෂ්ටනොකරන දීනයන් පිරිසක් බවට පත්වෙලා හිටියා. දැන් ඔබේ සභාපතිත්වයෙන් යුත් මණ්ඩලය, මම පුද්ගල නම් අහන්නේ නැහැ, මේ මානසික දීනභාවයෙන් නිදහස් වෙච්ච බවට සහතිකයක් දෙන්න පුළුවන්ද?

ඔබ කිව්වා වාගේ පුද්ගලයන් ගැන නෙවෙයි කාර්යභාරය ගැන කතාකළොත්, චිත‍්‍රපට ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ විචාරකයන්, චිත‍්‍රපට ගැන පරතෙරට හදාරලා තියෙන තාරකාවන් වැනි ප‍්‍රසිද්ධ චරිත මේ අලූත් මණ්ඩලයේ නැහැ. හැබැයි මේ ඉන්න හැම කෙනෙක්ම කලාවට ආදරේ සහ හොඳ නිර්මාණ කළ අය.

මේ අතර සම්මානිත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්, විශාල වශයෙන් පතපොත ලියූ අය, වැදගත් සහ උසස් කලාත්මක රූපවාහිනී ගුවන්විදුලි නිර්මාණකරුවන් ඉන්නවා. වෙබ් මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදියෙක් පළවෙනි වතාවට මේ මණ්ඩලයට අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වාගේම සමාජ මාධ්‍ය නියෝජනය කරන එහි ක‍්‍රියාකාරීව සිටින තරුණයෙක් ඉන්නවා. කාන්තා නියෝජිතයන් හය දෙනෙක් ඉන්නවා. ප‍්‍රධාන සුළු ජනවර්ග නියෝජනය කරන කාන්තාවන් තුන්දෙනකුත් ඔවුන්ට ඇතුළත්. සුළු ජාතික නියෝජනය පහ දක්වා වැඩිකරලා තියෙනවා. විශේෂත්වය, මේ කිසිම කෙනෙක් පහුගිය අවුරුදු දහය දොළහ ඇතුළත මේ මණ්ඩලයේ සාමාජිකත්වය දැරූ අය නෙවෙයි. මම හිතනවා මේ සංයුතිය ඉතාමත් වර්ණවත් කියලා. මා ඉල්ලන්නේ ඔවුන් ගැන පූර්ව නිගමනයකට එන්නේ නැතිව ක‍්‍රියාකලාපය මගින් ඔවුන් මනින්න කියලායි.

අපේ පළමු රැස්වීමේදීම මණ්ඩලයේ සාමාජිකයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කරන්න තීරණයක් ගන්න හැකිවුණා. ඒක මණ්ඩල ඉතිහාසයේම තිබුණු දෙයක් නෙවෙයි. චිත‍්‍රපටි සම්බන්ධ කිසිම විචාරාත්මක කරුණකට මේ අය සහභාගිවෙන්නේ නැහැ, කිසිම චිත‍්‍රපට ජූරියක ඉඳගන්නේ නැහැ, චිත‍්‍රපටි නිෂ්පාදකයකුගෙන් තේ කෝප්පයක්වත් බොන්නේ නැහැ, සමීප සම්බන්ධයක් ඇති අයගේ චිත‍්‍රපටි සමීක්‍ෂණයට ඒ සාමාජිකයා ඉඳගන්නේ නැහැ ආදි වශයෙන් ආචාර ධාර්මික රීති එයට ඇතුළත් වේවි.

තවත් වැදගත් තීරණයක් ගත්තා ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල සම්බන්ධයෙන්. එවැනි උළෙල සඳහාත් මණ්ඩලය බලපත‍්‍ර ගාස්තු අය කරනවා. චිත‍්‍රපටි දහයක් දොළහක් වෙනකොට ඒක විශාල මුදලක්. අවශ්‍ය රෙගුලාසි ළඟදීම සකස් කරලා, ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලවල චිත‍්‍රපටි බලපත‍්‍ර ගාස්තුවෙන් නිදහස් කරන්න අපි තීරණය කළා.

පහුගිය කාලයේ වුණු තවත් වරදක් තමයි, ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලවල චිත‍්‍රපටි අපි මෙහෙ නැවත බලලා වාරණය කිරීම. ලෝකයේ අතිශය ප‍්‍රකට අධ්‍යක්‍ෂවරුන්ගේ චිත‍්‍රපටි පවා මෙහේදී එලෙස කපාකොටා ‘යළි සංස්කරණයට’ භාජනය වුණා. සමහර චිත‍්‍රපටි තහනම් කළා. තීරණය කළේ, එවැනි චිත‍්‍රපටියකට තමන්ගේ රටේ, මේ හා සමාන බලයලත් අධිකාරිය විසින් නිකුත්කරලා තිබෙන සහතිකයටම සමාන සහතිකයක් අපි ලබාදීමටයි, උළෙල වෙනුවෙන්. එවිට ඒ රටේ චිත‍්‍රපටිය ඒ විදියටම නැරඹීමේ, අධ්‍යයනය කිරීමේ අවස්ථාව අපේ රසිකයන්ට ලැබේවි.

වාරණය කිරීම හෙවත් කපලා ඉවත්කිරීම නූතන තාක්‍ෂණයත් එක්ක කිසිසේත්ම බලපෑමක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප‍්‍රායෝගික දේකුත් නෙවෙයි. ඒ නිසා බොරු බලයක් පෙන්වීමේ අවස්ථාවක් නූතන තාක්‍ෂණය නිසා ලැබෙන්නේ නැහැ.

කෙටියෙන් ඇහුවොත් ඔබේ කාලය ඇතුළත චිත‍්‍රපටි කපන්නේ නැති වෙයිද?

බොහෝ දුරට අපි කපන්නේ නැති වෙයි.

සංස්කරණය සංස්කරණ ශිල්පියාටම භාරදෙමු. අපි වර්ගීකරණය කරන්න පුළුවන්. දැනට පුළුවන් කාණ්ඩ තුනකට වර්ග කරන්න විතරයි. එකක් අසීමිත ප‍්‍රදර්ශනය. අනෙක වැඩිහිටියන්ට වඩා සුදුසු. ඒ යටතේ දෙමාපියන්ට අභිමතය පරිදි 18ට අඩුවයස් අයව බලන්න එක්ක එන්න පුළුවන්. අනෙක වැඩිහිටියන්ට පමණයි. ඉන්දියාවේ වුණත් කාණ්ඩ පහක් පමණ තියෙනවා. සමහර විට අපේ මේ කාණ්ඩත් වැඩිකරන්නට හැකිවේවි. ඒ විදියට කප්පාදුවකින් තොරව චිත‍්‍රපටි අනුමත කිරීමේ ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වාගේම චිත‍්‍රපටි කඩතුරාවට මුවාවෙලා ඉන්න නිල් චිත‍්‍රපටි ගණයේ ඒවා ගැන ඉතාම තදින් ඉන්නත් මේ මණ්ඩලය සූදානම්.

ඔය දෙක සීරුවෙන් තෝරාගන්න පුළුවන් අය මණ්ඩලයේ ඉන්නවා කියලා විශ්වාසද?

මම හිතන්නේ ලංකාවේ හුඟක් අයට ඒ මානසික මට්ටම තියෙනවා එළියට කියන්නේ නැති වුණාට. ඒක අපේ සුචරිතවාදීන් ගෙනෙන ප‍්‍රශ්නයක් නේ. හැබැයි ඔවුන් පෞද්ගලිකව පාවිච්චිකරන කම්පියුටර්වල හිස්ට්රි එකට ගියොත් ඒ සුචරිතවාදීන් ගැන හොඳ වාර්තාවක් අපිට ලබාගන්න පුළුවන් වෙයි.

 Image result for බොරදිය පොකුණ

සමහර චිත‍්‍රපටි පහුගිය කාලේ ඉතාමත් අමනොඥ හේතු මත තහනම් කළා. යම් හෙයකින් ඔවුන් නැවතත් ඔබේ මණ්ඩලයට චිත‍්‍රපටි ඉදිරිපත් කළොත් ඒ ගැන යළි සලකා බලන්න සූදානම්ද?

පනත අනුව, චිත‍්‍රපටියක් ගැන මණ්ඩලය යම් තීරණයක් දුන්නොත්, ඒ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් මණ්ඩලයටම. මණ්ඩලයට එම චිත‍්‍රපටිය නැවත සමීක්‍ෂණය කිරීමේ අවස්ථාව තියෙනවා. දැනටමත් අභියාචනා ඉදිරිපත් කළ චිත‍්‍රපටි දෙකක් සම්බන්ධ පරණ තීරණය අපි වෙනස්කරලා තියෙනවා. ප‍්‍රසන්නගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ අභියාචනය අනුව නැවත බලලා එකම දර්ශනයක්වත් කපන්නේ නැතිව ප‍්‍රදර්ශනයට අනුමත කළා වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත‍්‍රපටියක් විදියට. තවත් තරුණ නිර්මාණකරුවකුගේ ‘මෝටර් බයිසිකල්‘ කියලා චිත‍්‍රපටියක් කිසිම ලිංගික දර්ශනයක්වත් නැතුව වැඩිහිටියන්ට පමණයි කියලා සීමාකරලා තිබුණා. අපි ඒක බලලා අසීමිත ප‍්‍රදර්ශනය සඳහා බලපත‍්‍රය ලබාදුන්නා.

කාට හරි එහෙම ප‍්‍රශ්නයක් තියෙනවා නම් අපි කැමතියි ඕනෑම වෙලාවක ඒ ගැන සාකච්ඡුා කරන්න. මොකද මේ මණ්ඩලය බලය පතුරන මණ්ඩලයක් නෙවෙයි රටේ නිර්මාණකරණයට විශේෂයෙන්ම අලූත් පරපුරේ නිර්මාණයන්ට උදව් උපකාර කරන, දිරිමත් කරන, කලා රසඥතාව වැඩිදියුණු කරන නිර්මාණ සඳහා හැම වෙලාවේම පාරක් විවෘත කරන්න වෙහෙසෙන මණ්ඩලයක් හැටියටයි ක‍්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්නේ.

 

ආරක්‍ෂක අමාත්‍යාංශය පහුගිය කාලයේ නරක විදියට චිත‍්‍රපටි සඳහා මැදිහත් වුණා. පනතේ ඒ සඳහා තිබෙන ඉඩකඩ මොකක්ද?

පනත හැදුණේම 1952දී ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ. පහුගිය යුද වාතාවරණයත් එක්ක මේකට සමහර අවස්ථාවල මණ්ඩල සාමාජිකයන් වශයෙනුත් ආරක්‍ෂක අංශවල අය පත්කරලා තිබුණා. ඒ අය අතර කලාව පිළිබඳ අවබෝධයක් තිබුණු අයත් නැති අයත් හිටියා. කලාව ගැන අවබෝධයක් නැති අය බැලූවේ මිලිටරි ඇහෙන් විතරයි. ඔවුන් බලවත් විදියට මතයක් ප‍්‍රකාශ කළාම මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් ඊට එරෙහිව නොයන අවස්ථා තිබුණා. එයින් නිර්මාණවලට අසාධාරණයක් වූ අවස්ථා තිබුණා.

පනත අනුව යම්කිසි විසංවාදී තත්ත්වයක් ඇතිවුණොත් හෝ විශේෂයෙන් පැහැදිලි කරගත යුතු තත්ත්වයක් ඇතිවුණොත් සභාපතිවරයාට බලතල තියෙනවා ඕනෑම ක්‍ෂෙත‍්‍රයක ප‍්‍රාමාණිකයෙක් මණ්ඩලයට කැඳවලා මතය විමසන්න. එහෙම කළ අවස්ථාත් තිබුණා. ඒවායින් මණ්ඩලයේ ස්වාධීනත්වයට බාධා පැමිණි අවස්ථාත් තිබුණා.

පහුගිය කාලයේ මුළු සමාජයම මිලිටරිකරණය වීමේ පිළිබිඹුවක් මෙතැනත් තිබුණා. ප‍්‍රසන්නගේ චිත‍්‍රපටියේ සමහර කොටස් කපන්න කිව්වේ ඒ හමුදා බලපෑම නිසා. චිත‍්‍රපටියක් නිසා හමුදාවේ මානසික පසුබෑමක් වෙනවා නම් එල්ටීටීඊයට කරන්න තිබුණ ලේසිම වැඬේ පික්චර් පෙන්න පෙන්න ඉන්න එකයි.

අපි කරන්නේ ඒවායින් පාඩම් ඉගෙනගෙන නිර්මාණයට හා නිර්මාණකරුවාට ප‍්‍රමුඛස්ථානය ලබාදෙන අනාගත ප‍්‍රතිපත්තියක් ඉලක්ක කරගෙන කටයුතු කිරීමයි.

අනෙක් ප‍්‍රශ්නය තමයි ඇමතිවරු, දේශපාලකයො මණ්ඩලයට ඇඟිලි ගැහීම?

මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඇමතිවරුවත් මේ නිර්මාණවලට ඇඟිලි ගහන්න ඒවි කියලා. ඔවුන්ගේ අරමුණ යහපාලනය නිසා. ඒ ගැන මට දැනට සහතිකයි.

එවැනි තත්ත්වයකට ඔවුන් පත්වුණොත් ඒ ගැන අපිට බලන්න සිද්දවෙනවා පුරවැසියන් හැටියට. සදාකල් ඉන්න බලාපොරොත්තු වෙච්ච පාලකයන්ට එහෙම ඉන්න බැරිවුණා. පුරවැසියන්ගේ බලය පෙන්වීම නිසා. මේ ආණ්ඩුවේ අය ඒ පුරවැසි බලය හොඳින් අවබෝධ කරගෙන තියෙනවා කියලා මම හිතනවා.

A new approach to censoership

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.