මේ පුරවැසි බලයද?

KKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKK

පසුගියදා පුරවැසි බලය සාමාජිකයින් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවුහ.

අළුත් ආණ්ඩුව බලයට පත් කිරීමේදී පුරවැසි බලය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය.

ඔවුන් කියා සිටි පරිදි  ශ්‍රීලංකා වාසීන් යටත් වැසියන් නොවීම පිණිස ආණ්ඩුව වෙනස් කල යුතු විය. දැන් ආණ්ඩුව වෙනස් වී ඇත.එපමණකින් පුරවැසියන් හට තමන්ට හිමි තැන සනාථ වෙතැයි සිතන්නේ නම් ඒ මහා මුලාවකි.

මේ පුරවැසි කණ්ඩායමට පුරවැසියා යනු කවරෙක්ද යැයි වැටහීමක් තිබේද යැයි ප්‍රශ්නයකි.

පුරවැසියා  යනු රාජ්‍ය  සහ වෙළෙඳ පංතිය එක්ව අහුරන  ලෝකය මග පාදා ගැනීම  සඳහා සටන් කරන්නෙකි. දේශපාලකයා ගෙන් ලැබෙන වරදාන වලට යට නොවන්නෙකි.

පුරවැසියා දේශපාලකයා ගේ මුක්කුවක් නොවේ. එහෙත් මේ පුරවැසි බලය යනු මුලික වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මුක්කුවක් බව පෙනේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ පුරවැසියන්ට ලබා දිය හැකි දේ ප්‍රකාශ කොට ඇති අතර ඔවුන් තමනට අවශ්‍ය සුළු සුළු දේවල් කීපයක් ඉල්ලා තිබේ.යහ පාලනය සහ ජාතවාදය පිටු දැකීම ගැන කතා කොට ඇතැත් ඒවා හුදු ප්‍රකාශ මිස ඒ පිළබඳව යාන්ත්‍රණ ගොඩ නගා  ගැනීම පිළිබඳව බැරෑරුම් කතා බහක් කෙරුණු බව දැන ගන්නට නැත.

පුරවැසි බලය කියන්නේ මේකට නොවේ.

ශ්‍රි ලංකාවේ පුරවැසියන්ට තමන්ගේ මානව ගරුත්වය රැකෙන  පරිදි ජීවත්වීම බැරි කරවන සාධක රැසක් ඇත.

බස් රියක ගැහැනියකට ගමන් කිරීමට  බැරි මෙන් පටන් ගෙන දේශපාලන සුදුසුකම් නැතිව රැකියාවක් ලබාගත නොහැකිවීම දක්වා වූ අපමණක්  වූ අයිතීන් අහිමිවීම පිළිබඳව වූ

ගැටළු වලට මිනිසුන්ට මුහුණ දීමට සිදුවේ.

ඇමරිකාවේ නම් මේ වපසරිය ආවරණය වෙන්නේ – Bill of Rights-හෙවත් අයිතීන් පිළිබඳව වූ පනතකිනි. මේ පනතින් ආණ්ඩුව පුද්ගලයින්ට කරන බලපෑම සීමා කෙරේ.

ශ්‍රි ලංකාවේ ඇත්තටම සිටින්නේ පුරවැසියන් හෝ යටත් වැසියන් නොව සිරකරුවන්ය. ඡන්දය ප්‍රකාශ  කිරීමෙන් ඇප අත් අඩංගුවට ගන්නා ජේලර්වරුන් කව්රුන්දැයි අපි මැතිවරණ වලදී තීරණය කරමු.අළුත් ආණ්ඩු පත් කිරීම යනු ඒ ක්‍රියා දාමයයි.

මේ පුරවැසිබලයේ වැඩි දෙනා ගරු කටයුතු මහත්වරුය.එහෙයින් ඔවුන් ගේ භූමිකාව පිළිබඳව ගැඹුරින් කල්පනා කර බැලීම ඔවුන් ගේ වගකීමයි.

මේ පුරවැසි බලය සහ අගමැතිතුමා අතර ඇතිවූ සංවාදය වාර්තාවූ ආකාරයයි

අගමැති රනිල් වික්‍රමසිංහ

ඔබේ සංස්කෘතික සහ කලා කටයුතුවලට අදාළ රැස්වීම් සහ උත්සව වෙනුවෙන් මේ අරලියගහ මැදුරේ ඉඩකඩ අපට ලබා දීමටත් මා පියවර ගන්නවා. මේ අරලියගහ මැදුරේ  3000 ක් පමණ පිරිසකට රැස්විය හැකි සම්භාෂණ ශාලාවක් පවා තිබෙනවා. එමෙන්ම තවත් 3000 ක පමණ පිරිසකට රැස්විය හැකි ශාලාවක් ඉදිකෙරමින් ද පවතිනවා. ජනතාව ගෙවූ බදු මුදල්වලින් පසුගිය කාලයේ සිදු කර ඇත්තේ කුමක්ද කියා මේ අති සුඛෝපභෝගී මන්දිරය දෙස බැලූවාම ඕනෑම අයෙකුට තේරුම්ගත හැකියි. මෙම ශාලා කලා කටයුතු සඳහා ලබා දීමට මම පියවර ගන්නවා.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මෙසේ පැවසීය. 

ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට කඩිනමින් පියවර ගත යුතුව තිබෙනවා. වංචා සහ දූෂණ සිදු කළ අයට විරුද්ධව ඉක්මනින් පියවර ගැනීම අවශ්‍යයි. දින 100 වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව අවධානයෙන් පසු වනවා. එම වැඩසටහන නියමිත පරිදි සිදු වනු දැකීම ජනතාවගේ අපේක්‍ෂාව වන අතර පොරොන්දු වූ පරිදි එය සිදු කළ යුතුයි.

මේ අතර තවත් පිරිසක් නැවතත් ජාතිවාදය පතුරුවා හැරීමට කටයුතු කරනවා. පසුගිය කාලය තිස්සේ සිදු වූ ජාතිවාදී ක්‍රියා නිසා ජනතාව විවිධ කරදරවලට මුහුණ දුන්නා. එම නිසා යහපාලනය යටතේ ජාතිවාදයට විරුද්ධව කටයුතු කිරීමත් ඉතා ඕනෑකමින් සිදු කළ යුතුයි. “

එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ කලාකරු පරාක්‍රම නිරිඇල්ල මහතා මෙසේ පැවසීය.

“ජාතික, සංස්කෘතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් තිබෙනවා. එය ඉක්මනින් සකස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. පසුගිය ආණ්ඩු කාලයේ කලාකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී කලාකරුවන්ගෙන් අදහස් ලබා ගත්තේ නැහැ. නමුත් මේ ආණ්ඩුව යටතේ අපි එය බලාපොරොත්තු වෙනවා. ජාතිවාදයට යළිත් හිස එසවීමට ඉඩ නොදී සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ඇති කරමින් පාලනය ගෙන යා යුතු බව සියලූ දෙනාගේම හැඟීමයි.“

එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ සිනමා විචාරක සහ කලාකරු ගාමිණී වියන්ගොඩ මහතා මෙසේ පැවසීය.

‘ජනාධිපතිවරණයේ දී ජනතාවට පොරොන්දු වූ ආකාරයෙන්ම දින 100 වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. දින 100 ට වඩා වැඩි කාලයක් ගත වුවත් කමක් නැහැ. අවශ්‍ය වන්නේ එම කරුණු ඉටු කිරීමයි. මේ සභාවේ කීප දෙනෙක්ම අදහස් දැක්වූ පරිදි ජාතිවාදය සහ ආගම් වාදය යළි ඇවිලවීමේ ප්‍රයත්නයක් අප දකිනවා. එවැන්නකට අප කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. ජාතික සමගිය මේ රටේ ස්ථාපිත කිරීමේ ඕනෑම වෑයමක් වෙනුවෙන් අප කැපවෙනවා. එ වෙනුවෙන් අප පෙනී සිටිනවා.“

එහිදී අදහස් දැක්වූ ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්‍ෂක ප්‍රසන්න විතානගේ මහතා

‘රැඟුම් පාලක මණ්ඩලය වර්ගීකරණ මණ්ඩලයක් බවටත්, ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රවර්ධන සංස්ථාවක් බවටත් පත් කිරීමේ අවශ්‍යතාවක් පවතිනවා. වත්මන් ආණ්ඩුව යටතේ කලාකරුවන් ලෙස අප එය බලාපොරොත්තු වනවා.“

එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සහ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේ පැවසීය.

“අද කලාභවන වැඩි වැඩියෙන් පාවිච්චි කරන්නේ කලා කටයුතු සඳහා නෙවෙයි. කලාකරුවන්ගේ අවසන් කටයුතු සඳහා. මේ ගැන අප අලූතින් සිතා බැලිය යුතුයි. කලා භවන හා ඒ අවට සංස්කෘතික කටයුතු සඳහා වෙන්වූ ආයතන ගණනාවක් තියෙනවා. සෞන්දර්ය විශ්ව විද්‍යාලය, නෙළුම් පොකුණ, විහාරමහාදේවී එළිමහන් රංග පීඨය, කොළඹකෞතුකාගාරය. ඉතින් මේ පරිශ්‍රය සංස්කෘතික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉඩකඩක් තියෙනවා.“

එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ගීත රචක සහ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතා මෙසේ පැවසීය.

“බුද්ධිමය දේපොළ සම්බන්ධයෙන් පනත් සම්මත වී තිබුණත් ඒ පිළිබඳ නීති රීති නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ නෑ. කර්තෘභාග ගෙවීම අද ජනමාධ්‍යයනට සීමා වෙලා. නමුත් කර්තෘභාග ගෙවීම් ඊට වඩා ඔබ්බෙන් ගිය දෙයක්. ඒ නිසා මේ තත්වය පිළිබඳ කඩිනම් අවධානය යොමු කරන ලෙසත්, බුද්ධිමය දේපල පිළිබඳ ලෝක සංවිධානයන්හි ප්‍රමිතීන්ට අනුකූලව ලංකාවේ කටයුතු සංවිධානය කිරීමට  අවශ්‍ය පසුබිම සකසන ලෙසත් අප ඉල්ලා සිටිනවා.“

මෙම අවස්ථාවට පුරවැසි බලය නියෝජනය කරමින් නිර්මාණවේදීන් විශාල සංඛ්‍යාවක් ද, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුද සහභාගී වූහ.

Citizens power needs to be understood

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.