Constitution:අළුත් ව්‍යවස්ථාවේ ජනපතිටත් බලතල ඇත-ජයම්පති වික්‍රමරත්න

 

jayampathi_wickaramarathna

 මේ දිනවල කෙරීගෙන යන  ව්‍යවස්ථා සංසෝධන වල  මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජනාධිපති නීතීවේදී ජයම්පති වික්‍රමරත්නයි

 

මෛත‍්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද?

1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද සිල්වා පස්සෙ කාලෙකදි කිව්වා ව්‍යවස්ථාවක් හදනකොට එය හදන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඇමති නෙවෙයි කියලා. එනම්, ව්‍යවස්ථාව හැදීමට එකතු වන දේශපාලන බලවේගවල සම්ප‍්‍රයුක්තය තමයි අවසාන ව්‍යවස්ථාව වන්නේ. ඒ වගේ තමයි, මම මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කමිටුවේ සාමාජිකයෙක්. ලංකාවේ ඉන්න හොඳම දක්‍ෂතම විශ‍්‍රාමලත් කෙටුම්පත්කරුවකු හා කාරියක ඊට ඇතුළත්. 2000 ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේත් මම සාමාජිකයකු වෙලා හිටියා. නමුත් අපි ඒ ව්‍යවස්ථාව හදන්නේ නැහැ. කෙටුම්පත් කරනවා විතරයි. දේශපාලන අධිකාරියෙන් ලැබෙන උපදෙස් අනුව තමයි අපි කටයුතු කරන්නේ. අපිට වුවමනා විධිවිධාන දාන්න අපට අයිතියකුත් නැහැ.

ඒකෙන් අදහස් කරන්නේ නැහැ කෙටුම්පත්කරුවන්ට කිසිම ඉඩක් නැහැ කියලා. තියෙනවා. ඒ ඉඩෙන් අපි ප‍්‍රයෝජනත් ගන්නවා. ඒත් අපි හැම තිස්සේම කෙටුම්පත දේශපාලන අධිකාරියත් සමග බෙදාහදාගන්නවා.

මේ කමිටුව හදන කෙටුම්පත ඊළඟට යනවා නීති කෙටුම්පත්කරු ළඟට. ඔහු තමයි කෙටුම්පතේ අවසාන වගකීම ගන්නේ. ඔහුගේ තාක්‍ෂණික ශෛලිය අනුවත් එය වෙනස් කරන්න ඉඩ තියෙනවා. මෙවර නීති කෙටුම්පත්කරුට විශාල වගකීමක් තියෙනවා. මොකද දවස් සීය ඇතුළත විශාල ප‍්‍රමාණයක් නීති ගේන්න නියමිතයි. ඔහුගේ බර අඩු කිරීමටත් එක්ක තමයි අපි මුල් කෙටුම්පත හදන්නේ.

නීතිපතිගේ වැඬේ මොකක්ද?
නීතිපති තමයි පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධි කරණයේදී අභියෝග කළොත් ආණ්ඩුව වෙනුවෙන් පෙනීහිටින්නේ. එනිසා ඔහු මෙයට එකඟවිය යුතුයි. ඒ වගේම කෙටුම්පතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලභාවය බලන්නේත් ඔහු.

ඔබ මීට පෙරත් මාස හයක වැඩසටහනකට අවශ්‍ය වන ව්‍යවස්ථාමය වෙනස්කම් කෙටුම්පත් කළා. එහි සහ මෙහි වෙනසක් තියෙනවාද?

ඒක පහසුවක් වුණා. අද පාවිච්චි කරන කෙටුම්පතේ මුල්ම කෙටුම්පත අපි කළේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන්. එහි තිබුණු සියල්ල මෙහි නැහැ. නමුත් ඒක පදනම් කරගෙන වැඬේ ආරම්භ කිරීමට පහසු වුණා.

නව ව්‍යවස්ථාමය වෙනස්කම් අනුව ජනාධිපතිවරයා කෙබඳු කෙනෙක්ද?
අලූත් ක‍්‍රමය යටතේත් ජනාධිපතිවරයා තමයි රාජ්‍ය නායකයා. විධායක බලතල තියෙන්නේ ඔහුගේ නමින්. ඒ වගේම ඔහු සේනාධිනායකයා. නමුත් පාර්ලිමේන්තු ක‍්‍රමයකදී වාගේ ඔහු හැම තිස්සේම කටයුතු කළ යුත්තේ අගමැතිගේ හා ඇමති මණ්ඩලයේ උපදෙස් මතයි. නමුත් මේ ජනාධිපති, 71 ව්‍යවස්ථාව අනුව හිටි ගොපල්ලව පන්නයේ හුදු නාමික ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඉන්දියාවේ ව්‍යවස්ථාව වගේ ජනාධිපතිවරයාට බලය ලැබෙනවා අගමැතිගෙන් හා ඇමති මණ්ඩලයෙන් ලැබෙන උපදෙස් නැවත සලකා බලන ලෙස ඉල්ලා යැවීමට. පාර්ලිමේන්තුව පනත් කෙටුම්පතක් සම්මත කළාම මීට පස්සේ ඊට අත්සන් කරන්නේ කතානායකවරයා නෙවෙයි ජනාධිපතිවරයා. ඉන්දියාවේ වගේම, පනත හෝ එහි වගන්ති ගැන නැවත සලකා බලන ලෙස පාර්ලිමේන්තුවට දන්වා යවන්න ඔහුට පුළුවන්. නමුත් පාර්ලිමේන්තුව නැවත සලකා බලා දෙවැනි වරට ඉදිරිපත් කරන කෙටුම්පත අවසාන එක ලෙස පිළිගන්නට ජනාධිපතිවරයා බැඳෙනවා.

ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය හැටියට මේ කෙටුම්පතේ විස්තර කරනවා. සංහිඳියාව හා ඒකාබද්ධතාව සඳහා ඔහුට වගකීම් පැවරෙනවා. ආගමික සහ ජනවාර්ගික සමගිය පිළිබඳවත් ඔහු පහසුකම් සපයන්නට ඕනෑ. යහපාලනය පිළිබඳ වගකීමත් ඔහුගේ. ස්වාධීන කොමිෂන් සභා නිසි ලෙස ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සැපයීමත් ඔහුගේ කාර්යයක්.

ඊළඟට මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා ජනාධිපතිගේ මුක්තිය අයින් කරනවා කියලා. ඒ අනුව ඔහුගේ රාජකාරි නිල කාරණා සියල්ල සම්බන්ධයෙන් නඩු පවරන්නට පුළුවන්. පාර්ලි මේන්තුවේත් ජනාධිපති වරයාගේත් ධුරකාල සීමාව අවුරුදු පහ දක්වා අඩුවෙනවා.

ඒ කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට බැරිද?
අවුරුදු හතරහමාරක කාලයක් දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. පාර්ලිමේන්තුව තුනෙන් දෙකක ඡුන්දයෙන් ඉල්ලා සිටියොත් පමණයි ඒ කාලය තුළ විසුරුවා හරින්න පුළුවන්. විසුරුවා හැරීමේ බලය තිබෙන්නේ අගමැතිගේ උපදෙස් මත ජනාධිපතිවරයාටයි. අපි යන්නේ කැබිනට් ආණ්ඩු ක‍්‍රමයකට. ජනාධිපති වරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තිබෙන මන්ත‍්‍රීවරයා අගමැතිවරයා හැටියට පත්කෙරෙනවා ඇති. අවශ්‍ය නම් නියෝජ්‍ය අගමැති කෙනකුද පත්කළ හැකියි.

ඇයි අවශ්‍ය නම් කියන්නේ?
සමගි සන්ධාන ආණ්ඩුවක් හැදුණොත් නියෝජ්‍ය අගමැති කෙනකු පත්කිරීමට වුවමනා වෙයි. ඒ සඳහායි ඉඩ තබා තියෙන්නේ. කැබිනට් මණ්ඩලය 30කට සීමා කෙරෙනවා. නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු 40කට සීමා කිරීමට තමයි යෝජනාකර තිබෙන්නේ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට විශේෂ වූ බලතල ප‍්‍රමාණයක් තිබෙනවාද?
සිරිසේන මහතා තමයි මේ අධිකාරි පාලනය වෙනස්කිරීමට නායකත්වය දුන්නේ. ඔහු නිසා තමයි මේ වෙනස්කම් කරන්න පුළුවන් වුණේ. ඒ නිසා සියලූම දෙනා එකඟයි, ඔහුගේ වර්තමාන ධුර කාලය තුළ ඔහුට පමණක් වන සේ යම් බලතල තිබිය යුතුය යන්නට. ඒ අනුව ඔහුට ඇමතිකම් දරන්නට ඉඩ ලැබෙනවා. ඔහු සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයට යන එකක් නැහැ. නමුත් ඔහුට පුළුවන් තමන්ගේ විෂයයන් සාකච්ඡුා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ රැුස්වීමක් කැඳවන්න. ඒ වෙලාවට කැබිනට් මණ්ඩලයේ මූලාසනය දරන්නේ ජනාධිපතිවරයා.

17වැනි සංශෝධනය නැවතත් බලගැන්වෙන්නේ කොහොමද?
18වැනි සංශෝධනයෙන් අහෝසි කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ආදි ආයතන නැවත පිහිටුවනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව 17වැනි සංශෝධනයේ පරිදිමයි. සාමාජිකයන් දහදෙනාගෙන් පස්දෙනෙක් අගමැති හා විපක්‍ෂ නායක එකතුවෙලා අනෙකුත් දේශපාලන පක්‍ෂ නායකයන්ද සමග සාකච්ඡා කරලා නම් කරනවා, ශ‍්‍රී ලංකාවේ වාර්ගික, වෘත්තියමය, සමාජීය විවිධත්වය පිළිබිඹු වන ආකාරයට. අනෙක් අය අගමැති, කතානායක, විපක්‍ෂ නායක, ජනාධිපති වරයාගේ නියෝජිතයකු සහ පාර්ලිමේන්තුවේ කුඩා පක්‍ෂ එකතුවී නම් කරන නියෝජිතයෙක් යන අයගෙන් සමන්විතයි. කතානායක මේ පත්කිරීම් හරිහැටි වෙනවාද යන්න ගැන වගබලා ගත යුතුයි.

ව්‍යවස්ථා සභාවෙන් තනතුරුවලට නම් කළාට ජනාධිපතිවරයා පත්නොකරන අවුල් තත්ත්වයක් පහුගිය කාලයේ ඇතිවුණා.

ඔව්. නමුත් මෙවර වෙනස්කම් අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නම් කළාම සුමාන දෙකක් තුළ ජනාධිපතිවරයා විසින් පත්කළ යුතුයි. ඔහු එය නොකළොත්, පත්කළා සේ සැලකෙනවා. ඒ වාගේම එක පුරප්පාඩුවක්වත් තිබුණොත් සභාවට රැස්වෙන්න බැරි බවට තිබුණු නියමයත් අලූත් කෙටුම්පතේදී ඉවත්කොට තිබෙනවා. ගණපූරණය තියෙනවා නම්, පුරප්පාඩු තිබුණත් රැස්වෙන්නට පුළුවන්.

අධිකරණය සම්බන්ධයෙන් මූලික වෙනස්කම් මොනවාද?
නීතිඥ ප‍්‍රජාවෙන් පැමිණි යෝජනාවක් අනුව විනිශ්චයකාරවරු පත්කරන කොට අගවිනිසුරුගේ, අධිකරණ ඇමැතිගේ, නීතිපතිගේ සහ නීතිඥ සංගමයේ සභාපතිගේ අදහස් විමසායි ඒ පත්කිරීම් කළ යුත්තේ.

ඒ වාගේම රාජ්‍ය සභාවක් එකක් පත්කෙරෙනවා. එය දෙවැනි මන්ත‍්‍රණ සභාවක් නෙවෙයි. නමුත් විවිධ පක්‍ෂවලට තමන්ගේ පාර්ලිමේන්තුවේ නියෝජනයට සමානු පාතිකව නියෝජනයක් ලැබෙන සභාවක්. ඒ වාගේම අගමැති හා විපක්‍ෂ නායක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ඇතිව පුරවැසි හා විවිධ ක්‍ෂෙත‍්‍රවලින් යම් නියෝජිතයන් සංඛ්‍යාවක් එයට පත්කරනු ඇති. පළාත් සභා ප‍්‍රධාන ඇමතිවරුත් එහි ඉන්නවා. ඔවුන් උපදේශාත්මක ව්‍යුහයක් හැටියට ක‍්‍රියාකරනවා. උදාහරණයක් හැටියට යම් පනත් කෙටුම්පතක් ගැසට් කරන ගමන් ඔවුන්ටත් යොමු කරනවා. එතකොට නීති කෙටුම්පත් ගැන ඔවුන්ටත් අදහස් ප‍්‍රකාශ කරන්න පුළුවන්. වෙනත් ජාතික ප‍්‍රශ්න ගැන පවා අදහස් දැනගැනීම සඳහා ඔවුන්ට යොමුකිරීමට ජනාධිපතිවරයාට පුළුවන්. මම හිතනවා මේක යහපාලනයට ඉතා හිතකර වන ආයතනයක් බවට පත්වෙයි කියලා.

පත්කිරීම් ඇරුණාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට වෙනත් කාර්යයන් පැවරෙන්නේ නැතිනම් ඔවුන්ගෙන් වැඩක් ගත්තේ නැහැ වෙනවා නේද?

නැහැ. ඔවුන්ගේ වැඬේ පූර්ණකාලීනයි. විවිධ අවස්ථාවලදී විවිධ මට්ටමේ තනතුරුවල පුරප්පාඩු ඇතිවෙනවා. රාජ්‍ය සභාවේ පත්කිරීම් පවා කරන්නේ ඔවුන්ගෙන් විමසලා. ඔවුන්ට දිගටම වැඩ තියෙයි.

හැම අමාත්‍යාංශයකටම පාර්ලිමේන්තු කමිටුවක් බැගින් පිහිටුවෙනවා. ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගැනීමක් ලැබෙනවා. රාජ්‍ය ගිණුම් කාරක සභාව, උපදේශක කාරක සභා, තේරීම් කාරක සභා වැනි මෙම බොහෝ කමිටු රැුස්වීම් පැවැත්විය යුත්තේ ප‍්‍රසිද්ධියේ බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටම ඇතුළත් කරනවා. ජනතාවටත්, මාධ්‍ය වේදීන්ටත් එම කමිටුවල සිදුවන දේ බලන්නටත් වාර්තාකරන්නටත් පුළුවන්. මහජන ගිණුම් හා පොදු ව්‍යාපාර කාරක සභාවල මූලාසනය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට පැවරෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන හදිසි පනත් කෙටුම්පත් පිළිබඳ විධිවිධාන ඉවත්කිරීමටත් යෝජනා වී තිබෙනවා. නමුත් අවසාන නිගමනයක් නැහැ.

විගණන සේවා කොමිසමක් අලූතෙන් එක් කරනවා නේද?
එයත් ස්වාධීන කොමිෂන් සභා ලැයිස්තුවට ඇතුළත් කරනවා. ඒ වාගේම පහුගිය කාලයේ ලොකු ප‍්‍රශ්නයක් වුණු, ආණ්ඩුවට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී විශාල වශයෙන් සිදුවන වංචා දූෂණ වළක්වන්න ජාතික ප‍්‍රසම්පාදන කොමිසමකුත් ඇතිකරනවා. චන්ද්‍රිකා කුමාරතුංග රජය කාලයේ තිබුණා ප‍්‍රසම්පාදන ඒජන්සියක්්. මහින්ද රාජපක්‍ෂ මහතා එය විසුරුවා හැරියා.

ප‍්‍රසම්පාදන කටයුතු පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම විධිවිධාන සැලසූ රටවල් ගණනාවකින් එකක් තමයි, දකුණු අප‍්‍රිකාව. ඔවුන්ට අනුව රජය හා රාජ්‍ය ආයතන මිලදී ගැනීම් හා සේවා ලබාගැනීම් කරන කොට සැම දෙනාටම සමාන අවස්ථා ලැබෙන පරිදි ඒවා කිරීමට අවශය නිර්ණායක සැකසෙන්නේ මේ කොමිසම යටතේ. අපි ඊටත් එහා ගිහින් ප‍්‍රසම්පාදන කොමිසමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගැනීමක් ලබාදී තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හරහා තමයි ඊට සාමාජිකයන් පත්කෙරෙන්නේත්. රාජ්‍ය ආයතන විසින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් පිළිබඳව පොදු නිර්ණායක ක‍්‍රියාත්මක වන බවට වගබලාගැනීමට සහ ඒ පිළිබඳ අක‍්‍රමිකතා වෙනවා නම් පාර්ලිමේන්තුවට හා ආණ්ඩුවට වාර්තා කිරීමට ඔවුන්ට පුළුවන්.

– රාවය

the president in the new constitution has powers.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.