Divaina:මෛත්‍රීව වර්ණනා කරයි

 

දිවයින පුවත් පත ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දුන්නේ මහින්ද රාජපක්ෂටයි එහෙත් ජනාධිපතිවරයා සමග චීනය ගිය  දිවයින කතුවරයා ගේ සිත පුදුමාකාර ලෙස වෙනස් වී ඇත.

ජනාධිපති මෛත්‍රීගේ පියා ගැනත් චීන ජනපති කතා කරයි

ගාමිණී සුමනසේකර කුෂාන් සුබසිංහ චීනයේ බෙයිජිං නුවර සිට

* පෝර්ට්‌ සිටි එක හදනවද නැද්ද?
* චීනයෙන් මෛත්‍රීට දුන් තෑග්ග…
* ජනපතිගේ චීන ගමනේ ඇතුළත කතා

චීනයේ බෙයිජිං නුවර මොන අතින් බැලුවත් නවීන සංස්‌කෘතියේ පෙරදිග අග නගරය ලෙසම සුදිලෙයි. අහස සිඹින යෝධ ගොඩනැඟිලි පෙළින්ද දස දෙසට විහිදී ගිය මංමාවත් දිගේ ඇදෙන රිය පෙළින්ද සෝබමානවූ බෙයජිං නුවරට එන කවර සංචාරකයකු තුළ වුවද පළමුව ඇතිවන්නේ විස්‌මය හා කුහුල දනවන හැඟීම් සමුදායකි. චින තාක්‌ෂණයේ මහිමය මෙබඳු යෑයි කියාපාන වෙළෙඳ සංකීර්ණ මෙන්ම හුරුබුහුටි චීන ලියන්ගේ සිනාමල් ලිහි විසිරී යන අවන්හල්වලින්ද මෙපුර පොහොසත්ය.

සීත සෘතුවේ සුළං රැළිවලින් පෙළෙමින් වුවද අපි නුවර සිරි විඳිමින්ම චයිනා වර්ල්ඩ් හෝටල් සංකීර්ණය වෙත ගමන් කළෙමු. මහල් විස්‌සකින් සැදුම් ලද එහි මුදුන් මහලෙහි රාජකීය අමුත්තන් වෙනුවෙන් ඉදිවූ සුවිශේෂී කුටි දෙකක්‌ විය. ඉන් එකක ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මැතිනිය නතරවී සිටියහ.

අපි ජනාධිපතිවරයා පැමිණෙනතුරු එහි ආලින්දයේ අසුන් ගතිමු. මොහොතකට පසු සිනාමුසු මුවින් අප අබියසට පැමිණි ජනාධිපතිතුමා සුහදව අපව පිළිගත්තේය.

කොහොමද දැන් උදේට කෑම එහෙම කාලද?

ගෙදරට එන කවර අමුත්තකුගෙන් වුවද විමසන පෙරදිග සංස්‌කෘතියේ පළමු පැනය එතුමා නැගුවේ ඒ සිනා මුහුණින්මය.

‘කෑම බිම නං ඉවරයි. ඒත් අපට හිතුණා ඔබතුමා එක්‌ක වචනයක්‌ කතා කරල යන්න ඕනෑ කියලා.

අනේ කොච්චර එකක්‌ද? මේ වගෙ රටින් පිට උන වෙලාවක තමයි මෙහෙම හරි අපිට හම්බ වෙන්න පුළුවන්.

ජනාධිපතිතුමාගේ ඒ වචන අපට අනුබලයක්‌ බඳු විය. ඇත්ත වශයෙන්ම රටක රාජ්‍ය නායකයකුගේ වේලාවෙන් විනාඩි කීපයක්‌ හෝ සොරා ගැනීම කිසිසේත් පහසු කරුණක්‌ නොවේ. මේ අවස්‌ථාව අපට ඒ සඳහා සුළු ඉඩක්‌ සැලසීම එක්‌ අතකින් භාග්‍යයකි.

ජනාධිපතිතුමනි, ඇත්තටම අපට කරුණු දෙකක්‌ ගැන විශේෂයෙන් දැනගන්න ඕනෑ.

මොනවද ඒ. ජනාධිපතිතුමා සිනාසෙමින්ම විමසයි.

පෝර්ට්‌ සිටි එක ගැන මුකුත්ම කතා කළේ නැද්ද? අපි ඇසීමු.

නැත්තෙ මොකද? ඒක තමා මං හිතන්නෙ මාධ්‍යවලට වගේම අපේ අනිත් දේශපාලන අංශවලටත් වැදගත්ම මාතෘකාව.

ජනාධිපතිවරයා අසුනෙහි මඳක්‌ හරි බැරි ගැසෙමින්ම දිගු කතාවකට මුලපිරුවේය.

ඇත්තටම චීන ජනාධිපතිතුමා ඒ ගැන හරි අවධානයකින් ඉන්නෙ. අපේ සාකච්ඡාවට චීන නියෝජ්‍ය ඇමැතිවරයෙකුත් එක්‌ උනානෙ. ඒ අය කීව එක්‌ දෙයක්‌ තමා පසුගිය රජය ඒ ගිවිසුම හා ඒ සැලසුම නිසි ආකාරව සකස්‌ කරලා නෑ කියලා.

මාත් එය අනුමත කළා. අපේ පරිසර වාර්තා ගැන බලල නැතුව ලහිලහියේ ඒ සැලසුම හදලා තිබුණේ. ඉඩම් අයිතිය දීම කියන කොන්දේසිය අපි අයින් කළා. අපේ භූමිය කාටවත් දෙන්න බැහැනෙ. එනිසා ඒ ආණ්‌ඩුවෙ ගිවිසුම සමාලෝචනය කරලා අපි අලුතින් නගරය ඉදිකරන වැඩේ කරනවා. එයින් රටට ලැබෙන ආර්ථික වාසි නිසා පසුගිය රජය එයින් ලැබෙන කොමිස්‌ මුදල් ගැන නම් උනන්දු වෙච්ච බව පෙනුණා. එනිසා ඒවගෙ හානිදායක ක්‍රියාමාර්ග වළක්‌වන අලුත් ගිවිසුමකට අප යා යුතුයි. සංවර්ධනය කියන්නෙ රටට, ජනතාවට ප්‍රතිලාභ දෙන පිං ක්‍රියාවක්‌ විදිහටයි මං දකින්නෙ. මං ඒ පිවිතුරු අරමුණෙන් බැහැර වෙන්නෙ නෑ. ජනතා මුදල්, රටේ සම්පත් සුරැකෙන සංවර්ධනයක්‌ වෙත අප යා යුතු වෙනවා.

හොඳයි ජනාධිපතිතුමනි චින රජයෙන් ඔබතුමාට හොඳ වටිනා තෑග්ගක්‌ දුන්නා කියලත් ආරංචියි.

ඔබ කිව්ව වගේම චීන රජය මට විශේෂ තෑග්ගක්‌ දුක්‌නා. ඒ තමයි ඇඳන් පන්සීයක වකුගඩු ප්‍රතිකාර රෝහලක්‌. සියලුම නවීන උපකරණ, සැත්කම් පහසුකම් සහිත මේ රෝහල අපට දෙන්නෙ. පොළොන්නරුවේ තමයි ඒක ඉදිකරන්නේ.

චීන ජනාධිපතිතුමන් මේ ගැන කියද්දි විශේෂයෙන් කරුණක්‌ සඳහන් කළා. ඒ තමා ඔබතුමන් මේ වකුගඩු රෝගීන් පිළිබඳ හරිම සංවේදීයි කියලා.

ඇත්තමට මං ඒ පිළිබඳව හරිම සංවේදීයි. උතුරු මැද පළාතේ ජනගහනයෙන් විශාල පිරිසක්‌ මේ අවාසනාවන්ත රෝගය ගොදුරු වෙලා ඉන්නෙ. මං ඇහින් දැකල තියෙනවා ඒ ජනතාවගෙ දුක. කොළඹ හීනෙන් දකින, සුව පහසු ජීවිත හීනයක්‌ උන ඒ ජනතාව දිගු කලක්‌ මේ විපතට මැදි වුනා. රාජ්‍ය නායකයෙක්‌ ඒ ගැන එතරම් අවධානයක්‌ යොමු කළේ නෑ. මේ ගම්වල මිනිසුන්ගෙ කඳුළ, සුසුම මං දුටුව. මට ඇහුණා. මං රජරට ගොවි දුක හඳුනන කෙනෙක්‌. ඉතින් මං එයට පිහිටක්‌ නොවුනොත් කව්ද ඒ අහිංසක ජනතාව දිහා බලන්නෙ. ඇත්තටම මගේ චාරිකාවේ අග්‍ර ප්‍රතිඵලය තමයි මට දුන්න මේ ත්‍යාගය.

ඔබත් චීන රජයත් අතර සුවිශේෂ බැඳීමේ රහස කුමක්‌ද?

ඒක තමා මං චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ තරුණ සාමාජිකයෙක්‌ විදිහට 1980 ගණන්වල ආපු ගමන. මං තුන් මාසයක්‌ මෙහෙ කඳවුරක හිටිය. මා සමඟ තවත් ලංකාවෙ දෙන්නක්‌ විතර හිsටියා. චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ තමා මේ රටේ බලවත්. චින ජනාධිපතිතුමා මට කිව්වා ඔබේ පියාත් ෆැසිස්‌ට්‌වාදයට විරුද්ධ අයෙක්‌. ඔබත් ඒ වගේ කියලා.

කොහොමද ඔහු ඒ තොරතුරු දන්නෙ.

ඇයි මගෙ ඉතිහාසයම මේ අය ළඟ තියෙනව වතගොත, නම්ගම් එක්‌ක. අනික මං කිව්ව එදා ඔබල ගරු කළ බණ්‌ඩාරනායක මහත්තයා හදපු බණ්‌ඩාරනායක මැතිනිය, ඒ දියණිය නායකත්වය දුන්න ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා මමයි. මං ගෙනියන්නෙ ඒ ප්‍රතිපත්ති. මං චීනයට ආවෙ ඒ පණිවුඩය අරගෙන ඒ අය හරිම සතුටු වුණා.

ඇත්තටම අපේ විදේශ පිළිවෙත බණ්‌ඩාරනායක රජය මගින් ඉහළ තැනකට රැගෙන ගියා. එදා එය සම්පූර්ණයෙන් ගොඩනැංවිය යුතුයි. චිනය වගේම ඉන්දියාවත් දෙපසින් තියාගෙන බටහිරට ගැති නොවී ගිය ඒ ඓතිහාසික ගමන අපට වැදගත්. රට නැංවීමට නම් අප ඒවා ආදර්ශයට ගත යුතුයි.

මට පේනවා ඔබට තවත් බොහෝ කරුණු විමසීමට තිබෙන බව නම්. ඒ වුණත් මා හමුවීමට මේ රටේ තවත් කීප දෙනෙක්‌ම දැන් එනවා. අපි ලංකාවෙදි හමුවෙමු. ජනාධිපතිවරයා අපට සමුදෙමින් කීවේය.

ඇත්තටම ජනාධිපතිවරයාගේ මෙම චීන සංචාරයේ විශිෂ්ටතම ප්‍රතිඵලය චීන රජයෙන් රජරට ඉදිකෙරෙන වකුගඩු රෝගය සඳහාම වෙන්වූ නවින රෝහල බවට සැක නැත. රජරට ජන දුක නිවූ රජරට ජනතා පුත්‍රයකුගේ සාඩම්බරය ගැන හෙට ලියෑවෙන ඉතිහාසයේ ඒ සමඟම තවත් බොහෝ දේවල් ඇතුළත් විය හැකි බවද අවසන් වශයෙන් මෙහි ලියා තබමි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.