Drug Policey:සේනක බිබිලේ සහ තිත්ත ඇත්ත

Dr.Senaka-Bilile

මෙරට නවීන වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය අරඹණු ලැබූවේ වර්ෂ 1870 දී ය. එදා මෙදා තුර ශ‍්‍රී ලාකාවේ බිහි වූ සියලූ වෛද්‍යවරුන් අතරින් මිනිස් සංහතියේ පෙදු යහපත වෙනුවෙන් විශාල ම සේවයක් කර තිබෙන වෛද්‍යවරයා නිසැකයෙන් ම අවිවාදයෙන් ම සහ අනභියෝගයෙන් ම සේනක බිබිලේ නම් අසාමාන්‍ය මිනිසා වෙයි. එය එසේ වන්නේ මන්ද කියා ඉඳුරා ම කිය යුතු ය. ඒ පොදු ජනතාවට අත්‍යවශ්‍ය, සඵල, ගුණාත්මක බවින් ප‍්‍රශස්ත ඖෂධ හැකිතාක් සාධාරණ මිලකට අඛණ්ඩ ව ලබා දීමට එරෙහි ව ක‍්‍රියා කරන ජාත්‍යන්තර අදමිටු ඖෂධ ජාවාරම්කාරයන්ට විරුද්ධව මුළු ලෝකයේ ම පළමු වැනි ක‍්‍රමානුකූල ප‍්‍රබුද්ධික ක‍්‍රියාදාමය ආරම්භ කළ නියමුවා මහාචාර්ය සේනක බිබිලේ මිස අන් කිසිවකු නොවන බැවිනි. ඒ ප‍්‍රකාශයත් සමග ම ඖෂධ ජාවාරමට එරෙහි ව සේනක බිබිලේ සිදු කළ සුවිසල් මෙහෙය පිළිබඳ අපි සලකා බලමු.

ජාවාරමක් යනු මුදල් ගරා ගැනීමේ වංචා සහගත උපක‍්‍රමයකි; කූඨ ප‍්‍රයෝගයකි; කෑදර බඩජහරි ව්‍යාපාරයකි. යථෝක්ත සියලූ අර්ථවලින් ඖෂධ කර්මාන්තය ජාවාරමක් ම වන බව මා පැවසුවහොත් බොහෝ දෙනකු විසින් එය, අරටු බැසපු උග‍්‍ර සමසමාජකාරයකුගේ සුපුරුදු අතිශයොක්තියක් සේ සලකා බැහැර කරනු ලැබීම සුපුරුදු ප‍්‍රතිචාරය යි. එහෙයින් මේ ලිපියේ දී මා ඉදිරිපත් කරන සියලූ ශාක්ෂ්‍ය, මා උපුටා ගත්තේ වර්ෂ 2004 දී අමෙරිකා එක්සත් ජනපදයේ දී ම පළ වූ කෘතියකිනි. පොතේ නම ම භයානක ය. ‘TRUTH ABOUT THE DRUG COMPANIES HOW THEY DECEIVE US AND WHAT TO DO ABOUT IT  ‘ එහි අදහස ‘ඖෂධ සමාගම් ගැන ඇත්ත; ඒවා අප රවටන හැටි සහ ඒ ගැන කළ යුතු දේ ’ යන්න යි. කෘතියේ කර්තෘ වනුයේ, මාර්ෂියා ඒන්ජල් නමැති වෛද්‍යවරියකි. ඇය එසේ මෙසේ වෛද්‍යවරියක නොවේ. 1977 සිට 2000 වර්ෂය දක්වා කාලය තිස්සේ ඇය, ඉංග‍්‍රීසි භාෂාවෙන් පළ වන අතිසම්භාවනීය වෛද්‍ය සඟරාව ලෙස සම්මත ‘NEW ENGLAND JOURNAL OF MEDICINE (NEJM) ’ නම් සඟරාවේ කර්තෘ මණ්ඩලයේ සේවය කළා ය. ඇය එහි කර්තෘ ධුරය ද හෙබවූවා ය. ශුද්ධ වෛද්‍ය විද්‍යාව ‘(INTERNAL MEDICINE) ’ සහ ව්‍යාධි විද්‍යාව (PATHOLOGY)’ යන විෂයයන් දෙකෙහි ම ඇය වරලත් විශේෂඥවරියකි. ‘NEJM’ හි කර්තෘ ධුරයෙන් සමුගත් ඇය දැන් සේවය කරන්නේ හාවඞ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමාජීය වෛද්‍ය විද්‍යා (SOCIAL MEDICINE) අංශයේ ය. ‘TIME’ සඟරාව විසින් වෛද්‍ය මාර්ෂියා ඒන්ජල් අද අමෙරිකාවේ සිටින වඩාත් බලසම්පන්න පුද්ගලයන් 25 දෙනාගෙන් එක් අයකු ලෙස නම් කර තිබේ. එහෙයින් ඇය පවසන දේ හුදු සමසමාජකාරයකුගේ ප‍්‍රචාරාත්මක ප‍්‍රලාප සේ සලකා කිසිවකුටත් තවදුරටත් බැහැර කළ නොහැකි වනු ඇත.

පෙළහර

විස්මයට කරුණක් වන්නේ 2004 වර්ෂයේ දී මාර්ෂියා ඒන්ජල් මේ පොතෙන් පවසන ප‍්‍රධාන නිගමන සියල්ල 1970 වර්ෂය වන විට, තුන් වැනි ලෝකයේ නොදියුණු යැයි සැලකුණු රටක විසූ මහාචාර්ය සේනක බිබිලේ එළඹ සිටි නිගමන ම විනා අන් කිසිවක් නොවීම යි. මෙහි දී ඒ කටයුත්ත සඳහා ඔහුට අවශ්‍ය දේශපාලන සහයෝගය, උපදෙස් හා ආශිර්වාදය නොමඳ ව ලැබුණේ, මෙරට කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවර අසහාය නායක දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ නම් වූ සම්භාවනීය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගෙනි. මහාචාර්ය බිබිලේට ඒ පෙළහර පෑමට හැකි වූයේ කෙසේ ද යන ප‍්‍රශ්නය මෙහි දී වහා මතු වේ. ප‍්‍රධාන හේතු දෙකක් නිසා ඒ හැකියාව ලැබෙන්නට ඇතැයි, මම විශ්වාස කරමි.

එයින් පළමුවැන්න නම් ඔහුගේ රන් මොළයේ මහිමය යි. ඉගෙනුමට පුදුම හපනකු වූ සේනක බිබිලේ නුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස සිට ශිෂ්‍යත්ව දිනාගෙන කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිවිසුම් ලැබූවේ 1940 වර්ෂයේ දී ය. 1945 වර්ෂයේ දී එම්. බී. බී. එස්. උපාධිය ඔහු සමත් වූයේ ප‍්‍රථම පන්ති සාමාර්ථයක් සහ ශුද්ධ වෛද්‍යවිද්‍යා විෂයට හා ශල්‍යකර්ම විෂයට (SURGERY)  පිදෙන රන් පදක්කම් දෙකම සතු කර ගනිමිනි. 1947 වර්ෂයේ දී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුණු ඔහු, 1952 වර්ෂයේ දී බි‍්‍රතාන්‍යයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය (PhD) උපාධිය හිමි කරගත්තේ ය. පෙරළා මවුබිමට පැමිණි ඔහු 1958 වර්ෂයේ දී ලංකා විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ පළමු වැනි මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබුවේ ය. වෛද්‍යවිද්‍යාවේ අග‍්‍රගණ්‍ය විද්‍යාඥයකු ලෙස ඔහුට කීර්තියක් ලැබුණේ ඔහු විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ පදනම් කොටගෙන පළ කළ ශාස්ත‍්‍රීය ලිපි ලේඛන හේතු කොටගෙන ය. මේ සියල්ලෙන් ස්ඵුට වන්නේ සේනක බිබිලේ අසාමාන්‍ය බුද්ධි මහිමයකින් යුක්ත පුද්ගලයකු වූ බව යි. ඖෂධ ජාවාරමේ ඇතිසැටිය විග‍්‍රහ කොට හැඳිනගැනීමට උපස්ථම්භක වූ පළමු වැනි හේතු සාධකය ඒ බුද්ධි මහිමය යි.

මාක්ස්වාදී අවිය

medicine_drugsදෙවැනි සාධකය සාකච්ඡා කිරීමට ප‍්‍රවේශයක් වශයෙන් කිව යුත්තේ ඒ බුද්ධි මහිමය අවශ්‍ය වුවත් ඖෂධ ජාවාරමේ ඇතිසැටිය විනිවිද දැකීමට එය ප‍්‍රමාණවත් නොවීමට ඉඩ තිබුණු බව යි. බුද්ධි මහිමයට අමතර ව ආර්ථික, දේශපාලනික යථාර්ථය අවබෝධ කරගැනීමට සමත් විශ්ලේෂණ අවියක් ද අවශ්‍ය ය. එය ඔහුට ලැබුණේ ඔහුගේ දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයෙනි. ඒ විශ්ලේෂණ අවිය හෙවත් ක‍්‍රමවේදය, අනෙකක් නොව මාක්ස්වාදී චින්තන ක‍්‍රමය යි. මිනිස් සමාජයේ විකාශනය දෙස සිය තියුණු බුද්ධිය යොමු කළ කාල් මාක්ස්, ධනවාදී ආර්ථික ක‍්‍රමයේ උපත, වර්ධනය සහ ව්‍යාප්තිය පිළිබඳ ව විද්‍යාත්මක මතවාදයක් ඉදිරිපත් කළේ 1867 වර්ෂයේ දී පළ කළ ‘දාස් කැපිටල් ’ නම් කෘතියෙනි. ධනපති ක‍්‍රමය වර්ධනය වීමත් සමග යහපත සිදු වන්නේ කවුරුන්ට ද අයහපත සිදු වන්නේ කවුරුන්ට ද කියා ඔහු මැනවින් විශ්ලේෂණය කර ප‍්‍රකාශ කළේ ය. ඖෂධ කර්මාන්තය කෙරෙහි සිය අවධානය යොමු කළ මහාචාර්ය සේනක බිබිලේ, ඒ කර්මාන්තයට ආවේණික වූ ලක්ෂණ නිසා ම එය ජාවාරමක් වන බව අවබෝධ කරගෙන එහි අනිෂ්ඨ විපාකවලින් තොර බහුජන හිතෛශී ඖෂධ ප‍්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට වෙහෙසුණේ ය. ඔහු 1971 දී එය ක‍්‍රියාත්මක කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය සහිත ව ප‍්‍රබල අයුරින් අවතීර්ණ විය. ඒ නිසා ම ඖෂධ ජාවාරම ඔහුට එරෙහි විය. ඖෂධ ජාවාරම්කාරයන් අතින් ඔහු ඝාතනයට ලක් වූවා යැයි විශ්වාස කිරීමට පදනම එය යි. ඒ කෙසේ වෙතත් ඖෂධ ජාවාරම මෙල්ල කිරීමට ඔහු ආරම්භ කළ සංග‍්‍රාමය, අද අමෙරිකා එක්සත් ජනපදයේ ද පටන්ගෙන තිබෙන බව වෛද්‍ය ඒන්ජල්ගේ කෘතියෙන් මනාවට පැහැදිලි වේ.

ඒ නිගමනවලට එළඹීමට වෛද්‍ය මාර්ෂියා ඒන්ජල්ට හැකි වූයේ 2004 වර්ෂයේ දී ය. පමා වී හෝ ඇය එළඹී සිටින නිගමන බහුජන හිතෛෂී ඒවා වන බව කිව යුතු ව ඇත.

ප‍්‍රශ්න තුනක් !

මේ ලිපියේ ඉතිරි භාගයේ දී මගේ අභිප‍්‍රාය වන්නේ, වෛද්‍ය මාර්ෂියා ඒන්ජල්ගේ කෘතියේ පිටකවරයේ අන්තර්ගත කරුණු පදනම් කොටගෙන ප‍්‍රශ්න තුනක් මතු කර ඒවාට පිළිතුරු සැපයීමට යි.

පළමු වැනි ප‍්‍රශ්නය: – ඖෂධ සමාගම් පිළිබඳ ඇත්ත ! ශුද්ධ ඇත්ත ! තිත්ත ඇත්ත ! කුමක් ද?
දෙවැනි ප‍්‍රශ්නය: – ඖෂධ සමාගම් අප රවටන්නේ කෙසේ ද?
තුන් වැනි ප‍්‍රශ්නය: – ඒ පිළිබඳ ව සමාගම්වලට එරෙහි ව අපට කළ හැක්කේ කුමක් ද?

-මහාචාර්ය කාලෝ ෆොන්සේකා-
-ඇත්ත-

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!